අනගාරික ධර්මපාල කාර්ය සාධනය

cmadurawala
8 Min Read

මහාචාර්ය නන්ද ධර්මරත්න

යටත්විජිත පාලන ක්‍රමය මෙරට තහවුරුවීමත් සමග දිවයිනේ බහුතර ජන කොටස වන බෞද්ධයන්ට සහ බුද්ධ ශාසනයට බොහෝ සෙයින් සිදු වූයේ යහපත් ප්‍රතිඵලයන්ට වඩා අයහපත් ප්‍රතිඵලයන්ය. බෞද්ධ මහජනතාවට සිදුවුණු මෙම අසාධාරණය වඩාත් කැපී පෙනෙන්නට වූයේ මෙරට බ්‍රිතාන්‍ය පාලන සමය තුළදීය. ඉංග්‍රීසි පාලන සමාරම්භය තුළම ඔවුන් බෞද්ධ ජනතාව සහ බුදුදහම මැඬලීමට භාවිත කළ ප්‍රබලතම උපක්‍රමය වූයේ මෙරට ක්‍රිස්තියානි ආගම පැතිරවීමයි. එකල දිවයිනට පැමිණි බැස්ටිස් (ක්‍රි.ව. 1812), වෙස්ලියන් (ක්‍රි.ව. 1814), ඇමරිකන් (ක්‍රි.ව. 1816) හා චර්ච් (ක්‍රි.ව. 1818) යන මිෂනාරි සංවිධාන මෙරට ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරය ව්‍යාප්ත කරන ලද පුරෝගාමිකයෝ වූහ. මුද්‍රණ ශිල්පය මෙරට ව්‍යාප්ත වී යෑමත් සමග ක්‍රිස්තියානි ධර්මය පතුරුවාහැරීමේ මෙම ව්‍යාපාරය ඉතා සාර්ථක අන්දමින් සිදුකොට ඇති බව පෙනේ. එනම් යථෝක්ත මිෂනාරි සමාගම් විසින් පිහිටුවන ලද මුද්‍රණාල මගින් නිකුත්කොට ඇති පුවත්පත්, ලිපිලේඛන හා සඟරා මාර්ගයෙන් ක්‍රිස්තියානි ධර්මයේ අදහස් වඩාත් පහසුවෙන් බෞද්ධ ජනතාව අතරට ගෙනගොස් ඇති හෙයිනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුදහමත්, පෙරදිග සංස්කෘතියක් වෙනුවට ක්‍රිස්තියානි ආගමත් බටහිර සංස්කෘතියත් රටේ ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. විශේෂයෙන් ක්‍රිස්තියානි මිෂනාරීන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට හා බුද්ධ ශාසනයට එරෙහිව කරගෙන ගිය මෙම ප්‍රචාරක කටයුතුවල වඩාත් වර්ධනයක් සිදුවුණේ දහනව වැනි සියවසේ අගභාගයේදීය.

එම අවධියේදී යථෝක්ත ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයට සාර්ථකව මුහුණදීම සඳහා ගිහි පැවිදි බෞද්ධයන්ට සංවිධානය වීමට සිදු විය. විදේශීය පාලනය නිසා යටපත් වී ගිය බුදුදහමටත් බෞද්ධයන්ගේ අයිතිවාසිකම්වලටත් යළි නිසි ස්ථානයක් ලබාදීමේ අරමුණින් යුතුව ගොඩනංවන ලද එම ව්‍යාපාරය ජාතික ශාසනික පුනරුද ව්‍යාපාරය හෙවත් බෞද්ධ ප්‍රබෝධය නම් විය. දහ නව වැනි සියවසේ ඇති වූ මෙම බෞද්ධ ප්‍රබෝධය වූ කලී සියවස් තුනකට ආසන්න කාලයක් විජාතික රජයන් විසින් බුදුදහම මැඬලීමට ගනු ලැබූ උත්සාහය ව්‍යර්ථ කළ මහා ප්‍රයාමයකි.

