බිබිල, යල්කුඹුර, මො/ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පදියතලාවේ ඤාණවිමල හිමි
අත්තනාව කතං පාපං –
අත්තජං අත්ත සම්භවං
අභිමන්ථති දුම්මේධං –
වජිරං වස්මමයං මණිං
තමා විසින් කරන ලද පාපය තමා තුළ හටගනී. තමා තුළ උපන් එය තමාව ම වනසයි. ශෛලමය මාණික්‍යය කා දමන ශෛලයෙන් ම උපන් දියමන්තිය මෙනි. (ධම්මපදය අත්ත වර්ගය)
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමා පූජා කළ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයක ඉහතින් සඳහන් කළ ගාථා පාඨය මුල් කරගෙන මෙම දේශනාව සිදු විය. මෙම දේශනාව මඟින් පැහැදිලි වන්නේ අපේ ජීවිතය ගත කිරීමේ දී අප කුමන ආකාරයකින් ගත කළ යුතු ද යන කාරණාවයි. විශේෂයෙන් ම මේ ආත්මභාවයේ දී අප කුමන ආකාරයකින් ජීවත් වුණත් සමහර අවස්ථාවල අතීත භවයන් තුළ අප කළා වූ කර්මයන්ගේ විපාක මේ ආත්මයේ දී පල දෙන බව සඳහන් කිරීමට හැකි සුවිශේෂ කතා පුවතක් ලෙස මෙම ගාථාව හා සම්බන්ධ කතා පුවත සඳහන් කළ හැකි ය.
දෙව්රම් වෙහෙරට ආසන්නයේ ම එක්තරා ග්‍රාමයක ‘මහාකාල’ නම් උපාසක මහත්මයෙක් ජීවත් වුණා. මහාකාල ඉතා ම යහපත් ජීවිතයක් ගත කළේ. එතුමා මසකට අට වතාවක් පෙහෙවස් සමාදන් වුණා. ඒ වගේ ම ගමේ ජීවත් වන අනෙක් අයට ආදර්ශවත් වන විදිහටයි ජීවත් වුණේ. මේ විදිහට ජීවත් වන මොහුට කිසිවකු නො සිතූ පරිදි, නොපැතූ පරිදි මහා ඛේදනීය අවස්ථාවකට මුහුණ පෑමට සිදු වුණා. එක්තරා දිනක රාත්‍රි යාමයේ සැවැත්නුවර සිටුවරයාගේ නිවස සොරු කණ්ඩායමක් විසින් මංකොල්ල කෑමක් සිදු වුණා. මෙසේ මංකොල්ල කන අතරතුර එක් සොරෙකුට සිදු වුණ අත්වැරදීමක් නිසා සොරා අතේ තිබුණ රිදී බඳුන බිමට වැටී මහා ශබ්දයක් නංවමින් පෙරළී ගියා. මේ ශබ්දය ඇසුණු නිවසේ සිටි සේවකයන් තමන්ගේ ස්වාමියාගේ නිවස සොරුන් බිඳින බව දැනගෙන වහා ම එය වැළැක්වීමට කටයුතු සූදානම් කළා. මේ සේවක පිරිස සොරු කණ්ඩායම ලුහුබැඳගෙන ඔවුන් පසුපස දිව ගියා. තමන් පසුපස එන සිටුවරයාගේ සේවකයන් තමන්ව අල්වා ගනී යන බිය නිසා එදා රාත්‍රී ගෙවී පහන් වන වෙලාවේ මේ පිරිස මහාකාල උපාසකයා උදෑසන යාමයේ මුව දෙමින් සිටි පොකුණ අසල සොරකම් කළ වටිනා උපකරණ විසි කරලා යන්නට ගියා. හොරු කණ්ඩායම් පසුපස හඹා ආ සේවක පිරිස් උපාසකයා සමීපයේ තිබුණු මේ සොරකම් කළ භාණ්ඩ දැක්කා. දැකලා මේ හොරකම් සිද්ධ කළේ මේ උපාසකයා යනුවෙන් ඔවුන් විශ්වාස කළා. ඒ නිසා මේ සේවක පිරිස මහාකාල උපාසකයාට හොඳට ම පොලු මුගුරුවලින් පහර දීලා ඝාතනය කළා.
මෙම සිදුවීම බුදුන් වහන්සේටත් ආරංචි වුණා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා මහාකාල උපාසකතුමා මේ ජීවිතයේ දී යහපත් විදිහට ගත කළා. හැකි හැම වෙලාවක ම සිල් සමාදන් වුණා. අනෙක් අයට ආදර්ශයක් වන විදිහට ජීවත් වුණා. පවුලේ සාමයෙන්, සමගියෙන්, සමාදානයෙන් ජීවත් වුණා. මේ විදිහට ජීවිතයක් ගත කළ මේ උපාසකයා කිසිවෙකු අපේක්ෂා නො කළ ආකාරයට මරණයට පත් වීමට කුමන හේතුවක් බලපෑවේ ද යන්න මෙහි දී විමසා සිටියා.
මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මේ ආත්මභාවයේ දී යහපත් ජීවිතයක් ගත කළාට මොහුගේ අතීත භවයක දී කළා වූ අකුසල කර්මයක් මේ ආත්ම භාවයේ විපාක ලබා දුන් බවයි. මේ තැනැත්තා එක්තරා ආත්ම භාවයක බරණැස් නුවර මනුෂ්‍ය ආත්මය උපත ලැබ ආරක්ෂක සේවයේ නියුක්ත වෙලා හිටියා. ඒ තැනැත්තාට තිබුණු රාජකාරිය ඒ අසල ගමේ ජීවත් වන පිරිස නගරයට යොමු කිරීම. ඊට හේතුව තමයි ගමත් නගරයත් වෙන් කරමින් මහා වනාන්තරයක් තිබීම. වනාන්තරය පසු කර ගමන් කිරීම එතරම් ලෙහෙසි පහසු වුණේ නෑ. මොකද මේ වනාන්තරයේ බොහෝ සතුන් සර්පයන් සිටිය නිසා. ආරක්ෂක සේවයේ කටයුතු කරමින් සිටින එක්තරා දිනයක ගමෙන් නගරයට යෑම සඳහා තරුණියක සහ ඇයගේ ස්වාමි පුරුෂයා පැමිණියා. මේ තරුණිය දැකපු මේ ආරක්ෂකයාට ඇය ගැන කාමුක හැඟීමක් ඇති වුණා. ඇය සමග යහන්ගත වීමට ඔහුට ආශාවක් වුණා. ඒ නිසා මේ තැනැත්තා මේ දෙදෙනා ම එදින සවස් යාමයේ වනාන්තරයෙන් නගරය කරා රැගෙන යා නොහැකි බව ප්‍රකාශ කළා. හේතු වශයෙන් සඳහන් කළේ මේ සන්ධ්‍යා යාමයේ වනාන්තරයෙ බොහෝ සතුන් පාර අසලට පැමිණෙන බවයි.
මේ තැනැත්තා සිදු කළේ කුමක් ද? මේ දෙදෙනා ම තමන්ගේ නිවසට රැගෙන ගොස් රාත්‍රියේ සිටීමට ඉඩ ලබා දීමයි. එහි දී මේ තැනැත්තා කොහොම හරි මහන්සි ගත්තේ තරුණිය සමග යහන්ගත වීමට. ඒ වුණත් තරුණිය ඊට කිසි ම කැමැත්තක් පළ කළේ නෑ. තමා ප්‍රාර්ථනා කළ දේ නො ලැබීම නිසා මේ ආරක්ෂකයා බොහෝ සෙයින් කෝපයට පත් වුණා. ඔහු කරපු දේ තමයි තමන්ගේ නිවසේ තිබුණු මැණිකක් තමන්ගේ සේවයෙකුට දී එය මේ දෙදෙනා රැගෙන පැමිණි කරත්තයේ මොවුන්ගේ මල්ලට දමන ලෙස අණ කිරීම. පසු දා උදෑසන මේ තැනැත්තා තමන්ගේ නිවසේ තිබුණු මැණිකක් අතුරුදන් වී ඇති බව ප්‍රචාරයක් යැව්වා. නිවසේ අනෙක් සැම දෙනාගේ ම පසුම්බි පරික්ෂා කළත් ඒ මැණික් හම්බ වුණේ නෑ. අවසානයේ දී මේ දෙදෙනාගේ පසුම්බි පරික්ෂා කිරීමෙන් පසුව ඒ මැණික සොයා ගන්නට පුළුවන්කම ලැබුණා. අවසානයේ දී සිද්ධ වුණේ මේ දෙදෙනාට අර ආරක්ෂකයාගේ සේවකයන් අතින් මරණයට පත් වීමටයි. මේ කළා වූ අකුසල කර්මය නිසා මහාකාල උපාසකයා මේ ආත්මයේ දී යහපත් ලෙස කටයුතු කළත් ඔහුගේ අකුසල කර්මය විපාක දීම නිසා සහේතුක ව නමුත් මරණයට පත් වීමට සිදු වුණ බව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා හමුවේ දේශනා කර සිටියා.
මේ කතා පුවත මඟින් අපිට වැදගත් කරුණු රාශියක් පෙන්වා දෙනවා. වැදගත් ම දේ තමයි කාමාශාව ඇති වුණාම බොහෝ වෙලාවට අප කරන, කියන දේවල් පිළිබඳ වගකීම් විරහිත ව, හැඟීම්වලට වහල් වී මනුෂ්‍යත්වයට නුසුදුසු ක්‍රියා සිදු කිරීම. ඒ විදිහට මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාකාරකම් සිදු කළ විට එහි විපාක අතිශයින් භයංකර බව පෙන්වා දීමට වැදගත් කතා පුවතක් ලෙස මෙම කතා පුවත පෙන්වා දිය හැකියි. මහාකාල උපාසකතුමා මේ ආත්මයේ කෙතරම් හොඳින් ජීවත් වුණත් අතීතයේ දී කළ, කී දෑවල ප්‍රතිඵල අයහපත් ලෙස මේ ආත්මයේ දී භුක්ති විඳීමට සිදු වුණා.
අපිත් මේ ජීවත් වෙන කාලවකවානුව තුළ නොයෙකුත් අවස්ථාවන්හි දී අප බලා බලාපොරොත්තු වන විදිහේ ප්‍රතිඵල අපට ළඟා කරගැනීමට නොහැකියි. කෘෂිකාර්මික කටයුතු කරන විට අප අපේක්ෂා කළ ආකාරයට අස්වැන්න නෙළා ගැනීමට හැකියාවක් නො ලැබී යන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ ඔබ ප්‍රාර්ථනා කළ ආකාරයට හාත්පසින් ම වෙනස් ලෙස ඔබේ ජීවිතය හසුරුවන ප්‍රධාන ම සුක්කානම වන්නේ ඔබේ අතීත භවයන්හි දී ඔබ කළා වූ කුසල කර්ම හා අකුසල කර්මයි.
මේ කථා පුවතින් පෙන්වා දෙන වැදගත් ම දේ වන්නේ සංසාර ගමන අවසානයේ දී නිවන් සාක්ෂාත් කරගන්නේ කවදා ද ඒ දක්වා ම අප කරන කියන හොඳ හෝ නරක ක්‍රියාකාරකම්වල විපාක එකී සංසාර ගමන තුළ දී අපට භුක්ති විඳීමට සිද්ධ වෙන බවයි. යහපත් දෙයක් සිදු කළොත් යහපත් විපාකයක් ද අයහපත් දෙයක් කළොත් අයහපතක් ද සිදු වන බව මේ අනුව අපට පැහැදිලිව හඳුනාගත හැකියි.
ධම්ම පදයේ මුල් ම වර්ගයේ මුල් ම ගාථා දෙකින් පෙන්වා දෙන්නේ අප කරන, කියන බොහෝ කරුණුවලට, ක්‍රියාකාරකම්වලට අපේ සිත මුල් වන බවයි. සිත මුල් වීමෙන් බොහෝ දෑ කරද්දී අපේ හිතේ අකුසල කර්ම සිදු කරන හැඟීමක්, ප්‍රසන්න හැඟීමක් ඇති කරගෙන එය මූලිකත්වයේ තබා ක්‍රියාවක් සිදු කරනවා නම් එමඟින් ලැබෙන විපාකය ද අහිතකර විපාකයක් බව එහි දී පෙන්වා දෙනවා. එසේම යමෙක් ප්‍රසන්න සිතින්, කයින්, වචනයෙන් යහපත් ක්‍රියා කිරීමට තමන්ගේ මනස තුළ සුපසන් හැඟීමක් ඇති කර ගන්නේ නම් ඔහු කළා වූ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් යහපත් ප්‍රතිඵලයක් බව පෙන්වා දෙන්නට යෙදුණා.
මේ අනුව මේ කතා පුවත මඟින් අපට ගන්න තියෙන උපදේශ කුමක් ද? ඔබත් මේ ජීවිතයේ සිදු කරන කුසල කර්ම හෝ අකුසල කර්ම ඔබගේ භවගාමී ජීවිතය යහපත් වීමට හෝ අයහපත් වීමට ප්‍රධාන වශයෙන් බලපාන බවයි මේ කතා පුවත මඟින් අපට පැහැදිලි කර දෙන්නේ. මහාකාල උපාසකතුමා මේ ආත්මයේ දී කෙතරම් යහපත් අන්දමින් ජීවත් වුණත් ඔහු අතීත භවයක කළ අකුසල කර්මය මේ ආත්මයේ විපාක වශයෙන් ලබා දුන්න නිසා ඔහු ගත කළ යහපත් ජීවිතය දීර්ඝ කාලයක් ගත කිරීමට හැකියාව ලැබුණේ නෑ. අපත් මේ ආත්මයේ දී ඒ ආකාරයට අපට අහිතකර අකුසල කර්ම සිදු කරනවා නම් එය මේ ආත්මයේ දී හෝ එසේත් නැතිනම් සංසාරික එක්තරා භවයක දී විපාක වශයෙන් දුක් විපාක ලැබෙන බව අප හඳුනාගෙන එවැනි ක්‍රියාවලින් වැළකීමට අප කටයුතු කළ යුතුයි.
අප ගත කරන මේ කාමභෝගී ජීවිතය තුළ බොහෝ වෙලාවට ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියයන් පිනවීමටයි වෙහෙස ගන්නේ. ඒ නිසා අපෙන් දැනුවත් ව හෝ නො දැනුවත් ව අකුසල කර්ම සිදු විය හැකියි. ලෝභය, ද්වේෂය, මෝහය මුල් කරගෙන අප අතින් සිදු වන එකී අවැඩදායක සිදුවීම් නිසා මේ ආත්මයේ දී පමණක් නෙවෙයි අනාගත භවයන් තුළ දීත් ඒ ක්‍රියාකාරකම්වල විපාක අපට ම භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මෙය මනා කොට සිතේ තබාගෙන, ධාරණය කරගෙන ගත කරන කෙටි කාල කාලසීමාව තුළ ඉතා යහපත් ජීවිතයක් ගත කිරීමට අප කටයුතු කළ යුතුයි. මේ ලැබූ වාසනාවන්ත ජීවිතය තුළ දිනෙන් දින ම තමන් සාර්ථක වීමට ධර්මානුකූල මාර්ගයේ ගමන් කිරීම අතිශයින් ම වැදගත්. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං’ යනුවෙන් බණ පොතේ සඳහන් වෙන්නෙත් තමන් ධර්මානුකූල ව ජීවත් වෙනවා නම් තමන් ව බොහෝ අවස්ථාවල ඒ ධර්මය මගින් ම තමන් ආරක්ෂා කර දෙන බවයි. කෙසේ වෙතත් තමන් අතීත භවයන් තුළ කළ කී දෑවල විපාක කෙදිනක හෝ තමාට විඳීමට සිද්ධ වෙන බව හිතේ තබාගෙන මේ කෙටි ජීවිතය සිහිබුද්ධියෙන් යුතු ව ගත කිරීම බෞද්ධයන් වශයෙන් අප හැම දෙනාගේ ම වගකීමක්.