මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා
ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූයේ ඇසතු බෝ වෘක්‍ෂයක සෙවණේ හෙයින්, බෞද්ධ සාහිත්‍යයෙහි ඇසතු බෝ වෘක්‍ෂයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ නිසාම ඇසතු බෝ වෘක්‍ෂය හැඳින්වීමේදී ඇසතු බෝධින් වහන්සේ යනුවෙන් යෙදීම බෞද්ධයන්ගේ එම වෘක්‍ෂය කෙරෙහි ඇති ගෞරවසම්ප්‍රයුක්ත භාවය පෙන්වයි. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යයන් අතර ඇසතු බෝධි වෘක්‍ෂය පාරිභෝගික චෛත්‍ය ගණයට අයත් වේ.
ගෞතම බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවෙහි මෙසේ වදාරණ සේක.
“මහණෙනි, යම් කාලයක මට මේ සිව් අරිසස්හි මෙසේ තුන් පිරිවටක් හා දොළොස් අයුරක් ඇති ඥාන සංඛ්‍යාත දර්ශනය සතු සේ වෙසෙසින් විසිදුවිද, මහණෙනි එකල්හිම අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය (අනුත්තරා සම්මා සම්බෝධිං) සාක්ෂාත් කොට ගනිමියි ප්‍රතිඥා කිරීමි” යනුවෙනි තමන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව, එම බෝධි ඥානය ලබාගත් බව මෙසේ වදාරණ හෙයින් උන්වහන්සේ හැඳින්වීම පිණිස බුද්ධ නාමයත්, එසේම එම බුද්ධත්වයට පත්වූ ස්ථානයෙහි පිහිටි ඇසතු වෘක්‍ෂයට “බෝධි” නාමයත් බෞද්ධයන් අතර ව්‍යවහාරයට පත්විය. එසේම ඇසතු යන නාමය වෙනුවට ශ්‍රී මහා බෝධින් වහන්සේ යන ගෞරව සම්ප්‍රයුක්ත විශේෂ නාමය ද භාවිතයට පැමිණියේය. බෞද්ධයන් අතර බෝධි වන්දනාව ආරම්භ වී ක්‍රමයෙන් ප්‍රචලිත වී ගියේ මේ සිද්ධියත් සමගමය.
බෞද්ධයන් බෝධි පූජාවට පෙලඹීමට පෙර අවුරුදු දහස් ගණනක් ඉහතදී ද නව ශිෂ්ටාචාරයන් සොයමින් සිටි ලොව ප්‍රදේශ කිහිපයකම විසුවෝ ස්වාභාවික වස්තූන් වන්දනාවට පෙලඹී සිටියහ. හිරු, සඳු වැනි දෙයට අමතරව ඔවුනගේ මෙම පූජාවනට පාත්‍ර වූයේ වනස්පති වෘක්‍ෂයන්ය. ඇසතු බෝධි වෘක්‍ෂය ද වනස්පති වෘක්‍ෂයෙකි. ඇසතු හැරුණු විට න්‍යාග්‍රෝධ, උදුම්බර වැනි වනස්පති වෘක්‍ෂයෝ ද භාරතීයයන් අතර දීර්ඝ කාලයක සිට පූජනීයත්වයට පත්ව සිටියහ. මොහෙන්දජාරෝ හරප්පා වැනි භාරතයේ ආදි කාලීන ශිෂ්ටාචාරවල ජන කොටස් විසින් ද ඇසතු වෘක්‍ෂයට (අශ්වත්ථ වෘක්‍ෂයට) වන්දනාමාන කර ඇති බව ඒ ශිෂ්ටාචාරවලට අයත් විවිධ උපකරණ, කාසි හා මුද්‍රාවල ඇති සටහන්වලින් ද හඳුනාගත හැකිය. එසේම සෘග්වේද යුගවලදීත් ඉන්දු ආර්යයන් විසින් ද අශ්වත්ථ වෘක්‍ෂයට පුද පූජා පවත්වා ඇති බව ගිනි දෙවියා පිදීමට සාදාගෙන ඇති අරණි සඳහා අශ්වත්ථ ලී ගැනීමෙන් ද පෙනී යයි. මෙසේ අශ්වත්ථ වෘක්‍ෂය පූජාර්හ බවට පත්වූයේ එයට අධිගෘහිත වූ දේවතා කෙනෙක් සිටිතැයි යන විශ්වාසයක් නිසා බවද සඳහන් වේ.
පසුකාලීනව අශ්වත්ථ වෘක්‍ෂයට සතුරන් විනාශ කිරීමේ බලයක් ඇති බවද ජනතාව විශ්වාස කළහ. මහා භාරතය, භගවත් ගීතාව වැනි ග්‍රන්ථවල සඳහන් විස්තර අනුව අශ්වත්ථ වෘක්‍ෂය විෂ්ණු දෙවියන්ගේ මූර්තියක් ලෙස සැලකේ. එය “සංසාර වෘක්‍ෂය” වශයෙන් පූජනීයත්වයට පත්ව ඇත. පද්ම පුරාණයේ සඳහන් ප්‍රවෘත්තියකට අනුව අලක්ෂිගේ වාසස්ථානය වූයේ අශ්වත්ථ වෘක්‍ෂයයි. සාගරය කැලඹූ විෂ්ණුට ලක්‍ෂ්මී හා අලක්ෂ්මී හමුවිය. විෂ්ණු මේ දෙදෙනාගේ බාල සොහොයුරිය ලක්ෂ්මී විවාහ කර ගත්තේය. වැඩිමහලු සොහොයුරිය සිටියදී බාල සොහොයුරිය විවාහ කර ගත් හෙයින් විෂ්ණුට චෝදනා එල්ල විය. මේ බව දැනගත් විෂ්ණු, උද්දාලක නම් සෘෂිවරයකුට අලක්‍ෂ්මිය විවාහ කර දුන්නේය. ඇය උද්දාලක සෘෂිවරයාගේ ආශ්‍රමයට ගිය පසු එහි තිබූ යාග හෝම දැක කලකිරුණාය. එය දැනගත් උද්දාලක සෘෂිවරයා, අලක්‍ෂ්මිය අශ්වත්ථ වෘක්‍ෂයක් යට තනිකර දමා ගියේය. මේ බව දැනගත් විෂ්ණු ඇය සනසවා අශ්වත්ථ වෘක්‍ෂයට තමාගේ ගුණාංග ලබා දී එය ඇසුරු කර වාසය කරන ලෙස අවවාද කළේය.
එදා පටන් අලක්‍ෂ්මිය ද අශ්වත්ථ වෘක්‍ෂය නිසා ගෞරවනීයත්වයට පත් වූ බව සඳහන් වේ. මෙසේ පූජනීයත්වයට පත්වූ අශ්වත්ථ වෘක්‍ෂයක් කැපීම හෝ වෙනත් ක්‍රමයකින් විනාශ කිරීම පාපයක් ලෙස සැලකේ. අශ්වත්ථ වෘක්‍ෂයක ශාඛාවක් කඩා වැටුණ අවස්ථාවකදී එය පුලුස්සා දැමීම පවා හඳුන්වන්නේ ආදාහනය කිරීමක් වශයෙනි. එහිදී ආදාහනායක දී අනුගමනය කෙරෙන සිරිත් විරිත් ද අනුගමනය කෙරේ. භාරතීය ජනතාව අතර අශ්වත්ථ බෝධි වෘක්‍ෂයට විශේෂ සැලකීමක් ලැබුණේ එහි ගුප්ත බලයක් ඇතැයි යන විශ්වාසයෙනි. බෞද්ධ ලෝකයා ඊට ගෞරව පුද පූජා දක්වන්නේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූයේ ඇසතු බෝ සෙවණේ නිසාය.
බෝධි යන වචනයේ අර්ථ විග්‍රහයක යෙදෙන කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි (2001) මෙසේ ද දක්වති.
- සෝවාන් ආදී සතර මාර්ග දන්නා නුවණ බෝධි නම් වෙයි. (බෝධි වංශය)
- චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය බෝධි නම් වෙයි. (බෝධි වංශය)
- බෝධි නම් ලද සර්වඥතා ඥානයෙහි බෝධි නම් වෙයි.
- නිවන නම් මේ බෝධි නම්
- නිවන් දකින්නට භාවනා කරන ‘බෝධි’ නම් වූ පුද්ගලයා බෝධි නම් වෙයි. (මිලින්ද 506-2)
- මහ බෝසතුන් හට බුද්ධත්වය පිණිස සෙවණ දුන් වෘක්‍ෂය බෝධි නම් වෙයි.
මෙසේ චතුරාර්ය සත්‍යය සත්‍යාවබෝධයත් සර්වඥතා ඥානයත් සත්‍යදානය සොයා යන පුද්ගලයාත් බෝධි යන වචනයෙන් අර්ථවත් වෙයි.
ඇසතු වෘක්‍ෂය බෞද්ධයන්ගේ සුවිශේෂ වූ ගරු බුහුමන් ලැබීමට හේතු වුණු කරුණු කිහිපයක්ම වෙයි.
- ගෞතම බුදුන් වහන්සේ බුදු පදවි ලබන දින ඇසතු වෘක්‍ෂයට පිටදී එම උත්තරීතර තත්ත්වයට පත්වීම.
- තථාගත සම්බුදු පහස ලැබීම සහ විවිධ වූ ධ්‍යාන සමාපත්තිවලට සම වැදීම.
- සතියක් පුරා ගෞතම බුදුන් වහන්සේ විසින් සිය නෙත් කැලුමෙන් (අනිමිසලෝචන පූජාවෙන්) පුදනු ලැබීම.
- සවණක් රැස් බුද්ධ රශ්මි මාලාවන්ගෙන් නැහැවුණු වෘක්‍ෂයක් වීම.
- මෙම වෘක්‍ෂය පිහිටි භූමියෙහි ඓතිහාසික හා අපරාජිත බව මේ කරුණු අතර වේ. (ශ්‍රී බුද්ධරක්ඛිත හිමි. 2015)
බෞද්ධ සාහිත්‍යයට අනුව මෙම දඹදිව පිහිටි බෝධි මණ්ඩපය පෘථිවියේ නාභිය හෙවත් මධ්‍යය වන්නේය. එය අචල ය. සියලු බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බෝධි මණ්ඩපයේ දී මය. බුදුරජාණන් වහන්සේ බුදු බව ලබන අවස්ථාවේ පෘථිවිය කම්පා වුවද මේ ස්ථානය නොසෙල්වෙන බව සඳහන් වේ.
මේ බෝධි මණ්ඩපය මැඬගෙන කිසිවකුට යා නොහැකිය. කාලිංග බෝධි නම් සක්විති රජතුමා විසින් තමාගේ හස්ති රාජයා ලවා බෝධි මණ්ඩපය මැඬගෙන යෑමට දැරූ උත්සාහයක් ගැන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒ අවස්ථාවේදී හස්ති රාජයා මරණයට පත් වූ බව සඳහන් වේ. හස්ති රාජයා මළ බව නොදත් කාලිංග රජු හස්ති රාජයා නතර වූයේ කුමක් නිසාදැයි පුරෝහිත බමුණන්ගෙන් විචාළ බව කාලිංග බෝධි ජාතකයේ සඳහන් වේ. “ස්වාමිනී මෙම ස්ථානය මැඬගෙන කිසිම පුද්ගලයකුට යා නොහැකිය. මෙය සියලු බුදුවරුන්ගේ බෝධි මණ්ඩපයයි. එනිසා රජතුමනි, හස්තියාගෙන් බැස බෝධි මණ්ඩපයට ගෞරව කරන්නැයි පුරෝහිතයා කීවේය. එවිට රජතුමා හස්තියාට හෙණ්ඩුවෙන් ඇන ඉදිරියට යෑමට උත්සාහ කළේය. එය දුටු පුරෝහිත බමුණා, ස්වාමිනී ඇතා මියගොස් ඇත. වෙන හස්තියකු පිට නඟින්න යැයි කීය. මේ සිද්ධියෙන් මහත් කම්පාවට පත් කාලිංග සක්විති රජතුමා බෝධි මණ්ඩපය වෙත ගොස් මල්, පහන්, සුවඳ දුම්, ධජ පතාක ආදියෙන් යුත් මහා බෝධි පූජාවක් පැවැත්වීය. රජතුමා මේ බෝධි පූජාව දිනපතාම පැවැත්විය. පසුකලෙක මියගිය රජතුමා තව්තිසා දෙව්ලොව උපන් බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ මෙම කාලිංග බෝධි ජාතකය ආනන්ද තෙරුන් ඇතුළු භික්‍ෂු පිරිසකට දේශනා කරනු ලැබුවේ අතීතයේදී ද බෝධි පූජා පවත්වා ඇති බව පෙන්වා දීමට ය.
ආදි කාලීනයන් අතර පැවති වෘක්‍ෂ වන්දනාවන් ක්‍රමයෙන් ව්‍යාප්ත වෙත්ම වෛදික ඇදහීම් මගින් දේවත්වයක් ද එම වෘක්‍ෂයට ආරෝපණය කරන ලදී. මෙහිම ප්‍රතිඵලයක් වශයෙන් ඇසතු බෝධි වෘක්‍ෂයට වෛදිකයන් අතර එය ත්‍රිමූර්තිය බවට පසු කාලයෙහි පත්ව ඇත.
ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ සම්මා සම්බෝධි ඥානය ලබාගැනීමෙන් පසුවත් ඉපැරණි භාරතීයයන් අතර පැවති මෙම වෘක්‍ෂ වන්දනාව නිසරු ක්‍රියාවක් වශයෙන්ම හඳුන්වා දුන් සේක. මේ පිළිබඳව ඛුද්දක නිකායට අයත් ධම්ම පද පාලියෙහි මෙසේ සඳහන් වේ.
බහුං වේ සරණං යන්ති
පබ්බතානි වනානිච
ආරම රුක්ඛ චෙත්‍යානි
මනුස්සාභය තජ්ජිතා
නෙතං ඛො සරණං ඛෙමං
නෙතං සමරන මුත්තමං
නෙතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුක්‍ද්චති
බියෙන් තැතිගත් බොහෝ දෙනා පර්වත, ආරාම, වෘක්‍ෂ හා විවිධ වූ පූජනීය ස්ථානයන් (දුක් පීඩාවන් දුරු කර ගැනීම පිණිස) සරණ යති, හෙවත් පිහිට කොට ගනිති.
එහෙත් මේ සරණ යෑම් නිසා සැනසීමක් ලබාගත නොහැකිය. එහෙයින්ම මෙය උත්තම සරණ යෑමක් ද නොවේ. එසේම සියලු සසර දුක් නිමා කර ගැනීමට ද මෙම වන්දනා ක්‍රම මගින් පුළුවන්කමක් ද නැත.
බුදුන් වහන්සේ දේශනා කරනු ලැබුයේ, තෙරුවන් සරණ යමින්, ආර්ය සත්‍ය ධර්මයන්හි පිහිටා සිටීම මගින්ම සියලු සසර දුක් දුරු කොට ගෙන සදාකාලික වූ සැනසීම උදාකර ගත හැකි බව ය.
බෝධි පූජා පිළිබඳව විස්තර කතාවක් පාලි සාහිත්‍ය කෘතීන්ගෙන් පළමුවෙන්ම හමුවන්නේ ජාතික අට්ඨ කතාවෙහිදී ය. කාලිංග බෝධි ජාතක අටුවාවෙහි ද මෙම විස්තර කතාව හමුවේ.

