ගෝචර භූමි

cmadurawala
6 Min Read

වෛද්‍ය ලලිත් විජේසිංහ

නඟුලෙන් සාන ලද කැට සහිත බිම තම වාසස්ථානය කොටගත් හෙයින් ‘කැටකුරුල්ලා’ යන නම ලත් පක්ෂියෙක් වෙයි. එබිමෙහි එකී කුඩා පක්ෂියාට මනා ආරක්‍ෂාවක් ද රැකවරණයක් ද සැලසෙයි. කැටකුරුල්ලාගේ වාසයට සුදුසු, සුරැකි, නිරුපද්‍රැත, හුරුපුරුදු එබිම,එහෙයින්, කැටකුරුල්ලාට ‘පියා සතු විෂය ක්ෂේත්‍රය ’හෙවත් ‘ගෝචර භූමිය’ වෙයි.

වරෙක තම ගෝචර භූමියෙහි සරමින් සිටි කැටකුරුල්ලෙක් ඉන් නික්ම යයි. තම සුරැකි බිමෙන් බැහැර ව අනාරක්‍ෂිත ව අයාළේ සරන එකී කුරුල්ලා දකින ගිජුලිහිණියන් ඉතා පහසුවෙන් ඌ ඩැහැගෙන ගොදුරු කරගන්නට රැගෙන යයි. තමන් පත් ව ඇති මහත් විපත සහ ඊට හේතුව අවබෝධ කොටගත් කැටකුරුල්ලා මෙසේ වැලපෙයි.

“අනේ මට වූ විපත … මට මේ විපත සිදු වූයේ මම රැකුණ මට හුරුපුරුදු බිමෙන් බැහැර වූ නිසයි. මම මගේ ‘ගෝචර බිමේ’ සිටියා නම් මට මේ විපත සිදුවන්නේ නෑ.”

“නුඹ කියන්නේ නුඹේ ගෝචර බිමේ සිටියා නම් නුඹ අල්ලාගන්නට මට බැරි බව ද? නුඹ ලෝකයේ කොතැන සිටියත් නුඹ අල්ලා ගන්නට මම ශක්තිමත්, මට එය ඉතා පහසු දෙයක් …”

කැටකුරුල්ලාගේ විලාපය අසන ගිජුලිහිණිය එසේ පිළිතුරු දෙයි.

එහෙත් තමා තම ගෝචර බිමෙහි සිටියා නම් තමාට මෙවන් විපතක් සිදු නොවන බව කැටකුරුල්ලා යළි යළිත් පවසයි.

එකී ප්‍රකාශය ගිජුලිහිණියක වන තමාගේ තරාතිරමට තරම් නොවේ යැයි ගිජුලිහිණිය සිතයි. තමා වන් ශක්තිමත් අයකුට කැටකුරුල්ලා වන් කුඩා දුබලයකු ලොව කොතැන සිටියද ගොදුරු කොටගත හැකි බව තමා පෙන්විය යුතු යැයි ගිජුලිහිණිය අවසන සිතයි.

“හොඳයි, නුඹේ ගෝචර බිමට මම නුඹ ආපසු රැගෙන යනවා. එහිදී මගේ ශක්තිය සහ දක්ෂකම මම නුඹ ට පෙන්වනවා. නුඹේ ගෝචර බිමේ හිටියත් නුඹ ගොදුරු කර ගැනීමට මට ඉතා පහසු දෙයක් බව එවිට නුඹට වැටහේවි.

එසේ පවසන ගිජුලිහිණිය අවසන කැටකුරුල්ලාගේ ගෝචර බිමට ගොස් කැටකුරුල්ලා මුදාහරියි. තමන් විසින් මුදාහරිනු ලැබූ කැටකුරුල්ලා යළිත් තම සුපුරුදු ගෝචර බිමේ නිදහසේ සතුටින් සරනු, ගිජුලිහිණිය දකියි. තව මොහොතකින් නුඹ මගේ ගොදුරු යි. ගිජුලිහිණිය කියයි. විශාල පස් කැටයක් මත නැගුණු කැටකුරුල්ලා” හොඳයි, එසේනම් දැන් එව” යි කියමින් එවිට ගිජුලිහිණියට අභියෝග කරයි.

එකෙණෙහි ම ඉහළ අහසට නැගුණු ගිජුලිහිණිය හී සරක් බඳු ව පොළොව දෙසට පියාඹා එයි. තියුණු දෙනෙත් අයාගත් ශක්තිමත් හොටත් විදහාගත් පියාපත් දෙකත් පවනට බඳු වේගයෙන් ගිජුලිහිණියගේ සැහැසි බව පෙන්වයි. එහෙයින් තව මොහොතකින් කැටකුරුල්ලා ගිජු ලිහිණියගේ ඒකාන්ත ගොදුර යි. ගිජුලිහිණියා කැටකුරුල්ලාට ළං ළංව එයි. ඇසිල්ලකින් කැටකුරුල්ලා පස් කැටය තුළ වන තම ගුළට වැදෙයි. ඉන් වික්ෂිප්ත වන ගිජුලිහිණිය තම වේගය පාලනය කොටගත නොහිී පස්කැටයේ පපුව වැදී මරණයට පත් ව පොළොව මත ඇද වැටෙයි. ගුළ තුළින් එළියට එන කැටකුරුල්ලා යළි නිදහසේ තම බිම සරයි.

ඉහත කි බුද්ධදේශිතය සංයුක්ත නිකායේ, 3.1 කොටසෙහි, සකුණෙහි සුතුරෙහි සඳහන් වන්නකි.

පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමියෝ වරෙක එකී කථාපුවත සාමණේර භික්ෂූන් වහන්සේ පිරිසකට දේශනා කරමින් එය විග්‍රහ කරති. උන්වහන්සේලා අද උගන්නා බණදහම් වෙනත් දැනුම, ඇවතුම් පැවතුම්, වත් පිළිවෙත්, විනය, සාමණේර පැවිදිවත ආදිය උන්වහන්සේලාගේ ඉදිරි ජීවිතය සුරක්‍ෂිත කරන පියාසතු විෂය ක්ෂේත්‍රය‘’යි ගෝචර භූමිය යි. ඒ වනාහි ‘බුද්ධ දේශනයයි’. බුදුහිමියන් විසින් මහා කරුණාවෙන් යුතු ව එසේ අනුශාසනා කරන ලද්දේ උන්වහන්සේලාගේ ජීවිතය සීමා කිරීමට නොව පැවිදි ජීවිතය ආරක්‍ෂා කිරීමට යි. සසරින් අත්මිදී නිවන සාක්ෂාත් කර ගැනීමට යි.

බටහිර විද්‍යානුගත ව යම් මිනිසකුගේ ජීවිත පිළිබිඹුව ඔහුගේ ජාන සංයුතිය සහ පසුව ඔහු හැදෙන වැඩෙන පරිසරය, එනම්, දේශය, කාලය, සංස්කෘතිය, සමාජය, දැනුම, දහම, නීතිරීති, ආහාරපාන, දේශගුණය යනාදිය එක් අයකුගෙන් තවත් අයකුට වෙනස් වන බැවිනි.

ඉහත කී සාධක මගින් නිර්ණය වන යමකුගේ කායික හා මානසික තත්ත්වයන් මත පදනම් ව ඔහුගේ ශාක්‍යතාවන් පිළිබිඹු වන හෙයින්, ඒවා එවිට යමකුගේ ගෝචර භූමිය වෙයි.

බුදුදහමට අනුව යමකුගේ පිළිබිඹු මෙලොව මව්පිය පදනම මත නොව භවපුරුදු, කුසල්, අකුසල්, පංචනියාම ධම්ම ඈ ලෙසින් වන හේතු මත පදනම් වෙයි. එමතුදු නොව එකී පංචබල, සුදුසු තන්හී සුදුසු ලෙස යොදාගනිමින් යම් යම් අයුරින් වෙනස් කොට ගැන්මේ හැකියාව ද වෙයි. එහෙයින් යමකුගේ ‘ගෝචර භූමිය’ ඉන් ද නිර්ණය කොටගත හැකි වෙයි.

එනයින් නිර්ණය වන යමකුගේ ගෝචර භූමිය, හෙතෙම ඉපිද, ජීවිතය ඇරඹ හැදීවැඩෙත්ම එය තම කයට, බුද්ධියට, හදවතට සහ ඒවා ඇසුරු කොටගත් සිතට බද්ධ වෙයි අනුගත වෙයි. හෙතෙම ඒ තුළ සිතන්නට ක්‍රියා කරන්නට, ජීවත්වන්නට පුරුදු පුහුණු වෙයි. එවිට පුද්ගලයාත් ඔහුගේ ගෝචර භූමියත් අන්‍යොන්‍ය වෙයි. පුද්ගලයා සුරැකෙන්නේ එහි ය. එහෙයිනි.

තම සුපුරුදු නිජ බිමෙන් බැහැර ව යම් අගෝචර බිමකට පිවිසියකුගේ ජීවිත අත්දැකීම් කෙබඳු ද? තම ජීවිතයට දැනෙන අසහනය, අවිනිශ්චිත බව සහ සන්තාපය කෙබඳු ද?

එවැන්නකුගේ එදවස හා අද පිළිබඳව හදවතේ සහ බුද්ධියේ සංවාදය, හෙළ කව් මිණි ආකරයෙහි පහළ වූ මහඟු රත්නයක් වන රත්න ශ්‍රී විජේසිංහ විසින් චිරචිත ‘සන්ධ්‍යා තීර්ථයෙහි’ මෙසේ සඳහන් වෙයි.

සොඳුරු මිනිසුන් යනෙන
උයන් බිම හැරදමා
මං ආවේ
ජනේලයෙන් පලායන
අකීකරු සුළඟක් ව
හැන්දෑවෙ

කිසිදාක නොවූ තරම්
වේදනාවන් බරට
මල් පරවෙලා වැටුණු
දෙසැම්බර් මාසෙ
පරමල්වලට කෙළ ගසන
හැටි දඬු පාගා
පරිභව කළා වූ
අකෘතඥයන්ගෙන් පිරුණු
අපායට යන පාරේ

සුපුරුදු ගෝචර බිමෙන් ඈත් ව අනුන් සතු අගෝචර බිමක අතරමං වූ ජීවිතයක, අගමුල මේ ඈ කිසිත් නොදත් විට ලත් දැනුම පමණක් මුසුකොට ජීවිතය විසඳාගත හැකිද? කවියා එය මෙසේ අසයි.

ජ්‍යාමිතිය ප්‍රගුණ කොට
අමාරු ම ගණන් හැදුවා වගේ
කියා දිව යුතු මිහිර
සරල රේඛාවක් ද සංසාරේ?

ගෝචර භූමිය යන්න කාලය, දේශය, පුද්ගලයා, අවස්ථාව, දැනුම, වෘත්තිය, සංස්කෘතිය යනාදිය තුළින් විග්‍රහ කොටගත හැකිය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *