රෙන්දාවා සොන්නු ලෝද්‍රෝ හිමි
පරිවර්තනය: අනුරාධ මහසිංහ
1349 වර්ෂයේ දී තිබ්බතයේ ඛම් සෝර් හෙවත් රෙන්දා ප්‍රාන්තයේ ප්‍රභූ පවුලක උපන් සුන්-නේ නම් කුමරුවෝ වයස දහ අටේ දී තිබ්බත ශාක්‍ය නිකායෙහි ‘සොන්නු ලෝද්‍රෝ’ නමින් සාමණේර බවට පැමිණිය හ. ඉක්බිති කෘතහස්ත තිබ්බත ආචාර්යවරුන් යටතේ භාවනා-ශාස්ත්‍ර ප්‍රගුණ කොට උපසම්පදාව ලැබූ හ. එතැන් පටන්, 1412 වසරේ අපවත් වන තුරු උන්වහන්සේ විසින් කරන ලද අටුවාවන් සහ ලද චරිතාපදාන, තිබ්බත ධර්ම සාහිත්‍යයෙහි අග්‍රගණ්‍ය කෘතීන් සේ සැලකේ. මෙවර තිබ්බත බණපොතෙහි එන්නේ, සොන්නු ලෝද්‍රෝ හිමියන් විසින්, ආචාර්ය නාගාර්ජුනපාදයන් විසින් ලියනු ලැබූ ‘සුහෘල්ලේඛා’ (සහෘද ලියමන) නම් කෘතියට ලියන ලද අටුවාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. මෙම සුහෘල්ලේඛා කෘතිය අතීතයේ මෙරට බෙහෙවින් ප්‍රචලිත ව තිබූවකි. මහාචාර්ය ඩේවිඩ් කලුපහනයන් පෙන්වා දෙන අන්දමට, අනුරාධපුර යුගයෙහි දී අභයගිරි භික්ෂූන් විසින් සුහෘල්ලේඛාව සිංහලට පෙරළනු ලැබ ඇති අතර, වීදාගම මෛත්‍රිය හිමියන්ගේ අප කවුරුත් දන්නා ‘ලෝවැඩ සඟරාව’ට මුල් වී ඇත්තේ ද නාගාර්ජුන හිමියන්ගේ මෙම කෘතියයි.
අහර ගත යුත්තේ
බෙහෙත් ගනු පරිද්දෙනි.
ආසා රහිත ව,
නපුරු සිතකින් තොර ව ය.
ලොවට පෙන්වනු පිණිස නො වේ මැ යි,
බාහු බල වඩනු රිසි නො වේ මැ යි.
කය පවත්වනු පිණිස පමණක් ය
අහර ගත යුත්තේ.
නිසි මාත්‍රාවට ගන්නා බෙහෙතින් පමණක් රෝග සුව කෙරේ. පමණ ඉක්මවූවේ ද, පමණට අඩු වූයේ ද, රෝගය සුව නො වේ. කුසගින්න නමැති ලෙඩට පිළියම වන ආහාරය ගත යුත්තේ ද එපරිද්දෙනි.
එමෙන් ම, ආශාවෙන් හෝ ද්වේෂයෙන් හෝ තොර ව ආහාර ගත යුතු ය. ඉන්ද්‍රියයන් පිනා යන සේ, උඩඟුකම් වැඩෙන සේ, අයහපත් කාය කර්ම හෝ වචී කර්මවලට මඟ පාදන කාමභෝගී මනසිකාර වැඩෙන සේ ආහාර නො ගත යුතු ය. “මේ ආහාරයෙන් ශරීරබල වඩා සතුරන් මැඬලමි,” යනාදි ද්වේශමූලික අදහස් ඇති ව ආහාර නො ගත යුතු ය. එමෙන් ම, “මේ ආහාරයෙන් මගේ පේශීන් මනා ලෙස වැඩේ වා,” යන තෘෂ්ණාමූලික අදහසින් ද ආහාර නො ගත යුතු ය.
ඒ වෙනුවට, “ගුණධර්ම වඩනු පිණිස කය පවත්වාගත යුතු ය; කය පවත්වාගනු පිණිස ආහාර ගත යුතු ය,” සිතා, එම අදහසින් ම ආහාර ගත යුතු ය.
*****************************
සතිය යනු
අමරණීය වීමේ මඟ යැ යි
දෙසූ හ, බුදු හිමි.
මරණයේ මඟ නම් අනවධානය මැ යි.
නිරතුරු ද, ගරු කොට ද පුහුණු කළ සතියෙන්
වඩනු හැකි සියලු යහ ධර්මයන් එබැවින්.
සියලු ගුණධර්මයන්ගේ මූලය සතිය වෙයි. එය පැවිද්දන්ට පමණක් වැඩිය හැකි දෙයක් නො වේ. එබැවින් මේ ගාථාව වෙසෙසින් ම ගිහියන් වෙනුවෙන් නාගාර්ජුනපාදයන් විසින් ලියන ලද්දේ ය.
සතිය වඩන කල්හි, මනසෙහි ස්වභාවය සාවධාන ව දකිමින්, එය අධර්මයන් කෙරෙන් ආරක්ෂා කරගැනීම සිදු වේ. අජර වූත් – අමර වූත් අමෘතය වන නිර්වාණය කරා කෙනකු මෙහෙයවන්නේ සතිය විසිනි. සතියෙහි ප්‍රතිවිරුද්ධ අන්තයෙහි ඇති අනවධානය අප යොමු කරන්නේ උපතේත් මරණයේත් දුක්ඛිත චක්‍රයෙහි පැටලී, වික්ෂිප්ත වී, සංසාර ප්‍රවාහයේ ගසාගෙන යන්නට ය. මෙය බුදුන් වහන්සේගේ මුවින් මෙසේ දේශනා කොට තිබේ:
අප්පමාදෝ අමතපදං –
පමාදෝ මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති –
යේ පමත්තා යථා මතා
(අප්‍රමාදය අමරණීය වීමේ මාවතයි, ප්‍රමාදය මරණයේ මාවතයි. අප්‍රමාද වූවෝ අමරණීය වන්නෝ ය; ප්‍රමාද වූවන් ජීවත් වන මළ මිනී වැන්න.)
එබැවින් නිරන්තරයෙන් ඔබේ සිත සිහියෙහි පිහිටුවාගන්න. එසේ කොට නූපන් කුසල් උපදවාගන්න.
***********************************
වලාකුළු හිස් වූ පසු සඳ සේ පැහැදුල් ය
විපිළිසර මිනිසා සතිමත් වූ කල්හි.
නන්දයන් – අංගුලිමාලයන් හෝ
අජාසතුන් හෝ උදයනයන් වැන්න.
මෙම ගාථාව, ආධුනිකයකුගේ සිතෙහි පහළ විය හැකි සිතුවිල්ලකට පිළිතුරකි. එම සිතුවිල්ල නම්, “මට උදවු කරන්න ඔබට ඕනැ වුණා නම්, කලින් නො කිවුවෙ ඇයි? මම මේ වෙනකොටත් බොහෝ විපිළිසර වෙලා, බොහෝ පවු කරලා ඉවරයි. දැන් මම මොකද කරන්නෙ?” යන්නයි.
යම් කෙනකු චිත්තාවේගයන්ගේ ගොදුරක් වීමෙන් හෝ පවිටන්ගේ ඇසුරට වැටීමෙන් හෝ වික්ෂිප්ත ව ප්‍රමාදයට වැටී බොහෝ අකුසල් කරගෙන තිබෙනු විය හැකි ය. එසේ වුව ඒ තැනැත්තා පසු ව කල්‍යාණ මිත්‍ර ආශ්‍රයකින් ආධ්‍යාත්මික මාවතට පිවිසියහොත්, වලාකුළුවලින් වැසී තිබී, එම වලා පටල ඉවත් වූ පසු පැහැදිලි වන සඳ මුහුණතක් සේ මහත් ප්‍රභාස්වර මනුෂ්‍යයකු – ගැහැනියක බවට පරිවර්තනය වන්නට ඉඩක් තිබේ.
එවැනි අය සිටියේ ද යන ප්‍රශ්නය කෙනකු නඟන්නේ නම් ඒ සඳහා උදාහරණ ද ගාථාවෙන් දී ඇත. නන්ද කුමරු වනාහි භාග්‍යවතුන් වහන්සේට ඥාතිත්වයක් තිබූ රාගාධික ශාක්‍ය පුත්‍රයෙකි. ඔහු පැවිදි බිමට පිවිසෙන්නේ, තම සුන්දරිය කෙරෙන් මොහොතකට වත් සිත මුදවා ගන්නට නො හැකි තරම් විපිළිසර වී සිටි කාලයක ය. සතිමත් වන්නට හෝ ගුණධර්මයක් පුරන්නට හෝ ඔහු සිතෙහි ඉඩක් නො වී ය. මෙවිට බුදුන් වනහ්සේ ඔහුට පොළෝ ගැබෙහි වූ නරකයන්ගේ භයංකර ස්වභාවය දකින්නට සැලැස්වූ හ. මෙයින් කම්පාවට පත් නන්ද තෙමේ මහත් උනන්දුවෙන් භාවනා වඩා අර්හත්වයට පැමිණ, ශ්‍රාවකයන් අතර හික්මීමෙන් අගතැන් පත් වූ හ.
අංගුලිමාලයන් බ්‍රාහ්මණ පුත්‍රයෙකි.
රැවටෙනසුලු ගතියකින් යුක්ත වූ මෙතෙමේ, සිය ආචාර්යවරයා විසින් වංචා කරනු ලැබ, මිනිසුන් දහසක් මරා ඔවුන්ගේ ඇඟිලිවලින් මාලයක් තනා පැළඳීම ධර්මය යැ යි විශ්වාස කොට, මිනිසුන් නව සිය අනූ නවයක් මරා දැම්මේ ය. දහස්වැන්නා මරා දමන්නට යන ගමනේ තථාගතයන් වහන්සේ හමු වී, ධර්මයෙහි පැහැදී, පැවිදි බිමට පිවිසිය හ. පසු කලෙක අර්හත්වයට පැමිණිය හ.
දෙව්දතුන්ගේ ඇසුරට වැටුණු අජාසත් තෙමේ තම පියා වූ බිමිබිසාර රජ මැරවීම් ආදි මහා පාපයන් කරගත්තේ ය. පසු කලෙක බුදුන් වහන්සේගේ ඇසුර ලැබ, ඇතැම් පාපයන්ගේ විපාකවලින් ගැලවෙන්නට මඟ පාදා ගත්තේ ය. එපමණක් නො ව, උපාසකයන් අතර ශ්‍රද්ධාවෙන් අගතැන් පත් විය.
අන් සතු ස්ත්‍රියක හා සම්භෝගයේ යෙදෙන්නට සැලසුම් යොදමින් සිටි උදයන එයින් වළකාලනු ලැබුවේ ඔහුගේ මෑණියන් විසිනි. කෝපයට පත් උදයන සිය මෑණියන් මරා දැම්මේ ය. පසු කලෙක ඔහු පැවිදි බිමට පිවිසි විට මෙම අතීත ප්‍රවෘත්ති දැනගත් භික්ෂූහු ආනන්තර්ය කර්ම කොට ඇති මේ පැවිද්දා පිළිකුල් කළ හ. මේ නිසා හෙතෙම හුදෙකලා පෙදෙසකට ගොස් ආරාමයක් සාදාගෙන තනි ව වසන්නට ගත් හ. කල් යත් ම අනෙක් භික්ෂූහු උදයන හිමියන්ගේ ආරාමයෙහි උන්වහන්සේගේ සෙවණෙහි වැඩ වසන්නට ගත් හ. මරණින් පසු සිය කර්මයට විපාක වශයෙන් උදයන හිමියෝ නිරයෙහි උපන් හ. එහෙත් උන්වහන්සේ නිරයෙහි ගත කළ කාලය කෙටි විය. පොළා පනිනා බෝලයක් පරිදි ඉන් චුත ව, දිව්‍ය ලෝකයෙහි ඉපිද, සෝතාපන්න ඵලයට පැමිණිය හ.
*******************************
සතරාකාර වන්නා හ
සත්ත්වයෝ ලෝකයෙහි –
එළියෙන් එළියට යන්නෝ
අඳුරෙන් අඳුරට යන්නෝ
එළියෙන් අඳුරට යන්නෝ
අඳුරින් එළියට යන්නෝ…
එළියෙන් එළියට යෑම ය, යහපත්.
දිව්‍ය-බ්‍රහ්ම තලවල උපන්නෝ ද, මනුෂ්‍ය ලෝකයෙහි වාසනා ගුණ ඇති ව උපන් මනුෂ්‍යයෝ ද, ඇතැමෙක්, යහපත් කර්මයෙන් මරණින් මතු එම තත්ත්වයන් ම ලබති. එළියෙන් එළියට යනු මේ පිරිස ය. සතර අපායෙහි උපන්නෝ ද, වාසනා මඳ මනුෂ්‍ය උපත් ලැබුවෝ ද, ඇතැමෙක්, කර්මයෙන් එම තලවල ම මරණින් මතු ඉපදෙති. අඳුරින් අඳුරට පිවිසෙනු ඔවුන් ය.
දිව්‍ය-බ්‍රහ්ම උපත් හෝ වාසනා ගුණ ඇති මනුෂ්‍ය උපත් හෝ ලැබූ ඇතැමෙක් නරක කර්මයන් කොට පහත් තලවල උපදිති. ඔවුන් එළියෙන් අඳුරට යන්නන් ය. එවන් තලයක උපන් ඇතැමෙක් යහපත් කර්මයන් නිසා උසස් තලවල උපදින්නෝ ය. අඳුරින් එළියට පිවිසෙනු ඔවුන් ය. සුගතියෙහි වාසනා ගුණ ඇති ව උපන් මනුෂ්‍යයන් උත්සාහ කළ යුත්තේ මින් පළමු කාණ්ඩයට අයත් වන්නට ය.