අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්‍දවිමල මහනාහිමි
වර්ෂ 1897 දී බණ්ඩාරගම ප්‍රදේශයේ රේරුකාන ගම්පියසෙහි උපන් රූබෙල් ගුණවර්ධන කුලකුමරු, වර්ෂ 1906 දී සසුන්ගත වූයේ බුරුම රටවාසී පූජ්‍ය යූ. විනයාලංකාර නාහිමියන් යටතේ - උන්වහන්සේ මෙරටට වැඩම කර සිටි සමයෙක ය. නමින් පූජ්‍ය රේරුකානේ චන්දවිමල වූ ඒ සාමණේර හිමියෝ නො බෝ දිනෙකින් ම ගුරු හිමියන් සමග බුරුම රටට වැඩම කළ හ. බුරුම බසින් දහම් හදාරා එහි දී ම උපසම්පදාව ද ලද හ. දහමත් විනයත් සිත්හි දරා යළි මෙරටට වැඩම කළ පූජ්‍ය චන්දවිමල හිමියෝ පසු කලෙක ශ්‍රී ලංකා ශ්වේජින් නිකායෙහි මහානායක ධුරයට පත් වූ හ. ආර්යයන් වහන්සේ නමකැ යි සැදැහැවතුනගේ බුහුමන් ලත් උන්වහන්සේ, වර්ෂ 1997 දී අපවත් වන විට ශ්‍රමණ සාරුප්‍ය ලෙස චාම් ව අවසන් කටයුතු කරන මෙන් කල්තබා උපදෙස් ලබා දී තිබිණ.
අතිපූජ්‍ය චන්දවිමල මහනාහිමියෝ නූතන ලක්වැසි බොදුනුවන්ගේ ප්‍රමුඛාචාර්යයෝ වෙති. දශක කිහිපයක් තිස්සේ ලක් බොදුනුවනට ධර්ම ඥානය ලබා දුන් ප්‍රාමාණික ග්‍රන්ථ මාලාවෙහි කතුවරයාණෝ උන්වහන්සේ වෙති. බුද්ධ ශාසනයෙහිත් ඒ ඇසුරේ ගොඩනැඟුණු බෞද්ධ සංස්කෘතියෙහිත් සියලු පැතිකඩ එකී දහම් පොත්වලින් පරිමණ්ඩලාකාර ලෙස ආවරණය කෙරේ. භාවනාව, අභිධර්මය, භික්ෂු විනය, පොහොය දින ආගමික කටයුතු ආදිය හා සබැදි සසුන් පිළිවෙත් මෙකලට ඔබින සේ බුද්ධිගෝචර ආකාරයෙන් සන්නිවේදනය කරන අතර ම, ආරක්ෂක ගාථා බන්ධන ආදි ගුප්ත සාංස්කෘතික ශේෂයන් දෙස ගෞරව සම්ප්‍රයුක්ත වූ දයාර්ද්‍ර බැල්මක් හෙළීමට ද අතිපූජ්‍ය චන්දවිමල මහනාහිමියෝ පරෙස්සම්සහගත වූ හ.
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් “ශ්‍රී ධර්ම ශ්‍රී” සඟරාවෙහි ලියා පළ කරන ලදුව, පසු ව වර්ෂ 1957 දී මුද්‍රිත “නිර්වාණ වාදය” නමැති පොතට ඇතුළත් වූ දුර්ලභ දහම් ලිපියක් මෙසේ පළ කෙරේ.
බෞද්ධ වූ සියල්ලන් විසින් ම නිර්වාණය ලබා ගැනීමට බලාපොරොත්තු වන නමුත් ඔවුන් අතුරෙන් බොහෝ දෙනෙක් එය කෙසේ ලැබිය යුතු දැයි නො දනිත්. එහෙයින් අයථා ක්‍රමයන් ගෙන් නිර්වාණය ලබා ගැනීමට බලාපොරොත්තු වන බෞද්ධයන් සඳහා නිර්වාණය ලැබිය යුතු ආකාරය සංක්ෂේපයෙන් දක්වනු ලැබේ.
පෘථිවියෙහි රෝපිත බීජ තෙත් ගතිය ඇති කල්හි වෘක්‍ෂ ලතා උපදවන්නාක් මෙන් තෘෂ්ණාව නමැති තෙත් ගතිය ඇති කල්හි කුශලාකුශල කර්ම නමැති බීජ විපාකභූත අභිනව භව උපදවාලීම හේතු කොට ගෙන සංසාරය නො සිඳී පවතී. තෙත් ගතිය නැති කල්හි බීජ වියළී ගොස් වෘක්‍ෂලතා නූපදවා ම අතුරුදන් වන්නාක් මෙන් තෘෂ්ණාව නැති කල කුශලාකුශලකර්ම විපාකභාවයට නො පැමිණ අතුරුදන් වෙති. එකල්හි භවයෙහි නැවත පිළිසිඳගැනීමක් නො වන හෙයින් ස්කන්ධ පරම්පරාවේ සිඳීම වේ. ස්කන්ධ පරම්පරාවේ පැවැත්ම නිර්වාණයාගේ විරුද්ධ පක්‍ෂය හෙයින් ඊට හේතු වන තෘෂ්ණාව නැති කිරීමෙන් ම නිර්වාණය ලැබිය යුතු වේ. නිර්වාණ ප්‍රතිලාභයට තෘෂ්ණාව නැති කිරීම හැර අන් උපක්‍රමයක් නොමැත්තේ ය. තෘෂ්ණාව වනාහි සංස්කාරයන්ගේ අනිත්‍යය, දුඃඛය, අනාත්මය යන ලක්‍ෂණත්‍රය නො දැනීම හේතුකොට පවත්නා වූ නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගැනීම නිසා ම පවත්නේ ය. ගිනිඅඟුර කොපමණ දිලිසෙන නමුත් ගත හොත් අත දන බව ප්‍රත්‍යක්‍ෂ ව දන්නා තැනැත්තාට එය ගනු කැමැත්තක් නූපදී. එමෙන්ම සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණය ප්‍රත්‍යක්‍ෂ කරගත් පුද්ගලයාට කිසි කලෙක ස්කන්ධයන්හි තෘෂ්ණාවක් හට නො ගනී. එහෙයින් නිර්වාණ ප්‍රතිලාභය පිණිස සංස්කාරයන්ගේ ලක්‍ෂණ ප්‍රතිවේධය කර ගැනීමෙන් ම තෘෂ්ණාව දුරු කළ යුතු වේ.
ලක්‍ෂණ ප්‍රතිවේධය කරගන්නා පිළිවෙළ චක්‍ෂමානාකාරයෙන් දත යුතු.
යෝගාවචර පුද්ගලයා විසින් පළමු කොට නාමරූප ධර්මයන්ගේ විශේෂ ලක්‍ෂණ, අනිත්‍යාදි සාධාරණ ලක්‍ෂණ, ඔවුන්ගේ උත්පත්ති හේතු ආදිය දක්වන ශාස්ත්‍රය ඉගෙනගත යුතු වේ. ඒ දැනීමට විදර්ශනාභූමි ය යි කියනු ලැබේ. යථොක්ත ශාස්ත්‍රය ඉගෙන විදර්ශනා භූමියෙහි පිහිටි යෝගාවචරයා විසින් පරිශුද්ධ ශීලයෙහි පිහිටා සියලු පළිබෝධ දුරු කොට විවේකස්ථානයෙක්හි සිට නැවත නැවත නාමරූපයන්ගේ අනිත්‍යාදි ලක්‍ෂණත්‍රය මෙනෙහි කළ යුත්තේ ය. මීට විදර්ශනා වැඩීම ය යි කියනු ලැබේ. මෙසේ නැවත නැවත ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරන්නා වූ කාලයෙහි යෝගාවචරයාගේ ඥානය අනුක්‍රමයෙන් වර්ධනය වේ. මෙසේ වර්ධනය වෙමින් පවත්නා වූ ඥානය යම් කලෙක වර්ධනය වී නිෂ්ඨාවට පැමිණියේ වේ ද එකල්හි පළමු කොට ඉගෙනගත් අවස්ථාවෙහි පැවැති දැනීමට වඩා අතිශයින් ප්‍රණීත වූ හිරු දහසක් උදා වූ කල පවත්නා වූ ආලෝකය මෙන් අතිශයින් ආලෝකවත් වූ සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණ ප්‍රත්‍යක්‍ෂ ව පෙනෙන්නා වූ ඥානය පහළ වේ. ඒ මහා ආලෝකයෙන් නාමරූපයන්ගේ අසාරත්වය දුටු යෝගාවචරයාට නාමරූපයන් සම්බන්ධ නිත්‍ය, සුඛ, ආත්ම සංඥාවන් සම්පූර්ණයෙන් දුරු වී තෘෂ්ණාව මතු නූපදනාකාරයෙන් නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධය සමග ම තෘෂ්ණාව නමැති තෙත්ගතිය ඇති කල්හි ම මතු උපදනා වූ භවපරම්පරාව සම්බන්ධ නාමරූප ධර්මයෝ ද අනුත්පාද නිරෝධයෙන් නිරුද්ධ වෙත්. නාමරූප ධර්මයන්ගේ නූපදනා ස්වභාවය වූ ශාන්තිය ම නිර්වාණය හෙයින් ඒ ක්‍ෂණයෙහි හෙතෙම නිර්වාණයට ද පැමිණියේ වේ. මාර්ග ඥාන ය යි ව්‍යවහාර කරනු ලබන්නේ යථෝක්ත වෘද්ධි ප්‍රාප්ත ඥානයට ම ය යි දත යුතු. මෙසේ අර්හත් මාර්ග ඥානය පහළ වූ පුද්ගලයාට මතු භවයෙහි ඉපදීම නොමැති මුත් අතීත හේතුවෙන් හටගත් නාමරූප ධර්මයන් පරිනිර්වාණය දක්වා පැවැතී පරිනිර්වාණයෙන් සියල්ල අතුරුදන් වී නිෂ්ඨාවට පැමිණේ. මේ නිර්වාණය ලැබිය යුතු ආකාරය සංක්‍ෂේපයෙන් දැක්වීමයි.
මෙසේ ඥානය ම වර්ධනය කොට වෘද්ධි ප්‍රාප්ත ඥානයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධය කොට තෘෂ්ණාව දුරු කොට නිර්වාණය ලබනවා මිස දන්දීම් ආදි යම්කිසි කුශල කර්මයක් කොට “මේ හේතුවෙන් තෘෂ්ණාව ක්‍ෂය වේ වා”ය කියා හෝ “නිර්වාණය ලැබේ වා” කියා හෝ ප්‍රාර්ථනා කිරීමෙන් ම නිර්වාණය කිසිසේත් ලැබිය නො හේ. දන්දීම් ආදි සකල ලෞකික කුශල කර්මයෝ ම මතු භවයෙහි ප්‍රතිසන්ධි භවංගාදීන්ගේ වශයෙන් විපාක භාවයට පැමිණ සංසාරය ම දීර්ඝ කරන්නා වූ ධර්ම හෙයින් ඔවුහු නිර්වාණයාගේ විරුද්ධ පක්‍ෂයෙහි සිටියාහු වෙත්. අන්ධකාරයෙන් ආලෝකය ලැබිය නොහැකිවාක් මෙන් නිර්වාණ ප්‍රතිලාභයට බාධක වූ සංසාරය ම දීර්ඝ කරන්නා වූ පුණ්‍ය කර්මයන් ගෙන් නිර්වාණය ලැබිය නොහැකි බව දත යුතු. තව ද නිර්වාණය හටගැනීමක් නොමැති ව අතීතකාලිකාදී භේද රහිත ව සියලු කල්හි ම එකක් ව ම පවත්නා වූ ධර්මයක් වූ හෙයින් මනුෂ්‍යාත්මභාව, දිව්‍යාත්මභාව, බ්‍රහ්මාත්මභාවාදිය මෙන් ලෞකික වූ හෝ අලෞකික වූ හෝ කිසි කුශලයක්හුගේ ඵලභාවයෙන් ලැබීමට යෝග්‍ය වූ ධර්මයක් ද නො වේ. එහෙයින් ද දානාදි පින්කම්වලින් නිර්වාණය නො ලැබිය හැකි බව දත යුතු.
සංසාර ප්‍රවෘත්තියට හේතු වන හෙයින් නිර්වාණ ප්‍රතිලාභයට බාධක වූ දානාදි කුශල කර්ම නො කර හැරීමෙන් ද නිර්වාණය ලැබිය නො හේ. කුමක් හෙයින් ද යත හොත්? ලෝකයෙහි තෘෂ්ණාව සහිත වූ කිසි සත්ත්වයෙක් හට කර්ම රැස් නො කොට විසිය නො හේ. සකල සත්ත්වයෝ ම කෑම්පීම් ඇඳීම් පැළඳීම් ආදි තම තමා අයත් කටයුතු කෙරෙත් ම ය.
ඔවුන්ගේ යථෝක්ත ක්‍රියා තෘෂ්ණා සහගත වී නම් මරණින් මතු දුර්ගතියට පැමිණවිය හැකි අකුශලකර්ම වෙත්. ප්‍රත්‍යවේක්‍ෂා ඥාන සහගත වී නම් සුගතියට පැමිණවිය හැකි කුශලකර්මයෝ වෙත්. එහෙයින් දානාදි පුණ්‍යකර්ම නො කළේ නමුත් කර්ම රැස් කිරීමෙන් නොවැළකිය හැකි හෙයින් දානාදි කුශලකර්ම නො කර සිටීමෙන් කර්මක්‍ෂය කොට නිර්වාණය ලැබිය හැක්කේ ද නො වේ.
දානාදි කුශලක්‍රියා කිරීම නිරර්ථක ද? යත හොත්, සියලු සත්ත්වයෝ ම යට කී පරිද්දෙන් තම තමාගේ කටයුතු කර ගැනීමේ වශයෙන් ම බොහෝ කර්ම රැස් කරන හෙයින් යථෝක්ත පාපක්‍රියාවන්ගේ විපාකදානයට අවකාශ නො කොට තමාගේ විපාක ගෙනදිය හැකි වූ දානාදි බලසම්පන්න කුශලකර්මයන් නො කරන්නා වූ තැනැත්තාට දුර්ගතියෙහි ම විසීමට යථෝක්ත තෘෂ්ණා සහගත කෑම් පීම් ආදි කර්මයන් ම ප්‍රමාණ වෙත්. දුර්ගති භවයක සිට කිසි කලෙක ලක්‍ෂණ ප්‍රතිවේධයට සමර්ථ වන තරමට ප්‍රඥාව දියුණු කළ නො හේ. එහෙයින් ප්‍රඥාවර්ධනය කිරීමට යෝග්‍ය වූ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඥානයෙන් යුක්ත වූ සම්පත්තිභවයක් ලබාගෙන ම ලක්‍ෂණ ප්‍රතිවේධය කළ යුතු හෙයින් නිර්වාණය සඳහා දානාදි කුශල කර්මයෝ ද කළ යුත්තාහු ම ය. තව ද තෘෂ්ණා සහිත පුද්ගලයා සංසාරයෙහි ම හැසිරෙන්නෙකු වූ හෙයින් ඔහුට සුගති සංසාරයෙහි වත් හැසිරීමට දානාදි කුශලකර්ම හේතුවෙන් ලැබෙන හෙයින් ද දානාදි කුශලකර්ම කළ යුත්තේ ය. එහෙයින් සංසාරයම දීර්ඝ කරවන මුත් දානාදි ලෞකික කුශලයන්ගේ කිරීම ද නිරර්ථක නො වේ.
නිර්වාණ ප්‍රතිලාභයට බාධක ධර්මයෝ ය යි කියන ලද ලෞකික කුශලකර්ම රැස් කොට නිර්වාණයට පැමිණිය හැකි බව ද නොයෙක් තැන්වල දක්වා තිබේ. එහි විනිශ්චය මෙසේ දත යුතු. වර්ෂාව ධාන්‍ය උපදවන්නේ ය යි කිය හැකිවේ. නුමුත් ගොවීන් විසින් ධාන්‍ය වැපිරීම නො කරන ලද්දේ නම් කපක් මුලුල්ලෙහි මුත් වසිනා වර්ෂාව ධාන්‍ය විනාශය ම කරත හොත් මිස එක ධාන්‍ය බීජයකුදු නූපදවන්නේ ම ය. එහෙයින් ධාන්‍යෝත්පාදනය ගොවීන්ගේ ධාන්‍ය වැපිරීමෙන් ම සිද්ධ වේ. වැපිරීමට වර්ෂාව උපකාරක වන හෙයින් වර්ෂාව ධාන්‍ය උපදවන්නේ ය යි කීම ද අසත්‍යයක් නො වේ. මෙහි දානාදි ලෞකික කුශලකර්මයන්ගේ නිර්වාණ ප්‍රතිලාභයට හේතු වීම ධාන්‍යෝත්පාදනයට වර්ෂාව හේතු වනු මෙන් ද ඥාන වර්ධනය කිරීම ගොවීන්ගේ වැපිරීම මෙන් ද දත යුතු. වර්තමාන කාලික බෞද්ධයන් අතරෙහි නිර්වාණ ප්‍රතිලාභයට ස්වල්ප මාත්‍රයක් හේතු වන නිර්වාණයට සර්වප්‍රකාරයෙන් විරුද්ධ වූ ලෞකික කුශලකර්ම නිර්වාණය සඳහා කරන්නවුන් ස්වල්ප වශයෙන් දක්නා ලැබේ. අවශ්‍යයෙන් ම කළ යුතු ඥාන වර්ධනය හෙවත් විදර්ශනා වැඩීම කරන්නවුන් භික්‍ෂූන් අතරෙහි පවා දුර්ලභ වී තිබේ. ඊට හේතුව නම්, ලෞකික කුශල ක්‍රියා කොට නිර්වාණය ප්‍රාර්ථනා කළ පමණින් නිර්වාණය ලැබිය හැකිය යන මුළාවයි. යට කී පරිදි නාමරූපයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම යන ලක්‍ෂණත්‍රය දැනගැනීම ද ඉතා දුෂ්කර වූවකි. භව බොහෝ ගණනක් මුළුල්ලෙහි උත්සාහ කොට මිස යට කී පරිදි ලක්‍ෂණ ප්‍රතිවේධය වීම දක්වා ඥානය වර්ධනය කරගැනීම ද දුෂ්කර වේ. අතීතයෙහි විදර්ශනා වැඩීමක් නො කළා වූ තැනැත්තන් විසින් ලෞකික කුශලකර්මයක්හුගේ ආනුභාවයෙන් බුදුකෙනකුන් ගෙන් බණ අසනු ලැබුවේ නමුත් මාර්ගඵල ලැබිය නො හේ. එහෙයින් ස්වල්ප වශයෙන් මුත් විදර්ශනා වැඩීම කළ යුත්තේ ය. දානාදි ලෞකික කුශලකර්ම වනාහි සර්වඥ ශාසනය ඇති කල්හි ද නැති කල්හි ද කළ හැකි වේ. විදර්ශනා වැඩීම වනාහි සර්වඥ ශාසනයක් නොමැති කලක කළ හැකි නො වේ. කුමක් හෙයින් ද? යත හොත්, අනිත්‍යාදි ලක්‍ෂණ බුදුවරුන්ට මුත් සෙස්සන්ට ස්වශක්තියෙන් දත හැකි නො වේ, එහෙයිනි. යමෙක් ස්වල්ප වශයෙන් වත් විදර්ශනාභාවනාව නො කෙරේ නම් හෙතෙම භික්‍ෂුවක් වූ නමුත් සර්වඥශාසනයෙන් ලැබිය යුතු ප්‍රයෝජන ලබාගත් පුද්ගලයෙක් නො වේ. එහෙයින් සකල සත්පුරුෂයන් විසින් ම යටත් පිරිසයින් ධාතු සතර මුත් වෙන් කර ගත හැකි පරිදි ඉගෙන විදර්ශනා භාවනාව කරනු ලැබේ වා.