සේවක ස්වාමි සබඳකම

cmadurawala
6 Min Read

ආනන්ද ග්‍රේරු

ජගත් වැඩකරන ජනතාවගේ ඉතා වැදගත් දිනය වූ මැයි දිනය මහ ඉහළින් පවත්වා අවසන්ය. ලංකාවේ උත්සව කිහිපයක් පැවැත්විණ. පෙළපාළි, මහජන රැස්වීම් ඉන් ප්‍රධාන තැනක් ගත්තේය. වැඩ කරන ජනතාවගේ සවිය, බලය පෙන්වීමට මැයි දිනය වෙසෙසින් යොදාගෙන ඇත. ඔවුන්ගේ සිතුම් පැතුම් මේ යැයි පෙන්වීමට ද මෙම ඓතිහාසික දිනය උපයෝගි කරගෙන ඇත. කුමන තරාතිරමක වේවා ශ්‍රමය වියදම් කරන තැනැත්තා වැඩ කරන පන්තියට ගැනෙයි. සිත වෙහෙසා, අත-පය වෙහෙසා වැඩ කරන අය වෙසෙති. අවශ්‍ය වන්නේ ජීවත්වීම සඳහා වැඩක යෙදීමය. වැඩ කරනවිට මහන්සි විය යුතුය. තමන්ගේ කාලය, මහන්සිය, දැනුම, කැපවීම කුමන අන්දමේ රැකියාවක වෘත්තියක, කර්මාන්තයක යෙදුණත් යොදන්නට සිදු වේ.

වැඩ කරන ක්ෂේත්‍රයක බොහෝවිට දක්නට ලැබෙන්නේ දෙපාර්ශ්වයෙක පැවැත්මයි. ඔවුහු සේවක, සේවා යෝජක නැති නම් සේවක, ස්වාමි වෙති. තමාගේ ම වැඩක යෙදේ නම් වැඩ කරන්නාත්, ස්වාමියාත් එකම තැනැත්තාය. යෙදෙන රැකියාව, කර්මාන්තය, වෘත්තිය කුමක් වේවා එහි සැබෑ දියුණුවට, ප්‍රගතියට සේවක, සේවා යෝජක සබඳතාවය මැනවින් පැවතිය යුතුය. එසේ නොවූ විට දෙපක්ෂයටම සිදුවන යහපත මඳ ය. බොහෝවිට සිදුවන්නේ දිගුකාලීනව සිදුවිය හැකි යහපත ගැන නොසලකා දුර දක්නා නුවණින් තොරව කටයුතු කිරීමේ නිරත වීමයි. සේවකයා ස්වාමියා (හාම්පුතා) කෙරේ විශ්වාසයක් නොමැති නම් කරන සේවය නිසි අයුරු ඉටු වන්නේ නැත. සිදු වන්නේ කැපවීමකින් තොරව කරන්නා වූ සේවයයි. එබඳු සේවාවකින් අත්වන්නා වූ ප්‍රතිලාභ අල්පය. සේවකයා තුළ කලකිරීම හටගත්විට වැඩ වර්ජනය කිරීම ඇතිවීම පුදුමයක් නොවේ.

සේවකයා සහ ස්වාමියා අතර පැවතිය යුතු සබඳතාවය නිසි අයුරු බුදුන්වහන්සේ දැන සිටි සේක. ඒ නිසාම උන්වහන්සේ දෙපක්ෂය අතර තිබිය යුතු යුතුකම් ගැන දේශනා කළ සේක. අවුරුදු දෙදහස් පන්සිය හතළිහකට පෙර එසේ දේශනා කළ ද අදටත් එම යුතුකම් සැම අතින් ම යෝග්‍ය, සුදුසු බව ඉඳුරා ම කිව හැකිය. ඒවා බෞද්ධයනට පමණක් නොව අබෞද්ධයනට වුව ගැළපේ. කුමන රටක වසන ජනතාවකට වුව විශාල යහපතක් උදාකරගත හැකිය.

ස්වාමියා විසින් දැසි දස්සන්ට කරුණු පහකින් සංග්‍රහ කිරීම අවශ්‍ය බව දහමේ සඳහන් වෙයි. සේවකයන්ගේ ශක්තිය පමණට සුදුසු කටයුතු නියම කිරීම, ඔවුනට ආහාර හා ප්‍රමාණවත් වැටුප් දීම, ඔවුනට ලෙඩ දුක් ඇති වූ විට ප්‍රතිකාර සහ උපස්ථාන කිරීම, රසවත් ආහාර ලද විට සේවකයිනට ද බෙදාදීම සහ යමක් දිය යුතු අවස්ථාවක් පැමිණි විට එසේ දීම යන යුතුකම් පහ නොපිරිහෙළා ඉටු කළ යුතු බව බුදුහු අනු දැන වදාළහ.

නවීන සමාජයට වුව මේවා මැනවින් සුදුසු බව අමුතුවෙන් කිව යුතු නොවේ. පෙර දැක්වූ යුතුකම් ඉටුකරන ස්වාමියා කෙරේ නිරායාසයෙන් සේවකයා තුළ ඇතිවන්නේ ඉමහත් භක්තියකි, එමෙන්ම විශ්වාසයකි. එම භක්තිය මෙන්ම විශ්වාසය හේතුකොට උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව තමන්ගේ කාර්යයන් ඉටු කිරීමට හේ උත්සුක වන්නේය. එහි ප්‍රතිඵලය දෙපක්ෂයටම ඵලදායි වන්නේය. මෙම යුතුකම් ස්වාමියා විසින් ඉටු කළ යුත්තේ ප්‍රධාන වශයෙන් නිවසේ සේවයේ යෙදෙන දැසි දස්සන්ට බව සේවක පක්ෂයේ යුතුකම් ගැන සලකා බැලීමේදී පෙනෙන්නට තිබේ. එයට හේතුව බුදුන් වහන්සේ දවස බොහෝ නිවෙස්වල සේවය සඳහා සේවක සේවිකාවන්ගේ සහභාගිත්වය තිබුණු හෙයිනි. දහමේ දක්වන අයුරු පෙර සඳහන් පරිදි ස්වාමියා ගෙන් කරුණු පහකින් සංග්‍රහ ලබන සේවකයා හෝ සේවිකාව හෝ යුතුකම් පහකින් ස්වාමියාට සංග්‍රහ කළ යුතුව ඇත. උදෑසන ස්වාමියාට පළමුව නැඟිටීම, රාත්‍රියේ ස්වාමියාට පසුව නින්දට යෑම, ස්වාමියාගේ දේ සොරෙන් නොගැනීම, හොඳින් සේවය කිරීම සහ ස්වාමියාගේ ගුණ කීම සේවකයා විසින් ඉටු කළ යුතු යුතුකම් පහයි. නිවසේ කටයුතු සකස් කිරීමෙහිලා වැදගත් තැනක් සේවකයා සතු බව පළමු සහ දෙවැනි යුතුකම් දෙකෙන් මැනවින් පෙනේ. සේවකයා ස්වාමියාට පෙර උදෑසන අවදිවීම වැදගත් වන්නේ නිවසේ කටයුතු පිළියෙළ කිරීම හේතුකොට ගෙනය. නින්දට යෑමට පෙර කළමනා කටයුතු රැසක් තිබේ. මේ හේතුව නිසා ස්වාමියාට පසුව සේවකයාට නින්දට යෑම සුදුසු බව පෙන්වා දී තිබේ. ඉතා කැපී පේන ලක්ෂණය වන්නේ සේවකයාගෙන් මෙසේ සංග්‍රහ ලැබීමට සුදුසු වන්නේ පළමුව සේවකයාට ස්වාමියා විසින් යුතුකම් පහකින් සංග්‍රහ කළවිට පමණය.

ආදි කාලයේ මෙන් නොව සේවකයන්ගේ අයිතිවාසිකම් රැකදීම සඳහා නීති මෙන්ම රෙගුලාසි සෑම රටකම පනවා තිබේ. මෙම නීති, රෙගුලාසි දිනෙන් දින වැඩිවෙන බව ද දක්නට ලැබේ. එයින් පෙනී යන්නේ සේවක අයිතිවාසිකම්වලට පටහැනිව ඇතැම් ස්වාමි පක්ෂය කටයුතු කිරීමට නැඹුරුව සිටින බවයි. අයිතිවාසිකම් දිනා ගැනීමට සේවක පිරිස වැඩවර්ජනවල යෙදෙන බව ද නිතර පාහේ අසන්නට දකින්නට ලැබේ.

සේවක ස්වාමි දෙපක්ෂයම සතු යුතුකම් තිබෙන බව අමතක කළ යුතු නැත. ඒ යුතුකම් අමතක කිරීම දෙපක්ෂය අතර ගැටුම් ඇතිවීමට මුල්ම හේතුව වන්නේය. ස්වාමියා සේවකයාට වඩා ධනයෙන් හා වෙනත් අයුරින් සවිමත්ව සිටින හෙයින් යුතුකම් ඉටු කිරීමේදී පළමු තැන ගත යුත්තේ ඒ තැනැත්තාය. මේ බව බුදුන් වහන්සේ දෙසූ දහමෙන් ද මැනවින් ඔප්පු වේ. සේවකයාගෙන් සිදුවිය යුතුකම් බලාපොරොත්තු විය යුත්තේ තමන්ගේ (ස්වාමියාගේ) යුතුකම් නොපිරිහෙළා සිදු කිරීමෙනි. සේවකයා ද තමන්ගේ යුතුකම් අඩුවක් නොමැතිව ඉටු කරන්නට වග බලාගත යුතුය. මෙසේ දෙපක්ෂයේ යුතුකම් නිසි අයුරු හරියාකාර සිදුකරන විට ඔවුන් අතර ඇතිවෙන යහපත පමණක් නොව මුළු රටේම දියුණුවක් දක්නට හැකි වන්නේය.

රටක වැඩ කරන ජනතාව වැඩ කරන අන්දම ඒ රටේ දියුණුවට හෝ නොදියුණුවට හෝ මහත් සේ බලපාන්නේය. ජපානය, සිංගප්පූරුව, චීනය, කොරියාව වැනි රටවල දියුණුවට වැදගත් ලෙස බලපා ඇත්තේ වැඩ කරන ජනතාවගේ කැපවීමත් ස්වාමි – සේවක දෙපක්ෂයේ මනා සබඳතාවත් ය. අනෙක් අතින් මේ අපේ රටය, එය දියුණු කිරීම අප සතුය. එසේ හෙයින් මහන්සියෙන්, උනන්දුවෙන් අප අපගේ යුතුකම් ඉටු කළ යුතුය යන උතුම් පරමාර්ථ පෙර දැරිව කටයුතු කරන හෙයින් එකී රටවල දියුණුවක් දක්නට ලැබේ. මැයි දිනයේ පමණක් නොව සෑම දිනකම වැඩට දක්වන උනන්දුව, කැපවීම, අවංකව සිය යුතුකම් ඉටු කිරීම ස්වාමි – සේවක දෙපක්ෂයේම ප්‍රගතියට, උන්නතියට හේතු වෙනවාට කිසිදු සැකයක් නැත. පහත සඳහන් කවිය ඔබේ සිතේ රඳවා ගන්න.

දහඩිය මහන්සිය රට ජාතිය සඳහා
යෙදුවොත් යෙහෙකි ඔබ මෙන් මුළු රට සනහා
සිත මෙන් ගත ද කැපකොට නැති කර පරහා
ජය මාවතේ යමු අත හැර ඇති තරහා

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *