රාණි සේනාරත්න රාජපක්‍ෂ
පසුගිය කලාපයෙන්…
සර්වඥයන් වහන්සේ සෑම අයකුටම සමානව ධර්ම දේශනා කරන බව අසිබන්ධක පුත්ත ගාමණී ඇසූ ප්‍රශ්නයකින් මනාව පැහැදිලි වූ ආකාරය 5 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.
උන්වහන්සේ විශේෂ පුද්ගලයන්ට ධර්ම දේශනා කළ අවස්ථා ඇත. වරෙක මහා කරුණාවෙන් උදයෙහි විමසා බලද්දී, නිවනට හේතු සම්පත් ඇති පුක්කුසාති රජතුමා දුටු සේක. තමන්වහන්සේ දැකීමට ඔහු එන දීර්ඝ මාර්ගයෙහි බොහෝ දුරක් වැඩමකොට, සන්ධ්‍යාවෙහිදී ඔහු හමු වී කුඹල්හලකදී ධර්ම දේශනා කිරීම නිසා හෙතෙම අනාගාමී විය. (ම.නි. 3-ධාතුවිභංග සූත්‍රය) මහ පිරිස්වලට ධර්ම දේශනා කරන විට ද ඒ පිරිසේ හේතු සම්පත් ඇත්තවුන් සිටිත්දැයි බැලීම උන්වහන්සේගේ සිරිතක් විය. රාජ මහාමාත්‍ය ආදී මහ පිරිසක කෙළවර වාඩි වී සිටි සුප්‍රබුද්ධ කුෂ්ඨි නම් දුගියා දැක ඔහුටම දේශනා කළ ධර්මය නිසා හෙතෙම සෝතාපන්න විය. (ඛු.නි.-සුත්ත නිපාත, සුප්පබුද්ධ කුට්ඨි සූත්‍රය)
බොහෝ විට සර්වඥයන් වහන්සේ තමන්ම සිතා ධර්ම කොටසක් ගත්හ. මූලපරියාය, සබ්බාසව, ආකංඛෙය්‍ය, වත්ථූපම, සතිපට්ඨාන, චූල සීහනාද, චෙතොඛිල, ආනෙන්ජ සප්පාය ආදී සූත්‍ර රාශියක් එසේ දේශිතය. ශාරිපුත්‍ර රහතන් වහන්සේට කළ ධර්ම දේශනා ද රාශියක් වේ. (සං.නි. 4 ජම්බුඛාදන සංයුක්තයේ සියලුම වාගේ සූත්‍ර) නිර්වාණ මාර්ගය කෙටියෙන් දක්වන මේ සූත්‍ර කෙළවර වන්නේ “ශාරිපුත්‍ර, නොපමා වීමට සුදුසුයි” යනුවෙනි. ඒ අවවාදය ශාරිපුත්‍ර රහතන් වහන්සේට නොව, සූත්‍රය අසන අනෙක් ඇත්තන්ට සහ අනාගතයේ එන අපටය.
යම් විනය හෝ ධර්ම ප්‍රශ්නයක් මතු වූ විට තවත් ඇතැම් සූත්‍ර දේශනා කර ඇත. සාමාන්‍යයෙන් භික්ෂුහු පැමිණ සර්වඥයන් වහන්සේට ඒ බව දන්වති. එවිට උන්වහන්සේ අදාළ භික්ෂුව කැඳවා අවවාද කර ධර්ම දේශනයක් කරති. නිද: මොලිය එග්ගුණ හිමියන් භික්ෂුණීන් සමග වැඩි ආශ්‍රයකින් යුතුව සිටීම ආදී කරුණු නිසා අවවාද ලෙස කකචූපම සූත්‍රය දේශනා කළහ. ගබ්බාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව බුද්ධ වචනය වරදවා වටහාගැනීමෙන් පාප දෘෂ්ටියන් ඇති වූ විට අලගද්දූපම සූත්‍රය දේශනා කළහ. තව වරෙක සර්වඥයන් වහන්සේ ඝෝෂිතාරාමයේ වැඩවාසය කරද්දී එහි විසූ භික්ෂුහු කලහ කරන්නට වූහ. එකල්හි අවවාද වශයෙන් කොසම්බිය සූත්‍රය ද “එකම විඥානය භවයෙන් භවයට යයි” යන මිථ්‍යා දෘෂ්ටිය ගත් සාති නම් භික්ෂුවට මහා තණ්හාසංඛය සූත්‍රයද දෙසූහ. (ම.නි. 1)
ප්‍රඥාව මුහුකුරා ගිය භික්ෂුන්ට ඉතා කෙටි ධර්ම දේශනයක් කිරීම ද උන්වහන්සේගේ තව ක්‍රමයක් විය. ඒ අයුරින් රහත් වූ භික්ෂුන් ගැන බොහෝ තන්හි දැක්වේ. (සං. නි. 3 – පඨම භික්ඛු සූත්‍රය, දූතිය භික්ඛු සූත්‍රයත උපාදිය සූත්‍රයේ සිට සුරාධ සූත්‍රය දක්වා සූත්‍ර 10 ක්)
ඒ අන්දමින් ප්‍රබලව ඵලදායි වූවකි, ගයා ගම අසල ගයා ගල් තලාවෙහිදී භික්ෂුන් 1000 නමකට කළ දේශනාව: “භික්ෂුණි, සියල්ල ඇවිළගෙනය. කවර සියල්ලද? ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු සම්පස්සය.. කන, ශබ්දය…” ආදී වශයෙන් කරන ලද කෙටි ධර්ම දේශනාව කෙළවර භික්ෂුහු 1000 නමම රහත් වූහ. (සං.නි. 4 – ආදිත්ත පරියාය සූත්‍රය) කෙළින්ම ගැඹුරු ධර්මයට පිවිසීම ද උන්වහන්සේලා රහත්වීම ද අපූරුය. ඊට හේතුව නම්, ඒ සියලු භික්ෂුන් ධ්‍යාන භාවනාවෙහි කෙළපැමිණි උරුවේල කාශ්‍යප සහෝදරයන් ප්‍රමුඛ තාපස පිරිස වීමය. ඒ ප්‍රඥාවන්තයන්ට කෙළින්ම ඒ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනාවම සෑහුණි.
පඨම භික්ඛු සූත්‍රය ද දුතිය භික්ඛු සූත්‍රය ද දේශනා කළේ යම් භික්ෂුවක් පැමිණ ඇසූ ප්‍රශ්නයක් නිසාය. කෙළවර ඒ දෙනමම අර්හත් ඵලය ලැබූහ. (සං.නි. -3) සංයුත්ත නිකායේ (5) අරහත්ත වර්ගයේ සූත්‍ර 10 ම මෙසේ තනි තනිව පැමිණ ප්‍රශ්න ඇසූ භික්ෂුන්ට දේශිතය. ඒ දසනම ම රහත් වූහ.
ඉතා ප්‍රබල ලෙස පරිසරයේ උපමා පමණක් ගෙන දේශිත සාර්ථක ධර්මයක්: කෝසල ජනපදයේ චාරිකාවකදී ඈත මහා වහ්නි ජාලාවක් දුටු සර්වඥයන් වහන්සේ මගින් ඉවත් වී රුකක් මුල වැඩහිඳ භික්ෂුන් ඇමතූහ. එය ද ඊට සමාන තවත් උපමා ද ගෙන, භික්ෂුන් කාමයන්ට ගිජු වීම පිළිබඳ කෙටි ධර්ම දේශනයක් කළහ. අවසානයේ භික්ෂුන් තිස්නමක් ලේ වමනය කළහ. තව තිස්නමක් ගිහි බවට පත් වූහ. තවත් තිස්නමක් රහත් වූහ. (අං. නි. – 4 – අග්ගික්ඛන්ධොපම සූත්‍රය)
සිත් අදනාසුලු ප්‍රත්‍යයක් සහිත එක් ධර්ම දේශනයක්: සර්වඥයන් වහන්සේ කුසිනාරා පුරය අසල බලිහරණ වන ලැහැබේ වැඩවසන කලෙක “භික්ෂුණි, ශ්‍රමණ ගෞතමයෝ සිවුරු හෝ පිණ්ඩපාත හෝ සේනාසන ඒ ඒ භවයේ සුව විඳිමියි අපේක්ෂාවෙන් දහම් දෙසතියි ඔබ සිතන්නහුද?”
“ස්වාමීනී .. අපි සිවුරු හෝ .. දහම් දෙසතියි නොසිතමු.”
“එසේ නම් මා ගැන කුමක් සිතන්නහුද?”
“ස්වාමීනි, අපට සිතෙන්නේ ඔබවහන්සේ අනුකම්පා ඇතියහ. හිතෛෂීය. අනුකම්පාවෙන් දහම් දෙසති කියාය.”
සර්වඥයන් වහන්සේ එය අනුමත කොට, බෝධිපාක්ෂික ධර්ම ගැන පැවසූහ. “සියල්ලන් විසින්, සමගි වූවන් සතුටු වූවන් විවාද නොකරන්නන් විසින් ඒ ධර්ම කෙරේ හික්මිය යුතුය” යි ද පවසා ඉක්බිති ධර්ම දේශනාවක් කළහ. (ම.නි. 5- කින්ති සූත්‍රය)
බොහෝ විට සර්වඥයන් වහන්සේ සවස් වරුවේ සමවතින්
නැඟීසිට උපස්ථාන ශාලාවට වැඩමකර, පැනවූ අස්නෙහි වැඩහිඳ “භික්ෂුණි, දැන් කවර කථාවකින් යුක්තව සිටියෝද, ඔබගේ කිනම් අතුරු කතාවක් අඩාළවීදැ”යි විමසති. ලැබෙන පිළිතුර අනුව ධර්ම දේශනයක් කරති. (නිද : අං. නි. 6 – පඨම කතාවත්ථුත භණ්ඩන යන සූත්‍ර). වරෙක ජේතවනාරාමයේදී එසේ විමසූ කල භික්ෂු පිරිස “කායගතාසති භාවනාව මහත් ඵල මහානිශංස යැයි ඔබවහන්සේ වදාළහ. එය ආශ්චර්යයි, අද්භූතය”යි කතාවේ යෙදුණහියි කී විට උන්වහන්සේ කායගතාසති භාවනාව දීර්ඝ වශයෙන් විග්‍රහ කළහ. (ම.නි. 5 – කායගතාසති සූත්‍රය).
බොහෝ අවස්ථාවල සර්වඥයන් වහන්සේ කෙටියෙන් ධර්මයන් පවසා සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇසූ විට, එය උන්වහන්සේටම විස්තර කරන්නැයි ඉල්ලති. එවිට උන්වහන්සේ ධර්ම දේශනා කරති. නිදසුන්: “භික්ෂුණි, සෑම අයුරින්ම දුක් දුරු කිරීමට පිරික්සන භික්ෂුව කෙසේ පිරික්සයිද?”
“ස්වාමීනි, අපේ ධර්ම ඔබවහන්සේ මුල් කොට ඇත. ඔබවහන්සේ නේතෘ කොට ඇත. මේ භාෂිතයේ අර්ථය ඔබවහන්සේටම වැටහේවා. ඔබවහන්සේගෙන් අසා භික්ෂුහු දරන්නාහ.” එකල්හි සර්වඥයන් වහන්සේ දීර්ඝ ධර්ම දේශනයක් කළහ. (සං.නි.1 – විමංසක සූත්‍රයත සං. නි. 2 – පරිවිමංසන සූත්‍රය).
දෙවරකදී ශ්‍රාවස්ති පුරයේදී උන්වහන්සේ “කුමක් ඇති විට කුමක් ඇසුරු කොට කුමක් ප්‍රත්‍ය කොට සංයෝජන අභිනිවේස විනිබන්ධ අජ්ඣොසන ඇති වේදැ?” ඇසූහ.
“ස්වාමීනි, අපගේ ධර්ම ඔබවහන්සේ මුල් කොට ඇත…” එවිට උන්වහන්සේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට පහදා දුන්හ. (සං. නි. 3- පඨම අභිනිවෙස සහ දූතිය අභිනිවෙස සූත්‍ර) සංයුක්ත නිකායේ (5 කොටසේ) තවත් සූත්‍ර 7 ක්ම දේශනා කර ඇත්තේ මෙසේය.
ඇතැම් විටෙක භික්ෂුහු සිය කැමැත්තෙන්ම යෝජනා කොට සර්වඥයන් වහන්සේගෙන් ධර්මය අසාගැනීමට ගියහ. වරෙක ජේතවානරාමයෙහි වැඩසිටි උන්වහන්සේ පිණ්ඩපාතයට වැඩම කළ විට බොහෝ භික්ෂුහු ආනන්ද හිමියන් වෙත ගොස් තමන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් අසා බොහෝ කල් යැයි කියා ඊට අවස්ථාවක් ඉල්ලූහ. ආනන්ද හිමියෝ භික්ෂුන්ට රම්මක බ්‍රාහ්මණගේ අසපුවට යන්නැයි උපදෙස් දී, සර්වඥයන් වහන්සේට ඒ බව කීහ. උන්වහන්සේ එහි වැඩමකොට අරියපරියේසන සූත්‍රය දේශනා කළහ. (ම.නි. -1) සම්බහුල සූත්‍රය ද අට්ඨක සූත්‍රය ද දූතිය අට්ඨක සූත්‍රය ද (සං.නි. -4) භික්ෂු පිරිස් ගොස් ප්‍රශ්න ඇසීම නිසා දේශිතය.
භික්ෂුවකට යම් ප්‍රකාශයක් කරන්නට, අසන්නට ඇති කල්හි ආසනයෙන් නැඟීසිට උත්තරාංසය ඒකාංශ කොට සර්වඥයන් වහන්සේට ඇදිලි බැඳ ගෞරවාන්විතව ප්‍රකාශය කරති. (සං.නි. -1 පවාරණ සූත්‍රයත වංගීස සංයුත්තයේ බොහෝ සූත්‍ර) වරෙක උන්වහන්සේ පූර්වාරාමයේදී එක් පුන් පොහෝ රාත්‍රියක භික්ෂුන් රාශියක් පිරිවරා එළිමහනේ වැඩසිටියහ. එවිට භික්ෂුවක් නැඟීසිට සිවුර ඒකාංශ කොට ගෙන දොහොත් මුදුන් දී “ස්වාමීනි, ප්‍රශ්නයක් අසන්නට අවසර දෙන සේක් නම් ප්‍රශ්නය අසමි” කීය. “එසේ නම් ඔබේ ආසනයේ හිඳගෙනම අසන්න”යි සර්වඥයන් වහන්සේ වදාළහ. භික්ෂුව ප්‍රශ්නය ඇසූ විට ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් දිග ධර්ම දේශනයක් කළහ. (ම.නි. 3- මහා පුණ්ණම සූත්‍රය).
බොහෝ අවස්ථාවල භික්ෂුවක් පැමිණ “තනි වී ගණයා කෙරෙන් වෙන් වී නොපමාව කෙලෙස් තවන වැර ඇතිව කාය ජීවිත දෙක්හි නිරපේක්ෂ්කව විසීමට” සුදුසු ධර්මයක් දේශනා කරන ලෙස ඉල්වති. එවිට සර්වඥයන් වහන්සේ සුදුසු ධර්ම දේශනාවක් කරති. සංඛිතධම්ම සූත්‍රය දේශනා කළේ එසේ ඉල්ලූ ආනන්ද හිමියන්ටය. (සං.නි -4) එවැනි තවත් දේශනා අවිජ්ජා, දූතිය අවිජ්ජා, ලෝක සහ එග්ගුණ යන සූත්‍රවල දැක්වෙයි. (සං.නි- 4) එසේ ඉතා බහුලව ඉල්ලීම් කළ භික්ෂුවක් නම් රාධ හිමියන්ය. (සං.නි. 3 – රාධ සංයුත්තය) රාධ හිමියන් ධර්ම දේශනාවලට ප්‍රත්‍ය වන කතා පිළිබඳව අග තැන් ගත්තේ එලෙසිනි.
උකටලී භික්ෂුන්ට ධෛර්යදීම් වශයෙන් ද ධර්ම දේශනා කර ඇත. සර්වඥයන් වහන්සේගේ නැන්දණියගේ පුත් තිස්ස හිමි භික්ෂුන්ට “ඇවැත්නි, මගේ කය බර වී ඇත. දිශාද නොපැහැදිලිය. ධර්මය ද නොවැටහේ. ථීනමිද්ධය ද සිත මැඬගෙන ඇත. බ්‍රහ්මචාර්යාවට ඇල්මක් නැත. මට ධර්මය පිළිබඳ විචිකිච්ඡාවක් වේ” කීය. භික්ෂුහු සර්වඥයන් වහන්සෙට මෙය සැල කළහ. උන්වහන්සේ තිස්ස හිමි ගෙන්වා ධර්ම දේශනා කළහ. (සං.නි. 3- තිස්ස සූත්‍රය) “තිස්ස බ්‍රහ්මචර්යාවහෙි ඇලෙන්න, මම අවවාදයෙන් අනුග්‍රහයෙන් අනුශාසනයෙන් පිහිට වෙමි” කීහ. උකටලීව ගිහිවෙන්ට සිතූ සෝණ හිමියන්ට ධර්ම දේශනා කිරීමෙන් ඒ හිමියෝ රහත් වූහ. (අං.නි. 4 – සෝණ සූත්‍රය).
සූත්‍ර ගණනාවක්ම ආනන්ද හිමියන්ට දේශනා කර ඇත. නිද: සච්චක සූත්‍රය, ලෝක සූත්‍රය, ජරා සූත්‍රය (සං.නි. 5-1) පඨම ආනන්ද සූත්‍රය, දූතිය ආනන්ද සූත්‍රය (ම.නි -3) මහා නිදාන සූත්‍රයද ආනන්ද හිමියන්ගේ ප්‍රකාශයක් නිසා දේශනා කරන ලද්දකි. කුරු රට කල්මාෂදම්‍ය නියම්ගමේ වැඩවිසූ සර්වඥයන් වහන්සේ වෙත ගිය ආනන්ද හිමියෝ ්“ස්වාමීනි ආශ්චර්යයි. අද්භූතයි. පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරුය, එහෙත් මට ඉතා ප්‍රකට වූවක් සේ වැටහේ” කීහ. එවිට බුදුහු “ආනන්ද, එසේ නොකියන්න. ආනන්ද එසේ නොකියන්න, පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරුය..” පවසා දීර්ඝ ධර්ම දේශනයක් කළහ. (සං. නි. 2 – මහා නිදාන සූත්‍රය). උන්වහන්සේ ඤාතික ගමේ කුටියක වැඩවසද්දී කච්චායන රහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ගිඤ්ජකාවස්ථ සූත්‍රය දෙසූහ. (සං.නි-2). මෙසේ මහ තෙරුන්වහන්සේලාගේ ප්‍රශ්න නිසා දේශිත සූත්‍ර ගණනාවකි.
අවස්ථා කීපයක භික්ෂුන් බියපත් වී කළ ප්‍රකාශ නිසා ධර්ම දේශනා කොට ඇත. සර්වඥයන් වහන්සේ වරෙක සය ආකාර ස්පර්ශ ආයතනවල හටගැනීම, විඳීම, දෝෂය හා නික්ම යෑම පිළිබඳව මනාකොට නොදන්නා භිනක්ෂුව බ්‍රහ්මචර්යාවේ නැති බවද ශාසනයෙන් දුරු වන බවද පැවසූහ. එකල්හි එක් භික්ෂුවක් “ස්වාමීනි එසේ නම් මම නටුයෙමි. මම ඒ කිසිවක් මනා කොට නොදනිමි”කීය. එවිට සර්වඥයන් වහන්සේ එය මනාව පහදාදුන්හ. (සං. නි. 4 – පඨම හා දූතිය ඡඨස්සායතන සූත්‍ර).
භික්ෂුන් රෝගී වූ විට එහි වැඩමකොට භික්ෂුවගේ කැමැත්ත විමසා ධර්ම දේශනා කළ අවස්ථා වේ. (සං.නි. 4 – ගිලාන සහ දූතියග ගිලාන සූත්‍ර). ඒ භික්ෂුහු මාර්ග ඵල ලැබූහ. ඒ ඒ භික්ෂුවගේ දැනීමේ මට්ටම විමසා වඩාත්ම සිතට කාවදින මාතෘකාව තෝරාගැනීම බුදුවරයකුටම විශේෂ වූවකි. විටෙක උන්වහන්සේ කුරු ජනපදයේ කල්මාෂදම්‍ය නියම්ගමේදී භික්ෂුන්ගෙන් “ඔබ අභ්‍යන්තර ප්‍රත්‍යය සම්මර්ශනය කරත්දැ”යි ඇසූහ. එවිට එක් භික්ෂුවක් එසේය කියා දුන් පිළිතුර උන්වහන්සේගේ සතුට පිණිස නොවීය. එකල්හි ආනන්ද හිමියෝ “ස්වාමීන් වහන්ස, අභ්‍යන්තර ප්‍රත්‍යය සම්මර්ශනය කිරීම වදාරන සේක් නම් මේ ඊට කාලයයි” පැවසූහ. සර්වඥයන් වහන්සේ එවිට ධර්ම දේශනයක් කළහ. (සං.නි. 2 – සම්මස්සන සූත්‍රය).
මාලුංක්‍යපුත්ත සූත්‍රය මෙහිදී විශේෂයෙන් රසවත් සිදුවීමකින් යුක්තය. මාලුංක්‍යපුත්ත හිමියෝ සර්වඥයන් වහන්සේ වෙත පැමිණ, ගණයා කෙරෙන් වෙන් වී භාවනා කරනු කැමතිව කෙටියෙන් ධර්ම දේශනාවක් කරන්නැයි ඉල්ලූහ. “මාලුංක්‍යපුත්ත, දිරාගිය, වැඩී සිටි මහලු වූ, තුන් කල් ගෙවා පශ්චිම වයසට පැමිණි ඔබ කෙටියෙන් අවවාද ඉල්ලයි නම් මා තරුණයන්ට කියන්නේ කුමක්ද?”
“ස්වාමීනි, දිරා ගියෙම්, වැඩී සිටියෙම්, මහලු වූයෙම්, තුන් කල් ගවො පශ්චිම වයසට පැමිණියෙම් වුවද මට ධර්මයක් දේශනා කරනු මැනවි.”
“කිසිම දවසක දුටුවෙත් නැති, දැන් දකින්නේත් නැති, අනාගතයේ දකින්නේත් නැති යම් රූපයක් පිළිබඳව ඔබට ඡන්ද රාග … ඇති වේද?” – නැත.
එසේම ශබ්ද රස … ගැන විසූ විට මාලුංක්‍යපුත්ත හිමියෝ නැතැයි කීය. සර්වඥයන් වහන්සේ මේ ධර්මතාව විස්තර කර දහම් දෙසූහ. (සං. නි. 4 – මාලුංක්‍යපුත්ත සූත්‍රය). ඒ හිමියෝ අරණ්‍යගත වී භාවනා කර රහත් වූහ.
ඇතැම් විටෙක අන්‍ය තීර්ථකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කළහ. එක් සමයෙක්හි වෛශාලි පුරය අසල මහ වනයේ කූටාගාර ශාලාවේ වැඩවිසූහ. ඒ අසල වන ආරණ්‍යයක සිටි අනුරාධ හිමියන් හමුවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ උන්වහන්සේ වෙත පැමිණ ප්‍රශන් අසා, ලැබූ පිළිතුරු ගැන නොපැහැදී “මේ ශ්‍රමණයා නවකයෙකි, නැත්නම් අව්‍යක්තයෙකි”යි ගියහ. අනුරාධ හිමියෝ සර්වඥයන් වහන්සේ වෙත ගොස් ඒ බව පැවසූ කල, උන්වහන්සේ අනුරාධ හිමියන්ට දහම් දෙසූහ. තමන් පරිබ්‍රාජකයන්ට කීවේ වැරදි දෙයකියි අනුරාධ හිමියෝ පිළිගත්හ. (සං. නි. 3 – අනුරාධ සූත්‍රය)

