විචිකිච්ඡාව විනිවිද දකින විපරමක්

rashi
By rashi
8 Min Read

ගුණතිලක මැටියගනේ

පාලි භාෂා ව්‍යවහාරයෙන් සකස් වූවත් විචිකිච්ඡාව යන වචනය අපේ ගැමි වහරට එතරම් ආගන්තුක වූවක් නෙමේ. කුකුස, සැකය, විමතිය, දෙගිඩියාව, සාංකාව, අවිනිශ්චිතභාවය වැනි හැඟීම් පල කිරීමේදී සංක්‍ෂෙපයෙන්ම එය පැහැදිලි කැර දෙන්නට ගැමියා තෝරා ගන්නේ විචිකිච්ඡාව යන වචනයයි.

හැබැයි ඒ අපේ දෛනික ජීවිතයේ හටගන්නා කුකුස් සහගත සම්මතාර්ථයෙන්. පරමාර්ථයේ පැත්තට තුලාවේ ලා කිරා මැන බැලුවොත් දහමේ පෙන්වන කුකුස ඊට වඩා බොහෝමත්ම ගම්භීරයි. පංච නීවරණ ධර්ම ගැන දැන කියා ගන්න කොට එහි කූඨ ප්‍රාප්තිය සඳහන් වෙන්නෙ විචිකිච්ඡාවෙන්. යුක්තිය පසිඳලන අපේ අධිකරණ ක්‍රියා පටිපාටිය තුළත් මේ විචිකිච්ඡාව නොහොත් සැකයට ලොකු බරක් තබා තියෙන්නෙ. එහිදී චූදිතයාට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කෙරෙන චෝදනා ඔප්පු විය යුත්තෙ සැකයකින් තොරව, එහෙම නොවුණොත් ‘සැකයේ වාසිය’ යන්නෙ විත්ති පාර්ශවයට, එවිට බොහෝවිට චූදිතයා නිදහස් වෙනවා, නැතිනම් ඔහුගෙ දඬුවම ලිහිල් වෙනවා.

විචිකිච්ඡාව ගැන විපරම් කරන විට කෝණ ගණනාවකින් එදෙස බලත හැකියි.

i. විචිකිච්ඡාව යනු කුමක්ද?

ii. එය නීවරණ ධර්මයන්ට දක්වන ඥාතිත්වය කුමක්ද?

iii. විචිකිච්ඡාව හටගන්නේ කෙලෙසද?

iv. විචිකිච්ඡාව නැතිවන්නේ කෙලෙසකද?

v. එහි ආස්වාදය ආදීනවය හා නිස්සරණය කුමක්ද?

තමා තුළ විචිකිච්ඡා නීවරණය ඇති වග දැනගැනීම මෙහි පළමු පියවරයි. එනම් තමා තුළ බුද්ධාදී අට තැන් කෙරෙහි පවත්නා කුකුස කුමක්දැයි වටහා ගැනීමයි.

පළමුවැන්න ‘බුද්ධේ සංකති’ නම් වනවා. එනම් පුහුදුන් සත්වයාට ලෝකයේ යථාර්ථය හෙළි පෙහෙළි කොට විවර කොට දුන් ශාස්තෘවරයාණන් පිළිබඳව හටගන්නා සැකයයි. පළමුව උන්වහන්සේගේ බුද්ධ කාය පිළිබඳව පවත්නා විචාරාත්මක කුකුසයි.

ගෞතම බුදුපියාණන් වහන්සේත් මා පිය සුසංයෝගයක ප්‍රතිඵලයක් ලෙස සිදුහත් ලෙසින් මෙලොව එළිය දුටු වග ඇත්තයි. ඒත් උන්වහන්සේ සෙසු පුද්ගලයින්ට ළඟා විය නොහෙනා කප් සුවහස් කල් සපුරාගත් පාරමී දම්වල බලශක්තියෙන් බුදු බව ලබන ආත්මයේදී බඹයක් පමණ දුරට විහිදෙන ෂඩ් වර්ණ රශ්මි මාලාවක් ලබන්නට භාග්‍යවන්ත වනවා.

පසු කලෙක නවීන විද්‍යාවෙනුත් සොයා අනාවරණය කොට ඇති පරිදි සෑම මනුෂ්‍යයෙකුගේම සිරුර වටා කිසියම් ආකර්ෂණීය රශ්මි ධාරාවක් විහිදෙන වග සත්‍යයක්. එය ඔහුගේ පෙර කර්ම ශක්තීන්වලට සමපාතව අඩු වැඩි වෙනවා. මෙය පෞරුෂය, තේජස, ආකර්ෂණය ආදී පෙලවාසිවලින් එක් එක් පුද්ගලයාට හිමිවන භාග්‍යයන්. බුදු පියාණන්ට දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ පිහිටියා. 108 ක් මගුල් ලකුණු, 80ක් කුඩා කුඩා ලක්ෂණ, 216ක් මංගල චාතූර්යයන්, මෙවන් ආශ්චර්යවත් කාය විසිතුරෙන් උපලක්ෂිත බුද්ධ කායත්, සෙසු පෘතජ්ජන නරපණුවන්ගේ කුණු කයටත් එක හා සමාන වටිනාකමක් දෙන්නට වෙර දරන නූතන රැඩිකල්වාදීනට මග වැරදිලා. එවන් වූ බුද්ධ කාය ගැන සැක ඉපදවීම නිවන් මග අවුරාලන්නක්.

ඒ වගෙම උන්වහන්සේගෙ ඥාන කාය ගැන සැක උපදවන එක තණ්හාව බිඳක්වත් ඉතුරු නොකැර අරිහත් ඵලයට පත් රහතන් වහන්සේලාටවත්, පසේ බුදුවරුන්ටවත් ඒ ඥාන කාය ලැබෙන්නෙ නෑ. දස පාරමී දම් පුරා සර්වඥතා ඥානය ලබාගත් කුසල හේතූන්ගේ ඵලයක් ලෙස මේ අසමාන ඥාන සම්භාරය තුළිනුයි උන්වහන්සේ අවබෝධයට පත්වන්නෙ. සබ්බඤ්ඤත ඥානය (සියල්ල දත්) ෂඩ් අසාධාරණ ඥාන, කිසිවෙකුටත් අභියෝග කළ නොහෙන වතුවෙසාරජ්ජ ඥාන ලැබෙනවා.

බුදුන් වහන්සේත්, සම්මත කාලයෙන් ගණනය කරනාකාරයට අනුව ආයු වර්ධනය වුවත්, බුදු සිරුරද ලෝ දහම ප්‍රකාරව, වැහැර ගියත් උන්වහන්සේගෙ ලොව තුරු ඥාන සම්භාරයේ වැහැරීමක් නොවී තෙසැත්තෑ ඥාන, මහා කරුණා සමාපත්ති වැනි ගුණ දම් කඳ ගැන පුහුදුන් සිතකට අදහන්න අපහසු බව ඇත්තයි.

ඉන්ද්‍රිය පරෝපරත්ති ඥානය, පරචිත්ත විජාණන ඥානය, යමක මහා ප්‍රාතිහාර්ය ඥානය, පසළොස් ආවේණික ඥානය යන අසදෘශ ඥාන ශක්තීන්ගෙන් උන්වහන්සේගේ සතිය හා විරිය, බිඳකුදු වෙනස් නොවේ. දහම් දෙසීමේදී අග මුල මැද වෙනස් නොවෙයි. මහා ජන සන්නිපාතයකට වුවත් ඒ ඒ එක් එක් අයට තමාවම ආමන්ත්‍රණය කරන්නාක් මෙන් වටහා ගත හැකි ධ්වනිය වෙනස් නොවෙයි. ඉස්පිලි, පාපිලි, යංශ, රේප ආදී අංගෝපාංගවල කිසි අඩුමාවක් නොවෙයි.

එදා ඉසිපතනේ මිගදායෙහිදී හා හාපුරා කියා දේශනා කළ දම්සක් සුතුරෙහි සිට උපවත්තන සල් උයනේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිද්දීත් භික්ෂුන් හට දෙසා වදාළ ‘අප්පමාදේන සම්පාදේථ’ යන පාඨය දක්වා ධර්ම ප්‍රවාහයක් පවත්වාගෙන ගිය සේක.

මීළඟට ධම්මේ සංකති, උන්වහන්සේ දෙසා වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය පිළිබඳව සැක කිරීම යනුයි. ඒ දහමෙහි අඩු තැනක් හිස් තැනක් ගිලිහී යාමක් දක්නට නැහැ. මුල මැද අග ඉතා නිරවුල්, සුපැහැදිලියි. වෙනත් කෙනෙකුට තවත් යමක් ඊට ඇතුළු කොට හිදැස් පුරවන්න හෝ ඌන පූරණය කරන්න දෙයක් නෑ. ඒ දහමට සහතික දෙන්න, ප්‍රස්තාවනා සපයන්න හපනෙක් ඇත්තෙත් නෑ.

බුදු දහම සාංදෘෂ්ටික ගුණයෙන් යුක්තයි. ආනිශංස අත ළඟමයි. මේ දැන් දැන් දැකිය හැකියි. සිතේ සැහැල්ලුව, නිරෝගී බව, අර්ථ සම්පන්න බව, ධම්ම රසය තමා වටා ගැවසෙනවා. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ (දහමෙහි හැසිරෙන්නා දහම විසින් ආරක්ෂා කරනු ලබයි) විවෘත භාවයෙන් යුතුව හිස කෙළින් තබාගෙන හැසිරිය හැකියි.

ඒ අමා බුදු වදනට අනුව බුදු පිළිවෙත අකාලිකයි. පිනට හා පවට සතරාකාර මාතෘකාවන් යටතේ විපාක ලැබෙයි. දිට්ඨධම්මවේදනීය, අපරාපරියවේදනීය, උපපජ්ජවේදනීය යනාදී වශයෙන් පල දෙන ස්වභාවයෙනි. නොවරදවාම අප වෙත පැමිණෙන මරණයට නිර්භයව මුහුණදීම් ශක්තිය ලැබෙයි.

බුදුමග හුදෙක් පුද පූජා හා යැදුම් නැමදුම් ප්‍රතිපදාවෙන් පමණක් විමුක්තිය කරා යන ගමනක් නොවේ. ඇතැමෙක් අමාරුවෙ එරී දඟලන්නෙ මේ ඒහිපස්සික ගුණය (ඇවිත් බලන්න) ගැන සැක උපදවමින් වෙනත් ආගම් හා දර්ශනත් එක්ක පාහන්න ගොසින්. බුදුවදන නම් තමන් වහන්සේ විසින් දේශනා කළා යැයි කියූ පමණින් හෝ පොතේ පතේ අඩංගු වී තිබුණු පමණින්වත් නොසලකා මේ දහම තමා තුළම හඟිස්වා සැක හැර දත යුතු බවයි.

බුද්ධ දේශනාව ඕපනයිකයි. තමා තුළට යොදාගෙන උපනයනය කළ හැකියි. තමා මැ එය ක්‍රියාවේ යොදවා එහි අමා ඵල භුක්ති විඳිය හැකියි. වෙන කෙනෙක් ස්නානය කළාට තමන්ට එයින් සිසිලසක් නොලැබෙන්නාක් මෙන් ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති.’

මීළඟට ‘සංඝේ සංකති’ නම් ‘භගවතෝ සාවක සංඝෝ’ යන ගුණෝපේතයෙන් නිවන් මගට පිළිපන් මහ සඟ ගණ කෙරෙහි සැක ඉපදවීමයි. මෙකලනම් එය වේගයෙන් ව්‍යාප්ත වී ගෙන යන රෝගයක් බඳුයි. (හැබැයි එය මේ තරමට බරපතළ වන්නට හේතු වී ඇත්තෙ බුද්ධාවවාද පසෙකලා හිට වශී ගුරුකම්, හදි හූනියම්, ජ්‍යොතිෂය, කට්ටඩිකම් වැනි මුදල් උපයන ව්‍යාපාරයන්හි යෙදෙමින්ද දේශපාලන පොරපිටියේ ජල්ලි අල්ලමින්ද, එක් එක් දේශපාලන තක්කඩින්ට ගැතිවී චෞර මණ්ඩුකයින්ට ආශිර්වාද කරමින් උන් අත පිරිත් නූල් ගැට ගසන උන්නාන්සේලා ද හේතු කොටගෙන බවත් නොකියා නොහැක්කේ යැ)

උන්වහන්සේලා උජුපටිපන්න හෙවත් ඍජු, රූක්ෂ, කටුක ශාසන ප්‍රතිපදාවකට බැසගත් උතුමන්, එමෙන් සැරියුත් මුගලන්, මහා කාශ්‍යප, ආනන්ද රාහුල පෙළපතින් එන අය, උන්වහන්සේලා දුර සිට ගෙනවුත් පුද පූජා කරන්ට සුදුසුකම් ලත් අය (ආහුණෙය්‍ය ගුණය) පරලොව සුගතිය පතා දෙන දන් පැන් පිළිගන්ට සුදුසුයි. (පාහුණ්‍යෙය ගුණය) ඇඟිලි බැඳ ගරු සම්මානයෙන් වන්දනා කරන්ට සුදුසුයි (අංජලිකරණීයයි) උන්වහන්සේලා පින් කෙතකට සමානයි.

සියලු ශික්ෂාපදවලට අඩංගු නොවී හිතු හිතූ දේ, කරන්නට අවශ්‍ය යැයි හටගන්නා මානය ‘සික්ඛාය සංකති’ නම් වෙයි. අතීත භවයන් ගැන සැක සහිත වීම අපේ ජීවිතවල වෙනස්කම් දැක ගන්නට ලැබෙන්නේ පූර්ව කර්මවල ඵලවිපාක ලෙසටයි. උදා :- ප්‍රාණඝාතවල යෙදුණු අයට කෙටි ආයුෂ ලැබීම, අනුන්ට ද්වේශ කළ අය හොරි, දද, කුෂ්ඨ ආදිය සහිතව විරූපීව ඉපදීම.

මතු භවයන් නැතැයි තර්ක කිරීම, පටිච්ච සමුප්පාදය සැක කිරීම, හේතුඵල න්‍යාය අවමානයට ලක්කිරීම, විචිකිච්ඡාවේ රෝග ලක්ෂණ, (බුද්ධාවවාදයේ ‘මුරපදය’ – යේ ධම්මා හේතුප්පභවා)

විචිකිච්ඡාවට මූලික හේතුව මෝහය, සැකයෙන් ධර්මය දෙස බැලීම, උගතුන් ඇසුරු නොකිරීම, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නොලැබීම, අයෝනිසෝ මනසිකාරය.

විචිකිච්ඡාව දුරු කැර ගැනීමට නම් නිවැරදි දැක්මක් ඔස්සේ පියවර තබමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත විය යුතුයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ගුරු කොට ගත යුතුයි.

විචිකිච්ඡාවේ ආදීනවය නම් සිත පාපී ධර්මවලින් පුරවා තබා ගැනීමයි.

විචිකිච්ඡාවේ නිස්සරණය වන්නෙ මහ රහතුන් වැඩි මග ඔස්සේ පා නගා සසරින් එතෙර වීමයි.

(පූජ්‍යපාද දිවුලන්කඩවල සීලානන්ද නාහිමියන්ගේ ධර්මානුශාසනාවක් ඇසුරිනි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *