පුතේ ඔහොම නම් බෑ

cmadurawala
4 Min Read

මහාචාර්ය ඉඳූරාගාරේ ධම්මරතන හිමි

අලසෝ මන්ද බුද්ධිශ්ච සුඛිතෝ ව්‍යාධිපීඩිතඃ
 නිද්‍රාලුඃ කාමුකශ්චේති ෂඩේතේ ශාස්ත්‍රවර්ජිතාඃ

(කම්මැලි, මන්දබුද්ධික, අධික සුඛෝපභෝගී, දැඩිලෙස රෝගී, නිදිමත හා කාමුක යන අයට ඉගෙන ගැනීම අපහසුය.)

දරුවනේ, අද කියන්නෙ ඔයාලගේ අධ්‍යාපනය ලබාගැනීමට බාධා වන කරුණු හයක් ගැන. අප කාටත් ඉගෙන ගන්න පුළුවන්. අපට දැනටමත් මේ තියෙන ඥානයෙන් විභාග පාස් කරන්න හෝ ඉගෙනුම ලබන්න හෝ පුහුණුවක් ලබන්න හෝ බැරි වෙන්නේ නෑ. මේ තියන මොළේ ජීවිතය දිනන්න හොඳටම ප්‍රමාණවත්. මොනම වෙලාවකවත් අපට පාඩම් කරන්න බෑ කියලා, අප අදක්ෂයි, කියලා, අපට මතක හිටින්නෙ නෑ කියල හිතන්න එපා.

ඔයාල හැම කෙනාටම ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට ඉගෙනීමට කිසිම නොහැකියාවක් නෑ. ඔයාලා කවුරුත් අසමත් අය නෙමෙ. ඔව්! ඔයාලට විභාග පාස් කරන්න පුළුවන්. ඒකට මේ මේ විදිහට ඉන්න වෙනවා. කම්මැලි වුණොත් අලස වුණොත් මොනම දෙයක්වත් කරන්න බෑ. උදේට නැඟිටින්න, පොතපත බලන්න, පාසල් පන්ති යන්න, කම්මැලි වුණොත් බෑ. සතකුගේ වුණත් ආහාර කටට වැටෙන්නෙ නෑනේ. එයාලා ඒක සොයාගන්නම ඕන. ඒකට කම්මැලි වුණොත් සත්තුත් බඩගින්නෙ නේ. බුද්ධිය තියෙන්න ම ඕන. බුද්ධිය කියන්නෙ උගත් කමට නෙවේ. උගත්කම එන්නෙ පොතපතෙන් තමයි. ඒත් උගත්කම කියන්නෙ නොදන්න දෙයක් දැනගන්න එකටයි. බුද්ධිය කියන්නෙ හිතන්න පුළුවන් එකටයි. හිතන්න පුළුවන් වෙන්න නම් ගැටලු විසඳන්න පුරුදු වෙන්න ඕනෑ. තේරවිලි විසඳන්න පුළුවන් වෙන්න ඕනෑ. බුද්ධි පරීක්ෂණ කරන්න පුළුවන් වෙන්න ඕනෑ.

අධික ලෙස සුඛෝපභෝගි වෙන්න ගියොත් සැපම ඉල්ලාගෙන ගියොත් සුවසේම ඉන්න ගියොත් ඉගෙනීම අතහරින්න වෙයි. දුකෙන් තමයි සැප ලැබෙන්නේ. සැපෙන් නෙමේ සැප ලැබෙන්නෙ. මේකෙන් කියන්නේ ඔයාලා දුක් විඳිය යුතුයි කියන එක නොවේ. ඒත් අධික සැපතට ලොල් වුණොත් දියුණු වෙන්න බෑ කියන එකයි. අධික සැපට ලොල් වුණොත් පාඩම් කරන්නවත්, ඉගෙන ගන්නවත්, හම්බකරන්නවත් හැකි වෙන්නේ නෑ. සැපම විඳ විඳ කාලය කා දමනවා මිසක්.

අධිකව රෝගී වෙලා, එක්තැන්වෙලා, අංගවිකල වෙලා හිටියොත් ඉතින් ඉගෙන ගන්න හෝ වෙනත් දෙයක් කරන්න පහසු නෑනෙ. ඒත් එහෙම තියාගෙනත් ජීවිතය දිනූ අය ඔබ දන්නවා ඇති. ඒ අයගේ චරිත කතා කියවලා බලන්නකො. නින්ද ජීවිතයට අත්‍යවශ්‍ය තමයි. ආහාරත් ඒ වගේමයි. ඒත් මේ දෙකම ඕනෑවට වඩා හොඳ නෑ. නින්ද වුවමනා කරන්නෙ වෙහෙස වූ ශරීරයට විවේක දෙන්නයි. ඒ කියන්නෙ ඊළඟ දවසෙ වැඩ කරන්න පහසු වෙන්න කරන ශාරීරික ආයෝජනයක් නින්ද කියන්නෙ. ඉතින් ඒක පමණට වඩා ගත්තොත් ආයෝජනය විතරක් කළා වෙනවනෙ. ඒක නිසා දවසකට පැය හයක්, උපරිම අටක් නිදාගත්තම ඇති. හිතල බලන්නකො දවසකට පැය හයක් නිදාගත්තත් දවසෙන් කාලක්ම නිදිනෙ. ඉතින් අවුරුදු පනහක් ජීවත් වුණොත් එතකොට අවුරුදු දොළහයි මාස හයක්ම ඉඳල තියෙන්නෙ නින්දෙනෙ. ඔයාලා පාසල් සමය නිමා කරනකොට අඩුම වශයෙන් අවුරුදු හයක්වත් ඉඳල තියෙන්නෙ නින්දෙ තමයි. ඉතින් පුතේ අවුරුදු පහක් හයක් නිදල තියෙද්දි තවත් නින්දටම කාලය ගත කරන්නෙ මොකටද? ඒක නිසා අධික නින්ද ඉගෙනීමට බාධාවක් බව මතක තියාගන්න.

අධික ලෙස මේ ඉගෙන ගන්න කාලෙ කාමුකව හැසිරුණොත් නම් පුතේ පාඩම් අතපසු වෙයි. ඔය කොයිකටත් සුදුසු කාලයක් තියෙනවා. ඔබ හිතන තරම්ම ඔබ තාම වැඩිල නෑ, පුතේ. තව ඔබ වැඩෙනවා. ඒක නිසා මුහුකුරා නොගියොත් ගහකින්වත් නිසි පරිදි වැඩක් ගන්න බෑ. පාසල් සමයේ ඔබේ හිතට ආදර හැඟුම් එන එක නෙමේ මේ කියන්නෙ. ඒ ආදරණීය හැඟීම් ද ඔබ පාලනය කරගත යුතුමයි. කාමුකව හැසිරී කම්සැප ම සොයා ගියොත් ඔබට මහත් අගතියක් ම වේවි. මොකද ඒක දිගටම ඇබ්බැහි විය හැකි නිසා. කොයිකට වුණත් ඕනෑවට වඩා ඇබ්බැහි වෙන එක හොඳ නෑනෙ.

ඉහත කියපු කරුණු ඔක්කොම ඔබේ සහජ හැකියාවන්, පුළුවන්කම් යට කරන කරුණු. ඒක නිසා ඕවාට ඔබේ හැකියාවන් යටකරන්න, ඔබව පාලනය කරන්න, ඔබව මෙහෙයවන්න ඉඩ දෙන්න එපා.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *