ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්
කෙනකුට දීමට අපහසුම දානයක් ලබා දුන්න ද එය සුප්පියාවන්ට හුදු අවශ්‍යතාව අනුව යමක් අත්හැරීමක් ම පමණක් ම විය. එතුමිය එය ප්‍රසිද්ධ නොකර, අවම වශයෙන් බුදුරජාණන්වහන්සේට පවා එය විමසන තෙක්ම ප්‍රකාශ නොකර සිටීමෙන් පැහැදිලි වන්නේ, එතුමිය අත්හැරීම කොතෙක් ප්‍රගුණ කර ඇත්ද යන්නය.
බුදු සසුනෙහි උපාසක උපාසිකාවන් ලෙස අප දන්දීම කළ යුත්තේ අපගේ සිත්වල පවතින තණ්හාව අඩුකර ගැනීම සඳහාය. එහිදී අප දෙන දානයෙහි වටිනාකම තීරණය වන්නේ එම දානය දෙන අවස්ථාවෙහි අප සිතෙහි පවතින තත්ත්වය මත මිස දාන වස්තුවෙහි වටිනාකම මත නොවේ. කෙතරම් වටිනා දාන වස්තුවක් වුව ද එය නිසි ලෙස සිත පිහිටුවා නොකළහොත් එහි ප්‍රතිඵලය හීන වේ. සුප්පියා උපාසිකාව අපට වැදගත් වන්නේ ඉතාම අමාරුම දාන වස්තුවක් ලබාදීමෙන් පසුව පවා එතුමිය ඒ වෙනුවෙන් විශේෂ ගෞරවයක් පිළිගැනීමක් අපේක්ෂා නොකළ නිසාය. සුප්පියා උපාසිකාවෝ ගෞතම බුදු සසුනෙහි ගිලනුන්ට උපස්ථාන කරන උපාසිකාවන් අතරින් අග තනතුර දරන්නෝය. එතුමිය එම තනතුර ප්‍රර්ථනා කරන්නේ පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ ශාසනයෙහි එම තනතුර උවැසියකට ලබාදෙනු දැකීමෙනි. අනතුරුව එම තනතුර ප්‍රාර්ථනා කර කල්ප ලක්ෂයක් තිස්සේ එම තනතුර අපේක්ෂාවෙන් පින් දහම් කරමින් දෙව් මිනිස් ලොව සැරිසැරීමෙන් අනතුරුව කුසල් සම්පූර්ණ කළ ඇය අප බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි බරණැස් නුවර කුලගෙයක සුප්පියා යන නමින් උපත ලැබුවාය (මනෝරථපූරණි සුප්පියා වස්තුව)
සුප්පිය ගහපතියන් හා සරණබැඳි සුප්පියාව බුදුරජාණන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන බරණැස් නුවරට වැඩි අවස්ථාවක උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත් වූවාය. බුදුරජාණන්වහන්සේ මුණගැසුණු පළමු අවස්ථාවෙහිම නිවන් මාර්ගයට පිළිපන් සුප්පියාවෝ සිය ස්වාමියා ද සමග බුදුසසුනෙහි දායකයන් බවට පත්ව සංඝ උපස්ථානයෙහි යෙදුණෝය. ඔවූහු භික්ෂු සංඝාරාමයනට ගොස් විහාරයෙන් විහාරයට, පිරිවෙනෙන් පිරිවෙනට යමින් සංඝයාගේ අවශ්‍යතා සොයා බලා ඒවාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයා දීම සිදු කළහ.
එක් දිනක් සුප්පියාව විහාරයෙන් විහාරයට, පිරිවෙනෙන් පිරිවෙනට කවරකු ගිලන්ව සිටින්නේ ද කුමක් ලබාදිය යුතුදැයි විමසමින් යන අතරතුර විරේචන බෙහෙතක් බොන ලද නිසා ගිලන් බවට පත් භික්ෂුවක මුණගැසිණි. සුප්පියාව විසින් විමසනු ලදුව එම භික්ෂුව තමා විරේචන බෙහෙතක් පානය කළ බවත් මස් රසයක අවශ්‍යතාව පවතින බවත් දැනුම් දුන්නනේය. එය ලබාදීමට පොරොන්දු වූ සුප්පියාවෝ සිය නිවසට පැමිණ වෙළෙඳපොළෙන් මස් රැගෙන එන ලෙස සිය සේවකයකු පිටත් කර හැරියෝය. එදින මාඝාත හෙවත් සතුන් නොමරන දිනයක් වූ හෙයින් මුළු බරණැසම ඇවිද සෙවූ මුත් සේවකයාට මස් සොයාගැනීමට නොහැකි විය. හිස් අතින්ම පැමිණි සේවකයා මාඝාත දිනයක් වන බැවින් කඩ වීදියෙහි මස් නොමැති බව සුප්පියාවට දැනුම් දුන්නේය. තමා පොරොන්දු වූ මස් රසය නොලැබුණහොත් රෝගී භික්ෂුවගේ රෝගය උත්සන්නවීමට හෝ මරණයට පත්වීමට ඉඩ ඇති බවත්, තමා දීමට පොරොන්දු වී එය නොයැවීම නුසුදුසු බවත්, සිතූ සුප්පියාවෝ මස් කපන කැත්ත ගෙන සිය කලවයෙන් මස් කපා සිය දාසියට දුන්නෝය. එම මස් පිස අසවල් වෙහෙරෙහි සිටින ගිලන් භික්ෂුවට ගෙනගොස් දෙන ලෙසත්, යමකු තමාව විමසුවහොත් තමා රෝගී බව පවසන ලෙසත්, එතුමිය දාසියට පැවසූවාය. අනතුරුව සිය උතුරු සළුවෙන් කලවය ඔතාගෙන නිදන කාමරයට ගොස් වැතිරුණාය. දාසිය ද සිය ස්වාමිදියණිය පැවසූ ලෙසම මස් පිස රෝගී භික්ෂුවට ලබාදුන්නාය (මහාවග්ගපාලි භේසජ්ජක්‍ඛන්‍ධකය දෙවන සුප්පිය බණවර)
නිවසට පැමිණි සුප්පිය උපාසක දාසියගෙන් සුප්පියාව කොහිදැයි විමසුවේය. දාසිය ස්වාමිදියණිය නිදන කාමරයෙහි වැතිර සිටින බව පැවසුවාය. සුප්පිය උපාසක සුප්පියාව වෙත පැමිණ වැතිර සිටින්නේ මන්දැයි විමසුවේය. ඒ තමන් ගිලන් නිසා බව සුප්පියාව පැවසුවාය. අසනීපය කුමක් දැයි විමසූ විට සිදුවූ දෙය සුප්පියාව සිය ස්වාමියාට පැවසුවාය. එය ඇසූ සුප්පිය උපාසක තමන් පෙර ඇසූනොවූ දෙයක් අසන බවත්, සුප්පිය උපාසිකාවන් නිරවශේෂයෙන්ම ශ්‍රද්ධාවත් බවත්, නිරවශේෂයෙන්ම ප්‍රසන්න බවත්, මෙසේ තමාගේම මස් පරිත්‍යාග කළ හැකිනම් ඇයට දිය නොහැකි දෙයක් නොමැති බවත්, සිතා සතුටින් ඔදවැඩී ගියේය. එම සතුට නිසා බුදුරජාණන්වහන්සේ හමුවට ගොස් “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස භික්ෂු සංඝයා සමග හෙටට මාගේ බතට වඩින සේක්වා” යි දානයට ආරාධනා කලේය. බුදුරජාණන්වහන්සේ ද තුෂ්ණිම්භූතව එම ආරාධනය පිළිගත් සේක.
පසුදින සුප්පිය උපාසක ප්‍රණීත ලෙස ආහාර පාන සකසා “ස්වාමිනී දැන් මේ කාලය ය. බත නිමියේය” යි බුදුරජාණන්වහන්සේට දන්වා යැවීය. අනතුරුව බුදුරජාණන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා පෙරවරුවෙහි සුප්පිය උපාසකයන්ගේ ගෙට වැඩි සේක. තමාට බුදුරජාණන්වහන්සේ සමීපයට යා නොහැකි නිසා උන්වහන්සේ ඇතුළු ගෙට වැඩමවා අසුන් පනවන ලෙස සුප්පියාව සිය ස්වාමියාට පැවසුවාය. සුප්පීය උපාසක ද බුදුරජාණන්වහන්සේ සකසා වැඳ පසෙක සිටියේය. මෙසේ එකත්පසෙක සිටි සුප්පීය උපාසකයන්ගෙන් සුප්පියාව කොහිදැයි බුදුරජාණන්වහන්සේ විමසූ සේක. ඇය ගිලන්ව ඇති බව සුප්පීය උපාසක බුදුරජාණන්වහන්සේට පැවසීය. ඇයට තමා හමුවට පැමිණෙන ලෙස බුදුරජාණන්වහන්සේ සුප්පිය උපාසකයනට පැවසූහ. ඇයට එසේ පැමිණිමට නොහැකි බව සුප්පීය උපාසක බුදුරජාණන්වහන්සේට පැවසීය. එසේනම් ඔසවාගෙන එන ලෙස බුදුරජාණන්වහන්සේ පැවසූහ. මෙය ඇසූ උපාසිකාවෝ සියලු ලෝකයාට හිතානුකම්පා ඇති බුදුරජාණන්වහන්සේ කරුණු නොදැන තමා නොකැඳවන බව සිතා ඇඳෙන් නැගිට්ටාය. සුප්පිය උපාසක සිය බිරිඳ බුදුරජාණන්වහන්සේ වෙත ගෙන ගියේය. බුදුරජාණන්වහන්සේ දැකීමත් සමගම බුද්ධානුභාවයෙන් සුප්පියාවන්ගේ තුවාලය මත මස් සම වැඩී මුළුමනින්ම සුවපත් විය. භාග්‍යවතුන්වහන්සේගේ මහත් සෘද්ධි ඇති බවත්, මහත් ආනුභාව ඇති බව පුදුම සහගත යැයි සතුටට පත් උපාසිකාව පසඟ පිහිටුවා බුදුරජාණන්වහන්සේට වැන්දාය. බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ සංඝයාට සියතින්ම දන් පිළිගැන්වූවාය. දන් වැළඳීමෙන් අනතුරුව බුදුරජාණන්වහන්සේ උපාසකයන් හා උපාසිකාවන් දැහැමි කථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා, තියුණු කරවා, සතුටු කරවා ආරාමයට වැඩි සේක (මහාවග්ගපාලි භේසජ්ජක්‍ඛන්‍ධකය දෙවන සුප්පිය බණවර හා මනෝරථපූරණි සුප්පියා වස්තුව)
තමාට පරිබාහිර දෙය දන් දුන්නත් තමාගේ සිරුරෙන් කොටසක් තව කෙනකු වෙනුවෙන් ලබාදීමට සිත හදාගැනීම දුෂකර ක්‍රියාවකි. එසේ දීම නිසා වන වේදනාව දරා ගැනීමට සිදුවීම භාර ගැනීම සාමාන්‍යයෙන් අපහසුය. භික්ෂුවකගේ සුවය සඳහා එවැනි දෙයක් පවා කිසිදු පැකිළීමකින් තොරව කිරීමට සුප්පියාව තුළ පැවැති හැකියාව, භික්ෂු සංඝයා කෙරෙහි එතුමිය තුළ පැවැති මෛත්‍රී සහගත බව හා ශ්‍රද්ධාව ප්‍රකට කරයි. එසේම එතුමියගේ ස්වාමියා වූ සුප්පිය උපාසකයන්ට ද සිය බිරිඳගේ ක්‍රියාව තේරුම් ගැනීමට මෙන්ම අගය කිරීමට සමත් ශ්‍රද්ධාවක් පැවැති බව පැහැදිලිය. කෙනකුට දීමට අපහසුම දානයක් ලබා දුන්න ද එය සුප්පියාවන්ට හුදු අවශ්‍යතාව අනුව යමක් අත්හැරීමක් ම පමණක් ම විය. එතුමිය එය ප්‍රසිද්ධ නොකර, අවම වශයෙන් බුදුරජාණන්වහන්සේට පවා එය විමසන තෙක්ම ප්‍රකාශ නොකර සිටීමෙන් පැහැදිලි වන්නේ, එතුමිය අත්හැරීම කොතෙක් ප්‍රගුණ කර ඇත්ද යන්නය. දන්දීම ප්‍රසිද්ධිය තකා නොව අත්හැරීම ප්‍රගුණ කරන්නක්ම පමණක් විය යුතු බව සුප්පියාව අපට පෙන්වා දෙන්නීය.
සුප්පියාගේ අත්හැරීමෙහි ගුණය බුදුරජාණන්වහන්සේ අගය කළ ද තමා ලබන දාන පරිෂ්කාර විමසීමකින් තොරව ලබා නොගැනීමට භික්ෂු සංඝයාට අවවාද කළ සේක. උන්වහන්සේ භික්ෂු සංඝයා රැස්කරවා සුප්පියාවන්ගෙන් මස් ඉල්ලා සිටියේ කවුරුන් දැයි විමසා වදාළ සේක. සුප්පියාවගේ මස් ලද ගිලාන භික්ෂුව තමන් මස් ලද බව බුදුරජාණන්වහන්සේට දැනුම්දුන්නේය. තමා ලද මස් මොනවාදැයි භාරගැනීමට පෙර විමසුවේ දැයි එම භික්ෂුවගෙන් විමසූ බුදුරජාණන්වහන්සේ එසේ නොවිමසූ බව ප්‍රකාශ කළේය. එවිට බුදුරජාණන්වහන්සේ ශ්‍රද්ධාවත් ප්‍රසන්න මනුෂ්‍යයන් වන බවත්, ඔවුන් තමන්ගේ මස් පවා පූජා කරන බවත් පවසා, එසේ හෙයින් නොවිමසා සත්ත්ව මාංශ නොවළඳන ලෙසටත්, මිනිස් මාංශ නොවළඳන ලෙසටත්, ශික්ෂාපද පනවා වදාළ සේක (මහාවග්ගපාලි භේසජ්ජක්‍ඛන්‍ධකය දෙවන සුප්පිය බණවර).