දිමුතු පුන්සර කොළඹගේ
(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වන දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)
“ලංකාද්වීපයේ ශ්‍රේෂ්ඨ විද්‍යාලය වූ විද්‍යාලංකාරයෙහි අධිපති ශ්‍රී ධර්මාරාම නාහිමියන් වහන්සේ තනිකර ලංකාවට පමණක් අයිති කෙනෙක් නොවෙති. මුළු ලෝකයටම මහා පණ්ඩිතෝත්තමයාණන් කෙනෙකි. ගරුතර මෙම නාහිමියන්ගේ ප්‍රශස්ත මහා පාණ්ඩිත්‍යය ආසියාතික මෙන්ම එංගලන්තාදී යුරෝපා රටවල ද උසස්ව බබළන්නේ ය.”
යනුවෙන් කල්කටා විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය (උපකුලපති) මහාචාර්ය සතිශ්චන්ද්‍ර විද්‍යාභූෂණ පඬිතුමා විසින් හඳුන්වන ලද්දා වූ ද,
“සිංහල ප්‍රජාවර්ගයාගේ ගෞරවාදරයට හා භක්තිප්‍රණාමයටත් එසේම ජාතික ආගමික අභ්‍යුන්නතිය සඳහාත් පහළ වූ මහා පුරුෂයන් අතරින් අප්‍රතිහත ධෛර්යයෙහි හා කුශාග්‍රබුද්ධියෙහිත් උදාර මහත්මා ගුණයෙහිත් ශාසනානුලෝමික ආචාර ශීලයෙහි හා විනයෙහි ප්‍රතිමූර්තියක් වන ශ්‍රී ධර්මාරාම මාහිමියන් වහන්සේ”
යනුවෙන් තත්කාලීන පුවත්පත් මගින් හඳුන්වා දුන් රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් දල්වාලූ ශාසනාලෝකයේ අගතරලමිණ වශයෙන් හඳුන්වා දිය හැකිය.
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ ආරම්භ කළ විද්‍යාලංකාර මහා පිරුවන පෙරදිග මහා තක්ෂිලාව වශයෙන් කිතුගොස පැතිරවූයේ තත් නාහිමිපාණන් වහන්සේගේ අග්‍රෙසර ශිෂ්‍යරත්නය වූ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේගේ යුගයේදී බව සඳහන් කළ යුතුය.
රාජගිරිය කලපළුවාවේ ඇලෙක්සැන්ඩර් වීරසිංහ අප්පුහාමි මැතිතුමගේ සහ හේවාගම් කෝරළයේ වේරගල දෝන ඉසබෙලා ද අල්විස් සිරිවර්ධන මැතිතුමියගේ පුත් රුවනක ලෙස වර්ෂ 1853 සැප්තැම්බර් මස 23 වැනි දින නාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුටහ. මව්පිය දෙපෙළපත් ම සිංහල රජ කාලයේ පටන් රාජප්‍රසාදයට පත් වූ අලගියවන්න මුකවෙටිතුමාට ද ඥාති සබඳතා පැවතුණු පරපුර දෙකක් විය.
පස්හැවිරිදි වියේදී ඊසාක් වීරසිංහ දෙටුපියාණන් විසින් සරස්වතී යෝගයෙන් මෙම කුමරුන්ට අත්පොත් තැබූ පසු පියතුමා විසින් ම ඉගැන්වීම් සිදු කළේ ය. රජයේ තනතුරු දැරූ මෙම පවුලට සම්බන්ධ අන්‍යාගමික ඥාතීන් දරුවා එම ආගම් වෙත නැඹුරු කිරීමට වෑයම් කළ ද පුරාකෘත පුණ්‍ය මහිමය නිසාවෙන් හේ තෙරුවන් කෙරෙහි සිත් පහන්ව වාසය කළේය.
කිත්සිරිමෙවන් කැලණි රජමහා වෙහෙරවැසි කොටගම හිමියන් වෙතින් ද, ඉන් පසු අස්ගිරිවල්පොල වස් වසා සිටි කහතුඩුවේ චන්දජෝති හිමියන් වෙතින් ද ශාස්ත්‍රෝද්ග්‍රහණය කරද්දී දරුවාගේ දක්ෂතාවය දුටු කහතුඩුවේ හිමියන් හෙතෙමේ පැවිදි කරවීය. කුඩා හිමියන්ගේ සුවිශේෂී දක්ෂතාවය හඳුනා ගත් නිකලස් ගුණතිලක සල්පිටි කෝරළයේ මුදලිතුමා සහ පතහවත්තේ විහාරාධිපති හේවාගම හිමියන්ගේ බලවත් උනන්දුව මත එවක ලක්දිව කුශාග්‍ර බුද්ධිමතකු වූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් වෙත භාර කරන ලදි.

වර්ෂ 1864 මාර්තු මාසයේ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමියන්ගේ ආචාර්යයත්වයෙන් ශ්‍රී ධර්මාරාම යයි නම් ලබමින් නැවත පැවිදි බිමට පත්ව ශ්‍රී ධර්මාලෝක මාහිමියන් වෙතින් වර්ගපටිපාටියෙන් ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ. කලපලුවාවේ ධර්මාරාම නාමයෙන් මෙම කුඩා හිමියන් හඳුන්වන ලද අතර ස්වකීය ගුරු හිමියන් වෙත සිදු කරන ගෞරවයක් වශයෙන් එම හිමියන්ගේ ජාතගාමය වූ රත්මලාන ස්වකීය නාමයට යොදාගෙන රත්මලානේ ධර්මාරාම යැයි ප්‍රකට වූහ.
අසහාය ධාරණ ශක්තියකින් හා පාණ්ඩිත්‍යයෙකින් හෙබි මෙම ශිෂ්‍යයාගේ දක්ෂතාවය හඳුනා ගත් ආචාර්යයන් වහන්සේ එවක සංඝ සමාජයේ උගතුන්ගේ අවධානය යොමු නොවූ සංස්කෘත භාෂාව, මොග්ගල්ලාන පාලි වියරණ සම්ප්‍රදාය ආදිය පිළිබඳ සිසුවාට හැදෑරීමට සැලැස්වූහ. ඉන්දියාවෙන් පැමිණි මාතෘභූතේශ්වර ශර්මශාස්ත්‍රී නම් බමුණු පඬිවරයකු වෙතින් මැනවින් සකු බස හදාළා එහි පෘථුලත්වයට පත්වූහ.
පිරුණු විසි වයස් සපිරුණු ශ්‍රී ධර්මාරාම හෙරපාණන් වහන්සේ 1874 ජුනි මාසයේ දී මහනුවර මල්වතු මහා විහාරයේ රාජාධිරාජපූජිත මංගල උපෝසථාගාරයේ දී මැදගම දේවමිත්ත මහ නාහිමියන්ගේ උපාධ්‍යායයත්වයෙන් උපසම්පදාව ලැබූහ. උපසම්පදාව ලැබීමේ දී ධර්මාරම සාමණේර හිමියන් පාලි හා සංස්කෘත භාෂාවෙන් අෂ්ටක දෙකක් රචනා කොට සංඝ සභාවට ඉදිරිපත් කරන ලදි. මල්වතු මහා විහාර සංඝ සභාව වෙත සංස්කෘත අෂ්ටකයක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වී තිබේ. මෙම සාමණේර හිමියන්ගේ දක්ෂතා හඳුනාගත් මැදගම මහ නාහිමියන් තමන්වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ස්වකීය ශිෂ්‍යවරයකු වශයෙන් උපසම්පදා කිරීමට සතුට පළ කළ සානුනායකාදී ගරුතර කාරක මහා සංඝ සභාව ද ආශීර්වාදාත්මක ඇගැයීම් සිදු කළහ.
උපසම්පදාවෙන් පසු රත්මලානේ ධර්මාලෝක හිමියන්ගේ විහාරස්ථානය වූ රත්මලානේ පුරාණ විහාරයේ පැවැති පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන ලදි. ඉන් පසු ගුරු සිසු දෙනම කැලණිය පෙතියාගොඩ වස් විසීමට ගොස් එහිදී විද්‍යාලංකාර දායක සභාව පිහිටුවා 1875 නොවැම්බර් මස පළමුවැනි දින විද්‍යාලංකාර ශාස්ත්‍රශාලාව ආරම්භ කරන ලදි. ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ ප්‍රථම පරිවේණාධිපති පදවිය ද ශ්‍රී ධර්මාරාම මාහිමිපාණන් වහන්සේ උපාචාර්ය පදවිය ද හොබවන ලදි.
එම මාසයේ දී ම එවක මහා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා අධිරාජිනියගේ පුත්‍රයා වූ ද, පසු කලෙක මහා බි්‍රතාන්‍යයේ රාජ්‍යත්වයට පත් සත්වැනි එඩ්වඩ් රජතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ රාජචරිත නමින් පාලි පද්‍ය සංග්‍රහයක් සකස්කොට එතුමාට පිළිගැන්වීය. මින් ප්‍රසාදයට පත් එඩ්වඩ් කුමාරයා රාජකීය සන්දේශයක් පිළිගන්වා තිබේ. සංස්කෘත ශබ්දමාලා ග්‍රන්ථය සකස් කොට ඉන් පසු 1886 වසරේ ධර්මප්‍රදීපිකා ග්‍රන්ථය සංස්කරණය කොට තිබේ.
වර්ෂ 1887 අගෝස්තු මස 17 වන දින ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමිපාණන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවියෙන් සම්මානිත වූහ. ආචාර්යපාදයන් වහන්සේ ආරම්භ කරන ලද ශාස්ත්‍රීය ප්‍රබෝධයේ උපරිස්ථානය ළඟා වූයේ ශ්‍රී ධර්මාරාම මාහිමියන්ගේ ශාස්ත්‍රීය පර්යේෂණයන් නිසාවෙනි. උගතුන් අතර ව්‍යාකූලව පැවැති සිංහල භාෂාවේ න ණ ල ළ භේදය පිළිබඳ වඩාත් සාර්ථක ම මතවාදය ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ පර්යේෂණ මගිනි.
අනුරාධපුර යුගයේ මහාකවි කාලිදාසයන් රචනා කළ ජානකීහරණ සංස්කෘත මහා කාව්‍යයේ එකදු පිටපතක් හෝ ලෝකයේ සොයාගැනීමට නොහැකිව තිබූ අතර එහි පරිවර්තනයක් (සන්නයක්) පමණක් ශේෂ වී පැවතුණි. ශ්‍රී ධර්මාරාම නාහිමියන් ස්වකීය ඤාණය මෙහෙයවා සන්නය ඇසුරින් නැවත මුල්පොත ගොඩනැංවීය. වසර ගණනාවකට පසු ඉන්දියාවෙන් මුල් පොතෙහි පිටපතක් හමුවූ අවස්ථාවෙහි ගාථා කිහිපයක පද කිහිපයක පිළිවෙළ මාරුවීම හැර වෙනත් කිසිදු වෙනසක් නොතිබීම ශ්‍රී ධර්මාරාම නාහිමියන් දෙස් විදෙස් කිතුගොස නැංවීමට හේතු විය.
මොග්ගල්ලාන පඤ්චිකාප්‍රදීපය, සිදත් සඟරාව, පපංචසූදනී අටුවාවෙහි පළමු කොටස, මනෝරථපූරණී, අත්ථසාලිනී යන අටුවා, මජ්ඣිම නිකාය, ධම්මසංගණී ආදී පෙළ ග්‍රන්ථ පුස්කොළ පොත්වල සදොස් තැන් හඳුනා ගනිමින් විධිමත් අන්දමින් සංස්කරණය කරවීය. එමතු නොව බාලාවතාර සංශෝධනය, මහාරූපසිද්ධි සන්නය, පාලි නාමාඛ්‍යාත පදමාලා, මහාබෝධිවංශ ග්‍රන්ථපද විවරණය, සන්න සහිත කාව්‍යශේඛරය, සන්න සහිත සැලළිහිණි සන්දේශය, කාව්‍යශේඛර සන්නය, ශික්ෂා සංග්‍රහය, ජාතක පොතේ කලාප කිහිපයක්, කාව්‍යාදර්ශ පුරාණ සන්නය ආදී පොත් රාශියක් රචනා කිරීම හා සංස්කරණය කිරීම සිදු විය. බුද්ධවර්ෂවාද, පාරුපනවාද, න ණ ල ළ වාද, සුගතවියත්වාද ආදියට ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ ස්වකීය දායකත්වය ලබාදුන්හ.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක පදවිය දැරූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා ශ්‍රි ධර්මාලෝක, ශ්‍රී ධර්මාරාම මාහිමිපාණන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලැබූ ගිහි ශිෂ්‍යයෙකි. නාහිමියන්ගේ දායක පිරිසගේ හා ගිහි සිසු පිරිසගේ මූලිකත්වයෙන් දෙමටගොඩ ධර්මප්‍රසාද විහාරස්ථානය ගොඩනංවා පුද දෙන ලදි. ශ්‍රී ධර්මාරාම මාහිමිපාණන් වහන්සේ විද්‍යාලංකාර පිරුවනෙහි දර්ශනීය විහාර මන්දිරය ගොඩනංවා තිබේ.
තුරුණු වියේ දී ම සෑම අතින් ම පිරිපුන් පඬිවරයකු වශයෙන් ශ්‍රී ධර්මාරාම නාහිමියන් ප්‍රසිද්ධ වීම නිසා මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාව මගින් 1892 වර්ෂයේ කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ද, 1898 වර්ෂයේ හලාවත පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ද පුද දෙන ලදි.
වර්ෂ 1911 වර්ෂයේ දී අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය ගෞරවනාමය ද සහිතව මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී උපාධ්‍යාය පදවියකින් සම්මානිත වූහ.
අල්පමාත්‍ර හෝ ශික්ෂාවක් නොකැඩෙන අන්දමින් ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ කටයුතු කළ ආකාරය තත්ශිෂ්‍යවරයකු වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන් පවසන්නේ මෙසේය.
“මුන්වහන්සේ මාර්ගයෙහි වඩින සේක් ම වහන් සඟළ ලාගෙන දකුණුපිය තැබූ කෙළින් ම වම්පිය තබා වියදඬු පමණ බලා ජංගම පර්වතයක් මෙන් වැඩමවන ආකාරය ප්‍රියංකරය. ආරාමයට වැඩම වූ කල්හි පහතට නැමී තමන් අතින් ම පතුල අතුල්ලා සෝදන සිරිත විනයානුකූලව ම කෙරෙති. තමන්වහන්සේ හමුවට පැමිණෙන ගිහි පැවිද්දන් හා කරන සාධුසාමීචි කථා ධර්මශාස්ත්‍ර නිඃශ්‍රිතම විය. මුන්වහන්සේගේ විනයගරුකත්වය හා විනයාදර්ශය කොයිතරම් ප්‍රතිපත්ති ශාසනානුලෝම දැයි පොහොය කරන දිනවල පූර්වකෘත්‍යය නිමවා තමන්වහන්සේ ම පාමොක් දෙසන සේක.
මුන්වහන්සේගේ ධර්මදේශනා විලාශය ගැන සිතන විට සැරියුත් මහ රහතන් වහන්සේගේ දේශනා විලාසය කොයිතරම් ආශ්චර්යජනක වී දැයි සිතෙන තරම් අතීත ආර්යශ්‍රාවක උතුමන්ගේ ධර්මදේශනා චාරිත්‍රය විදහාපාන ස්වරූපයකි. ධර්මාසනාරූඪව වැඩහිඳ විජිනිපත අතට ගෙන බණ පුරා දහම් දෙසන ආකාරය ප්‍රසාදාවහය.”
සැටපස් වසරකට ආසන්න කාලයක් ආයු වින්දනය කළ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, දෙමටගොඩ ධර්මප්‍රසාද විහාරාධිපති, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ 1918 මැයි මස තුන්වන දින අපවත් වී වදාළ සේක.

