පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි
තෘෂ්ණාව එක් මනෝභාවයක් වුණාට ඒ ඒ පුද්ගලයාට තෘෂ්ණාව මතුවෙන්නෙ එකම කරුණක් පදනම් කරගෙන නෙවෙයි, තම තමන්ගෙ වටපිටාව සහ තමන් සිතන සීමාව තුළයි. රජුට තෘෂ්ණාව මතුවෙන්නේ රාජ්‍යත්වය පිළිබඳව විය හැකියි. නමුත් පැවිද්දාට තෘෂ්ණාව මතු වෙන්නේ තමන්ට අදාළ දේවල් පිළිබඳවයි. යාචකයාට තෘෂ්ණාව මතුවෙන්නේ ඔහු ඇසුරු කරන දේ සහ සිතන ආකාරය අනුවයි. ඒ නිසා නෛෂ්ක්‍රම්‍යය තීරණය කළ යුත්තේ අපි ඉන්න තැනට අදාළව, අපේ භූමිකාව හා අපේ සීමාවන්ට අදාළවයි. තමන් කොතනද හිරවෙලා තියෙන්නේ කොතනද බැඳිලා තියෙන්නේ කියන බව තේරුම් අරගෙන එතන ලෙහා ගන්නටයි අපි වෑයම් කළ යුත්තේ.
මෙහිදී අන් අය සමග සැසඳීමක් අවශ්‍ය නැහැ. ‘ගිහියොත් එක්ක බලනකොට අපි කොතරම් හොඳයි ද’ පැවිද්දෙක් එහෙම හිතලා හරියන්නෙ නැහැ. පැවිද්දා කියන්නේ පැවිද්දෙක් විනා ගිහියකු නෙවෙයිනෙ. ඒ නිසා පැවිද්දා සංසන්දනය කරනවා නම් කළ යුත්තේ උසස් පැවිද්දෙක් සමග විනා ගිහියන් සමග නෙවෙයි. ගිහියා සංසන්දනය කරනවා නම් කළ යුත්තේ තමන්ගෙ භූමිකාව සහ ප්‍රතිපදාවට ගැලපෙන උසස් චරිතයක් සමග විනා සතුන් සිව්පාවුන් වැනි මිනිසුන් සමග නෙවෙයි. සැබවින්ම ගිහියාගේ හෝ පැවිද්දාගේ නෛෂ්ක්‍රම්‍යය තීරණය කළ යුත්තේ අනුන්ට සාපේක්‍ෂව නෙවෙයි, තම තමන්ගෙ ප්‍රතිපදාවට සාපේක්‍ෂවයි.
අත්හැරීම හෙවත් නෛෂ්ක්‍රම්‍යය සම්බන්ධව අපේ අවධානය යොමු වියයුතු කරුණු කිහිපයකුයි අපි මේ සිහිපත් කළේ. මුලින්ම දානය සහ නෛෂ්ක්‍රම්‍යය යන පාරමිතා දෙකේ වෙනස අපි කථා කළා. ඉන්පසුව බාහිරින් අත්හැරීමක් වගේ පෙනුණත් මානසික වශයෙන් අපි රැවටෙන වඤ්චක ධර්ම පහක් ගැන අවධානය යොමු කළා. පළමුවැනි කාරණය තමයි, නැතිකම නිසා බැරිකම නිසා අත්හැරීම සැබෑ අත්හැරීමක් නොවන බව. දෙවැනි කාරණය තමයි, බිය නිසා යමක් අත්හැරදැමීම සැබෑ අත්හැරීමක් නොවන බව. තුන්වැනි කාරණය තමයි, කෝපය නිසා ද්වේෂය නිසා ගැටීම නිසා නුරුස්නා බව නිසා දේවල් බැහැර කිරීම සැබෑ අත්හැරීමක් නොවන බව. සිව්වැනි කාරණය තමයි, දීර්ඝ කාලයක් භුක්ති විඳීමෙන් ඇතිවන වෙහෙස නිසා දේවල් අත්හැරීම සැබෑ අත්හැරීමක් නොවන බව. පස්වැනි කාරණය තමයි, නෛෂ්ක්‍රම්‍යය ලෙස ලෝකයේ සම්මත ක්‍රියාවකට යොමු වුණත් මනසේ අවශ්‍ය පරිවර්තනය සිදු නොවේ නම් එයත් සැබෑ නෛෂ්ක්‍රම්‍යයක් නොවන බව. කෙටියෙන්ම කියනවා නම් බාහිර ලෝකය එලෙස තියෙන්නට ඉඩහරිමින් මනසේ මතුවන ඇලීම බැඳීම තෘෂ්ණාව දුරුකිරීම සැබෑ අත්හැරීමයි. සැබෑ නෛෂ්ක්‍රම්‍යයයි. ප්‍රඥාවන්තයින් එහිදී ක්‍රියාකරන ආකාරය පිළිබඳව කුඩා දහම් පොතක තිබුණු මෙබඳු වැකියක් අපට හමුවුණා. “ප්‍රඥාවන්තයා දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසාය“ එපා නම් අතහැර දමන්න කියලනෙ බොහෝ දෙනා කියන්නෙ. නමුත් ප්‍රඥාවන්තයො බාහිර ලෝකයේ දේවල් අතහැර දමන්න කලබල වෙන්නෙ නැහැ. කුමක් නිසාද? ඔහු එහි එල්බගෙන ඒ මත නොපවතින නිසා. අපට බාහිර දේවල් අතහරින්න ඕන වෙන්නෙ අපි ඒවා මනසින් අල්ලගෙන සිටින නිසයි. අපි දේවල් අල්ලගෙන නැතිනම්,
ඒ මත රඳාපවතින්නෙ නැතිනම් ඒවා තියෙන තැන්වල තියෙන්න ඉඩහැරලා සැහැල්ලුවෙන් පවතින්න පුළුවන්. ඒවා තිබුණය කියලා අපට ගැටලුවකුත් නැහැ, නොතිබුණාය කියලා ගැටලුවකුත් නැහැ. අපි ඒ මත නොපවතින නිසා.
එතකොට කෙනකු සිතන්න පුළුවන් එහෙම නම් සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැරලා ගියේ ඇයි ද කියලා. ඒක බුද්ධත්‍වය සඳහා අවශ්‍ය එක් සාධකයක්. උන්වහන්සේ නික්ම ගියේ අපි ඉහත සඳහන් කළ ආකාරයෙන් නැතිකම හෝ බැරිකම නිසාවත් බිය නිසාවත් ගැටීම නිසාවත් හෙම්බත්වීම නිසාවත් නෙවෙයි, අවබෝධයෙන්. බුද්ධත්‍වය සඳහා යන ගමනේ ගිහිගෙයි සිට සම්පූර්ණ කළ නොහැකි කොටස සම්පූර්ණ කරන්නට. එනිසා බාහිර පුද්ගලයන්ගෙන් හෝ පරිසරයෙන් හෝ නික්මීම, කාර්ය සාධනයට අත්‍යවශ්‍ය නම් එසේ කළ යුතුයි. නමුත් තමන්ගේ දුබලකම නිසා නික්මයාම අවශ්‍යතාවක් හෝ නෛෂ්ක්‍රම්‍යයක් ලෙස පටලවා නොගත යුතුයි.
එනිසා හැමවිටම තමන්ගෙ ප්‍රතිපදාව තුළ නිවැරදි ගුණ වැඩෙනවාද නැතිද යන්න පිළිබඳව අවදියෙන් හා ප්‍රත්‍යවේක්‍ෂාවකින් යුතුව නිවන් මග පුහුණු කළ යුතු වෙනවා. එහිදී අවශ්‍යතාව හා යෝග්‍යතාව මත බාහිර ලෝකය පවත්වමින්, ඒ පිළිබඳව ඇතිවන ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්නට ක්‍රියා කිරීම අත්හැරීම පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාවයි.
(ලිපි පෙළ සමාප්තයි)