ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී. චන්ද්‍රරත්න
සිංහල ගීත ක්‍ෂේත්‍රයේ බොදු බැති ගී ඉතා ජනප්‍රිය අංගයක් වන නමුත් එහි අඩංගු බෞද්ධ දර්ශනය හෝ බෞද්ධ සාහිත්‍ය පිළිබඳව කෙරෙන සාහිත්‍ය සංවාද විරලය. “බුදුමඟ” අද පටන් ඔබ වෙත ගෙන එන ලිපි මාලාවකින් ජනප්‍රිය බොදු බැති ගීවල ගැබ් වූ හා ඊට පදනම් වූ රසවත් බෞද්ධ සාහිත්‍යමය තොරතුරු මඟින් එම ගීත කෙරෙහි පාඨක ඔබගේ වින්දනය වඩාත් ඉහළ නැංවෙතැයි අපේක්ෂා කරමු.
එම නිරාමිස ප්‍රීතිය විඳ ගැනීම සඳහා යහපත් දොරටුවකින් පිවිසීම යහපත් බැවින් අද මුල්ම බොදු බැති ගීය ලෙස තෝරාගනු ලබන්නේ මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් විසින් ගැයූ “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්” ගීතයයි. මෙහි පද රචනය ආචාර්ය අජන්තා රණසිංහයන්ගෙනි. එහි පෙළ මෙසේය.
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්
ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ නෞකාව දම් අමා වඳිම් නමා නළල් තලේ
දෑගසව් රහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් සදා
බෞද්ධයන්ගේ එකම පරමාර්ථය වන්නේ නිර්වාණ මාර්ගයට පිවිසීමය. පොදු වහරේ එය නිවන් පුරය ලෙසින් ව්‍යවහාර වේ. එවන් උත්තම භූමියට ඇතුළුවන ස්ථානය ලොව වටිනාම ලෝහයෙන් නිමකර ඇතැයි ගීත රචකයා පවසයි. “නිර්වාණ ස්වර්ණ ද්වාරය” යනුවෙන් ඔහු දක්වයි. එම මහාර්ඝ වූ ස්වර්ණ ද්වාරයෙන් හෙවත් රන් දොරටුවෙන් පිවිසීම නම් ලොව්තුරා බුද්ධත්වය ලැබීම නම් වේ. ගීත රචකයා ප්‍රථමයෙන් වන්දනා කර සිටින්නේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ පාද නමැති පද්මය හෙවත් නෙලුම් මලය. ඊට හේතුව උන්වහන්සේ විසින් තුන් ලෝකවාසී සත්ත්වයන් ද එම ස්වර්ණ ද්වාරයෙන්ම පිවිසවීමට සැලැස්වීමය. එළු සිලෝ ශතකයෙහිද මීට බෙහෙවින් සමාන ගීයක් (පද්‍යයක්) එයි.
මාරාසෙන් පරණල් සිරින් මහ පවන් දක්වා ඒ බෝ රුක් මුලේ
සාරා නන් බඹ කැන් සුරන් උර නරන් තොස් දී නිවා නිම් නිරා
තෝරා පින් කළ සත් අමා පුර ලමින් නිත්තෙන් සිතේ මෙත් පිරූ
වාරා මින් කුල කොත් බුදුන් සිරිපතුල් මන් මෙන් වඳිමි සන්තොසින් (91 ගීය)
එම සිරිපතුල් හෙවත් ශ්‍රී පාද පද්මය හිමි සම්මා සම්බෝධියට පත් ගෞතමයන් වහන්සේය. සම්බෝධිය නම් කවර ස්වභාවයක්දැයි “ධර්ම ප්‍රදීපිකාව” කළ ගුරුළුගෝමීන් දක්වන්නේ මෙසේය.
“එසඳ බුදුහු තමන් සර්වක්ලේශයන් විජය කොට ස්වයම්භූ ඥානයෙන් සර්ව ධර්මයන් පරිඥාන කළ පරිදි යම් තැනක තමනට වැඩි කෙනෙකුන් හෝ තමන් හෝ සමකෙනෙකුන් නැති පරිදි තමන් අනුත්තර සම්‍යක් සම්බුද්ධ පරිදි…. (208 පිටුව)
අජන්තා රණසිංහයන් එළු සිලෝ ශතකයෙහි මෙන්ම තවත් බොහෝ කෘතීන්හි ශ්‍රී පාද නමස්කාරය පිළිබඳව වූ කියැවීම ගීතයේ “සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්” යනුවෙන් කැටිකර දක්වන්නේ එම කියැවීම හේතුවෙනි. “සම්බෝධි” යන යෙදුම පිළිබඳව පමණක් තවත් කෘතියකින් සවිස්තරව දැක්විය හැකි යෙදුමකි. ගුරුළුගෝමීන් විසින් පුරිසදම්මසාරථී යන බුදුගුණය දැක්වීමට “අමාවතුර” කෘතිය කළේද එහෙයිනි. ගීතයක් රසවත්, අර්ථපූර්ණ මෙන්ම සංක්ෂිප්තද විය යුතුය යන්නට කදිම නිදසුනකි එය.
ගීතයේ මුල් අන්තරා කොටස වන “ක්ලේශ තාපයේ අනන්ත වේදනා ජලේ” යන කොටසද දීර්ඝ ධර්ම සාකච්ඡාවකට බඳුන් වන යෙදුමකි. ක්ලේශ පිළිබඳව විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථ රාශියකි. වාසල මුදළි ඩබ්.එෆ් ගුණවර්ධන සිය ගුත්තිල කාව්‍ය වර්ණනාවෙහි ක්ලේශ හඳුන්වන්නේ මෙසේය.
“ක්ලේශයෝ නම් සත්ත්වයාගේ චිත්තය කිලිටු කරන්නා වූ ධර්මයෝය. ක්ලිශ් යනු ධාතුයි. කෙලෙසීමෙහි වැටේ. ක්ලේශයෝ කිසි තැනෙක පසෙක් ද කිසි තැනෙක දසයෙක් ද කීහූ. පඤ්ච ක්ලේශයෝ නම් රාග, ද්වේශ, මෝහ, මද. මාන යන මොහුය.
දස ක්ලේශයෝ නම් රාග. ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථින, උද්ධච්ච, අහිරික, අනෝවතප්ත යන දශ ක්ලේශ “ක්ලේශ තාපයේ” යන සංක්ෂිප්ත යෙදුම පමණක් උපයෝගී කරගෙන එහි විපාක දැක්වීමට “වේදනා ජලේ” යන විශේෂණ අලංකාරයට අජන්තා රණසිංහයන් ථෙර ගාථාවල ආභාසය ලබා ඇති බව පෙනේ. තෙලකානි ථෙර ගාථාවක මෙසේ දැක්වේ.
“රාගදෙ’හමසම් ඔගාළෙහා ආහාරිය රජ මත්තිකෙ
මායා උසූයමාරකම්හ ථිනමිද්ධමපත්ටේ (759 ගාථාව)
“මම ඉවත්කළ නොහැකි වූ රාගාදී රජස් මැටි ඇති මායා උසූයා, සාරම්භ, ථිනමිද්ධ යන මොවුන් පැතිර ඇති ජලාශයක ගිලුණෙමි වෙමි.”
තෙලකානි ථෙර ගාථා 22කි. අජන්තා රණසිංහයන් ගීතයට උචිත අදහස වචන තුනකට කැටිකොට එය “අනන්ත වේදනා ජලේ” ලෙසින් යොදා ගනී. බෞද්ධ ගීතය සැබෑ ලෙස දැකීමට රචකයන් මෙවැනි සොයා යාම් කළ යුතුය. ආචාර්ය අජන්තා රණසිංහයන් අපව පොළඹවන්නේද එමඟටය. රචකයා ධර්මයේ වටිනාකම පහදා දීමට බෞද්ධ දර්ශනයේ දැක්වෙන ප්‍රකට උපමාවක් ගීතයට උචිත පරිදි යොදාගනී. වේදනා ජලයේ ගිලෙන තැනැත්තාට ඉන් ගැලවීමට නම් යම් ආධාරකයක් හෙවත් නෞකාවකට ගොඩවිය යුතුය. ධර්මය පහුරකට උපමා කළ අවස්ථා බුදුදහමෙහි ප්‍රකටය. එහෙත් වේදනා ජලයෙහි ගිලෙන අයෙකුගේ මානසික ස්වභාවට කෙබඳු දැයි නොදැන උපමාව භාවිත කිරීමෙන් අවශ්‍ය අර්ථය නොලැබේ. ශ්‍රී රාමචන්ද්‍ර කවිභාරතීගේ භක්ති ශතකයේ එම වේදනාවෙන් මිදීමට දම් අමා නමැති නෞකාවෙහි පිහිට අයදින්නෙ මෙලෙසිනි.
දශබල කලිකාලිදුර්ව ලොහං
විරදුරිතාර්ණවතුංගහංගමන්නඃ
තම කථමනුයාම් ධර්මනාවං
ජින මම දෙහිකෘපාකරාවලම්බම් (37 වන පිටුව)
සර්වඥයන් වහන්ස, පාපී පුද්ගලයන් බහුල මේ කලියුගයෙහි ශ්‍රද්ධාදී බල රහිත බොහෝ කලක් පුරුදු රාගාදී පාප නමැති සමුදුරෙහි උස් රළ පතරින් ගැලුණ මම නුඹ වහන්සේගේ නව ලොව්තුරු නමැති නැවට කෙසේ එළඹේද? මම කරුණා නැමැති අතලොඹුවක් (ආධාරකයන්) දෙන්න.”
අජන්තා රණසිංහ එම සංකල්පයට “නෞකාව දම් අමා” යනුවෙන් සංෂිප්තව මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව නළල් තලය තබා ශ්‍රී පාදය නමස්කාර කරන යන යෙදුම අප තුළ ජනනය කරන්නේ බැතිබර චින්තාවලියකි.
ගීතයෙහි දෙවන අන්තරා කොටසෙහි රචකයා දෑගසව්වන්, මහරහතුන් හා මහා සඟරුවනද, සුවඳ මලින්, සිතින් සදාකල්හිම පුදන බව දන්වයි. මෙම කොටස එක්වරම සිහිගන්වන්නේ ලෝවැඩ සඟරාවෙහි එන කවියකි.
සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළි නා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා
( 3වන පද්‍ය)
හුදෙක් කාව්‍ය සංකල්ප මත පමණක් පරිපූර්ණ බොදු බැති ගීයක් රචනා කිරීමට ප්‍රමාණවත් නොවන බව “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන බොදු බැති ගීයෙහි අර්ථය විමසන විට පැහැදිලි වේ. මෙයින් අදහස් කරනු ලබන්නේ රචකයා බෞද්ධ ග්‍රන්ථ පිළිබඳ විශාරද දැනුමක් ලැබිය යුතුය යන අදහස නොවේ. එහෙත් බෞද්ධ සාහිත්‍යයෙහි එන සම්භාව්‍ය කෘති යම් තරමකට හෝ පරිශීලනය කර තිබීම සාර්ථක බොදු බැති ගීයකට හේතුවන බව ඉහත ගීයෙහි පසුබිම පිළිබඳව විමසන විට පැහැදිලි වනවා ඇත.
මෙම ගීයෙහි ගායන මාධුර්යද බුද්ධාලම්බන ප්‍රීතිය ජනනය කරවන අයුරින් මනා හඬ සංකලනයකින් යුතු බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ ගැඹුරු හා නිවුණු හඬ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ප්‍රබන්ධයට ජීවය ලබාදී ඇත. වර්තමානයේ බොදු බැති ගී රචනා වීම මෙන්ම ගායනයද දුරස් වී ඇති සෙයක් පෙනේ. ඊට ප්‍රධාන හේතුව සාර්ථක බොදු බැති ගීයක් රචනා කිරීමට තරම් වාක් කෝෂයකින් පරිපූර්ණ රචකයන්ගේ හිඟකම විය හැකිය. “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්” වැනි පරිපූර්ණ බොදු බැති ගීවල අගය වඩාත් දැනෙන්නේ එබැවිනි. ලබන පොහෝ දිනයේදීත් මෙවැනි තවත් බොදු බැති ගීයක පසුබිම විමසා බලමු.