ළාමක ආශා නසන පඤ්ඤා

rashi
By rashi
14 Min Read

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

අංගුත්තර නිකායේ දසක නිපාතයේ මහා වග්ගයේ තෙවැන්න කාය සූත්‍රය යි. සිව්වැන්න මහා චුන්ද සූත්‍රය යි. මෙම ලේඛනය සම්පාදනය කරනු ලබන්නේ කාය සූත්‍රය ද මහා චුන්ද සූත්‍රය ද මූලාශ්‍රය කොට ගනිමිනි. බුදුන්වහන්සේ වාග් ද්වාරයෙන් නොව කාය ද්වාරයෙන්ම ප්‍රහාණය කළ යුතු ධර්ම, කාය ද්වාරය තබා වාග් ද්වාරයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම සහ කාය – වාග් යන ද්වාර දෙකම තබා ප්‍රඥා ද්වාරයෙන් දැක ප්‍රහාණය කළ යුතු ධර්ම පිළිබඳව වදාරති.

මෙයට අනුව කයින් ලේශමාත්‍ර වූ අකුශලයක් සිදුවන්නේ නම් කළ යුත්තේ කාය දුශ්චරිතය හැර, කාය සුචරිතය වැඩීමයි. කිසියම් ස්වල්ප වූ අකුසලයක් වුව වාග් ද්වාරයෙන් සිදුවන්නේ නම්, කළ යුත්තේ වාග් දුශ්චරිතය හැර වාක් සුචරිතය වැඩීම යි. එහෙත් ලෝභ – ද්වේෂ – මෝහ – ක්‍රෝධ – උපනාහ එනම් වෛරය, මක්ඛ එනම් ගුණමකුකම, පලාස එනම් අනුන්ගේ දොස් දැකීම, මච්ඡරිය එනම් මසුරුකම යන දුර්ගුණ ප්‍රහාණය කළ යුත්තේ කයින් ද නොවේ. වචනයෙන් ද නොවේ. ඒවා ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කළ යුතු බව බුදුන් වහන්සේ වදාරති. අනතුරුව උන්වහන්සේ පාපිකා ඉස්සා එනම් පාපය හා බැඳුණු ඊර්ෂ්‍යාව හෙවත් ළාමක ඊර්ෂ්‍යා ගැන කරුණු දක්වති. ඊට අනුව කිසියම් කෙනකුගේ සම්පත් ආඪ්‍යභාවය දැක, ඔහුට මෙබඳු සමෘද්ධියක් නොවේවා යනුවෙන් කවර හෝ ගිහියකු තුළ ඇති වන හැඟීම ළාමක ඊර්ෂ්‍යාවකි. එසේම කිසියම් ශ්‍රමණ හෝ බ්‍රහ්මණ චරිතයකට චීවර – පිණ්ඩපාත – සේනාසන – ග්ලානප්‍රත්‍යය ලැබෙන විට, ඒ චරිතයට එසේ නොලැබෙන්නේ නම් මැනවි යනුවෙන් ශ්‍රමණ බ්‍රාහ්මණ සිතක ඇතිවන හැඟීම ද ළාමක ඊර්ෂ්‍යාවෙකි. මෙය කයින් හෝ වචනයෙන් ප්‍රහාණය කළ නොහැකි බවත් ප්‍රඥාවෙන් ම දැක ප්‍රහාණය කළ යුතු බවත් බුදුහිමියෝ වදාරති.

තව ද ශ්‍රද්ධාව නොමැතිව ශ්‍රද්ධාවන්තයකු ලෙසත් දුස්සීලව හිඳ සිල්වතකු ලෙසත් අල්පශ්‍රැතව හිඳ බහුශ්‍රැතයකු ලෙසත් පිරිස් මැද ඇලී ගැලී ජීවත්වීම ප්‍රිය කරමින් එසේ නොවන ප්‍රවිවේකී මනැසින් යුතු චරිතයක් ලෙසත්, කුසීතව හිඳ වීර්යවන්තයකු ලෙසත්, නැසුණු සිහි ඇතිව එළඹ සිටි සිහි ඇත්තකු ලෙසත්, අසමාහිතව එනම් නොසන්සුන්ව හිඳ සමාහිත එනම් සන්සුන් තැනැත්තකු ලෙසත්, ප්‍රඥාහීනව හිඳ ප්‍රාඥයකු ලෙසත්, කෙලෙසුන් දුරු නොකොට ක්ලේශ ප්‍රහාණය කළ ක්‍ෂීණශ්‍රවයකු ලෙසත් පෙනී සිටීමට ඇති කැමැත්ත බුද්ධ වචනයට අනුව පාපිකා ඉච්ඡා හෙවත් ළාමක ආශාවෝ වෙති. කයින් හෝ වචනයෙන් මේවා ප්‍රහාණය කළ නොහැකි ය. ඒ ප්‍රහාණය සිදු කළ හැක්කේ ප්‍රඥාවෙන් දැකීමෙනි.

මේ සමාජයේ ජීවත් වන අප කා තුළත් යම් යම් මට්ටම්වලින් මේ ළාමක ඊර්ෂ්‍යා – ළාමක ආශා දක්නට ලැබේ. එහෙත් අප විසින් කරනු ලබන්නේ ඒ ළාමක ඊර්ෂ්‍යා – ළාමක ඉච්ඡා ඒ ආකාරයෙන් දැක, ඒවායේ ළාමක ස්වභාවය අවබෝධ කොට ගැනීම නොව ඒවාට බරක් දීම ය. ඒ බර හිසින් ගෙන සමාජයේ ජීවත් වීම ය. අපට බරින් නිදහස් විය හැක්කේ බර, බරක් ලෙස දුටුවහොත් පමණ ය. එහෙත් අපි බරට ප්‍රිය කරමු. එහෙයිනි, අපගේ කායික මරණය සිදුවන තෙක්ම අප ජාති බර, කුල බර, කීර්ති බර, තනතුරු බර මතු නොව උගත්කමේ, බලවත්කමේ, ප්‍රසිද්ධ බවේ බර හිසින් දරා ගෙන ජීවත් වන්නේ. එහෙත් මේ බරවල ඇති නිසරු බව කිසියම් මොහොතක පෙනී ගියහොත් වඩා සරලව, නිදහස්ව, සුන්දරව මෙන්ම අර්ථවත්ව ජීවත්වීමේ භාග්‍යය අපට උදාවනු ඇත. ඒ සඳහා අපට මහා චුන්ද සූත්‍රය ද කමටහනක් කොට ගත හැකි ය.

එම සූත්‍රයේ සඳහන් වන පරිදි, මහා චුන්ද තෙරණුවෝ චේති ජනපදයෙහි සහජාතියෙහි වැඩ වෙසෙති. එහිදී උන්වහන්සේ, පාප ඉච්ඡාවෙන් ශ්‍රාවක චරිත මුදාගනු කැමැත්තෙන් කදිම දම් දෙසුමක් කරති. ඉන් කියැවෙන පරිදි කිසියම් කෙනෙක් මෙදහම් දනිමි. මෙදහම් දකිමි ආදී වශයෙන් ඥානවාදය කියන්නේ නම් ඒ චරිතය ලෝභ – ද්වේෂ – මෝහ – ක්‍රෝධ ආදී යටකී පාප ඉච්ඡාවන්ගෙන් බරිත විය හැකි ය. මන්ද ඒ මමායනයම පාපී ඉච්ඡාවක් ළාමක ආශාවක් වන බැවිනි.

භාවිත කාය ඇත්තෙමි -භාවිත ශීල ඇත්තෙමි – භාවිත චිත්ත ඇත්තෙමි – භාවිත ප්‍රඥා ඇත්තෙමි ආදී වශයෙන් භාවනාවාදය කියන අය තුළ ඇති වන්නේත් යට කී තත්ත්වයම යි. දිළිඳුව හිඳ ආඪ්‍යවාදය ගැනත් නිර්ධනව ධනවාදයත් භෝග රහිතව භෝගවාදයක් කතා කරන විට ඇති වන තත්ත්වය ගැන ද චුන්ද තෙරණුවෝ වදාරති. එහෙත් ආඪ්‍යව හිඳ ආඪ්‍යවාදයත් භෝගවත්ව හිඳ භෝගවාදය ගැනත් කතා කරන විට එය සමාජයට ප්‍රශ්නයක් වන්නේ නැත. එහෙත් පිරුණු චරිතයක ලක්ෂණය විය යුත්තේ ඥානවාදය – භාවනාවාදය – ආඪ්‍යවාදය ගැන කතා කිරීම නොවේ. ඒවා දැඩි ව ගත් විට සිදුවන්නේ ලෝභ – ද්වේෂ – මෝහ – ක්‍රෝධ ආදී පාපී ආශා, ජීවිතයේ අංග බවට පත් වීමයි. ඒ ජීවිතය බරකි. තමාට බරකි. අනුනට බරකි.

යටකී බුද්ධදේශිත – සංඝදේශිත ධර්ම මෙන්ම මේ වර්තමාන සමාජයේ ජීවත් වීමේදී අප අසන – කියවන දෙය ද ළාමක ඊර්ෂ්‍යාවන්ගෙන් – පාපී ඉච්ඡාවන්ගෙන් මිදීම සඳහා වන කමටහන් බවට පත් කොට ගත නොහැකිද? ඇතැම් විට එය කවියක් හෝ ගීතයක් විය හැකි ය. නො එසේ නම් මඟතොට දී අපට හමුවන කවුරුන් විසින් හෝ කියනු ලබන ප්‍රකාශයක් විය හැකිය. අපි ඒ තුළින් ද ජීවිතය විනිවිද දුටු විඤ්ඤදුන්ගේ ප්‍රකාශ – ප්‍රඥා ප්‍රකාශ මතුකොට ගැනීමට යත්න දරමු. පහත සඳහන් වන්නේ බරින් නිදහස් වීම සඳහා කමටහන් කොට ගත හැකි සේ අපට දැනුණු ප්‍රකාශ කිහිපයකි.

මෙයින් දශක දෙක තුනකට පෙර අපට නිතර අසන්නට ලැබුණු එක්තරා ගීතයක මුල් කොටස පහත දක්වා ඇත. ඒ ගීතය ගායනා කරනු ලබන්නේ පුන්සිරි සොයිසා නම් ගායකයා විසිනි.

“බිඳුණු කලට අමතක කළ නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්”

මේ වචනවල ඇති සුගැඹුර ප්‍රඥාවෙන් දකිමින් මෙවදන් ප්‍රකාශ කරන තැන ඇති වන්නේ වාක් සුචරිතය යි. ඒ වචනවලට අනුව ක්‍රියාකරන විට ඇතිවන්නේ කාය සුචරිතය යි. ජීවිතය අනිත්‍ය බව – වෙනස් වන බව – බිඳෙනසුලු බව මොහොතින් මොහොත දකිමින් ජීවත් වන්නේ නම් අපට දුක් වේදනා හෝ සුඛ වේදනා ඇතිවන්නේ නැත. ජීවිතය ඇතුළු සියල්ල බිඳෙනසුලු බඳුන් ලෙස අපට කල්පනා කළ නොහැකිද? ජීවිත බඳුන කවර මොහොතක බිඳී යාදැයි අපට කිව හැකි නොවේ. එය ළදරුවියේ දී ළමා වියේ දී තරුණ වියේ දී මැදිවියේ දී හෝ මහලු වියේ දී සිදුවිය හැකිය. අපගේ ජීවිත බඳුනට නමක් දුන් අපි, එය පවත්වාගෙන යමු. එසේම තෝරා ගත් ජිවිත බඳුන් කිහිපයක් අපගේ සමීපතමයන් කොටගෙන ඒවාට ආදරය කරමු. ඒ ජීවිත බඳුන් හිංසා පීඩාවලට ලක්වන විට අපි ශෝක වෙමු. එතැන ඇත්තේ දුක්ඛ වේදනා ය. ඒ ජීවිත බඳුන් තනතුරු – ධනය – කීර්තිය ලබන විට අපි සතුටු වෙමු. ඒ සුඛ වේදනා ය.

ජීවිත බඳුනට අප විසින් දී ඇති අප්‍රමාණ අගය නිසාම අප තුළ විවිධ මානසික ස්වභාව ඇති කොට ගනිමු. ඒ නිසාම විවිධ ගැටුම් ඇති කොට ගනිමු. එහි අරුත ලෝභ – ද්වේෂ – මෝහ – ක්‍රෝධ – ඊර්ෂ්‍යා ආදී විවිධ දුර්ගුණ අප තුළ උත්පාදනය වූ බවයි. එසේ නම් කළ යුත්තේ කුමක්ද? ජීවිත බඳුනට අගයක් නොදී සිටීමද? අපට නම් දැනෙන්නේ එය ද තවත් අන්තයක් බව ය. යට කී ගීතයේ ඇති සුගැඹුර දකින විට එය වඩාත් පැහැදිලි වෙයි.

ජීවිත බඳුන ආදරයෙන් රැකගත යුත්තේ එය බිඳෙන නිසාම ය. ආදරය යන වචනයේ නිරුක්ති අර්ථය තැකීම ය. සැලකීම ය. ගෞරව කිරීම යි. අපි අපගේ ජීවිත බඳුනට සේම අපගේ නොවන ජීවිත බඳුන්වලට ද කොන්දේසි විරහිතව ආදරය කළ යුතු ය. නොකළ යුත්තේ කවර හෝ හේතුන් කරණකොට ජීවිත බඳුන් බිඳීගිය විට, හඬා වැලපෙමින් එකිනෙකාට දෝෂාරෝපණය කරමින් තමා ඉදිරියේ ඒ වන විටත් දෘශ්‍යමාන අනෙකුත් ජීවිත බඳුන් පීඩාවට, හිංසාවට ලක්කිරීම යි. එසේ ම තමාගේ ජීවිත බඳුන ද අසහනයෙන් – පීඩාවෙන් සහ වෛරයෙන් පුරවාගත යුතු නොවේ. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යන අරුත දෙන “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යන ප්‍රචලිත බුද්ධ වචනයත් සමස්ත ලෝකයම සුවසේ වෙසෙත් වා යන අරුත දෙන “ලෝකා: සමස්තා: සුඛිනෝ භවන්තු” යන රාමායණයට අදාළ පාඨයත් අප වෙත ගෙන එන්නේ එදහම් පණිවිඩය යි. මේ ගැඹුරු පාඨ උදේ හවස වචනයෙන් පමණක් ප්‍රකාශයට පත්කරන ආශීර්වාද වාක්‍ය බවට පමණක් පත් කොට නොගෙන, ඉන් කියැවෙන අරුත ප්‍රඥාවෙන් දැක කටයුතු කළ හැකි නම් ලෝභ – ද්වේෂ – මෝහ – ක්‍රෝධ – වෛර ආදියෙන් මිදුණු මෛත්‍රී සම්පන්න ආදරණීය සමාජයක් අපට උරුම වෙනවා ඇත. ඒ වූ කලී තමාටත් බරක් නැති ලොවටත් බරක් නැති ජීවිතයකි. අපට වැටහෙන පරිදි විමුක්තිය ස්පර්ශ වන්නේ ද එසේ බරින් මිදුණු චරිතවලට විනා අප බොහෝ දෙනා මෙන් තනතුරු – උගත්කම් – කීර්ති ආදී විවිධ බරින් පීඩා විඳින චරිතවලට නම් නොවේ.

මෙයිනික්ඛිති ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මා විසින් ලියන ලද “බරක් නැති ජීවිතය” ද සාකච්ඡාවට ගනු ලබන්නේ එම ලේඛනය, පාප ඊර්ෂ්‍යා – පාප ඉච්ඡා – පාප චින්තා නසා ලෝභ – ද්වේෂ – මෝහයෙන් මිදුණු ජීවිතයක් වෙත අප කැඳවන ප්‍රඥාවේ ඇසක් අපට ප්‍රදානය කරන බැවිනි.

“බරක් නැති ජීවිතය” යනු ආචාර්ය අදිකාරම් මහතාගේ සිතිවිලි ග්‍රන්ථ මාලාවේ 51 වැනි ග්‍රන්ථය යි. භෞතික කන්දක් තරණය කරන විට වුව, හැකිතාක් බර සැහැල්ලු කොට ගනිමින් කඳු තරණය සිදුකළ යුතු වෙයි. මන්ද කඳු මුදුනට යෑම නමැති අවසාන ඉලක්කයට ළඟා විය හැක්කේ, බර සැහැල්ලු කොට ගනිමින් ගමන සිදුකෙරේ නම් පමණක් බැවිනි. එසේම ජීවිතය නමැති කන්ද තරණය කරන්නාගේ අවසාන ඉලක්කය, විමුක්තිය නම් ඔහු හෝ ඇය ද ඒ සියලු ආකාරයේ බරවලින් නිදහස් විය යුතු වෙයි.

අදිකාරම් මහතා පවසන්නේ අප කුඩා කල සිටම පුරුදුව ඇත්තේ හිතේ බර ඉහිලීම ජීවිතයේ අවශ්‍ය අංගයක් ලෙස සැලකීමට බව ය. මෙය විශාල මානසික ශක්තියක් අපතේ යැවීමකැයි ඒ මහතා කියයි.” ඔහු පැහැදිලි කිරීමේ පහසුව සඳහා අප විසින් උසුලාගෙන යනු ලබන විවිධ මානසික භාරයන් ගොරෝසු බර හා සියුම් බර ලෙස කොටස් දෙකකට බෙදා දක්වයි. එකී පැහැදිලි කිරීමට අනුව, අපට වෛර කරන එදිරිකාරයෙක් – සතුරෙක් සිටින්නේ ය යන හැඟීම එක් ගොරෝසු බරකි. කෙනකු සමග තරහ වීම – එදිරිවීම – සතුරු වීම යනු ඒ අය ඔසොවා ගෙන සිටීමකැයි යනු අදිකාරම් කල්පනය යි. එබඳු සතුරු චරිත වැඩිකර ගන්නා තරමට මානසික බර වැඩි වෙයි.

අදිකාරම් මහතා පවසන්නේ සතුරන් ගැන හැඟීම පමණක් නොව මිතුරන් පිළිබඳ ඇල්ම ඇති කොට ගැනීම ද බරක් බව ය. ඒ වූ කලී බරක් බව බැලූ බැල්මට නොපෙනෙන සියුම් බරකි. කලින් කී සතුරුකම නිසා අප තුළ ද්වේෂය ඇති වන හෙයින් මිතුරුකම නිසා ලෝබය ඇති වෙයි.

මෙහිදී අදිකාරම් මහතා අපගේ ඇස, ජීවිතයේ තවත් පැත්තක් වෙත ද යොමු කරවයි. එනම් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය තැනැත්තාගේ මානසික කල්පන, ඔහු බරින් පෙළීමට හෝ බරින් නිදහස් කිරීමට හේතුවන බව ය. “බරක් නැති ජීවිතයේ” එන පහත සඳහන් පාඨය මෙහි ලා උපුටා දක්වනු ලබන්නේ, ප්‍රඥාවෙන් ජීවිතය දැකීම වෙත එය අප යොමු කරවන බැවිනි.

“දැන් හුඟක් සල්ලි තියෙන තැනැත්තා, වස්තුව ඉඩකඩම් තියෙන තැනැත්තා යම් යම් වේලාවල සතුටුවන්නට පුළුවනි. මට මෙච්චර තියෙනවා, මට මෙච්චර තියෙනවාය කියලා. නමුත් ඔහු කොයිතරම් බරකින් ද ජීවත් වෙන්නේ? තව කෙනෙක් ඇවිල්ලා ඉඩමෙන් කෑල්ලක් අල්ල ගන්නවා. එහෙම නැත්නම් නඩුවක් කියනවා. එහෙම නැත්නම් දරුවෙක් මේවා විනාශ කරලා දමාවී යැයි කරදර වෙනවා. ඔහොම නැති පොහොසතෙක් ඉන්නවාද? ඉතින් හැමෝටම ඔය විදියයි. එතකොට වස්තුව තිබීම බරක්. ඉතින් බරක් නොවේ නම් තමාට තියෙන අක්කර පනහෙන් අක්කර විසිපහක් තවත් කෙනෙක් කඩා ගනිවී යැයි කියලා හරි කඩා ගත්තහම හරි මගේ හිතට කනගාටුවක් නැත්නම් අන්න එතකොට ඒ වස්තුව බරක් නොවේ. නමුත් ඒක කඩා ගත්තහම ඒක විනාශ වුණහම ඒකට හිත අමාරු වෙනවා නම් ඒ වෙලාවේ විතරක් නොවේ ඒ බර උසුලන්නේ. මුළු ජීවිතයේම ඒක නැති වුණ දා හිටන්.”

පව් කරන්නා මෙන්ම පින් කරන්නා ද බරක් උසුලා සිටින බව යටකී ලේඛනයේ සඳහන් ය. පව් කරන්නා උසුලන බර පැහැදිලි ය. ගොරෝසු ය. පින් කරන්නා තමන් බරක් උසුලන බව නොදන්නා බැවින් ඒ සියුම් ය. එහෙත් ඒ දෙකම බරකි. පිනින් හා පවින් නිදහස්ව කළ යුතු දෙය කරමින් ජීවත් වන “පුඤ්ඤපාපපභීණ” සංකල්පයෙන් කියැවෙන්නේ බරින් නිදහස් වූ ජීවිතය යැයි සිතේ. ඒ වූ කලී තවදුරටත් වෙනම සාකච්ඡා කළ යුතු ජීවන චර්යාවක් බවට පත්කොට ගත යුතු සංකල්පයකි.

ලෝභ – ද්වේෂ – මෝහාදියෙන් මිදුණු විමුක්ති ස්පර්ශක බරක් නැති ජීවිතය අපට අපගේ ජීවන අද්දැකීමක් කොටගත නොහැකිද? අදිකාරම් මහතා මෙහි උපුටා දක්වනු ලබන ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ ඔහුගේ ජීවන අද්දැකීම් බව පෙනේ. ඒ අද්දැකීම, එක්තරා උදානයක් ලෙසද දැනේ. ඒ අත්දැකීම ඔබ අපගේ ජීවන අද්දැකීම උදෙසා වන කමටහනක් කොට ගනිමු.

“එතකොට මේ බරක් නැති ජීවිතය අපට යම්කිසි වෙලාවකවත් දැනෙන්නට පුළුවන් නම්, දැන් මම ලෑස්තියි මැරෙන්ට කියලා කලබල වෙලා නොවේ. මැරෙන්ට සූදානම් වෙලා නොවේ. මැරෙන්ට ලෑස්ති වෙන එකත් බරක්. ඒකත් බරකින් නිදහස් වෙන්ට තියෙන ආසාවේ බරක්. එහෙම නොවේ. අපට පුළුවන්කමක් තියෙනවා නම් නිදාගන්ට කොයි දවසේ හරි නින්ද ගියාම නැඟිට්ටේ නැතුවට කමක් නැහැ කියලා. අන්න එහෙම නිදාගන්ට පුළුවන්කමක් තියෙනවා නම්, මගේ හිතේ, සෑහෙන දුරට මට හිතෙන්නේ නැහැ සම්පූර්ණ බරෙන් නිදහස් වීමක් එයින් පෙනෙනවාය කියල. නමුත් සෑහෙන තරම් බරක් නිදහස් වීමක් එතන තියෙන්ට පුළුවනි. දැන් අපට වෙලා තියෙන්නෙ මොකක්ද? උදේ හිටන් රෑ වෙනකල් හිතනවා, කරනවා, කරනවා. බරක් හැටියට කරනවා. ඒ බරත් එක්කයි අපි නිදාගන්නේ. ඒ බර වැඩ කරන්ට පටන් ගන්නවා නින්දෙදිත්. ඒ බර තරහ වෙන්ට පුළුවනි. රාගය වෙන්ට පුළුවනි. නමුත් පුළුවන්කමක් තියෙනවා නම්, මගේ හිතේ මේක සෑහෙන උරගා බැලීමක් වෙන්ට පුළුවනි. අපේ ජීවිතය අපට බරක් ද නැද්ද කියලා හිතාගන්ට අපට නිරායාසයෙන් පුළුවන් නම්, නිදාගන්න පුළුවන් නම් හෙට නැඟිට්ටොත් ඒත් කමක් නැහැ. නැඟිට්ටෙ නැතුවත් කමක් නැහැ කියලා. අන්න එතකොට මගේ හිතේ දැනෙනවා බර සැහැල්ලු වෙලා ද කියලා. ඒ බරෙන් නිදහස් වෙච්ච තරමට ජීවිතය සැපවත්.”

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *