ගුණතිලක මැටියගනේ
ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වල පොල්පැලකැටිය ශ්‍රී දේවගිරි විහාරස්ථානය හා තල්ගස්වල ගෝනගොඩ ශ්‍රී තිලකාරාම විහාරස්ථානය යන උභය විහාරාධිපති ගාලු දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය හොරන්ගල්ලේ මහින්ද නාහිමිපාණන් වහන්සේ පසුගිය අගෝස්තු මස 23 වැනි දින 77 වැනි වියට පා තැබූහ. මුලින්ම උන්වහන්සේට දිගාසිරි පතමු.
හොරන්ගල්ලේ විසූ කේ. බී. මව්නිස් මහත්මා සහ ඇන්.බී.ඩබ්. අගොස්තිනා මාතාව යන දෙමහල්ලන්ගේ පුතණුවකු ලෙස 1947 අගෝස්තු මස 23 වැනි දින උපත ලැබූ අප නායක හිමිපාණෝ 1963 වසරෙහි එවකට පොල්පැලකැටිය ශ්‍රී දේවගිරි විහාරාධිපතිව වැඩ විසූ අතිගරු ගෝනලගොඩ ශ්‍රී ප්‍රේමරතන මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස උතුම් පැවිදි භූමියට පත්වූහ. ඒ අනුව උන්වහන්සේ පැවිදි දිවියේ 61 වැනි වසරදි සම්පූර්ණ කරන්නාහ. පැවිදි වීමෙන් අනතුරුව රෑකඩහේනේ ශාන්ති නිකේතන පිරිවෙන, මීගහතැන්න විද්‍යාරාම පිරිවෙන යන පිරිවෙන් තුළින් අධ්‍යාපනය ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ.
විවිධ හැකියාවන්ගෙන් පිරිපුන් විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ උන්වහන්සේ තමන්, උගත් දෙය මතු පරපුරට බෙදාදීමේ අරමුණින් නාකියාදෙණිය සරණපාල පිරිවෙන, හම්බන්තොට ගුණානන්ද පිරිවෙන, බද්දේගම ඉඳුරුපන්විල විද්‍යානන්ද විද්‍යායතන පිරිවෙන ආදී ආයතනයන්හි ගුරුවරයකු ලෙසත් පසුව ඉඳුරුපන්විල විද්‍යානන්ද විද්‍යායතන පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති වහන්සේ ලෙසත් කරන ලද සේවය අතිමහත්ය.
තරුණ, උගත් පැවිදි පඬිරුවනක් වූ අප හොරන්ගල්ලේ මහින්ද ස්වාමීන් වහන්සේ සමාජ සේවයට ඉමහත් ලැදියාවක් දැක්වූහ. වත්තහේනේ ‘ග්‍රාමෝදය මණ්ඩලයේ’ සභාපති ධුරය දරමින් මහත් අභියෝගවලට මුහුණ දෙමින් භික්ෂුන් වහන්සේ නමකගේ උසස් පෞරුෂය විදහා පෑ හැටි අගය කළ යුතුය. සිය ගුරුදේවයාණන් වහන්සේට උපහාරයක් ලෙස පොල්පැලකැටිය ශ්‍රී දේවගිරි විහාරස්ථානයෙහි ‘ශ්‍රී ප්‍රේමරතන දහම් පාසල’ ආරම්භ කර එහි ප්‍රධානාචාර්ය ධුරය දරමින් ප්‍රදේශයේ දරු දැරියන් වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටු කළහ. ඊට අමතරව ‘ශ්‍රී රංගන කලායතනය’ නමින් කලායතනයක් ආරම්භ කරමින් ප්‍රදේශයේ සහජ කුසලතා ඇති තරුණ තරුණියන්ට තම සහජ කුසලතා වර්ධනය ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදුන්හ.
සංඝ පීතෘවරයකු වීමේ සියලු භික්ෂු ආකල්ප හා ගුණාංගවලින් පරිපූර්ණ වී ඇති මහින්ද පණ්ඩිත හාමුදුරුවෝ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. ඊටත් ඔබ්බට යමින් කවියෙකු ගීත රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, කලාකාමියෙකු, සන්නිවේදකයෙකු, දක්ෂ කථිකයෙකු, වැඩසටහන් මෙහෙයවන්නෙකු මෙන්ම දක්ෂ සංවිධායකවරයකුද වන්නේය. ගැඹුරු අරුත් ඇති ඕනෑම පාළි ගාථාවක් සමාජයේ ඕනෑම තරාතිරමක අයෙකුට අවබෝධ කර ගැනීමට හැකිවන පරිදි ඉතා සරල ලෙස විස්තර කරදීමේ සුවිශේෂී හැකියාවක් උන්වහන්සේ සතුව පවතී. ඒ නිසාම උන්වහන්සේගේ ධර්ම දේශනා, අනුශාසනා ඇසීමට කවුරුත් ප්‍රියමනාපය භික්ෂුවක් තුළ තිබිය යුතු බහුශ්‍රැත භාවය හා දේශනා කිරීමේ හැකියාව ඉතා ඉහළින්ම මුන්වහන්සේ තුළ පවතී.
ගෝනලගොඩ ශ්‍රී තිලකාරාමාධිපතිව වැඩ විසූ ගෞරවාර්හ මාපලගම ශ්‍රී සුමනසාර ලොකු හාමුදුරුවෝ ප්‍රදේශයේ එවකට වැඩ විසූ වයෝවෘද්ධම ස්වාමීන් වහන්සේ වූහ. උන්වහන්සේට අවශ්‍ය උපස්ථාන කිරීමට ශිෂ්‍යවරයෙකු නොවීය. ඒවා සිදු කළේ ගිහි පිංවතුන් විසිනි. මෙවැනි තත්ත්වයක් යටතේ මෙම විහාරස්ථානයට භික්ෂුන් වහන්සේ නමක් අත්‍යවශ්‍යව තිබුණි. එවැනි වාතාවරණයක් යටතේ ගෝනලගොඩ ජනතාවට පිහිටවීම සඳහා තම පෞද්ගලිකත්වය පසෙක තබා, පහසුකම් පසෙක තබා ගෝනලගොඩ ශ්‍රී තිලකාරාම විහාරස්ථානයට වැඩම කරවීමට අප කථානායක ගරු හොරන්ගල්ලේ මහින්ද ස්වාමීන් වහන්සේ අනුකම්පා සහගතව තම කැමැත්ත පළ කළහ. එය නායක හාමුදුරුවන්ට වගේම ගමේ දායක දායිකාවන්ටද ඉමහත් අස්වැසිල්ලක් විය. එහෙත් උන්වහන්සේට අධිවේගී ජීවිතයක් ගත කිරීමට සිදුවිය. තත්ත්වය එසේ තිබියදී 2001 වසරේදී උන්වහන්සේගේ ගුරුදේව ගරු ගෝනලගොඩ ශ්‍රී ප්‍රේමරතන නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් ශ්‍රී දේවගිරි විහාරස්ථානයේ විහාරාධිපති ධුරයත්, 2003 වසරේදී ගරු මාපලගම ශ්‍රී තිලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයත් භාරගෙන එම කටයුතු කිරීමට මහින්ද නායක හිමියන්ට සිදුවිය. ඊට අමතරව ප්‍රදේශයේ ව්‍යක්ත විශාරද භික්ෂුන් වහන්සේලාගේ ඌනතාවයක් තිබීම නිසා ලැබෙන ආරාධනා නිමක් නොවීය. ඒ සියල්ලම උපේක්ෂා සහගතව ඉවසමින් ඉඳුරුපන්විල විද්‍යානන්ද පරිවෙනස්ථානයේ නියෝජ්‍ය පරිවෙනාධිපති ධුරයේද කටයුතු කළහ.
මේ අයුරින් උන්වහන්සේ විසින් ඉටු කරන ලද ජාතික, ආගමික, සාමාජික හා ශාස්ත්‍රීය කටයුතු සැළකිල්ලට ගෙන මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාවේ ඒකමතික තීරණය මත සද්ධර්ම කීර්ති ශ්‍රී ප්‍රේමරතන ගෞරව නාමය සහිතව ගාල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පුදවිය 2012 වසරේදී පිරිනමනට යෙදුණි. උන්වහන්සේගේ ජීවිතය වඩාත් ශෝභමානයවීමට එය හේතුවූ නමුත් උන්වහන්සේ තවදුරටත් නිහතමානී වූහ.
ගෝනලගොඩ ශ්‍රී තිලකාරාම විහාරස්ථනයේ විහාරාධිපති ධුරය භාර ගන්නා විට එහි කිසිදු පහසුකමක් නොවීය. අඩු තරමින් රාත්‍රී කාලයේ නිදාගැනීමටවත් සුදුසු පහසුකම් නොතිබුණි. එහෙත් කෙටි කාලයක් තුළ මේ වනවිට දර්ශණීය සංඝාවාසයක්, ධර්ම ශාලාවක්, චෛත්‍යයක් බෝධි ප්රාකාරයක්, විහාරස්ථානයට ළඟාවීමට මාර්ගයක්, විහාරස්ථානයට ප්රවේශවන මාර්ගයට ආසන්නව තොරණක් ඇතුළු පහසුකම් රැසක්ම ඇති කිරීමට මහින්ද නාහිමිපාණෝ සමත්වී ඇත. ඊට අමතරව විහාරස්ථානයේ තිබෙන කුඩා නමුත් දර්ශනීය බුදු මැඳුර වටකොට සැලසුම් සකස්කර මේ වන විට ඉතා දෘෂ්කරතා මධ්‍යයේ එහි කටයුතු නිම කිරීමට උත්සාහ කරමින් පසුවෙති.
ඒ අනුව මේ වනවිට ගෝනලගොඩ ග්‍රාමය ඒකාලෝක කරමින් 77 වැනි වියට පා තැබූ ගෝනලගොඩ ශ්‍රී තිලකාරාමය සහ පොල්පැලකැටිය ශ්‍රී දේවගිරි විහාරස්ථානය යන උභය විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ප්‍රේමරතන ගාලු දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති ගරු හොරන්ගල්ලේ මහින්ද නායක ස්වාමීන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් ශාසනික, ජාතික, සාමාජික හා ශාස්ත්‍රීය මෙහෙවර තවදුරටත් ඉටුකරලීමට තෙරුවන්ගේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි පතමු.