චිත්තවේග සහ බෞද්ධ මනෝවිද්‍යාව

cmadurawala
8 Min Read

මහාචාර්ය පී. ඩී. ප්‍රේමසිරි

බොහෝ විචාරකයන්ගේ පිළිගැනීම වන්නේ බුදුසමය ලෝක ආගම් අතරින් වඩාත්ම මනෝවිද්‍යාත්මක ඉගැන්වීම්වලින් පරිපූර්ණ ආගමික සම්ප්‍රදාය වන බවයි. කේම්බ්‍රිජ්හි ප්‍රසිද්ධ මනෝවිද්‍යා මහාචාර්යවරයකු වූ රොබර්ට් තවුලස් විසින් ලන්ඩනයේදී පවත්වන ලද විශේෂ දේශනයකදී බුදුසමයත් ප්‍රොයිඩියානු මනෝවිද්‍යාවත් අතර කිසියම් සැසඳීමක් කළ හැකි බැව් මීට දශක කීපයකට පෙර දී සඳහන් කොට තිබේ. එසේම ස්වීඩන් ජාතික මනෝවිද්‍යාඥයකු වන රූන් ජොහැන්සන් පවසන පරිදි මනෝවිද්‍යා විෂය පිළිබඳ දැනුමක් ඇති ඕනෑම කෙනකුට පාලි ත්‍රිපිටක බෞද්ධ සාහිත්‍යය කියවීමේදී එහි වන මනෝවිද්‍යාත්මක අන්තර්ගතය ගැන අවධානය යොමු වීම නිරායාසයෙන්ම සිදුවනු ඇත. බටහිර ලෝකයේ මනෝවිද්‍යාව දාර්ශනිකයන්ගේ ග්‍රහණයෙන් ඉවතට ගෙන විද්‍යාවක් වශයෙන් වර්ධනය වීම ආරම්භ වූයේ දහනවවන සියවසේ අග භාගයේ සිටය. එතැන් සිට බටහිර මනෝවිද්‍යාවේ වර්ධනය සඳහා උපයෝගි කරගනු ලැබුවේ වෙනත් ස්වාභාවික විද්‍යා සඳහා යොදාගත් ක්‍රම විද්‍යාත්මක මූලධර්මයන්ම වූ නිසා එම මනෝවිද්‍යාව බෙහෙවින් මිනිසාගේ භෞතික සහ ශාරීරික අංශ වෙත යොමු වූ විද්‍යාවක් බවට පත් විය. එය මිනිසාගේ අභ්‍යන්තර අනුභූතිය වෙත යොමු වෙමින් මිනිස් මානසික ක්‍රියාකාරිත්වය සහ විඥාන ප්‍රවාහයන් පිළිබඳ සොයන මනෝවිද්‍යාවක ස්වරූපය නොගත්තේය. මේ නිසා විඥාන සංකල්පය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට එය පත් විය. බුදුසමය මිනිසා සහ ලෝකය පිළිබඳ සත්‍ය සෙවීමේ දී ප්‍රත්‍යක්‍ෂයට සහ අනුභූතියට ප්‍රධාන තැනක් දෙමින් විද්‍යාත්මක ආකල්පයකින් සත්‍ය සෙවීමෙහි යෙදුණු බව පෙනෙන්නට තිබේ. බාහිර හෝ අභ්‍යන්තර බලපෑම්වලින් හා අගතිගාමිත්වයෙන් තොරව තම අධ්‍යාත්මය පිළිබඳ සත්‍යය ද විද්‍යාත්මක ලෙස අනාවරණය කරගත හැකි බව එයින් පිළිගෙන තිබේ. එබැවින් විසිවන සියවසේ මුල් භාගය වන විට බටහිර ලෝකයේ වඩාත් බලසම්පන්න බවට පත්වෙමින් තිබූ භෞතිකවාදී දාර්ශනික පදනමකින් යුතු මනෝවිද්‍යා ගුරුකුලය වන චර්යාවාදී සම්ප්‍රදාය සමග බෞද්ධ මනෝවිද්‍යාව සැසඳිය නොහැකි වුවද මිනිසා තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තරික මානසික නියමයන් ඇති බව පිළිගත් ප්‍රොයිඩියානු මනෝවිද්‍යාව වැනි සම්ප්‍රදායයන් සමග එය සැසඳීම අපහසු නොවන බව පෙනෙන්නට තිබේ. බෞද්ධ මනෝවිද්‍යාව හා චිත්තවේග පිළිබඳ විමසීමේ දී එම කරුණ ආරම්භයේදීම සඳහන් කිරීම සුදුසුය.