එම අවධියේදී බෞද්ධ ප්‍රබෝධය මෙහෙයවන ලද බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම භික්ෂුන් වහන්සේ නමක් වූයේ මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගෙන් පසුව ජාතික ශාසන පුනරුද ව්‍යාපාරයෙහි උද්දීපනයක් ඇති කිරීම සඳහා පුරෝගාමී වූයේ ගිහි බෞද්ධ නායකයකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාය.

අගනුවර ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ධර්මගුණවර්ධනගේ වැඩිමහලු පුතණුවන් වශයෙන් ක්‍රි.ව. 1864 සැප්තැම්බර් 17 දින ජන්ම ලාභය ලැබූ අනගාරික ධර්මපාලතුමාට එවක පැවති සිරිතට අනුව දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නම තැබූහ.

එවක පැවති ආගමික පසුබිම මත මෙතුමාට කුඩා අවධියේම බැප්ටිස් සිංහල පාසල, ශාන්ත බෙනඩික් විද්‍යාලය, කෝට්ටේ ක්‍රිස්තියානි විදුහල සහ ශාන්ත තෝමස් විද්‍යාලය යන පාඨශාලා මගින් මිෂනාරි අධ්‍යාපනය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. පසුව ධර්මපාලතුමාට මිෂනාරී ව්‍යාපාරය දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් තම ව්‍යාපාරය දියත් කිරීමට පසුබිම උදාවූයේ මෙම පාඨශාලාවලදී ක්‍රිස්තියානි පූජකවරුන් වෙතින් බයිබලය හැදෑරීම නිසා මිෂනාරී ධර්මයේ ඇති නිස්සාර බව අවබෝධවීම හේතුවෙන් බව පිළිගත හැකිය. ධර්මපාලතුමා මේ අන්දමට මිෂනාරී පරිසරයක අධ්‍යාපනය ලැබූවත් පානදුරාවාදයෙන් පසුව බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයෙහි හටගත් උණුසුම් වාතාවරණයත් සමග තම මෑණියන් වූ මල්ලිකා හේවාවිතාරණ මැතිනියගෙන් ලද ආභාසය හැරෙන්නට බෞද්ධ ප්‍රබෝධය මෙහෙයවන ලද එවකට සිටි ශ්‍රේෂ්ඨතම බෞද්ධ නායකයන් දෙදෙනකු වන අතිපූජ්‍ය හික්කඩුවේ සිරි සුමංගල නාහිමිපාණන්ගේ සහ පූජ්‍ය මිගෙට්ටුවත්තේ සිරි ගුණානන්ද යන නාහිමිපාණන් වහන්සේලාගෙන් ලද ආභාසය මෙතුමා ජාතික හා ශාසනික පුනරුද ව්‍යපාරයෙහි ක්‍රියාකාරී බෞද්ධ නායකයකු බවට පත්කරලීමට බොහෝදුරට උපස්තම්භක වූ බව පෙනේ. එතුමා විසින් ලියා තබන ලද එක් ස්වයංචරිතාපදාන ලිපියක එන සඳහන මෙය සනාථ කළ හැකි වැදගත් නිදසුනකි.

වයින් පානයෙහි යෙදෙන, මස් බුදින, සැප සම්පත්වලට කැමති මාගේ මිෂනාරි ගුරුවරුන් මෙන් නොව භික්ෂූහු නිහතමානි මෙන්ම පමණ දැන පරිහරණය කරන්නෝ වූහ. ඔවුන්ගේ සමාගමය මම ප්‍රිය කළෙමි. එකත්පසව හිඳ මාගේ හිසට ඔරොත්තු නොදෙන තරම් වූවත් ඔවුන්ගේ ධර්ම කතාවලට සවන් දුනි.

යථෝක්ත අන්දමට අනගාරික ධර්මපාලතුමා බුදුදහම සම්බන්ධව ලබාගත් දැනුම් සම්භාරය හේතුවෙන් බෞද්ධ වාතාවරණයක් යටතේ දේශීයත්වය ඉස්මතු කරමින් නිසි ජාතික ආගමික පුනරුදයක් ඇති කළ යුතුයි යන්න පිළිබඳව මනා වැටහීමකින් යුක්තව සිටි බව පෙනේ. එම සංකල්පය ක්‍රියාත්මක කරලීම පිණිස මෙතුමාට බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ප්‍රවිෂ්ට වීම සඳහා පසුබිම උදාවූයේ ඕල්කට්තුමාගේ ලංකාගමනයත් සමගය.

ඕල්කට්තුමා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කොට ගිහි පැවිදි බෞද්ධ ජනතාව ප්‍රබෝධවත් කරමින් පවත්වන ලද දේශනා මාලාවට සහභාගි වීම සඳහා ධර්මපාලතුමාට ද අවස්ථාව උදාවීම මෙතුමාට ජාතික ආගමික සේවාව පිළිබඳ ප්‍රායෝගික වශයෙන් පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීමට හේතු වී තිබේ. මෙම සංචාරයේදී ධර්මපාලතුමාට ස්වකීය අදහස් ජනතාව හමුවේ තැබීමට පසුබිම උදා වූ බව පෙනේ. එහෙයින් වැඩිකල් නොයෙදීම මෙතුමා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් පසුව දිවයිනේ ජාතික, ආගමික පුනරුද ව්‍යාපාරය මෙහෙයවන ලද දක්ෂතම කථිකයා බවට පත්විය. ඒ අනුව බෞද්ධ ප්‍රබෝධය තුළ දේශීයත්වයෙහි පුනර්දීප්තියක් ඇති කිරීම සඳහා අනගාරික ධර්මපාලතුමා දියත් කළ අංශ කිහිපයකින් සමන්විත විය.

සිංහල බෞද්ධයන්ගේ ප්‍රෞඪ අතීතයත් සිංහල සංස්කෘතියේ ඇති විශිෂ්ට අතීත උරුම දායාදයනුත් ඉස්මතුකොට පෙන්වා දී පරාධීන හැඟීම්වලින් පීඩිතව එවකට බහුතරයක් වශයෙන් සිටි බටහිර අනුකාරකයන් වන සිංහල බෞද්ධ ජනතාව ජාතික හැඟීම්වලින් පුබුදුවාලීමට ගිහියකු වශයෙන් පළමුවෙන් ම රටපුරා ගොස් ඇත්තේ අනගාරික ධර්මපාලතුමාය. එම සංචාරයේදී මෙතුමා පවත්වන ලද දේශන මාලාව මගින් බෞද්ධ ජනතාවගේ එම බටහිර අනුකාරක සිරිත් විරිත් වැලඳ ගැනීමේ ප්‍රතිපත්තිය ප්‍රථමයෙන්ම ඉමහත් දෝෂ දර්ශනයට ලක්කොට ඇති බව සමකාලීන පුවත්පතක් වූ සිංහල බෞද්ධයා පුවත්පතින් අනාවරණය වේ.

පුරාතන සිංහලයන්ට ස්වභාවයෙන්ම උරුම වී පුරුදු වී තිබුණු සම්‍යක් ප්‍රතිපත්ති සියල්ලම පාහේ අතුරුදන් වී සිංහලිකයෝ යැයි ගිණිය නොහැකි තැනට පැමිණ සිටින තරුණ තරුණියෝ දැනට ඉතා බොහෝය. එදා වේල කෑමට පවා වත්කමක් නැති දුප්පත් තරුණ තරුණියෝ පර සිරිත ම ප්‍රාර්ථනා කරති. කෑම් බීම්, ඇඳුම් පැලඳුම්, යාම් ඊම් සියල්ලම පරසිරිත් ලෙස ම පුරුදු කරගනිති.

අපේ සිංහල ජාතිය දියුණු කරන්ට ද අපේ උතුම් වූ බුද්ධාගම ආරක්ෂා කරන්ට ද අද ශ්‍රේෂ්ඨ සිංහලයෝ අප අතර නැත. කලිසම්කාර බුද්ධ ධර්මය නොදත් සිංහල කතා කරන්ට නොහැකි සංකර සිංහල ද්‍රෝහීන් නිසා අපේ උතුම් ජාතිය නැතිවෙන තැනට පැමිණ තිබේ යනුවෙන් වටහා දෙමින් මෙතුමා අධිරාජ්‍යවාදී පාලනය යටතේ සිංහල බෞද්ධ ජනතාව වැලඳගෙන සිටි බටහිර අනුකාරක ප්‍රතිපත්ති විවේචනයට ලක්කිරීමට පුරෝගාමී වී ඇත.

පූර්වෝක්ත අන්දමින් සිංහල බෞද්ධයන් බොහෝදෙනකු බටහිර අනුකාරකයන් බට පත්කරලූ අධිරාජ්‍යවාදී පාලකයන් ද හෙළාදැකීම සඳහා ධර්මපාලතුමා පවත්වන ලද දේශනයන් වඩාත් ප්‍රබල වූ බව පෙනේ.

‘… සුද්දා සිංහල වර්ගයාගේ හතුරකු යනු මාගේ කල්පනාවයි. මොහු මේ රටට පැමුණුනු දින පටන් අපේ ජාතියට ද අපේ උතුම් නිර්මල ආගමට ද අන්තරායන් පැමිණ තිබේ. සුද්දා මේ රටට පැමිණි තැන් පටන් අපට අවබෝධ කළ ධර්මය නම් සත්ව ඝාතනය, ගෙරිමස් කෑම, හොරකම්, කාම මිථ්‍යාචාරය, බොරුකීම, මත්පැන් බීම,

අසමගිය, ව්‍යාපාදය හා මිථ්‍යාදෘෂ්ටියත් ය…’ යනුවෙන් ජනතාව ඉදිරියේදී මෙතුමා තබන ලද අදහස්වලින් මෙය සනාථ වේ.

ධර්මපාලතුමා විසින් මෙරට බෞද්ධ ජනතාව හමුවේ පවත්වන ලද මෙබඳු බොහෝ දේශනයන් නිසා මේ වනවිට බටහිර සංස්කෘතියට වහල්වී සිටි ගිහි බෞද්ධයන්ගේ ජනවිඥානය පුබුදුකරමින් ඔවුන්ගේ බොදු චාරිත්‍ර ධර්මයන් මතුකර ගැනීමෙහිලා බෙහෙවින් උපස්තම්භක වී ඇත.

‘… හැමදාම උදේ හෝ හවසට ශරීරය ජලයෙන් පවිත්‍ර කරගනින් මෛත්‍රි භාවනාව ඉගෙන ගනින් පසළොස්වක දින අටසිල් සමාදන් වෙයන්… දෙවියන්ට පින්දීපන්… සිංහල ජාතික සහ බුද්ධාගම දියුණුවට නිතරම වීර්ය කටයුතුයි…’ යනුවෙන් පෙන්වා දෙමින් බෞද්ධ වත් පිළිවෙත්වලට ඔවුන් යොමුකරලීමට මෙතුමා පුරෝගාමී විය. ඒ අනුව ධර්මපාලතුමාගේ ආදර්ශ පාඨය වූ ‘සිංහලයිනි නැගිටිව්’ යන සංකල්පය දිවයින පුරා රැව්පිළිරැව් දෙන සටන් පාඨයක් වන තරමට එවකට සිංහලයන්ගේ හීන දින ගති නැති කොට බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඔස්සේ ක්‍රියාශීලී සිංහල ජාතියක් ගොඩනැඟීම සඳහා මෙතුමා ගමින් ගමට ගොස් සිය ව්‍යාපාරය මෙහෙයවා තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගිහි පැවිදි බෞද්ධ ජනතාව තුළ ආගමික හැඟීම් කුළුගන්වමින් ඔවුන් බෞද්ධ ප්‍රබෝධය වටා ඒකරාශී කිරීම සඳහා ධර්මපාලතුමාට සිය ව්‍යාපාරය සමාරම්භයේදී ම හැකි වූ බව පැහැදිලිය.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *