පරිවර්තනය: කසුන් හේමතිලක
විෂ සහිත එන්නත
සාමාන්‍ය සහ අසාමාන්‍ය යනුවෙන් දුක දෙයාකාර වේ. සාමාන්‍ය දුක යනු, සියලු සංස්කාරයන්ට නිසඟයෙන් උරුම ව පවතින ස්වභාව ලක්ෂණයක් වූ දුක ය. අසාමාන්‍ය දුක යනු බාහිරින් අප කරා ඇදී එන දෙය වෙයි. පහත නිදසුන ඇසුරෙන් ඒවා වෙනස් වන්නේ කෙසේ දැ යි බලමු: ඔබ රෝගී ව වෛද්‍යවරයකු හමු වීමට යන්නේ යැ යි සිතන්න. වෛද්‍යවරයා ඔබට එන්නතක් ලබා දීමට තීරණය කරයි. එහි කටුව සම සිදුරු කරගෙන යන විට, කිසියම් වේදනාවක් හටගන්නා අතර එය හුදෙක් ස්වාභාවික දෙයකි. කටුව ඉවතට ගත් විට, වේදනාව පහ ව යයි. මෙය සාමාන්‍ය දුක වැනි ය. එය ගැටලුවක් නො වේ; සියලු දෙනා එය අත්විඳිති.
අසාමාන්‍ය දුක යනු දේවල් අල්ලාගැනීම තුළින් ඇති වන දුකයි. මෙය විෂ පිරුණ එන්නතක් විදගැනීමට සමාන ය. මෙය තවත් සාමාන්‍ය ආකාරයේ වේදනාවක් නො වේ; මෙය මරණයෙන් අවසන් වන වේදනාවයි!
වටිනා පෑන
සාමය යනු කුමක් දැ යි ඔබ අවබෝධ කර නො ගනී නම්, ඔබට කිසි දා එය සොයාගැනීමට නො හැකි වනු ඇත. නිදසුනක් ලෙස: ඔබගේ කමිසයේ දකුණු පස ඉදිරි සාක්කුවේ දමාගෙන නිතර රැගෙන යන ඉතා මිල අධික පෑනක් ඔබ සතු ව ඇතැ යි සිතන්න. කිසියම් දිනෙක, ඔබ එය යම් තැනක දමන නමුත් ඒ බව ඔබට අමතක වෙයි. පසු ව, සාමාන්‍යයෙන් පෑන තිබෙන තැනට අත පොවන ඔබට එය එතැන නොමැති බව වැටහෙයි. ඔබ බියට පත් වෙයි. ඔබ එය නැති වී ඇතැ යි සිතයි.
ඔබ බිය වනුයේ වැරදි අවබෝධය නිසා ය. ඔබ මෙකී සිද්ධියෙහි සත්‍යය නො දකින අතර, එහෙයින් – එහි ප්‍රතිඵලයක් ලෙස දුකට පත් වේ. ඔබ කිනම් දෙයක් කළ ද, ඔබට ඔබගේ පෑන නැති වීම සම්බන්ධයෙන් දුක් නො වී සිටීමට නො හැකි ය: “අහෝ මොන තරම් පාඩුවක් ද! මම කොපමණ මුදලක් ඒ වෙනුවෙන් වැය කළා ද? ඒත් දැන් ඒක නෑ නෙ!” එහෙත් එවිට ම ඔබට, “ආ ඔව් නෙ! මම නෑමට ගිය වෙලාවෙ පෑන කලිසමේ පසුපස සාක්කුවේ දාගත්ත නො වැ!” යි මතකයට එයි. ඔබට මෙය මතක් වූ මොහොතේ ම, ඔබ පෑන එතෙක් දැක නැති වුව ද, ඔබට සහනයක් දැනෙනු ඇත. ඔබ තව දුරටත් ඒ ගැන කනස්සලු නො වනු ඇත. තව ද, ඔබ ඇවිද යන අතරතුර ඔබගේ අත පසුපස සාක්කුව කරා යවා බලා එය ඇති බව පසක් කරගනී. මෙතුවක් ඔබගේ මනස ඔබව මුළා කරමින් හිඳ ඇත. කණගගාටුව ඇති වූයේ ඔබගේ අනවබෝධයෙනි. දැන්, නැවත ඔබගේ පෑන දැකීමෙන් ඔබගේ සැකය පහ ව යයි; ඔබගේ බිය පහ ව යයි. මේ ආකාරයේ සාමයක් ඇති වන්නේ ගැටලුවෙහි හේතුව දැකීමෙනි; දුකෙහි හේතුව දැකීමෙනි. ඔබගේ පෑන පසුපස සාක්කුවේ ඇති බව මතක් වූ සැණින් ඔබගේ දුක කෙළවර විය. සත්‍යය දැනගැනීම සාමය ගෙන දෙයි.
ගිනියම් වූ ගල්අඟුරු සහ කුරුල්ලා
ගිහි ජීවිතය එකවර සුවපහසු බවින් මෙන් ම දුෂ්කර බවින් ද යුක්ත වේ. කළ යුතු දේ කුමක් දැ යි අවබෝධ කරගැනීම පහසු වන නමුත් එය කිරීම අපහසු වේ. එය ඔබ ගිනියම් ව රත් පැහැගත් ගල්අඟුරු කැබැල්ලක් අතැති ව මා වෙත පැමිණ ඒ පිළිබඳ ව මැසිවිලි නඟන්නාක් වැනි ය. සරල ව ම එය අතහරින්නැ යි මා ඔබට පවසනු ඇත; එහෙත්, “මට එය සිසිල් වීමට ඇවැසි වේ,” යැයි පවසා ඔබ අතහැරීම ප්‍රතික්ෂේප කරනු ඇත. හොඳයි – එසේ නම් ඔබ එක්කෝ එය අතහැරිය යුතු ය; නැත්නම් ඔබ ඉතා ම ඉවසිලිවන්ත වීමට ඉගෙනගත යුතු ය.
“මා එය එසේ සරල ව අතහරින්නේ කෙසේ ද?” ඔබ විමසයි. “මා මගේ පවුල එසේ සරල ව අතහරින්නේ කෙසේ ද?” – හුදෙක් ඔබගේ හදවතින් ඔවුන් අතහරින්න. ඔබ ඔවුනට ඇති බැඳීම අතහරින්න. සැබැවින් ම ඔබට ඔබගේ පවුල කෙරෙහි යුතුකම් පවතී. ඔබ බිත්තර දමන ලද කුරුල්ලකු වැනි ය. ඒවා මත වාඩි වී රැකීමට සහ පැටවුන් කටුවෙන් එළියට ආ කල ඔවුන් රැක බලාගැනීමේ වගකීමක් ඔබ සතු ව පවතී. එහෙත් හුදෙක් ‘මගේ පවුල’ යන ආකල්පයෙන් සිතීම සිදු නො කරන්න. මෙපරිද්දෙන් සිතීම තවත් දුකක් ඇති වීමට හේතුවකි. ඔබ හුදකලා ව ජීවත් වීම මත හෝ අනෙක් අය සමග ජීවත් වීම මත හෝ ඔබගේ සතුට රඳා පවතිනු ඇතැ යි නො සිතන්න. ධර්මය සමග පමණක් ජීවත් ව සැබෑ සන්තුෂ්ටිය සොයාගන්න.
වියරු කොටියා
අපගේ හද කූඩුවක ජීවත් වන වියරු කොටියකු වැනි ය. එයට ඇවැසි දේ නො ලැබෙන කල්හි, එය ගොරවා කරදර ඇති කරයි. එය භාවනාවෙන් හීලෑ කළ යුතු ය.
අපගේ කෙලෙසුන් ද වියරු කොටියකු වැනි ය. සතිමත් බවින්, වීර්යයෙන්, ඉවසීමෙන් සහ දරාගැනීමේ ශක්තියෙන් තැනූ සවිමත් කූඩුවකට අප විසින් මෙම කොටියා දැමිය යුතු ය. අප එවිට ඌගේ සුපුරුදු ආශාවන් සන්තර්පණය නො කරන අතර, ඌ කෙමෙන් නිරාහාර ව මියැදෙනු ඇත.