“චිත්ත වේග” යන සංකල්පය පිළිබඳව ද ආරම්භයේදීම පැහැදිලි කරගත යුතු කරුණක් ඇත. “චිත්ත වේග” යන වචනය බෞද්ධ භාෂා ව්‍යවහායේ හමුවන්නක් නොවේ. එම වචනය ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන ’emotion’ යන වචනය සඳහා මෑතක සිට යොදා ගන්නා ලද නව සිංහල පාරිභාෂිත වචනයකි. ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන emotion යන වචනයට සාකල්‍යයෙන්ම ගැළපෙන වචනයක් සාම්ප්‍රදායික බෞද්ධ ව්‍යවහාරයෙහි දක්නට නැත. එම ඉංග්‍රීසි වචනය යහපත් හා අයහපත් ලෙස බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් සැලකිය හැකි නානා ප්‍රකාර මානසික ධර්ම හැඳින්වීමට යෙදිය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙහි යෙදෙන වචනයෙන් හැඳින්වෙන බොහෝ මානසික තත්ත්ව හා ක්‍රියාකාරිත්වයන් පිළිබඳ බෞද්ධ ව්‍යවහාරයෙහි වෙනත් වචන මාලාවකින් අදහස් ප්‍රකාශ කෙරෙන බව සැලකිය යුතුය. බෞද්ධ ව්‍යවහාරයෙහි මානසික ක්‍රියාකාරිත්වය විස්තර කිරීම සඳහා යොදා ගනු ලබන්නේ එම සම්ප්‍රදායේ අරමුණුවලට ගැළපෙන ආකාරයේ වචන මාලාවකි. බෞද්ධ සම්ප්‍රදාය තුළ මානසික ක්‍රියාකාරිත්වය විස්තර කිරීමේදී ප්‍රමුඛත්වය දී ඇත්තේ මානසික යැයි සැලකිය හැකි තත්ත්වයන්ගේ හොඳ හෝ නරක, යහපත් හෝ අයහපත් බව අනුව කෙරෙන වර්ග කිරීම්වලටය. බුදු සමයෙහි සියලු මානසික ස්වභාවයන් එසේ බෙදීමේදී ඒවා කුශල හෝ අකුශල ධර්ම වශයෙන් වර්ග කරන ලදී. බොහෝ විට අකුශල පක්ෂයට වැටෙන මානසික ධර්ම කීපයක්ම එක් වර්ගයකට ඇතුළු කොට ඒ සඳහා සාමාන්‍ය වචනයක් යොදා ඇත. මෙයට නිදසුනක් වශයෙන් ඉංග්‍රීසි බසින් යෙදෙන emotion යන වචනයේ ව්‍යවහාරය යටතට ගත හැකි බොහෝ මානසික ධර්ම බුදු සමයෙහි ආසව, අනුසය, ක්ලේශ, නීවරණ ආදී වචනවල ව්‍යවහාරය යටතට ගත හැකි බව දැක්විය හැකිය. වර්තමාන සිංහල පාරිභාෂික ව්‍යවහාරයට අනුව කතා කරන්නේ නම් මේවා අතරට චිත්ත වේග වශයෙන් සැලකිය හැකි මානසික ස්වභාව ද ඇතුළත් වේ.

බටහිර මනෝවිද්‍යාවෙහි චිත්තවේග පිළිබඳ කෙරෙන සාකච්ඡාවලදී චිත්තවේග සහ අභිප්‍රේරණය (motivation) අතර වෙනස දැක්වීමේ අපහසුව පිළිබඳව ද සඳහන් කෙරේ. බොහෝවිට අභිප්‍රේරණාත්මක සාධකයක් චිත්තවේගයක් වශයෙන් ද ක්‍රියාත්මක විය හැකි වීමත් එසේම යම්කිසි චිත්තවේගයක් අතිප්‍රේරණාත්මක සාධකයක් වශයෙන් ක්‍රියාත්මක වීමට හැකි වීමත් මෙයට හේතු වශයෙන් සැලකේ. නිදසුනක් වශයෙන් ලෝභය, බිය හෝ තරහව චිත්තවේගයක් මෙන්ම අභිප්‍රේරණයක් වශයෙන් ද ක්‍රියාත්මක විය හැකිය. සාමාන්‍යයෙන් චිත්තවේගයක් ලෙස සැලකෙන්නේ මානසික වශයෙන් අභ්‍යන්තරයෙහි ඇති වන චලනයකි. අභිප්‍රේරණයක් වශයෙන් සැලකෙන්නේ මිනිසා කිසියම් ක්‍රියාවකට පොලඹවන මානසික හෝ ශාරීරික සාධකයකි. එසේ මිනිසා ක්‍රියාවට පොලඹවන සාධකයන් අතරින් බුදු සමයෙහි අවධානය යොමුවන්නේ කුශල හෝ අකුශල පක්ෂයට වැටෙන මානසික සාධකයන් වෙතය.

බුදු සමයේ ප්‍රධාන අරමුණ මිනිසා සංසාරික දුකින් මිදවීමය. ඒ සඳහා මිනිසා තුළ චිත්තවේගාත්මක මෙන්ම ප්‍රජානතාත්මක පරිවර්තනයක් සිදු කළ යුතු වේ. එකී පරිවර්තනය බෞද්ධ ඉගැන්වීමෙහි හැඳින්වෙන්නේ චෙතොවිමුක්තිය හා පඤ්ඤාවිමුක්තිය ලෙසය. ආශාව, අනුසය, ක්ලේස, නීවරණ ආදිය චෙතොවිමුක්තියට සහ පඤ්ඤාවිමුක්තියට බාධාකර මානසික තත්ත්වයන්ය. බෞද්ධ මනෝවිද්‍යාවට අනුව අයහපත් චිත්තවේග සමග ප්‍රඥාවෙන් තොර මානසිකත්වය ද නිරතුරුව බැඳී පවතී. එබැවින් ආශාව, අනුසය, නීවරණ යනුවෙන් බුදු සමයෙහි වර්ග කෙරෙන මානසික ධර්ම අතරට රාගය, ලෝබය, ද්වේෂය වැනි චිත්තවේග මෙන්ම, අවිද්‍යාව, මෝහය වැනි මානසික ස්වභාවයන් ද අයත් වේ. අවිද්‍යාව චිත්තවේගයකට වඩා අකුශල සහගත චිත්තවේග සමග නියත ලෙස සංයෝගව පවත්නා මානසික තත්ත්වයකි. අවිද්‍යාවෙන් යුතු වීම යනු අප්‍රබුද්ධ වූ මානසික තත්ත්වයක පසුවීමය. එම අප්‍රබුද්ධ මානසික ස්වභාවය මිනිසා තුළ පවත්නාතාක් මිනිසාට අයහපත් චිත්තවේගවලින් මිදිය නොහැකි බව බෞද්ධ ඉගැන්වීමෙන් ප්‍රකට වේ. සබ්බාසව සූත්‍රයෙහි දැක්වෙන පරිදි ආස්‍රව ක්ෂය කළ හැකි වන්නේ දැනීම හා දැකීම ඇති පුද්ගලයාටය.

බුදු සමයෙහි අරමුණ ඇතැම් අය විසින් වැරදි ලෙස වටහා ගෙන ඇතැයි කිව හැකිය. සමහරුන් විසින් බුදුසමයෙන් අනුඥාත පරමාර්ථය හැඳින්වෙන්නේ සියලු චිත්තවේගවලින් මිදීමක් ලෙසය. එහෙත් චිත්තවේග යන වචනය ඉංග්‍රීසි ව්‍යවහාරයට අනුව සකස් කරගෙන ඇති වචනයක් බැවින් අප විසින් බුදු සමයෙහි යහපත් චිත්තවේග වශයෙන් සැලකෙන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, දයාව, හිරි ඔත්තප්ප, ප්‍රීතිය, ප්‍රමෝදය ආදී මානසික තත්ත්වයන් ද අමතක නොකළ යුතුය. බුදු සමයෙන් අනුඥාත වූයේ සියලු අකුසල චිත්තවේග ප්‍රහීණ කිරීමත් කුසල චිත්තවේග භාවනය කිරීමත් යැයි කීමට මෙහි දී සිදු වේ. බුදු සමයෙහි පරමාර්ථය මිනිසා සියලු හැඟීම්වලින් තොර වූ උදාසීන, මනෝභාවවලින් හිස් වූ පුද්ගලයකු බවට පත් කිරීම නොවේ. මිනිස් ජීවිතයෙහි අසහනය බිහිකරන සියලු හැඟීම් පහකොට සන්තුෂ්ටිය හා සැනසීම ඇති කරන සදාචාරාත්මක වශයෙන් යහපත් වූ හැඟීම් උපරිම වශයෙන් වර්ධනය කරන ලද තත්ත්වයකට පුද්ගලයා පත් කිරීම බුදු සමයෙහි අරමුණයි.

චිත්තවේග පිළිබඳ යම්කිසි විග්‍රහයක් කිරීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වූයේ මිනිසා විසින් මෙලොවදීම අත්විඳින නානාප්‍රකාර දුක් පීඩාවලට මෙන්ම සංසාරික වශයෙන් මිනිසා දුගතිගාමී වීමට ද අයහපත් චිත්තවේග හේතු වන බව සැලකීමයි. අකුසල්සහගත මානසික ධර්ම වශයෙන් හඳුනාගත හැකි චිත්තවේග මිනිසා අකුසල වූ විවිධ හැසිරීම් රටාවන්ට පොලඹවන බව ද බුදුසමයෙන් පෙන්වා දෙනු ලැබේ. ජන සමාජය තුළ සාමකාමී සහජීවනයට ප්‍රධාන බාධකයක් වන්නේත් පුද්ගලාන්තර සම්බන්ධතා අයහපත් ලෙසින් බිඳවැටෙන්නේත් මිනිසුන් අතර කලහ, විවාද, යුද ගැටුම් ආදී අකුසල හැසිරීම් රාශියක් ප්‍රකට වන්නේත් අයහපත් චිත්තවේගවල බලපෑම හේතු කොටගෙන බව බෞද්ධ ඉගැන්වීමයි. අයහපත් චිත්තවේග උත්සන්න වූ කල්හි මිනිසා උන්මත්තකයකු බවට ද පත් විය හැකිය. අයහපත් චිත්තවේග හසුරුවා ගැනීමට නොහැකි වීම නිසා තමා දුක් පීඩාවන්ට පත්වනවා පමණක් නොව තමා ජීවත් වන සමාජයෙහි සෙසු අයට ද දුක් පීඩා ඇති කිරීමට තම හැසිරීම මුල් විය හැකිය.

බුදු සමය ජීවිතය පිළිබඳ අවබෝධ කරගත යුතු වැදගත්ම සත්‍ය සතරෙන් පළමුවැන්න වශයෙන් දකින්නේ දුක්ඛ සත්‍යයයි. දෙවැන්න දුක්ඛසමුදය සත්‍යය හෙවත් දුක හටගැනීම සඳහා හේතුව පිළිබඳ සත්‍යයයි. දුක හටගැන්මට හේතු වන්නේ කාමතණ්හා, භවතණ්හා සහ විභවතණ්හා යන ත්‍රිවිධ වූ තෘෂ්ණාව බව බුදු සමයෙන් ඉගැන්වේ. එකී ත්‍රිවිධ වූ තණ්හා සහිත අනවබෝධයෙන් ජීවත් වන මිනිසා නිරතුරුව ලෝබය හා ද්වේෂය යන චිත්තවේගයන්ගේ වහලෙක් බවට පත් වේ. අයහපත් චිත්තවේග අභිප්‍රේරණ සාධක බවට පත්වීම හේතුවෙන් මිනිසා විසින් ඇතිකරගන්නා කායික, වාචසික හා මානසික පුරුදු මගින් තවදුරටත් මිනිසාගේ අයහපත් චරිත ලක්‍ෂණ ප්‍රබල ලෙස මුල්බැස ගැනීමක් සිදුවෙයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *