ලෝකයේ කොටසක දැන් තවත් යුද්ධයක් ඇරඹී ඇත. ඉදිරියේ දී එයට රටවල් කීයක් පැටලෙනු ඇත් දැ යි යන්න අවිනිශ්චිත ය.
යුද්ධයක පරිමාණයේ ගැටුම් ඇති කරගැනීම මිනිස් ඉතිහාසය පුරා ම දක්නට ලැබෙන සිදුවීමකි. යුද්ධයේ අරමුණ එක් කණ්ඩායමක් අබිබවා තවත් කණ්ඩායමක බලය තහවුරු කරගැනීම ය.
ගැටුම් ඇති වන්නේ රටවල් අතර පමණක් නො වේ. මහා පරිමාණ යුද්ධ ලෙස නො වුණ ද ඊට යම් යම් සමානකම් දක්වන ගැටුම් කුඩා පරිමාණයෙන් ද පුද්ගලයන් අතර සිදු වේ. එකිනෙකා නුරුස්සන පාතාල සාමාජිකයන් වැනි සමාජ කණ්ඩායම් මෙන්ම අවි ආයුධ යොදාගෙන තම පවුලේ ම සාමාජිකයන් මිය පරලොව යවන අය ද මීට උදාහරණ ය.
මිනිසුන් කෙතරම් එකිනෙකා හා ගැටුණ ද ගැටුම්වලින් තොර ලෝකයක ආශ්වාදය විඳගන්නට ඔවුහු සැවොම කැමැත්තෝ ය. එහෙත් ඔවුන් එය ළඟා කරගන්නට උත්සාහ කරන්නේ තමන්ට අනුකූල නො වන පාර්ශ්වවලට පහර දී යටපත් කිරීමෙන් මිස එකිනෙකාගේ අයිතීන්ට ගරු කිරීමෙන් නො වේ. ගැටුම්වලට සම්බන්ධ වන සියලු දෙනා විශ්වාස කරන්නේ අනෙක් පාර්ශ්වය යටපත් කර තමන්ට ඒ ආශ්වාදය විඳගත හැකි වනු ඇති බව ය. එහෙත් එසේ ලබන ආශ්වාදය තාවකාලික ය. ඉතිහාසය පුරා එක ම පාර්ශ්ව අතර යුද්ධ හා ගැටුම් නැවත නැවත ඇති වන්නේ ඒ නිසා ය.
ලෝකය විවිධත්වයෙන් අනූන තැනකි. විටෙක එය සෞම්‍ය ය. තවත් විටෙක කර්කෂ ය. නිදසුනක් ලෙස ලොවට වර්ෂාව අවශ්‍ය ය. අව් රශ්මිය ද අවශ්‍ය ය. මේ විවිධත්වය නො තිබුණා නම් ලෝකය ජීවත් වීමට සුදුසු තැනක් වන්නේ නැත. මිනිසුන් අතර වෙනස්කම් ද මේ විවිධත්වයේ ම ලක්ෂණ වේ. බුදුදහම පෙන්වා දෙන ආකාරයට ලොව කිසිවක් නිත්‍ය ද නො වේ.
අනෙක් අතට අප සියලු ගැටුම්වලින් ඈත් වී සිටින්නට උත්සාහ කළ ද නන් ආකාරයෙන් එකිනෙක හා ගැටගැසුණු සංකීර්ණ සමාජයක් තුළ ජීවත් වන තාක් කල් අනෙක් අයගේ ගැටුම් නිසා අප වෙත එල්ල වන බලපෑම්වලින් අපට අත්මිදිය හැකි වන්නේ නැත. ඒ, ලෝකයේ තීරණාත්මක කලාපයක යුද්ධයක් ඇවිලී යන විට සෙසු රටවල ජීවන වියදම ඉහළ යෑමට එය බලපාන්නක් මෙනි.
මෙවැනි පසුබිමක බුදුදහමට අනුකූල දිවිපෙවෙතක් ගත කිරීමට කැමැති අප කළ යුත්තේ කුමක් ද? එක් අතකින් තමන්ට තවත් පාර්ශ්වවලින් කොතෙක් ගැහැට සිදු වුවත් ඒ ලෝක ස්වභාවයේ ම කොටසක් බව දැක අප හැකි උපරිමයෙන් ඉවසීමෙන් හා උපේක්ෂාවෙන් කටයුතු කළ යුතු ය. තිබෙන්නා වූ ගැටුම් තව වැඩි කරගැනීමට අප අනුවණ නො විය යුතු ය. මෙසේ ඉවසීමෙන් සිටියා කියා සමහර විට අපට එල්ල වන බලපෑමෙහි තීව්‍රතාව අඩු නො වන අවස්ථා ද ඇත. අධිෂ්ඨානය හා ධෛර්යය අවශ්‍ය වන්නේ එවිට ය. අනෙක් අතට තාඩන පීඩන ගැහැට අඩු කිරීම අරමුණු කරගෙන සියලු පාර්ශ්ව වෙත මෛත්‍රිය වැඩීම අපට කළ හැකි ය. අප යහපත් කල් ක්‍රියාවෙන් පසු වන්නේ නම් ලෝක සාමය අරමුණු කරගෙන සත්‍යක්‍රියාවක පවා අපට යෙදිය හැකි ය. මේ අතර සියල්ල නිත්‍ය නො වූ ලෝකයක අප නොකැමැති දෑ, අනපේක්ෂිත දෑ සිදු විය හැකි ය යන අවබෝධය සැම විට ම අප තුළ පැවතීම වැදගත් වේ.