රාණිසේනාරත්න රාජපක්‍ෂ
සුත්‍ර පිටකයේ අප්‍රකට කරුණු
විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතො පභං – එත්ථ ආපො ච පඨවි තෙජො වායො න ගාධති – ඵත්ථ දීඝං ච රස්සං ච අණුං ථූලං සුභාසුභං – එත්ථ නාමං ච රූපං අසෙසං උපරුජ්ඣති – විඤ්ඤාංස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣති (දී. නි. 1 – කෙවඩ්ඪ සූත්‍රය)
සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ සදාසතො – අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරොසියා – සුඤ්ඤතො ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති (බු. නි. සුත්ත නිපාත – මෝඝරාජ සූත්‍රය)
යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතා පටිසංයුත්තා (සං. නි. 2 – ආණි සූත්‍රය)
ශ්‍රී සද්ධර්මය “ගම්භීරො අතක්කාවචරො දුද්දසො දුරවබොධො” යයි සර්වඥයන් වහන්සේ දේශනා කළහ. එය ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මයක් ලෙස සූත්‍ර ගණනාවක දැක්වෙයි. “අනාගත කාලයේදී භික්ෂූහු තථාගතයන්ගේ ගම්භීර වූ ගම්භීරාර්ථවත් වූ ලෝකෝත්තර අර්ථ ඇති ශුන්‍යතා ධර්මය විදහා දක්වන සූත්‍රාන්ත දේශනා කරන විට ඒ අසන්නට අකැමැති වෙති. කන් යොමු නොකරති. මෙසේ තථාගතයන් විසින් වදාරන ලද ගම්භීර වූ ගම්භීරාර්ථවත් වූ ලෝකෝත්තර අර්ථ ඇති ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මය ප්‍රකාශ වන සූත්‍රාන්ත අන්තර්ධාන වෙයි” (සං. නි. 2 – ආණි සූත්‍රය)
උන්වහන්සේ ඍජුවම ශුන්‍යතා ධර්මය ගැන දේශනා කළ අවස්ථා ඇත. නිද: (22 වන පරිච්ඡේදයෙහි එන) බ්‍රාහ්මණ බාවරී තාපසගේ ශිෂ්‍ය මෝඝරාජ තාපස මානවක මහා දුරු මගක් ගෙවා සර්වඥයන් වහන්සේ හමුවට ගොස් (සිතින්) ප්‍රශ්නයක් ඇසීය : “මිනිස් ලොව සහ අනික් ලෝකවල වැසියෝද දේව බ්‍රහ්ම ආදීහුද ඔබ වහන්සේගේ දෘෂ්ටිය නොදනිති. පරමාදර්ශී වූ සර්වඥයන්ගෙන් අසන්නට ආවෙමි – ලෝකය කෙසේ බලන්නහු මෘත්‍යුරාජ නොදකින්නේද?”
“මෝඝරාජ, හැම කල්හිම සතියෙන් යුක්තව සක්කාය දෘෂ්ටිය දුරු කර ලෝකය ශුන්‍ය වශයෙන් බලන්න. මෙසේ ලෝකය බලන්නා මෘත්‍යුරාජ නොම දකියි” (ඛු. නි. 1 සුත්ත නිපාත – පාරායන වග්ග)
කේවඩ්ඪ සූත්‍රයද මේ පිළිබඳ ආලෝකයක් සපයයි. නුවරුන්ට ප්‍රාතිහාර්ය පාන ලෙස ඉල්ලමින් සර්වඥයන් වහන්සේ හමුවීමට පැමිණි කේවඩ්ඪ ගෘහපති ගැන 2 වන පරිච්ඡේදයෙහි සඳහන් කළෙමි. උන්වහන්සේ ඔහුට ප්‍රාතිහාර්ය තුන ද අනුශාසන ප්‍රාතිහාර්යයේ උතුම් බව ද දීර්ඝව දේශනා කොට අවසානයේදී පෙර වූවක් පවසති: එක් භික්ෂුවකට සතරමහා භූතයින් කොතැනදී නිරුද්ධ වෙත්දැයි විතර්කයක් ඇති වී, ඍද්ධි බලයෙන් සියලු දෙව්ලෝවලින් අසමින් පිළිවෙළින් ඉහළට ගොස් අවසානයේදී මහා බ්‍රහ්මයා සිය පිරිස සමග ඉන්නා තැනටම ගියේය. බ්‍රහ්මයා “මම මහා බ්‍රහ්මයා වෙමි” යි තුන්වරක් කීය. ඉක්බිති භික්ෂුව අතින් අල්ලාගෙන පසෙකට ගෙන ගොස්, “මම පිළිතුර නොදනිමි. එහෙත් මා සියල්ල දනිතියි මගේ බ්‍රහ්ම පිරිස සිතා සිටින හෙයින් මා නොදන්නා බව එතැනදී කිව නොහැකිය. ඔබ භාග්‍යවතුන් වෙත සිට මෙහි ආවේ මන්ද? ආපසු ගොස් උන්වහන්සේ ගෙන්ම අසන්න” කීය.
ඒ භික්ෂුව සර්වඥයන් වහන්සේ වෙත ආපසු පැමිණ සතරමහා භූතයින් කොතැනදී නිරුද්ධ වෙත්දැයි ඇසීය. උන්වහන්සේ, “අනිදස්සන වූ, අනන්ත වූ, සබ්බතො පභ වූ විඤ්ඤාණයක පඨවි ආපො තෙජො වායො යන මහාභූත ධර්ම සතරක් කුඩා මහත් සුභ අසුභ යන ප්‍රඥප්තිත් නාමය සහ රූපයත් යන මේ හැම එකක්ම උපරුද්ධ වෙයි” වදාළහ. (දී. නි. 1 – කේවඩ්ඪ සූත්‍රය)
ශුන්‍යතාව මැනැවින් පහදා දුන් අවස්ථාවක්: වරෙක ආනන්ද හිමියෝ, පෙර දවසක සර්වඥයන් වහන්සේ “ශුන්‍යතා විහරණයෙන් බහුල කොට වසමි”යි වදාළ කරුණ ගැන විමැසූහ.
“ආනන්ද, ඒකාන්තයෙන් ඔබේ ඇසීම නිවැරදිය. නිසිසේ දරාගෙන ඇත. මනා කොට මෙනෙහි කර ඇත. මනා කොට ධරා ඇත. ආනන්ද, මම පළමුවත් දැනුත් ශුන්‍යතා විහරණයෙන් බහුල කොට වසමි. යම් පරිදි මේ මිගාරමාතු ප්‍රාසාදය ඇත් අස්… රන් රිදියෙන්… ස්ත්‍රී පුරුෂයින් ගෙන් ශුන්‍ය වේ. එහෙත් අශුන්‍යතාවක් ඇත. කුමක්ද යත්, භික්ෂූන් නිසා ඇති වන ඒකත්වයයි. භික්ෂුවක් ග්‍රාම සංඥාව මෙනෙහි නොකර ආරණ්‍ය සංඥාව මෙනෙහි කරයි. එවිට ආරණ්‍ය සංඥාවෙහි සිත පහදියි. බැසගනියි… එහෙත් මෙහිද දරථ මාත්‍රයක් ඇත. එනම් ආරණ්‍ය සංඥාව නිසා ඇති වන ඒකත්වයයි. මෙසේ, එහි යමක් නැද්ද, එයින් ශුන්‍ය යයි මනා කොට දනියි. යමක් ඉතිරි වේද, එයින් අශුන්‍ය යයි දනියි. ආනන්ද, මෙලෙසින්ද ඒ ශ්‍රමණ හට යථාභූත අවිපර්යන්ත පරිශුද්ධ ශුන්‍යතා අවක්‍රාන්ති වෙයි”
ඉක්බිති පඨවි සංඥාව, රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන එකින් එක ගෙන ඒවායේ ඇති සාපේක්ෂක ශුන්‍යතාව ක්‍රමයෙන් සියුම් වෙමින් පුළුල් වෙමින් ගැඹුරු වෙමින් යන අයුරු විස්තර කරති. ඉක්බිති “… නෙවසඤ්ඤ නාසඤ්ඤයතනයද මෙනෙහි නොකර අනිමිත්ත චෙතො සමාධිය සඳහා ඒකත්වයක් මෙනෙහි කරයි… ‘මේ අනිමිත්ත චෙතො සමාධියද අභිසංස්කෘතය, අභිසංචේතයිකය. එහෙයින් එය අනිත්‍යය; නිරොධ ස්වභාව ඇත’ මෙසේ දන්නා දක්නා ඔහුගේ සිත කාම භව අවිද්‍යා ආස්‍රව කෙරෙන් විශේෂයෙන් මිදෙයි… එසේ විමුක්ත වෙත්ම විමුක්තය යන ඥානය ඇති වෙයි. ‘ජාතිය ක්ෂීණය, බ්‍රහ්මචර්ය වැස නිමවන ලදි, කරණීයය, මේ අර්හත්වය පිණිස මතුයෙහි කිසිදු නැතැ’යි නුවණින් දනියි… ‘මේ සංඥාගතය කාම භව අවිද්‍යා ආස්‍රවයෙන් ශුන්‍යය’ යි දනියි. එහෙත් මෙහි අශුන්‍යතාවක්ද ඇත. එනම්, මේ කයම නිසා ෂඩායතන සහිත ජීවිත ප්‍රත්‍යයෙන් අශුන්‍ය යයි දකියි. මෙසේ, එහි යමක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකියි, එහි යමක් ඉතිරි වී ඇද්ද, විiමාන වූ එය ඇතැයි නුවණින් දකියි. ආනන්ද, මෙසේ ඒ ශ්‍රමණ හට යථාභූත අවිපර්යන්ත නිරුපක්ලේශ වූ පරම අනුත්තර වූ ශුන්‍යතා අවක්‍රාන්තිය වෙයි” (ම. නි. 3 – චූලසුඤ්ඤත සූත්‍රය)
මෙයින් පැහැදිලි වන්නේ සර්වඥයන් වහන්සේ දේශනා කළේ සාපේක්ෂක ආනුභවික ශුන්‍යතා ධර්මයක් බවයි.

