දුරුතු පොහොය දින වැදගත්කම

rashi
By rashi
6 Min Read

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පෝය අදයි

පී. චන්ද්‍රරත්න
ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනි, දේශාභිමානි සාමවිනිසුරු

දුරුතු පෝය දින විශේෂ බෞද්ධාගමික සිදුවීම් අරබයා ගැයුණු ගීත අතිශයින් විරලය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පෝය දිනයේදී මහියංගණයට වැඩ, එහිදී යක්ෂයන් පලවා හැරීමෙන් එම ස්ථානයේදී සුමන සමන් දිව්‍යරාජයා සර්වඥයන් වහන්සේගේ කේශ ධාතු ලැබ, මහියංගණ සෑය ඉදිකිරීමත් සුවිශේෂී සිදුවීම්ය. ස්වදේශික අයකු විසින් මෙරට ඉදිකළ ප්‍රථම චෛත්‍ය වන මහියංගණ සෑය වන්දනාවට යන පිරිසක් විසින් ගැයෙන සේ, රචිත පැරණි ගීයක් අදට යෙදෙන දුරුතු පෝය බැති ගී විමසුමට තෝරා ගනිමු. මෙම ගීතයේ මුල් ගැයුම වසන්තා සන්දනායක හා එච්. ආර්. ජෝතිපාල විසින් කර ඇත. ජෝතිපාල ගායකයකු ලෙස කලා ලොවට පිවිසියේ මෙම ගීතයෙනි. ගීතයේ ඇසෙන “තොටියෝ” යන කොටස පමණි ඔහුට ගායනය කිරීමට සිදුව තිබුණේ. හින්දි තනුවට රචිත වූවක් බැවින් පදමාලාවේ ඒකාත්මික බව බිඳී ඇති සෙයක් පෙනෙන නමුත් සුමධුර ගායන විලාසය හේතුවෙන් එය නොදැනෙන තරම්ය. සරත් විමලවීරගේ පදරචනයක් වන මෙහි සංගීතය එම්. වින්සන්ට් පෙරේරාගෙනි.

මහවැලි නදියේ අසබඩ සැදි ඒ
මහියංගණ තූපේ
වඳිනට අපි යනවා
තොටියෝ… තොටියෝ…

ගඟෙහි අද දින හෝ
ඒවි උතුරා නදියේ
යන්නේ කෝමද එගොඩට මේ ගංගාවේ
පෙනෙන ඔරුවේ ගීතේ
ඇසෙන තෙක්මානේ
හෝ ගංගාවේ
යනවා දනෝ බැති ගීත ගය ගයා
හෝ වඳිති දෙවියෝ සෑය හෝ
වඳිති දෙවියෝ

මේ සෑ රාජා කේශදා හිමිගේ
මේ හිඳිනා සේම සෑ රාජාණෝ
හෝ සාදුකාරේ මේ බින්තැන්නේ
ශාන්ත සිරි ගෙන පෑවානේ අද
නිවනා ලෙසින් වඳිමු මෙසේ
පාපීවූ දුක් ජීවිතේ බර
නිවනා ලෙසින් වඳිමු මෙසේ
සරණයි සැමටම දෙවියනි ඔබගේ
මේ කඳුරට හිමිවූ
යදිමු අපි සැම දෙවියන් යදිමු
අසල බින්තැන්නේ
මේ ආවෙමු වඳිනට බින්තැන්නේ
සාදුකාරේ මේ බින්තැන්නේ

බුදුන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව විවිධ මත ඇත. ඇතැමුන් පවසන පරිදි ඒ පිළිබඳව කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් නොමැති බැවින් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද එසේ පවසා ඇත. පරණවිතානයන් පිළිබඳ එම මත ද සාවද්‍යය. එතුමා ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක නොමැති බව මිස බුදුන්ගේ ලංකාගමනය සිදුවූ බව ප්‍රතික්ෂේප කිරීම නොවේ. කෙසේ වුවද වංශකතා මෙන්ම සම්භාවනීය ඓතිහාසික මූලාශ්‍රය රාශියක ඒ පිළිබඳව සඳහන්ය.

ගීතය ආරම්භ වන්නේ මහවැලි ගංගාව අසල පිහිටි මහියංගණ සෑය වැඳීමට ඔරුවක ගමන් කරන පිරිසකගේ ප්‍රකාශයකිනි. ගීතයේ පළමු අන්තරා කොටසෙහි දනෝ බැති ගී ගයා වඳින අතර දෙවියන් ද සෑය වඳින බව දැක්වේ. මහියංගණ සෑ රදුන්ට දෙවියන්ගේ ඇති සම්බන්ධය ඉන් කියැවේ. මහියංගණ සෑය ඉදිකිරීම අරබයා වූ සිදුවීම පූජාවලියෙහි මෙසේ දැක්වේ.

“… මේ ශ්‍රී ලංකාද්වීපය දැක, ඒ දැන් යක්ෂයන්ටම නිවාසය, දැන්ම ඔබ ගොස් ඒ යක්ෂයන් ප්‍රලය කොට ශාසන ප්‍රතිෂ්ඨාවට ආධාර වන සේ අරක්ගත්මී”යි සිතා වදාරා දුරුතු මැදි පොහෝ දිනයෙහි ලක්දිව වැඩ ශ්‍රී ලංකාද්වීප නමැති ඒ පද්මයෙහි කර්ණිකාවක් බඳු වූ මණිභෙද නම් දනව්වෙහි

ලංකාංගනාව පලන් මුක්තාහාරයක් බඳු වූ මහා වාලුකා නම් ගංගාව සමීපයෙහි දිග තුන් යොදුන් පුළුල යොදුන් පමණ ඇති මහා නාගවන නම් උද්‍යානයෙහි කඳවුරු බැඳ…” (උද්දේසික පූජා කතා)

මෙම සිදුවීම් සිංහල ධාතුවංශයෙහි මෙසේ සඳහන්ය. “… බුදුරජාණන් වහන්සේ උදෑසන උතුරු මැද දිවයින් වැඩ අහර සිඟාගෙන අනවතප්ත විල්තෙරදී වළඳා සවස් වේලෙහි දුරුතු මස පුන් පොහෝ දවස් ශ්‍රී ලංකා ද්වීපයට අභිවෘද්ධිය පිණිස වැඩි සේක.”

එම ගමනේ හා මහියංගණ සෑය පිළිබඳව දෙවියන්ගේ සබඳතාව පූජාවලියෙහි දැක්වෙන්නේ මෙසේය.

“…ඒවේලෙහි සෝවාන් වූ සමන් දෙවි රජ්ජුරුවෝ බුදුන් වැඳ සිට “ස්වාමීනී, නුඹ වහන්සේගේ බුද්ධෝත්පාදය මුළුල්ලෙහිම මේ ලක්දිව… නොවන පරිද්දෙන් අප වැඳපුදා ගන්නා පරිද්දෙනුත් පාරිභෝගික ධාතුවක් දෙවා වදාළ මැනැවැයි ආරාධනා කළහ. ඒවෙලෙහි ස්වාමිදරුවෝ සුරක්ත වූ ශ්‍රී හස්තයෙන් ශිරෝධාතුව පිරිමැද කේශධාතු මිටක් දී වදාළ සේක. සමන් දෙවි රජ්ජුරුවෝ රුවන් කරඬුයෙකින් කේශධාතු පිළිගෙන බුදුන් වැඩහුන්නා වූ ස්ථානයෙහි රුවන් රැසක් පිට වඩා සත්රියන් උස උඳු නිල්මිණි කරඬුවකින් වසා අප්‍රමාණ වූ දිව්‍යගන්ධ කුසුමාදියෙන් පූජා කළහ… පසුව සරභු නම් මහ තෙර කෙනෙකුන් වහන්සේ බුදුන්ගේ ග්‍රීවධාතුව වඩා මේඝවර්ණ වූ පාෂාණයෙන් දොළොස් රියන් උස ඒ වසාසල දාගැබක් මවා මහත් පූජා කළ සේක.

මහා වංශයෙහි දැක්වෙන පරිදි පසුව චූලාභය රජු විසින් ද දුටුගැමුණු රජු විසින් ද සෑය වටා විශාල ලෙස බඳවා ඇත. ගීතයෙහි දැක්වෙන ලෙසට මිනිසුන් හා දෙවියන් විසින් කරවන ලද මෙම පූජනීය සෑයට අප්‍රමාණ භක්තියෙන් යුක්තව වන්දනා කරනු ලබන්නේ එහෙයිනි. ග්‍රීව ධාතුව පිළිබඳව ගීතයෙහි සඳහන් නොවුණ ද මිනිසුන්ට දෙවියන් සෑය වඳිතියි සඳහන්වීම චෛත්‍යයේ පූජනීයත්වය වටහා ගැනීමට ඉඟියක් ලබාදේ. මහියංගණ සෑය වන්දනාව නිර්වාණයට මඟ පිණිස වන බව ගීතයේ සඳහන් වීමෙන් එහි ඇති පූජනීයත්වය මනාව පැහැදිලි වෙයි. වන ගහනයන් සපිරි බින්තැන්න

ජනයාගෙන් තොරවූ නිසංසල පරිසරයක් බවද ගීතයෙන් කියැවේ. එහි නැඟෙන ශබ්දය සාදුකාරය පමණි.

“හෝ සාදුකාරේ මේ බින්තැන්නේ
ශාන්ත සිරි ගෙන පෑවානේ අද
නිවනා ලෙසින් වඳිමු මෙසේ…”

වර්තමාන ගීතයේ ආකෘතිය පුනරුච්චාරණයෙන් පුරවා ඇති අතර අන්තරා කොටස් දෙකකට සීමා වී ඇතත් පැරණි බොහෝ ගීත අන්තරා කොටස් 3 හෝ ඊට වැඩි වේ. ප්‍රස්තුතය සම්පූර්ණ වන තුරු ගීතය දිගු වීම එකල සිරිත බව පෙනේ. මෙහි මුල් හින්දි ගීතය අනුව යමින් දිගු ගීතයක් ලෙස ලියැවී ඇත්තේ ද එබැවිනි.

බොදු බැති ගී අරබයා බුදු ගුණ හෝ බුදුරුව පමණක් නොව බුදු සිරිපා ද පදරචකයන් සඳහා සිදුවීම් අප්‍රමාණව ලබාදේ. එබැවින් බෞද්ධ සංස්කෘතිය හා බුද්ධ චරිතය පිළිබඳව හදාරා ඇති ප්‍රබන්ධයකුට පිරිපුන් බොදු බැති ගීයක් රචනා කිරීම අසීරු නොවන බවට මෙම ගීතය නිදසුනකි. මෙම ගීතයට දායක වූ සියලු ශිල්පීහු මේ වන විට මෙලොව හැරපියා ගොස් ඇති නමුදු ඔවුන් ලබාදුන් සිත් නිවාලන බැති රසය තවත් පරපුරක් විසින් හෙට ද විඳගනු ඇත. එහෙත් මෙවන් ගී අද මාධ්‍ය මගින් ඉඳහිට හෝ ප්‍රචාරය නොවීම කනගාටුදායකය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *