විහාර අස්න හෙවත් නම්පොත හැඳින්වීම

rashi
By rashi
10 Min Read

හෙම්මාතගම පියදස්සි හිමි
හසිත චාමිකර ගුණසිංහ

මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ඇති කරන ලද භාෂා ශාස්ත්‍ර ප්‍රබෝධය යටතේ භාෂා අධ්‍යයනය වෙනුවෙන් නිර්දිෂ්ට ග්‍රන්ථ මාලාවක් හඳුනාගත හැකිය. ඒවා පිළිවෙළින් හෝඩිය, නම්පොත (විහාර අස්න සහ නම්ගම්පොත), මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන් කවිපොත, බුද්ධගජ්ජය සහ සකස්කඩ වේ. මේ අනුව හෝඩිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමෙන් පසුව අක්ෂරාභ්‍යාසයේ යෙදෙන නවක ශිෂ්‍යයා විසින් විහාර අස්න හෙවත් නම්පොත පරිශීලනය කළ යුතු වූයේ ලිහිල් අක්ෂර සංයෝගයෙන් යුත් වචන උච්චාරණය කිරීම හුරු කර ගැනීමටය. නම්පොත, විහාර අස්න සහ නම්ගම්පොත යන නම්වලින් මෙම කෘතිය හඳුන්වා තිබේ. බෞද්ධ සිද්ධස්ථාන පිහිටි ස්ථානවල නාමාවලියක් මෙහි අන්තර්ගත බැවින් ‘නම්පොත’ සහ ‘නම්ගම්පොත’ යනුවෙන් හැඳින්වෙන්නට ඇත. ‘අස්න’ යනුවෙන් අදහස් කෙරෙන්නේ පණිවුඩයයි. මෙම කෘතියේ අවසානයට විහාර හා දේවාලවලට අධිගෘහිත දෙවිවරුන්ට සංඝාඥාවක් නිකුත් කරන බැවින් විහාර අස්න යනුවෙන් හැඳින්වෙන්නට ඇති බව පැහැදිලිය.

  • විහාර අස්න හෙවත් නම්පොත රචිත කාල සීමාව සහ කතුවරයා

විහාර අස්න හෙවත් නම්පොතේ රචිත කාලසීමාව සහ එහි කතුවරයා පිළිබඳ නිශ්චිත වශයෙන් වාර්තා වී දැනට පවතින මතවාද අනුව මෙම කෘතියේ ඉතිහාසය පොලොන්නරු යුගය දක්වා දිවෙයි. ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධන ඒ පිළිබඳ මෙබඳු අදහසක් පළ කරයි.

මහනුවර යුගයේදී පන්සල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ අවධියේදී මූලික අධ්‍යාපනය ලැබූ ආධුනිකයන් විසින් කටපාඩමින් හදාළ යුතු පොතක් වූ නම්පොත මුලින් ලියන ලද්දේ කවර කාලයක දැයි නිශ්චිත වශයෙන් දැක්විය නොහැකිය. එය වර්තමාන ස්වරූපයට පත්වූයේ මහනුවර යුගයේ වැලිවිට සරණංකර සඟරජ හිමියන්ගේ කාලයේදී යැයි සිතිය හැකිය. මහනුවර සමයෙන් පසුව ඉදි කරන ලද සිද්ධස්ථානවල නම් එහි ඇතුළත් නොවීම ද එම අදහස තහවුරු කරන්නකි.

සති පිරිත් දේශනා කිරීමේ සම්ප්‍රදාය පොලොන්නරු කාලයේ දී පළමු වන පැරකුම්බා රජු සමයේ දී ඇරඹුණු බව විශ්වාස කෙරෙන අතර නම්පොත ද ඒ කාලයේ ඇරඹී අවසාන වරට මහනුවර සමයේ දී වර්තමාන ස්වරූපයෙන් සකස් වන්නට ඇතැයි මතයක් පවතී. විහාර අස්න යන්නෙහි එන ‘අස්න’ යන වචනය සාහිත්‍යයට එකතු වූයේ දඹදෙණි සමයේ දී පමණ යැයි සිතිය හැකිය. දඹදෙණි අස්න, කුවේණි අස්න වැනි කෘති සාධක කොට දැක්විය හැකිය. විහාර අස්න හෙවත් නම්පොත පොලොන්නරු සමයේ දී ඒ නමින් ව්‍යවහාර වී දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද, යථෝක්ත අස්න යන වචනයේ භාවිතය විහාර අස්න අයත් වන කාලය නිර්ණය කිරීමට යම්බඳු ඉඟියක් දක්වතැයි සිතිය හැකිය.

කෝට්ටේ යුගයේ දී පමණ විහාර අස්න හෙවත් නම්පොත සම්පාදනය වූ බවට ද අදහස් පළ වේ. සති පිරිත් අවසානයේ ආටානාටිය සූත්‍ර දේශනාවට පූර්වයෙන් සජ්ඣායනය කිරීම සඳහා මෙම නාමාවලිය, කෝට්ටේ හය වන පරාක්‍රමබාහු රජ දවස (1412 – 1467) සම්පාදනය වන්නට ඇති බවත්, එවකට ලක්දිව පැවැති ප්‍රධාන විහාර හා දේවාල ඊට ඇතුළත් වන්නට ඇති බවත් කියැවේ.

එහෙත් මෙම කෘතියේ විහාර සහ දේවාල සඳහන් කිරීමේ දී මහනුවර යුගයේ දී වැදගත් කොට සලකන ලද, එමෙන්ම මහනුවර රාජධානිය වටා පිහිටි සිද්ධස්ථාන පිළිබඳ වැඩි අවධානයක් දක්වා තිබෙන හෙයින් තත් යුගයේ දී මෙම කෘතිය සම්පාදනය වූ බවට බළංගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියෝ අදහස් කරති. උන්වහන්සේ සඳහන් කරන්නේ කර්තෘ අවිනිශ්චිත වූවත්, නම්පොත සහ මඟුල් ලකුණ යන කෘති දෙකම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස (1707 – 1739) සම්පාදනය වන්නට ඇති බවයි.

මෙය වර්තමානයේ පවත්නා තත්ත්වයට සම්පාදනය කරන ලද්දේ මහනුවර යුගයේ දී වැලිවිට සරණංකර සඟරජ මාහිමියන්ගෙන් ධර්මශාස්ත්‍රොද්දීපනයෙන් උපන් මහාර්ඝ පඬිරුවනක් වූ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමා විසින් බවට අදහසක් පවතී. මේ පිළිබඳ මහාචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගල මෙබඳු අදහසක් පළ කරයි.

පාලි සකු මෙන්ම හෙළබස ඉගැන්වීමෙහි ද මූලිකව ක්‍රියාකළේ අත්තරගම පඬිතුමායි. සිංහල හෝඩිය, නම්පොත, මඟුල් ලකුණ, වදන්කවිපොත, ගණදෙවි හෑල්ල, බුද්ධ ගද්‍යය හා සකස්කඩත් එදා අකුරුකරණයෙහි පිළිවෙළින් යොදවාගත් පොත් පෙළයි. මේ පොත් පෙළ කාගේ කෘති දැයි නොපෙනෙතත්, මෙයින් සමහරක් අත්තරගම පඬිතුමා විසින් සකස් කළ බව පොදු පිළිගැනීමයි. එය එවක සිට මේ දක්වා පාරම්පරිකව එන විශ්වාසයකි. ඒ අනුව මේ පොත් එතුමා සකස් නොකළ ද, අකුරුකරණයෙහි ඒවා යොදවා ගන්නා ලද්දේ එතුමාගේ උපදෙස් අනුව බව අපට සිතාගත හැකිය.

විහාර අස්න හෙවත් නම්පොත පිළිබඳ සවිස්තර විවරණයක් ඉදිරිපත් කළ පන්නිල ශ්‍රී සාරානන්ද නාහිමි සහ ඕපාත ශ්‍රී සරණංකර නාහිමියෝ එහි කතුවරයා පිළිබඳ මෙසේ සඳහන් කරති.

මෙකල සංඝරාජ මාහිමියන් වහන්සේගේ පා සෙවණෙහි වැඩීමෙන් ප්‍රසිද්ධ පඬිවරයකු බවට පත් අත්තරගම බණ්ඩාර රාජගුරුතුමන් සඟරජ හිමියන්ගේ නියමය පරිදි පන්සල් අධ්‍යාපනය සකස් කළ බැව් නිශ්චය කළ හැකිය. පන්සල් හෝඩිය, නම්පොත, මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, සකස්කඩය, බුද්ධ ගද්‍යය ආදී මූලික අධ්‍යාපනයට අවශ්‍ය පොත් පෙළ එම පඬිතුමන් විසින් සකස් කරන ලදුව සඟරජ හිමිතුමන් විසින් පිළිගෙන ව්‍යවහාර ප්‍රාප්ත කළ බව සිතීමට ඉඩ තිබේ. තම ශිෂ්‍යයා විසින් සම්පූර්ණ කළ නම්පොත විහාර අස්න වශයෙන් අවසානවර පිරිතට සම්බන්ධ කරන ලද්දේ ද සඟරජ මාහිමිතුමන් විසින්ම ය. මේ නිසා පොලෙන්නරු, දඹදෙණි කාලයන්හි එකතු කොට තිබුණු නාම මාලාව පසුකාලයෙහි කරවන ලද විහාර දේවාල සමූහයක නම් ද ඇතුළත් කොට අවසාන වරට අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන් විසින් සකස් කරන ලදය යනු අපගේ හැඟීමයි.

උන්වහන්සේලා දක්වන යථෝක්ත අදහස මෙහි කතුවරයා පිළිබඳ දක්වා ඇති විචාර පූර්වක අදහසක් බව අපගේ ද හැඟීමයි. ඉහතින් සඳහන් වූ අන්දමට අස්න සාහිත්‍යයක් පිළිබඳ සිංහල සාහිත්‍ය වංශයෙන් තොරතුරු හමුවන්නේ දඹදෙණි යුගයේදී පමණය. දඹදෙණි අස්න, සිහබා අස්න සහ කුවේණි අස්න ආදී ග්‍රන්ථ ඊට නිදසුන්වේ. එබැවින් විහාර අස්න ද මහනුවර යුගයට පූර්වයෙන් සම්පාදනය වූ බව නිශ්චය කිරීමට කරුණු තිබේ.

යුගයෙන් යුගයට රාජානුග්‍රහය යටතේ ඉදිවූ විහාර සහ දේවාල නාම අනුක්‍රමයෙන් සංග්‍රහ වෙමින් මහනුවර යුගය වනවිටත් ලිඛිතව සති පිරිත් ආදී දේශනාවන්හි විහාර අස්න හෙවත් නම්පොත භාවිත වන්නට ඇත. මෙය අවසන් වරට නව සංශෝධන ද සහිතව සම්පාදනය වන්නට ඇත්තේ මහනුවර යුගයේ දී බව ඉතා පැහැදිලිව හඳුනාගත හැක්කේ සමකාලීනව ගොඩනැඟුණු විහාර හා දේවාල කිහිපයක් මීට සංග්‍රහ වී තිබීම හේතුවෙනි.

ඒ යටතේ සගම රජ මහ විහාරයෙන් සිට විහාර අස්න හෙවත් නම්පොත පෙළගැස්වෙන හෙයින් එහි කතුවරයා එම ප්‍රදේශයේ උපන් අයකු බවට අදහසක් සගම ප්‍රදේශයේ පවතී. සගම රජ මහ විහාරාධිපති නාපානේ විජිත නාහිමියන් ප්‍රකාශ කළ අන්දමට සගම ප්‍රදේශවාසියකු ලක්දිව සිද්ධස්ථාන වන්දනා කිරීමේ අරමුණින් සගම විහාරයේ සිට පිළිවෙළින් පස්ගම, අරත්තන, මාදන්වල ආදී අවට සිද්ධස්ථාන වන්දනා කරමින් වන්දනා ගමන ආරම්භ කරනු ලැබ තිබේ. ඔහු සිය ගමනේ යෙදී ඇත්තේ එවකට මාර්ග පහසුකම් ආදිය පැවැති මාර්ගයක බවත්, අතරමඟ හමුවූ අම්බලම් ආදියේ රාත්‍රිය ගත කරමින් වන්දනාවේ යෙදුණු මගියා ඔහුගේ වන්දනා ගමන අවසන් කරන්නේ මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමෙනි. උපන් ගමේ සිට වන්දනා ගමන ආරම්භ කළ හෙයින් තමන් වන්දනා කළ ස්ථාන නාමාවලිය සගම මගියා විසින් අනුපිළිවෙළින් සකස් කරන්නට ඇති බව නාපානේ විජිත නාහිමියෝ ප්‍රකාශ කළහ.

එහෙත් විහාර අස්න හෙවත් නම්පොත, තත්කාලීන පාරිවෙණික අධ්‍යාපනයේ පාඨ්‍ය ග්‍රන්ථ සම්පාදනයේ ප්‍රමුඛයා වූ අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමා අතින් ලියවුණු බව නිශ්චය කිරීම යුක්ති යුක්ත බව පෙනේ. සඟරජ මාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍ර පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කළ මෙතුමා ‘රාජගුරු’ පදවියෙන් පිදුම් ලැබීය. මල්වතු මහාවිහාරයේ අධිපතිව වැඩසිටි කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස මාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ එතුමා විසින් ප්‍රවර උපාලි මහතෙරුන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ද හිමිකර ගන්නා ලදී. පසුකාලීනව උපැවිදි වුවද, ධර්ම ශාස්ත්‍රීය සේවාව අඛණ්ඩ සිදු කරමින් කාරක පුෂ්පමඤ්ජරිය, ශබ්දමාලාව, වෘත්තාවතාරය සහ සුධීර මුඛමණ්ඩනය ආදී ග්‍රන්ථ අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විසින් රචනා කරනු ලැබ තිබේ.

ගිහි, පැවිදි ශිෂ්‍යයන් රැසක් එතුමාගෙන් ශාස්ත්‍ර උගත් අතර එයින් කරතොට ධම්මාරාම නාහිමි, හීනටිකුඹුරේ සුමංගල හිමි ආදීහු ප්‍රධාන වෙති. මේ පිළිබඳ ආචාර්ය කොටගම වාචිස්සර හිමියන්ගේ අදහස මෙසේය.

වර්තමාන ධර්මශාස්ත්‍රෝන්නතියෙහි පුරෝගාමියා වැලිවිට සංඝරාජයන් වහන්සේ වුවත්, මෙකල ලක්දිව පවත්නා අධ්‍යාපන ආයතන වැඩි කොටසක ආරම්භකයෝ අත්තරගම රාජගුරු බණ්ඩාරගෙන් හා ඔහුගේ ශිෂ්‍යයන්ගෙන් ධර්ම ශාස්ත්‍ර උගත් පිරිසගෙන් ධර්මශාස්ත්‍ර උගත් අය වූහ.”

එමගින් ද පෙනීයන්නේ එකල පන්සල කේන්ද්‍රකොටගෙන අධ්‍යාපන පෝෂණයෙහිලා අත්තරගම පඬිතුමා වෙතින් ලැබුණු දායකත්වයයි.

  • මහනුවර යුගයේ සාම්ප්‍රදායික අධ්‍යාපනය සහ විහාර අස්න හෙවත් නම්පොත

දහඅට වන සියවසේ දෙවන දශකය වනවිට ආරම්භ වූ සංඝරාජ මාහිමියන්ගේ භාෂා ශාස්ත්‍ර පුනරුත්ථාපන ව්‍යාපාරයට පූර්වයෙන් මෙරට භාෂා අධ්‍යයන සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම යටපත්ව පැවැතියේ යැයි කිව නොහැකිය. එකල පැවැති තත්ත්වය වූයේ එය සීමිත පිරිසක් තුළ යම් පමණක අවිධිමත් ශාස්ත්‍ර ඥානයක් සහ උගැන්වීමක් වශයෙන් පැවැතීමයි. මේ අනුව සංඝරාජ මාහිමියන් සිල්වත් සමාගම මගින් සීමිත පිරිසකට සීමාවෙමින් අවිධිමත්ව පැවැති මෙරට සාම්ප්‍රදායික අධ්‍යාපනය වඩාත් සංවිධානාත්මක සහ විධිමත් එකක් බවට පැමිණවීමට ප්‍රයත්න දැරූ බව පැහැදිලිය. ඒ අනුව පන්ති මට්ටම් සතරකින් ඉගැන්වීමේ කටයුතු සිදුවූ බව හඳුනාගත හැකිය.

. අකුරු නොකී ළදරු වයස් ඇති අයට හෝඩියේ පටන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාදීම.

. සිල්වාරම් අකුරු දත් (අකුරු තරමක් උගත්) අය සඳහා ඇණවුම් සකස්කඩ හා ද්විතීය අධ්‍යයන ග්‍රන්ථ ඉගැන්වීම.

. ශතක පොත් පටන් අක්ෂරාභ්‍යාසය, හෙරණසිඛ, දිනචරියාව වැනි ධර්මාභ්‍යාසයේ මූලිකාංග ඉගැන්වීම.

. උසස් අධ්‍යාපනය ලබන්නවුන්ට භාෂා සාහිත්‍ය අධ්‍යයනයට ප්‍රයෝජන වන ව්‍යාකරණ, නිඝණ්ඩු, ධාතුපාඨ ආදියත් තෙළෙස් ධුතාංග හා රාත්‍රී බණ ධර්ම කාණ්ඩ ඉගැන් වීම.

මෙකී අධ්‍යාපන සම්ප්‍රදාය අදියර තුනකින් සමන්විත වූ බව අතර ඒ ඒ අදියරට අදාළව අධ්‍යයනය කළ යුතු ග්‍රන්ථ මාලාවක් ද වූ බව පෙනේ. ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය වශයෙන් පැවැති මේ අදියර තුනෙන් ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ගිහි පැවිදි දෙපිරිසට ම පොදු විය.

ප්‍රාථමික අධ්‍යාපනයේ අපේක්ෂිතාර්ථය වී ඇත්තේ ළදරු ශිෂ්‍යයන්ට සිංහල අක්ෂර උච්චාරණයත්, ලිපි විඥානයත් පුහුණු කිරීම ය. ඒ සඳහා නිර්දිෂ්ටව පැවැති ග්‍රන්ථ රාශියකි. ඒවා නම් හෝඩිය, නම්පොත (විහාර අස්න සහ නම්ගම්පොත), මඟුල් ලකුණ, ගණදෙවි හෑල්ල, වදන්කවිපොත, බුද්ධගජ්ජය සහ සකස්කඩ යනාදියයි. ඒ අතරින් නම්පොත හෙවත් විහාර අස්න ද ප්‍රාථමික අධ්‍යාපනයේදී නිර්දිෂ්ට ග්‍රන්ථයක් වූ බව පැහැදිලි ය. මේ බව ගණදෙවි හෑල්ලෙන් සහ බාලෝවාදයෙන් පැහැදිලි වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *