නො ලැබිය හැකි දේවල් අතර ප්‍රධාන වන්නේ…

cmadurawala
7 Min Read

ගුණතිලක මැටියගනේ

එතෙක් යුග ගණනාවක් තිස්සේ ගාත්‍රා සතර ම උපයෝගි කොට ගෙන ගසින් ගසට අත්තෙන් අත්තට පනිමින් සුදහ ගින්දර අකාමකා ගන්නට සෙවුම් බැලුම් කළ වානර තෙම, ඉන් බිමට වැස, දෙගාත්වලින් ඇවිදින්නට හුරු වී කොඳු ඇට පෙළ තිරස් අතට තබාගෙනත් සෙවුම් බැලුම් කළේ බඩ ගෝස්තරය සරි කැරගැන්මට ම තමයි. එතැනින් ම හෝමෝ සේපියන්ස් ලෙසට ‘බෞතිස්ම’ වූ මානවයාගේ සෙවුම් බැලුම් පරාසය පුළුල් වෙන්ට ගත්තා.

ඒ සෝදිසිකාර ක්‍රියාකාරකම්වල මුඛ්‍ය අරමුණ වූයේ ජීවිතය වඩාත් සුවපහසු කැර ගැනීම. ඊළඟට ගවේෂණ, නිරීක්ෂණ, පරීක්ෂණ, සමීක්ෂණ ආදී මහාප්‍රාණ වචනවල ගැබ් වුණෙත් යමක් අලුතින් ලබා ගැනීම. අපි අද භුක්ති විඳින බොහොමයක් අතලේසි වරප්‍රසාදයක් ම පාහේ මේ ගවේෂණවල මහාර්ඝ ප්‍රතිඵල බවත් අමතක කරන්න හොඳ නෑ.

කොටින් ම මානවයා හැම මොහොතක ම අලුතින් යමක් සොයමිනුයි ඉන්නෙ. මේ ගවේෂණයට යටින් චලනය වන්නේ ආසාව, තණ්හාව, ලෝභය හා තරගකාරිත්වය. (තණ්හං පටිච්ච පරියේසනා). ඒක නෙ මිනිසාට අද මේ පෘථිවි තලය ඉඩ මදි වී චන්ද්‍රයා අඟහරු ආදී ග්‍රහලෝකවලත් මාඉම් ගල් හිටවන්න ගවේෂණයේ යෙදෙන්නෙ. මේ සඳහා වැය කරන වෙර වීරිය ප්‍රබල වෙන තරමට උහුලන්නට සිදු වන දුක්ඛ දෝමනස්සයන්ගේ පරිමාවත් විශාල වෙනවා. ඊළඟට ඒ ලැබෙන ටිකත් රැකගන්නට, කොටු කැර තබාගන්නට අවි ආයුධ අතට ගන්ටත් සිදු වෙනවා. අද එක දවසකට හයක් හතරක් නො තේරෙන කුඩා දරුවන් පන් සියයකට පමණ කුරිරු බෝම්බ ප්‍රහාරවලට මුහුණ දෙනට සිදු වන ගාසා තීරයේ යුද්ධය දිහා බලන්නකො.

මේ පරිණාම ධර්මතාව මුල් කැරගෙන බුදු අමා මෑණියන් විසින් පවත්වන ලද ධර්මානුශාසනාවක් ‘අලබ්භනීය ඨාන සූත්‍රය’ ලