දශරථ ජාතකය

rashi
By rashi
9 Min Read

සුගත් වීරසූරිය

රුක් ගොමුවලින් පෙරී ආ හිරු කිරණ ගෙමිදුල වසාගෙන සිටියේ ය. ඒත් සමග ම එතෙක් ගෙමිදුල වසාගෙන හිටි පිනි මුතු අතුරුදන් වී යනු කිසිවෙකුත් නො දුටුවේ ය. ලෝකය ම එක ම කලබලයක පැටලී ඇත. ගම්මානයේත්, දනව්වල හා පාර තොටේත් හිස් ලූ ලූ අත ගමන් කළ අය ඔවුනොවුන්ගේ ලෝකයන් තුළ වූ මැඳුරක හිර වී සිටිනු පෙනිණ. මේ නිවස පිහිටා තිබුණේ ජේතවනාරාමය පිහිටි සැවැත් නුවරින් සැතැපුම් ගණනකට මොබින් ය. එහි මිදුල එතරම් විශල් බිම් කඩක් නො වී ය. එය වටා නැඟී හැදී වැඩී තිබුණු ලොකු කුඩා ගස් මිදුලු‍ බිමට සිහිල් සෙවණක් රැගෙනවිත් තිබුණේ ය. මිදුල පුරා වැටී තිබුණු වියළුණු කොළ ඒ මේ අත විසිර තිබුණේ ය. එය දින ගණනකින් අමදිනු නො ලැබ තිබුණේ කුමක් නිසා ද? ඒ ගැන සෙවූ කිසිවෙකු ද සැවැත් නුවර කොතැනක වත් සිටියේ නැති තරම් ය. ගෙමිදුල හා ගෙදරත් පාළු අම්බලමක වෙස් ගෙන තිබුණ ද ගෙදර කිසිවෙකු සිටි බව පෙනුණේ ය. ඒ එක් තුරුණු යුවළකි. මෙයට දින කිහිපයකට පෙර දී මේ ගෙහි හුන් වියපත් පියා මිය ගියේ ය. පුතා තවමත් සිටියේ එයින් කැඟුණු සොව හා සන්තාපය දරා ගත නොහැකි ව ය. තුරුණු බිරිය ඔහුගේ හිත සැනහීමට නොයෙක් වර උත්සාහ කළා ය. එහෙත් එය එතරම් පහසු දෙයක් නො වී ය. ඔහු කඳුළු සලා ඉකිබිඳ හැඬුවේ ය. එහෙත් කිසිවෙකුට නො ඇසුණු ඒ හැඬුම දත්තේ ඔහු ම ය. දැනුණේ ඔහුට ම ය. ඔහු නිවසේ කුඩා කුටිය තුළ කල්පනා සයුරක ගිලී සිටියේ ය. තරුණ බිරියගේ දෑස එදෙසට යොමු ව තිබුණි. එය අසල තවත් නිමේෂයන් කිහිපයක් රැඳී හුන් ඈ කිසියම් වැඩකට මුළුතැන් ගෙයට වැදුණා ය.

තිලෝගුරු බුදුරජාණන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය හ. එදින අලු‍යම් කාලය ඒ වෙද්දීත් ඉක්ම ගොස් නො තිබිණ. නැවුම් මල් පිබිදෙමින් තිබිණි. සියොතුන්ගේ කූජනය සිව් දෙසින් සවන් වැකිණි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම වැදුණු සේක. උන්වහන්සේගේ කරුණා නෙතට සිය පියා නැති සොවින් හඬමින් සිටි මේ පුතා හසු වී ය. බුදුරජාණන්වහන්සේ අරුණෝදයෙන් හෝරා කිහිපයක් ගෙවී ගිය ඉක්බිති ඔහු සොයා වැඩම කළ හ. පෙර දා නො තිබුණු අලු‍ත් සහන් එළියකින් තම ගෙමිදුලත්, වටපිටාවත් නැහැවී ගියාක් මෙන් තරුණයාට දැනිණි. තවත් මොහොතක් සිය කුඩා කුටියේ රැඳී සිටි ඔහු ඊළඟ නිමේෂයේ එහි වූ කවුළු දොර විවර කළේ ය. නිවහන ඉදිරිපිට මිදුලේ රැඳී ඇති මේ අසිරිමත් රූ සපුව කවරෙකුගේ ද? ඔහුට ඇස් අදහා ගත නොහැකි වී. මෙයින් පෙර කිසි දාක දැක නො තිබුණු මේ ශ්‍රමණයන් වහන්සේ නමක් බව පමණක් තරුණයා වටහා ගත්තේ ය. උන්වහන්සේගේ වත දෙස බැලූ ඔහුට දැනුණේ අප්‍රමාණ සංතුෂ්ටියකි. තෙරක් නො පෙනෙන කරුණා සයුරු දිය දහරින් නැහැවී පැවැති ඒ ප්‍රිය මනාප මුහුණේ රැඳී තිබුණු මඳ සිනාව තරුණයාගේ සිත පහන් කළේ ය. ඔහු හෙමි හෙමින් සම්මා සම්බුදු රජාණන්වහන්සේ වැඩ හුන් ඉසව්ව දෙසට පියවර තැබී ය. දැන් ඔහු බුදුරජාණන්වහන්සේ අසල ය.

“ශ්‍රමණයන් වහන්ස, ඔබ කවුරුන් ද?කවුරුන් සොයා ද මෙහි පැමිණියේ?” තරුණයා විමසී ය.

“පින්වත් දරුව, මා මෙහි පැමිණියේ ඔබ සොයාගෙනයි. ඔබගේ මුහුණ සුදුමැලි වී ගොසින්. දෑස හොඳටෝ ම තඩිස්සි වෙලා. ඔබ මේ දවස් ගණනේ ම හඬමින් වැලපෙමින් කාලය ගත කර තිබෙනවා. ඉදින් මට පවසන්න ඔබ මේ තරම් ශෝකයකින් වේදනා විඳින්නේ කුමක් නිසා ද?” බුදුරජාණන්වහන්සේ විමසූ හ. බුදුරදුන්ගේ බ්‍රහ්ම ස්වරය දෙසවන් සිසාරා යත් ම මේ තමන් සොයාගෙන පැමිණ සිටින්නේ කවුරුන් දැ යි තරුණයා වටහාගත්තේ ය. එතෙක් ඔහු බුදුන් ගැන අසා තිබුණ ද මෙතෙක් ඒ කවුරුන් දැ යි රූප කායයෙන් දැක නො තිබුණේ ය. මේ සිටින්නේ ඒ මහා කරුණා නිධාන වූ අනන්ත ගුණ ඇති එම ශාස්තෘන් වහන්සේ නො වේ දැ යි තරුණයා කල්පනා කළේ ය. ඔහුගේ එම අනුමානය සැබෑවක් විය.

“මහ අහසටත්, මහ පොළොව හා මහ මුහුදටත් වඩා ගුණ ඇති හිමියනි, මාගේ දයාර්ද්‍ර වූ පියාණන් අදින් දින කිහිපයකට ඉහත දී මිය ඇදුණා. අනේ ස්වාමීනි, මට ඒ දුක කොහොම වත් වාවාගන්න බෑ. දරා ගන්න බෑ.” ඔහු බුදු පා පියුම් යුග අබිමුව වැඳ වැටී හඬා වැලපුණේ ය.

“පින්වත් මානවකය, නො හඬන්න, නො වැලපී සිටින්න. ජීවිතය සදාකාලික ව පවතින දෙයක් නො වෙයි. මේ සංසාරයේ අනෙක් හැම දේමත් එහෙමයි. ජීවිතයට කොයි තරම් සහන සම්පත් ගලා ආවත් ලෙඩ දුක් එය සොයා එනවා. ජරාව නැත්නම් දිරා යෑම එය සොයා එනවා. අන්තිමේ දී මරණයෙන් ඒ ජීවිතයේ හැම දෙයක් ම කෙළවර වෙනවා. එයින් ඉක්බිති ඒ ජීවිතය ගත කළ අය අපට කවර දාක වත් යළි දකින්නට ලැබෙන්නේ නෑ. මානවකය, පෙරත් ඔබ වැනි ම අය සිටියා. ඔවුන්ගේ පියාත් ඔබේ පියාණන් මෙන්ම මිය ඇදුණා. එහෙත් ඔවුන් එයින් කම්පාවට පත් වුණේ නැහැ.” යනුවෙන් උන්වහන්සේ ඒ අතීත කතාව ගෙනහැර දැක්වූ හ.

එය ඈත අතීතයෙහි එක දවසක් වී ය. බරණැස් නුවරට අලු‍තෙන් ම පත් ව හුන් මහ රජතුමා කාගේත් සිත් ගත්තේ ය. ඔහු නමින් ‘දශරථ’ වී ය. දශරථගේ පාලනය එරට වැසි කාහටත් ජීවන මිහිරක් හා සොම්නසක් රැගෙන ආවේ ඔහු එතරම් ම දැහැමි නායකයෙකු වූ නිසා ය. හැම විට ම පළමුව මහජනතාව ගැන සොයා බැලූ ඔහු ඔවුන්ගේ කුසගින්න සැලකුවේ තමා හට පැමිණි වේදනාවක් සේ ය. එනිසා ම හේ නොයෙක් ධාන්‍ය, එළවළු හා පලතුරුවලින් බරණැස් නුවර හැම බිමක් ම සශ්‍රීක කළේ ය.

ජීවිතය යනු ගඟකි. ඒ තුළ උදා වන නිමේෂයන් සංඛ්‍යාව ගණනය කළ නොහැකි තරම් ය. එහි එක් නිමේෂයක් පවතින්නේ මොහොතක් පමණි. පැවැති මොහොත බිඳ වැටී ඊළඟට එළඹෙන මොහොත නවමු එකකි. හරියට ම ගලා යන නදියක් සේ ය. ගලන එක ගඟකට දෙවරක් බැසිය නෙහැකි ය. ඒ ඊළඟට ගලන්නේ අලු‍ත් ගඟු‍ලැල්ලක් හෙයිනි. දශරථ රජතුමාගේ ජීවිතය ද සදාතනික මල් යහනක් නො වී ය. ජීවිතය තුළ සිදු වූ සදාකාලික සංසාර ධර්මවලට දැනුවත් වත් නොදැනුවත් වත් ඔහු මුහුණ දුන්නේ ය. මේ අතරතුර ඔහුගේ අග මෙහෙසිය හදිසියේ ම මිය ගියා ය. එයින් ඉක්බිති ඔහු තවත් සරණ මංගල්‍යයකට පිවිසියේ ඇමතිවරුන්ගේ කීමට ය. එම විවාහයෙන් දශරථ ලත් දරුවා “භරත” ය. රාම, ලක්ෂ්මන හා සීතා ඔහුගේ පෙර විවාහයේ දරු දැරියෝ ය. දශරථට දෙවැනි බිසව පෙර දා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ය. සිය පුත් භරතට රජ්‍යත්වය පවරන ලෙස ඈ කළ ඉල්ලීමෙන් මුල දී දශරථ තුළ ඇති වූයේ දැඩි නොසන්සුන් කමෙකි. රාම හා ලක්ෂ්මන ඔහුගේ වැඩි මහලු‍ දරුවන් ය. ඔවුන් සිටිය දී භරතට රාජ්‍යත්වය ලබා දීම දශරථ ප්‍රතිකේෂ්ප කළේ ය. අලු‍ත් අග මෙහෙසිය සැක කළ ඔහු රාම, ලක්ෂ්මන හා සීතා රටින් පිට මං කළේ ය. ඔවුන්ගේ ජීවිතාරක්ෂාව ගැන සිතා ඔවුන් පිටමං කළ හේ අවුරුදු දොළහකින් පසුව පැමිණ රාජ්‍යයත්වය භාර ගන්නැ යි රාමට කීවේ ය. කාලයේ ගඟ හෙමි හෙමින් ගලා ගියේ ය. දොළොස් වස ද ගෙවී ගියේ ය. දශරථ මහ රජතුමා මිය ඇදුනි. ඒ දුක්බර ආරංචිය රැගෙන ආ රාජ පුරුෂයෝ රාම කුමරා ඇතුළු පිරිස හමු වූ හ. තම පියා මිය ගිය පුවත සීතාටත්, ලක්ෂ්මනටත් වාවා ගත නොහැකි විය. ඔවුහු හැඬූ හ. රාම කුමරා නිහඬ ව සිටියේ ය. රාමගේ උපෙක්ෂා සහිත නිහඬ බව අනෙක් අය තුළ ඇති කළේ කුහුලකි.

“මලනුවෙනි, ජීවිතය යනු තාවකාලික නවාතැන්පළක් පමණයි. අප කැමැති වුවත් අකැමැති වුවත් යම් දාක ඒ නවාතැන්පළ හැර දමා යන්න සිදු වෙනවා. කොතෙක් හඬා වැටුණත් මිය ගිය කෙනෙක් අප අතරට එන්නේ නෑ. එහෙයින් මම නො හඬමි. නො වැලපෙමි.” රාම කීවේ ය.

එදා දශරථ රජතුමා මෙකල සුද්ධෝදන රජතුමා ය. රාම කුමරු නම් අද ලොව්තුරා බුද්ධත්වයට පත් මම් ම යැ යි වදාළ බුදුරජාණන්වහන්සේ මේ දශරථ ජාතක දේශනාව නිමවා වදාළ සේක.

කවර සත්ත්වයකුගේ වුව ද ජීවිතයෙහි අවසානය මරණයයි. එය මවු කුසයක හට ගත් මොහොතේ පටන් ම ක්ෂණයක් ක්ෂණයක් පාසා දිර දිරා මරණයට ලක් වේ. බුදුරජාණන්වහන්සේ එය දක්වා වදාළේ ක්ෂණික මරණය ලෙස ය. එසේ සිදුවෙමින් කවර දාක හෝ ඒ ජීවිත සම්පූර්ණයෙන් ම විනාශයට පත් වේ. අප කෙනකුගේ මළ ගම ලෙසින් හඳුන්වන්නේ ඒ ඒ දුඃඛිත යථාර්ථයේ කතාවයි. එය දහම තුළ සම්මුති මරණය ලෙස දක්වා තිබේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *