ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක ස්ථවිර
මධ්‍යම ප්‍රතිපදා දර්ශනය
කතමාච සා භික්ඛවෙ මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛු කරණි ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. මහණෙනි මධ්‍යම ප්‍රතිපදාව කවරේද තථාගතයන් වහන්සේ අවබෝධ කළ ප්‍රඥා ඇස ඇති කරන නුවණැස ඇති කරන කෙලෙසුන් ප්‍රහීන කරන සත්‍ය ප්‍රතිවේදය කරන සම්බෝධිය පිණිස නිවන පිණිස පවත්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි කර්මාන්ත, නිවැරදි දිවිපැවැත්ම, නිවැරදි උත්සාහය, නිවැරදි ස්මෘතිය, නිවැරදි සමාධිය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදුන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආරම්භයේදීම දෙව් මිනිසුන් සහිත ලෝකයාට ප්‍රථමයෙන්ම හෙළිපෙහෙළි කළ මධ්‍යම ප්‍රතිපදා දර්ශනය අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ලෝකයා උරුම කරගෙන තිබෙන දුක අවසන් කිරීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො නම් තුනකින් හඳුන්වා දෙන මධ්‍යම ප්‍රතිපදා දර්ශනය මැදහත් මගක් වූයේ එවක පැවැති අන්තවාදී කාමසුඛල්ලිකානු යෝගය, අත්‍ථකිලමථානු යෝගය යන අන්තවාදී ඉගැන්වීම්වලින් විනිර්මුක්ත මධ්‍යස්ථ මාර්ගයක් වීම නිසාය. මෙම මග අනුගමනය කරන පුද්ගලයන් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන ආර්ය තත්ත්වයන් කරා ගෙන යන හෙයින් ආර්ය මාර්ගය නම් වෙයි. අංග අටකින් සංයුක්ත හෙයින් අෂ්ටාංගික මාර්ගය නම් වෙයි.
කාමසුඛල්ලිකානු යෝගයෙන් අපේක්ෂා කළේ කයට හැකි තරම් සැප ලබාදෙමින් දුක අවසන් කිරීමය. පැවිදි වීමට පෙර සිද්ධාර්ථ ගෞතම බෝධි සත්ත්වයන් හට මහ පොළොව මතුයෙහි මොනයම් හෝ සම්පත් වී නම් ඒ සියල්ල නොඅඩුවම සුදොවුන් රජු විසින් එක්රැස් කර දී තිබුණි. එය බුද්ධ දේශනාවෙන් මැනවින් ගම්‍යවෙයි. කාමසුඛල්ලිකානුයෝගය භාරතයේ පිළිගෙන තිබුණු විමුක්ති මාර්ගයකි. මෙකල බොහෝ ශ්‍රමණයන් අනුගමනය කළ මාර්ගයකි. අත්තකිලමථානුයෝගය. පැවිදි වූ ගෞතම බෝසත් විමුක්ති අපේක්ෂාවෙන් වසර හයක් ශරීරයට අධික දුක් දුන්නේය. වෙනත් කිසිදු දෙවියෙක් බ්‍රහ්මයෙක් හෝ මනුෂ්‍යයෙක් ශරීරයට මෙතරම් අධික දුක් දුන් යෝගියෙක් දෙව් මිනිසුන් අතර නැත. බුදුන්වහන්සේ මහා සච්චක බමුණාට කළ දේශනාවෙන් (මහා සච්චක සූත්‍ර දේශනාවෙන්) මැනවින් ප්‍රකාශ වෙයි. පුරා වසර හයක් ශරීරයට අපමණ දුක් දුන් බෝධි සත්ත්වයන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ආර්ය භාවයට සුදුසු අධිගමයක් හෝ ඥාන දර්ශනයක් උපදවා ගත නොහැකි විය. සම්බෝධිය සඳහා වෙනත් මඟක් වේ දැයි විමසූ බෝසතුන් ශරීරයට දුක්දීමේ පිළිවෙත නිරර්ථක බව අවබෝධ කරගත් දුෂ්කර වෘත අතහැර ධ්‍යාන මාර්ගයට පිවිසියේය. දඹරුක් සෙවනෙහි කාමයෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් ප්‍රීතියෙන් සුඛයෙන් හෙබි ධ්‍යානයට පැමිණ වාසය කළේය. සම්බෝධිය පිණිස ඒකායන මාර්ගය මෙයම යැයි සිතූ බෝසතුන් වැහැරී ගිය සිරුරෙන් එම සුවය ලැබිය නොහැකිය. එහෙයින් මඳ වශයෙන් ආහාර ගත්තේය. බෝධිසත්වයෝ දුෂ්කර වෘත අතහැර පිවිසි මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවය.
බුදු බවට පැමිණි බරණැස ඉසිපතනාරාමයේදී ප්‍රථමයෙන් පස්වග තවුසන්ට මෙම මාර්ගය බුදුන්වහන්සේ දේශනා කළේ දම්සක්පැවතුම් දේශනාවට පෙරාතුවය. පස්වග තවුසන් ධර්ම ශ්‍රවණයට එකඟ වූයේ ඉන් පසුවය. ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සුත්‍ර දේශනාවෙන් හෙළි කළ මෙම මාර්ගය ගෞතම බෝධිසත්වයන් සම්මා සම්බෝධිය අවබෝධ කරගත් මාර්ගයයි. පැවිද්දකු විසින් නොසෙවිය යුතු හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයා සොයන්නා වූ කාමසම්පත්හි යෙදීම (කාමසුඛල්ලිකානුයෝගය) දුක් සහිත වූ අනාර්ය වූ අනර්ථ සහිත වූ ශරීරයට දුක්දීම (අත්තකිලමථානුයෝගය) සියලු අන්තවාද ප්‍රතික්ෂේප කළ බෝසතුන් සම්මා සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කළේ පැණැස ඇති කරන කෙලෙස් සංසිඳුවන සත්‍යාවබෝධය ලබාදෙන නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරවන මධ්‍යම ප්‍රතිපදාව නැතහොත් ආර්ය මාර්ගයෙනි.
මධ්‍යම ප්‍රතිපදාව අර්ථවත් වන්නේ අන්තවාද ප්‍රතික්ෂේප කිරීම නිසාය. කාමසුඛල්ලිකානු යෝගය නැතහොත් පංචකාම සම්පත්හි ඇලී ගැලී ජීවත්වීම පුහුදුන් පුද්ගලයන්ගේ ජීවන පැවැත්මය. එය හැඳින්වීම සඳහා භාවිත හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් සොයන්නා වූ කාමසම්පත්හි යෙදීම සෑම ගිහි පෘථග්ජනයකුම ඇලී සිටින්නට ඇතැයි කිව නොහැකිය. මධ්‍යම ප්‍රතිපදාවෙන් ප්‍රතික්ෂේප වන්නේ අතිශය කාමභෝගී පැවැත්මය. මෙය කෙලෙසුන් දියුණු කරන්නක් මිස කෙලෙසුන් ප්‍රහීණ වීමක් නොවේ. අත්තකිලමථානුයෝගය විමුක්තිය අපේක්ෂාවෙන් සමකාලීන ශ්‍රමණයන් අනුගමනය කළ ප්‍රතිපදාවකි. මධ්‍යම ප්‍රතිපදාව කායික හෝ මානසික වශයෙන් පීඩාවකට හේතු නොවන ඕනෑම කෙනෙකුට අනුගමනය කළ හැකි ප්‍රතිපදාවකි. බෝසතුන් සම්මා සම්බුද්ධත්වය පිණිස අනුගමනය කළ මේ මාර්ගය ප්‍රඥාචක්ෂුසය ඇති කරන කෙලෙස් සංසිඳුවන සත්‍යාවබෝධය ලබාදෙන සම්බෝධිය නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරවන මධ්‍යම ප්‍රතිපදාව නැතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. තථාගතයන් වහන්සේට සම්මා සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උපකාරී වූ මෙම මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව නැතහොත් ආර්ය මාර්ගයයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය ප්‍රතිඥා කළේත් මධ්‍යම ප්‍රතිපදාව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් පසුවය. මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා යන දේශනා පාඨයෙන් ගම්‍යවෙයි.
දුක අවසන් කිරීමෙන් ලබන ශාන්තියට නැඹුරු වූ ප්‍රතිපත්ති මාර්ගය වශයෙන් අර්ථවත් වන ආර්ය මාර්ගය නිවනට පමුණුවන මාර්ග සත්‍යයයි. පෙර නොඇසුවිරූ ධර්මයන් කෙරෙහි ඥානය ලබා දෙන විද්‍යාව ආලෝකය ඇති කරන නිර්වාණය කරා පමුණුවන මාර්ග සත්‍යයයි. පුබ්බෙ අනනුස්සුසෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකො උදපාදි දම්සක් පැවතුම් සූත්‍රයේ එන මෙම දේශනා පාඨයෙන් ගම්‍යවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනත් ආගමක හෝ සමයක දක්නට නොලැබෙන බුදුසමයට පමණක් විශේෂිත වූ ඉගැන්වීමකි. බුදුන් වහන්සේ පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩසිටි අවස්ථාවේ උන්වහන්සේ වෙත පැමිණි සුභද්ද නම් පිරිවැජියාට කළ දේශනාවෙන් පැහැදිලි වෙයි. යස්මිංච ඛො සුභද්ද ඉමස්මිං ධම්මවිනයෙ අරියො අට්ඨංගිකො මග්ගො උපලබ්භති තත්‍ථ සමණොපි උපලබ්භති දුතියොපි තත්‍ථ සමණො උපලබ්භති තතියොපි තත්‍ථ සමණො උපලබ්බති චතුෙත්‍ථපි තත්‍ථ සමණො උපලබ්භති. පළමුවන, දෙවන, තෙවන හා සිව්වන ශ්‍රමණයන් දක්නට ලැබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතින ශාසනයක පමණක් බව පරිනිබ්බාණ සූත්‍රයේදී බුදුරදුන් සුභද්දට දේශනා කර ඇත. මෙහි දැක්වෙන ශ්‍රමණයෝ නම් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් යන ආර්ය පුද්ගලයෝ සිව්දෙනාය.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ශාසනික බ්‍රහ්මචරියාව වශයෙන් අනුදැනීම විමුක්ති මාර්ගය වශයෙන් එහි ඇති ප්‍රායෝගිකත්වය වැඩිදියුණු කරයි. කතමංච භික්ඛවෙ බ්‍රහ්මචරියං අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො සෙය්‍යථිදං සම්මාදිට්ඨි… සම්මා සමාධි. බුදු දහමින් මිනිසාගේ ජීවිතයට බුදුන්වහන්සේ කළ ප්‍රදානය (බ්‍රහ්මචරියාව) ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. බුදුසමයෙහි ධර්මයත් සමග ඉදිරිපත් කරන බ්‍රහ්මචර්යාවෙන් අදහස් කරන්නේ උත්කෘෂ්ට ජීවන ප්‍රතිපදාවකි. බ්‍රහ්ම යනුවෙන් අදහස් කරන්නේ ශ්‍රේෂ්ඨ උතුම් යන අර්ථයයි. බ්‍රහ්මචරියාව ධර්මයෙන් ඉදිරිපත් කරන දර්ශනය හෙවත් ජීවන ප්‍රතිපදාවය. බෞද්ධ ඉගැන්වීම් ජීවන දර්ශනයක් වශයෙන් එහි කේන්ද්‍රීය සංකල්පය මධ්‍යම ප්‍රතිපදාවය.
ආර්ය මාර්ග ප්‍රතිපදාව ස්කන්ධ තුනකින් සංගෘහිතය.
තිණි ඛො අවුසො විසාඛ අරියො අට්ඨංගිකො මග්ගො යනුවෙන් චුල්ලවෙදල්ල සූත්‍රයේ දැක්වෙයි. සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන මාර්ගාංග සීලක්ඛන්ධයෙහි ද සම්මාවායාම, සම්මාසති. සම්මාසමාධි, සමාධික්ඛන්ධයෙහි ද සම්මාදිට්ඨි, සම්මා සංකප්ප පඤ්ඤක්ඛන්ධයෙහි ද සංග්‍රහ වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් කර ඇති සංග්‍රහය වැදගත් සංකල්පයකි. බුදුසමය නිර්දේශ කරන විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්ම ත්‍රිශික්ෂාවෙන් කිසියම් ප්‍රතිපත්ති මාර්ගයක් නිර්දේශ කරයි.
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤු – චිත්තං පඤ්ඤංච භාවයං
ආථාපි නිපකො භික්ඛු – සො ඉමං විජටයෙ ජටං
මේ දේශනාවට අනුව සංසාරික ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා සීල, සමාධි ප්‍රගුණ කිරීමෙන් ලැබිය හැකි ප්‍රඥාව අවශ්‍යය. බුදුරජාණන් වහන්සේ විසින් කරනු ලැබුවේ ජනයා සීල සමාධි ප්‍රඥාවෙහි පිහිටුවීම යැයි සුභ සූත්‍රයේදී අනඳ තෙරුන් ප්‍රකාශ කර ඇත.
මතුසම්බන්ධයි

