පුහුදුන් කාටත් ද්වේෂය ආගන්තුක මනෝභාවයක් නො වේ. සමහරු නිතර කිපෙති. ඉවසන දනා ඉඳහිට කිපෙති. බැලු බැලු අත සිත පෙළනසුලු නිමිති පෙනෙද්දී එතෙක් ඉවසූ අයත් කිපෙති. ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදයකට මැදි වීමෙන් රට ම කිපුණු සමයකි මේ.
ද්වේෂය ගින්නකි. එය උපන් සන්තානයත් බාහිර සමාජයත් යන දෙක ම දවයි. එගිනි නිවන මඟ සෙවීමට කරන උපකාරයක් වශයෙන් මෙම ලිපි පෙළ පළ කෙරේ. ලිපි පෙළ උපුටාගෙන පළ කිරීමට අවසර දුන් පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේට අපේ නමස්කාරපූර්වක පුණ්‍යානුමෝදනාව පුද කර සිටිමු.
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි
සැණෙකින් ඉවත් කරන්න
ද්වේෂය දුරු කළ යුත්තේ හටගත් අවස්ථාවේ මයි. හටගත් දිනයේ මයි දුරු කළ යුත්තේ. දවසක් දෙකක් ප්‍රමාද වුණොත් ශක්ති සම්පන්න වෙනවා වැඩියි. සිද්ධාර්ථ කුමරු රාහුල කුමාරයා ඉපදුණු දවසෙ ම ඇයි ගෙදරින් නික්මුණේ? තව ප්‍රමාද වුණා නම් දකින්න දකින්න ඇල්ම වැඩි වෙනවා. නැවත නැවත වර්ධනය වෙන ඇල්ම දුරු කිරීම පහසු නෑ. ද්වේෂයත් එලෙස මයි. ඒ නිසා ඇති වුණු තැන ම දුරු කළොත් පහසුවෙන් ජය ගත හැකියි.
සියලු ක්ලේශ ධර්මයන් පිළිබඳව ඒ විදිහයි. ඇති වුණු මොහොතේ ම නැති කරන්න ඕන. එය ඇති වුණු මොහොතේ බැරි නම් පැය කිහිපයක් ඇතුළත හෝ නැති කරන්න ඕන. පැය කිහිපයක් ඇතුළත බැරි නම් නින්දට යන්න පෙර හෝ නැතිනම් පසුව දා එළිවෙන්නට පෙර හෝ මේ පිළිබඳව සිහියෙන් කල්පනා කරලා ඒ අරමුණ මනසින් බැහැර කරන්න ඕන. එහෙම නැති වුණොත් පසු දිනත් අර වගේ සිය දහස් ගුණයක ද්වේෂසහගත සිතුවිලි මතු වෙනවා.
ඒ නිසා අර විදිහේ පුද්ගලයකුගේ වාචසික විෂමාචාරයක් හමුවේ: ඔහු තමන්ට බැන්නා – තමන් ගැන කේලමක් කිව්වා – දෝෂාරෝපණය කළා – අපහාස කළා – මේ විදිහේ යමක් තමන්ගේ දෙසවනට වැටුණා නම්, කෙනෙක් ඇවිදින් කිව්වා නම්, ඔහු සමග ඇති වන ද්වේෂය එවේලේ ම හෝ එදා දවස ඇතුළත හෝ අමතක කරන්න ඕන. ඔහුගේ යහපත් ගුණයක් සිහිපත් කරලා මනස සන්සුන් කරගන්න ඕන. එහෙම කරගත්තොත් පසුව දා සාමකාමී මනසින් අපට අවදි වෙන්න පුළුවන්. ගැටලුවක් ඇති වෙන්නේ නෑ. සමහර විට තව වරක් දෙකක් ඒක මතු වෙයි අපේ පෘථග්ජන ස්වභාවය නිසා. ඒ ඒ වෙලාවෙත් ඒක ම කරන්න ඕන. දුර්ගුණය යට කරලා යහ ගුණය මතු කරගන්න ඕන. මෙන්න මේ විදිහෙන් එවන් පුද්ගලයා සම්බන්‍ධ වත් අපේ මනසේ ඇති වෙන ද්වේෂය දුරු කළ යුතුයි කියලා සැරියුත් හාමුදුරුවො පැහැදිලි කරනවා.
කායික හැසිරීමෙන් අපිරිසිදු වූ නමුත් වචනයෙන් පිරිසිදු අය ඉන්නවා. වචනයෙන් අපිරිසිදු වූ නමුත් කායික හැසිරීමෙන් පිරිසිදු අය ඉන්නවා. මේ දෙ පිරිස ම එක් පසෙකින් අපිරිසිදු වුවත්, අනෙක් පසින් ඔවුන්ගේ ඇති පිරිසිදුභාවය සලකා ඔවුන් කෙරෙහි උපදින ද්වේෂය දුරු කළ යුතුයි කියලා සැරියුත් හාමුදුරුවෝ දේශනා කළා. තුන් වෙනි පුද්ගලයා සම්බන්‍ධ ව සඳහන් කරනවා: ‘ඉධ පනාවුසෝ එකච්චෝ පුග්ගලෝ අපරිසුද්ධ කායසමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ…’
සමහරු ඉන්නවා මෙන්න මෙහෙම ඔවුන්ගේ කායික හැසිරීමුත් විෂමයි. වාචසික හැසිරීමුත් විෂමයි. වචනයේ ගන්න දේකුත් නෑ. කායික ක්‍රියාවල ගන්න දේකුත් නෑ. නමුත් විටින් විට අවවාදයක් කළාම – ධර්මශ්‍රවණය කළාම ඔහුගේ මනස ප්‍රසන්න වෙනවා. ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ශ්‍රද්ධාව උපදවා ගෙන මෘදු බවක් දක්වනවා. ඇතැම් අවස්ථාවල විටින් විට හොඳ අවවාදයක් කළාම – හොඳ ධර්මයක් ශ්‍රවණය කළාම – පන්සල් ගිහින් ආවහම, මේ වගේ විටින් විට ඔහු යම්කිසි ප්‍රසන්න සිතුවිලි උපදවන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ශ්‍රද්ධාව උපදින, ඒ වගේ ම සිතේ එක්තරා තැන්පත් බවක් තියන – ඒ කියන්නේ සමාධිය වැඩෙන ස්වභාවයක්, ඒ වගේ ම ලෝකයේ යම් යම් කරුණු ගැන බුද්ධිමත් ව සිතන – නුවණින් කල්පනා කරන ස්වභාවයක්, සමථ විදර්ශනාවන් වඩන්නට යෝග්‍ය මානසික මට්ටමක් විටින් විට ඔහු තුළ ඇති වෙන බව පැහැදිලි ව පෙනෙනවා. එහෙම නම් එවන් පුද්ගලයා පිළිබඳ වත් උපදින්නා වූ ද්වේෂය දුරු කළ යුතු යි කියලා සැරියුත් හාමුදුරුවො දේශනා කළා.
පරෙස්සමෙන් ගන්න
එහි දී උපමාවක් දේශනා කරනවා උන්වහන්සේ: බොහෝ ම ග්‍රීෂ්ම කාලෙක දීර්ඝ ගමනක් යන පුද්ගලයෙක් අතිශයින් විඩාවට පත් වෙලා – ක්ලාන්ත වෙලා එනවා. මෙහෙම එනකොට අහල පහළක වතුර ටිකක් නෑ බොන්න. ඔහු දකිනවා ගෝ කුරක, ඒ කියන්නේ හරකෙක් අඩිය තියපු තැන වළ හැදෙනව නෙ. ටිකක් පොළවේ එරෙන තැන්වල එහෙම හැදුණු වළක වතුර ටිකක් තියනවා. එක උගුරක් දෙකක් විතර මේ ගව කුර වළේ එකතු වෙලා තියනවා. අර අතිශයින් විඩාවට පත් වුණු පුද්ගලයා මෙය දකිනවා. ඔහු කල්පනා කරනවා: මම මේක අතින් ගන්න ගියොත් බොන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ කැලතිලා විනාශ වෙනවා. මේක කොළේකින් ගන්න ගියොත් බොර වෙනවා. ඒ නිසා අතින් ගන්නත් බෑ. කොළෙන් ගන්නත් බෑ. ආයෙ වතුර ටිකක් කොතරම් වෙලාවකින් ලැබෙයි ද දන්නෙත් නෑ. එහෙනම් මොකද කරන්නෙ? දණ ගහගෙන කටින් ම බිව්වොත් නම් බොන්න පුළුවන් කියලා ඔහු කල්පනා කරලා දෑත සහ දෙදණ බිම ඇනගෙන, ගවයෙක් බොන්නා සේ කට තියලා අර වතුර ටික ඇදලා අරගෙන බොනවා. මෙහෙම බීලා ඔහුගේ පිපාසය සන්සිඳවාගෙන ඔහුගේ ගමන පිටත් වෙනවා.
අන්න ඒ වගේ අර පුද්ගලයා සම්බන්‍ධ ව ඇති වුණු ද්වේෂය සංසිඳවාගත යුතුයි. ඔහුගේ කායික සමාචාරයන්ගෙත් පැහැදෙන්නට දෙයක් නෑ. වචනයේත් පැහැදීමට කිසි ම දෙයක් නෑ. එහෙම නමුත් ඔහුගේ මනස විටින් විට ශ්‍රද්ධාවට හෝ ගුණයට නැඹුරු වෙන ස්වභාවයක් පවතිනව නෙ. ඔබට ඔහු පිළිබඳව ද්වේෂය හටගන්නා හැම මොහොතක ම ඔහුගේ කායික විෂමාචාරයන් අමතක කරන්න. ඔහුගේ වාචසික විෂමාචාරයන් අමතක කරන්න. මොහු කොතෙක් අයහපත් ගතිගුණ තිබුණත්, විටින් විට හෝ ඔහුගේ මනස සංවර කරගන්නවා. විටින් විට හෝ ඔහුගේ මනසේ ශ්‍රද්ධාව ප්‍රඥාව ඇති කරගන්නවා. ඒ නිසා එපමණකින් වත් මොහුට යහපතක් වෙනවා ය කියලා ඔහු පිළිබඳ ව මෛත්‍රී සිතුවිලි උපදවා ගත යුතුයි, හරියට අර කිසි ම පහසුකමක් නැති ව අර පුද්ගලයා බොහොම අපහසුවෙන් කටින් ම අර වතුර ටික බොන්නා වගේ. එතන දි පිළිකුල ගැන හිතන්නේ නෑ. අපහසුව ගැන හිතන්නේ නෑ. සුදුසු නුසුදුසු බව ගැන හිතන්නේ නෑ. තමන්ගේ විඩාව සංසිඳුවාගෙන තමන් යන ගමන යන්න පමණයි එතන දි බලාපොරොත්තු වෙන්නේ.
තමන්ගේ දැඩි අවශ්‍යතාව නිසා බාහිර දුෂ්කරතාවන් සියල්ල අමතක කරලා අවශ්‍ය දේ ගන්නා වගේ, අර විදියේ කායික අයහපත් හැසිරීම් සහ වාචසික අයහපත් හැසිරීම් යන දෙකෙන් ම යුක්ත පුද්ගලයාගේ වුණත් ඒ සියල්ල බැහැර කරලා, මොහුට මේ විදිහේ යහපත් සිතුවිල්ලක් වත් හටගන්නවා නේ කියලා ඔහු පිළිබඳව මෛත්‍රිය උපදවා ගන්නවා. මොහු අම්මා තාත්තා කෙරෙහි වත් හිතවත් ව කටයුතු කරනවා නෙ, විටින් විට වත් භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් දන් පැන් දෙනව නෙ, භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි දණ නවලා වඳිනවා නෙ, මොහු විටින් විට වත් පංසලට ගිහින් මලක් පහනක් පූජා කරනවා නෙ කියලා. එපමණක් වත් හිතලා ඔහු පිළිබඳව මෛත්‍රිය උපදවාගත යුතුයි.
ඊළඟට හතර වෙනි පුද්ගලයා පිළිබඳව සැරියුත් හාමුදුරුවො දේශනා කරනවා: ‘ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අපරිසුද්ධ කායසමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ, නච ලභති කාලේන කාලං චේතසෝ විවරං වේතසෝ පසාදං.’ තවත් පුද්ගලයෙක් ඉන්නවා කායික හැසිරීමත් වාචසික හැසිරීමත් විෂමයි. අර මුලින් කියපු පුද්ගලයා වගේ විටින් විට වත් මේ පුද්ගලයාගේ මනසෙ ශ්‍රද්ධාදී ගුණයක් ඇති වෙන්නෙත් නෑ. කිසිවක් ම නෑ. කායික වත් විෂමාචාරයි, වාචසික වත් විෂමාචාරයි මානසික වත් විෂමාචාරයි. එවන් පුද්ගලයන් සම්බන්‍ධ වත් අපි ද්වේෂය දුරු කළ යුතුයි කියලා සැරියුත් හාමුදුරුවො දේශනා කරනවා.
රෝගීන්ට අනුකම්පා කරන්න
කොහොම ද අපි එවන් පුද්ගලයන් සම්බන්ධ ව ද්වේෂය දුරු කරන්නෙ? උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා: අතිශයින් රෝගී වුණු – දැඩි රෝග පීඩාවලින් පෙළෙන පුද්ගලයෙක් දීර්‍ඝ වූ මාර්ගයක ගමන් කරනවා. ඔහු දැන් මාර්ගයේ අඩක් ගෙවලා තව ගෙවූ තරම් ප්‍රමාණයක් ඉදිරියට යන්නට තියනවා. පෙනෙන තෙක් මානයක ගම්මානයක් ගෙයක් දොරක් නෑ. තව බොහෝ දුර යන්නට තියනවා. ඔහුගේ රෝගයට සුදුසු ආහාරයක් නෑ. ඔහුගේ රෝගයට සුදුසු බෙහෙතක් නෑ. මඟ පෙන්වන්නට පුද්ගලයෙක් නෑ. මේ කිසිවක් නැති ව අතිශයින් පීඩාවට පත් වෙලා යන මෙබඳු පුද්ගලයෙකු කෙරෙහි දයාව ම ඉපදිය යුතුයි. ඇයි? අනේ මේ මනුෂ්‍යයාට හොඳ කෑම ටිකක් ලැබුණොත් – බෙහෙත් ටිකක් ලැබුණොත් – බොන්න වතුර ටිකක් ලැබුණොත් – හොඳ මාර්ගෝපදේශකයෙක් ලැබුණොත් මේ මනුෂ්‍යයා කායික ව මානසික ව සුවපත් වෙලා, කෙටි මඟකින් ඔහුට අවශ්‍ය ගමන නිමා කරනවා. ඒ නිසා මොහුට මේ උපකාරය කළ හැකි නම් හොඳයි කියලා තමන්ට පුළුවන් තරමින් ඔහු කෙරෙහි දයාව ම ඉපදවිය යුතුයි, අනුකම්පාව ම ඉපදවිය යුතුයි.
අන්න ඒ වගේ අර පුද්ගලයා කෙරෙහි දයාව අනුකම්පාව ඉපදවිය යුතුයි; ද්වේෂය යටපත් කළ යුතුයි. ඒ කොහොම ද? කායික ක්‍රියාවන් දුෂ්ටයි; වාචසික හැසිරීම් දුෂ්ටයි; මානසික හැසිරීම් දුෂ්ටයි; කය වචන සිත යන තුන් දොරින් ම ඔහු සිදු කරන්නේ අකුසල්. එවන් පුද්ගලයා කෙරෙහි, අහෝ මේ පුද්ගලයා මේ කායික අකුසලයන් නිසා – මේ වාචසික අකුසලයන් නිසා – මේ මානසික අකුසලයන් නිසා මොහු ඒකාන්තයෙන් ම මතු අපාගත වෙනවා. අනේ මේ පුද්ගලයා එසේ අපාගත නො වේ වා! මොහුට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් ඉන්නවා නම් – මොහුට මේ විෂම හැසිරීමෙහි නපුර කියා දෙන්න කෙනෙක් ඉන්නවා නම් – මොහුට මේ මනුෂ්‍යකමේ වටිනාකම කියා දෙන්න කෙනෙක් ඉන්නවා නම් – මොහු මේ තත්ත්වයෙන් මිදෙනවා. ඔහුට ඒ දේවල් කියා දීලා ඔහුව ඒ තත්ත්වයෙන් මුදවාගන්න පුළුවන් නම් කොයි තරම් වටිනව ද? එක් පුද්ගලයෙක් සසර අතරමං නො වී ඔහු බේරෙනවා නේ ද කියලා, එවන් පුද්ගලයා කෙරෙහි අනුකම්පාව ඉපදවිය යුතුයි. එවන් පුද්ගලයා කෙරෙහි කරුණාව ඉපදවිය යුතුයි.
අර මාර්ගයට පිළිපන් පුද්ගලයාගේ රෝගී තත්ත්වයට අවශ්‍ය ආහාර පාන නැතුවා වගේ තමයි මේ ජීවිතයේ – මනුෂ්‍යකමේ හෝ මහණකමේ වටිනාකම ඔහු හඳුනාගෙන නෑ. මනුෂ්‍යකමේ හෝ මහණකමේ අරුත ඔහු වටහාගෙන නෑ. ඒ නිසා කායික ව හෝ මානසික ව අකුසල කර්‍ම කරන්න පෙලඹෙනවා. ඊළඟට බේත්හේත් නැතුවා වගේ තමයි, ඔහුට මේ සසර අතරමං නො වී යාමට අවශ්‍ය ධර්මය ලැබිලා නෑ. සත්පුරුෂ සේවනය – සද්ධර්ම ශ්‍රවණය ඔහුට ලැබිලා නෑ. ඊළඟට අර තැනැත්තාට කෙටි මාර්ගය කියා දීමට මාර්ගෝපදේශකයෙකු නැතුවා වගේ තමයි, මොහුට උපදෙස් දෙන්නට බුදුකෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ දැන උගත් ගිහියෙක් හෝ ලැබිලා නෑ. ඉන්නට පුළුවන්, ඔහුට ලැබිලා නෑ. අර ඔහුට ගෙවා ගෙන යන්නට තියන මඟ ගෙයක් දොරක් ගම්මානයක් පේන තෙක් මානයක නැතුවා වගේ තමයි, ඔහුට සසර ඉමක් කොණක් පේන්න නෑ. බැලු බැලූ අත සතර අපාය ම මිස ඔහුට මේ සසර ගොඩවීමක් පේන්නෙ නෑ. ඒ නිසා අහෝ මේ පුද්ගලයා සසර අතරමං නො වේ වා, ඔහුව අපායෙන් ගොඩදාන්නට හැකි නම් ඒක මහා කුසල කර්මයක්, ඒ නිසා මම මොහු කෙරෙහි ද්වේෂය නො ඉපදවිය යුතුයි, මොහුට හැකි උපකාරයක් කරලා මොහු මෙයින් ගලවාගත යුතුයි කියලා, අනුකම්පාව ඒ පුද්ගලයා කෙරෙහි ඉපදවිය යුතුයි කියලා සැරියුත් හාමුදුරුවො දේශනා කරනවා.
මතු සම්බන්ධයි…