නිහතමානය සහ අල්පෙච්ඡතාව

rashi
By rashi
7 Min Read

රාණි සේනාරත්න රාජපක්ෂ

මේ බව කියැවෙන තවත් සූත්‍ර ගණනාවකි. කීපවාරයකදී කපිලවස්තුවේ ශාක්‍යයෝ අලුතින් සන්ථාගාර තනා උන්වහන්සේට ආරාධනා කළහ. “ස්වාමීනි, සන්ථාගාරය මුළුමනින් සකස් කර ඇත. ආසන පනවන ලදහ. දිය භාජනය පුරවා තබන ලදි. තෙල් පහන් නැංවී” සර්වඥයන් වහන්සේ භික්‍ෂූන් සමග “… වැඩමකොට පා දොවාගෙන සන්ථාගාරයට පිවිස…” (ම. නි. 2 – සේඛ සූත්‍රය) ශාක්‍යයන්ගේ තවත් අලුත් සන්ථාගාරයකට වැඩම කළ විට ද (සං. නි. 4 – අවස්සුත පරියාය සූත්‍රය) මල්ල රජුන්ගේ අලුත් සන්ථාගාරයකට වැඩම කළ විට ද (දී. නි. 3 – සංගීති සූත්‍රය) උන්වහන්සේ මහ දිය සැළියකින් දිය ගෙන පා දොවාගත්හ. තවත් කිහිපතැනක මෙසේ සඳහන්ය. (ම. නි. 3 – උපක්කිලෙස සූත්‍රය; අං. නි. 1 – ශ්‍රමණ වර්ගය) රාහුල හිමියන් හමුවීමට වැඩම කළ විට ද පා සෝදාගත්තේ සර්වඥයන් වහන්සේමය. (ම. නි. 2 – අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය)

උන්වහන්සේ පා දොවාගත් බව බ්‍රහ්මායු සූත්‍රයේද එයි: බ්‍රහ්මායු බ්‍රාහ්මණගේ ශිෂ්‍ය උත්තර, උන්වහන්සේ පිළිබඳව රටෙහි පවතින ගුණ වර්ණනාව ඇත්තක් දැයි විමසනු සඳහා උන්වහන්සේ සමග සත්මසක් චාරිකාවේ යෙදී, ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණට පැවැසු ප්‍රශංසාත්මක කරුණු අතර “ශ්‍රමණ ගෞතම පා දෙවූ දිය ඉතා දුර නොව ඉතා ළඟ නොව නොද විසුරුවමින් බැහැර ලති” තවද, උන්වහන්සේම පාත්‍රය සෝදාගන්නා බව: දානයට පෙර හා දන් වැළඳූ කල “…ඉතා මඳ නොකොට ඉතා බොහෝ නොකොට පාත්‍ර දෝනා දිය පිළි ගනිති. ‘බුලු බුලු’ ආකාරයෙන් පාත්‍රය නොසෝදති… දෙඅත් දෙවූ කල්හි පාත්‍රය දෝනා ලද වෙයි. පාත්‍රය දෙවූ කල්හි දෙඅත් දෝනා ලද වෙයි. පාත්‍රය සේදූ දිය ඉතා දුර හෝ ඉතා ළඟ නොදමති. නොවිසුරුවමින් දමති…” (ම.නි. 2 – බ්‍රහ්මායු සූත්‍රය)

අල්පේච්ඡ බව –

“… පතිගණ්හාතු මෙ භන්තෙ භගවා පටපිලොතී නං සංඝාටි, අනුකම්පං උපාදායාති”

“ධාරෙස්සමි පන මෙ ත්වං කස්සප සාණානි පංසුකුලානි නිබ්බසනානීනි? ධාරෙස්සාමි භන්තෙ භගවතො සාණානි පංසුකුලානි නිබ්බස්සනානීති” (සං. නි – 2 චීවර සූත්‍රය)

සො සන්තුට්ඨො අහොසිං කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිතෙන පිණ්ඩපාතෙන, සො යෙන යෙනෙව පක්කමිං, සමාදායෙච පක්කමිං. සෙය්‍යථාපි නාම පක්ඛි සකුණො යෙන යෙනෙච ඩෙති, සපත්තභාරොව ඩෙති. (ම. නි. 3 – ජබ්බිසොධන සූත්‍රය)

රජ පවුලක ඉපිද ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ සිද්ධාර්ථ කුමරු පැවිදි වූ තැන් සිට අතිශයින්ම අල්පේච්ඡ පැවතුමින් යුක්ත වූහ. බුදු වූ පසු භාවිත කළේ රළු පාංශුකූල සිවුරුය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භික්‍ෂූන්ට මේ බව පැවසූහ. මුලින්ම මහ මගදී හමු වූ විට “භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත්ව එක් රුක් මුලකට එළඹියහ. මම පට පිළියෙන් කළ (මගේ) සඟළ සිවුර සතරට නවා පනවා ‘ස්වාමීන් වහන්ස, මෙහි වැඩහිඳිනු මැනවි’ යි සැල කළෙමි. උන්වහන්සේ එහි වැඩහිඳ ‘කාශ්‍යප, මේ පට පිළී සංඝාටිකාව මෘදුය’යි වදාළහ. මම ‘ස්වාමීන් වහන්ස, මට අනුකම්පා කොට මෙය පිළිගන්නා සේක්වා’යි ඉල්ලීමි. ‘කාශ්‍යප, පරිභෝගයෙන් දිරා ගිය, හණ වැහැරි පිළියෙන් කළ මගේ මේ පාංශුකූල සිවුර ඔබ දරන්නෙහිද?’යි උන්වහන්සේ ඇසූහ…” (සං. නි. 2 – චීවර සූත්‍රය)

උන්වහන්සේගේ අල්පේච්ඡ බව ඉතා කදිමට පිළිබිඹු වන අයුරු: “… භික්ෂූනි, මම කාය පරිහරණයට නිසි සිවුරින්, කුක්ෂි පරිහරණයට නිසි පිඬුවාවෙන් සතුටු වීමි. මම යම් තැනෙක ගියෙම් නම්, සිවුරු ආදිය රැගෙනම ගියෙමි. යම් පරිදි ලිහිණි පක්ෂි යම් යම් තැනක පියාසර කර යන්නේ පියාපත් බර සහිතව පියාඹා යන්නේද එලෙසිනි…” (ම. නි. 3 – ඡබ්බිසොධන සූත්‍රය)

භික්ෂූන්ට ධර්ම දේශනා කරන අතරතුර පිට වේදනා දුන් අවස්ථාවලදී විවේක ගත් අයුරින් උන්වහන්සේගේ අල්පේච්ඡ බව මනාව පැහැදිලි වෙයි; ජ්‍යෙෂ්ඨ බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමකට ධර්ම දේශනය භාරදී ඒ විශාල භික්ෂු පිරිස ඉදිරිපිට ධර්ම ශාලාවේ බිම සිවුර අතුරාගෙන සැතපුණහ. (දී. නි. 3 – සංගීති සූත්‍රය; සං. නි. 4 – අවස්සුත පරියාය සූත්‍රය; අං. නි. 6 – පඨම නළකපාන සූත්‍රය; දුතිය නළකපාන සූත්‍රය) ඒ හැමවිටම සිවුර සතරට නවා බිම අතුරා ලූයේ වෙනත් භික්ෂුවක් නොව උන්වහන්සේමය. වෙනත් භික්ෂුවක් සිවුර නවා බිම අතුරා දුන් බවක් සඳහන් වන්නේ පිරිනිවන් පාන දවසේ මහ මගදී දෙවාරයකදී පමණකි – වරක් ආනන්ද හිමියන් සහ තව වරක් චුන්දක හිමියන් (දී. නි. 2 – මහා පරිනිර්වාණ සූත්‍රය)

සර්වඥයන් වහන්සේ චාරිකාවේ යෙදෙන අතරේ මහ මගින් ඉවත් වී රුකක් මුල වැඩසිටීම ඉතා බහුලව සිදු වූවකි. නිද: එක් වරෙක වඩුවන් දෙදෙනකු පසුපසින් එනු දැක ඔවුන් හා කථා කරනු සඳහා එසේ කළහ. (සං. නි. 5/2 – ථපති සූත්‍රය) වරෙක උන්වහන්සේ ඉතා විශාල වහ්නි ජාලාවක් ඈත දිලිසෙනු දැක, මගින් ඉවත් වී රුකක් මුල වැඩහිඳ භික්ෂූන්ට වටිනා ධර්මයක් දේශනා කළහ. (අං. නි. – 4 අග්ගික්ඛන්ධෝපම සූත්‍රය) නැවත වරෙක උක්කට්ඨා සේතව්‍යා අතර මාර්ගයේ වැඩම කරද්දී, පසුපසින් එන ද්‍රෝණ බ්‍රාහ්මණ එන තෙක් මගින් බැහැරව රුක් මුලක් වෙත පලක් බැඳ වාඩි වී උන්හ. (අං. නි. 2 – ද්‍රෝණ සූත්‍රය) තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන් සමග කෝසල ජනපදයේ චාරිකාවකදී මගින් ඉවත්ව සල් වනයකට පිවිස කෙටි ධර්ම දේශනයක් කළහ. (අං. නි. 2 – ගවේසී සූත්‍රය) ස්වභාව ධර්මය ඇසුරේ සිටීමට උන්වහන්සේ බෙහෙවින් කැමැති වූ සැටියකි.

උන්වහන්සේගේ අල්පේච්ඡ බවත් සරල බවත් ඉතා කදිමට පිළිබිඹු වන සූත්‍ර ගණනාවක් ඇත. වැසි සහිත රාත්‍රියක උන්වහන්සේ වනයක් අසල ගමක මහී ගං තෙර කුඩා පැල්පතක සැතපී සිටියහ. ඒ අසල තව පැල්පතක සැතපී සිටි ධනිය නම් ගෝපාල සමග එහිදී උන්වහන්සේ සුන්දර විනෝදාත්මක දෙබසක යෙදුණහ. (ඛු. නි. සුත්ත නිපාතය – ධනිය සූත්‍රය) මෙය 17 පරිච්ඡේදයෙහි විස්තර වෙයි.

උන්වහන්සේ බොහෝ විට වැඩවිසුවේ මහ වනයේ හෝ ගිරි කුළුවලය. නිදර්ශන පසුව දැක්වේ. රැයේ සැතපීමට උන්වහන්සේට වනයේ ගසක් මුල, කුඹල් හලක බිම හෝ එළාගත් හණ ඇතිරියක් සෑහුණි. උන්වහන්සේ කුරු ජනපදයේ කල්මාෂදම්‍ය නියම්ගම වසද්දී භාරද්වාජ ගෝත්‍රික බමුණුගේ අග්නිහෝත්‍ර ශාලාවේ බිම එළාගත් තණ ඇතිරියක සිට, සැතපුණේද ඒ තණ ඇතිරියේමය. (ම. නි. 2 – මාගන්දිය සූත්‍රය) තව වරෙකදී උන්වහන්සේ මගධ ජනපදයේ සිට මහා දුරක් රාජගෘහ නුවරට වැඩමකර, ඒ රැය භාර්ගව නම් කුම්භකාරගේ කුඹල් හලෙහි වැඩවිසීමට අවසර ඉල්ලූහ. ඉක්බිති ඇතිරියක් තමන්ම සාදාගෙන එහි වැඩ විසූහ. (ම. නි. 3 – ධාතු විභංග සූත්‍රය)

උන්වහන්සේගේ සරල බවත් අල්පේච්ඡ බවත් මැනැවින් ප්‍රකාශ වන තවත් අවස්ථාවක්: එක් හිමිදිරියක ආලවක රටේ ජංඝා විහරණයේ යෙදුණ හත්ථක ආලවක රාජ කුමාරයා ඇට්ටේරියා ලැහැබක ගොන්මගක් අයිනේ කොළ ඇතිරියක සැතපී සිටි සර්වඥයන් වහන්සේ දැක එහි ගොස් වැඳ එකත්පස්ව සිට “ස්වාමීනි, සුව සේ සැතපුණිද?” ඇසීය.

  • එසේය, මම සුව සේ සැතපුණෙමි. ලෝකයේ යම් අයෙක් සුව සේ සැතපේ නම්, මම ද ඔවුන් අතුරෙන් අයෙක්මි.
  • ස්වාමීනි, හේමන්ත රාත්‍රිය ශීතලය. හිම වැටෙයි. බිම රළුය. ගොනුන්ගේ කුර පහරින් බිඳී ඇත. කොළ ඇතිරිය තුනීය. ගසේ පත්‍රද අඩුය. ශීතල තද සුළං හමයි. එසේ වුවත් ඔබ වහන්සේ සුව සේ සැතපුණ බව කියති.

කුමාරයා, මම ඔබෙන්ම අසමි. යම් ගෘහපතියකුට ඉතා අලංකාර … කූටාගාරයක් වේ නම්, එහි කළු කොඳු පලස් අතුළ, සුදු එළු ලොම් ඇතිරි සහිත … උඩු වියන් … රන්වන් කොට්ට සහිත යහනක් වේ නම්, තෙල් පහනක් … වේ නම්, පාද පරිචාරිකා සිවුදෙනෙකුන් මනාප උපස්ථාන කරත් නම්, ඔහු සුව සේ නිදයිද?

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *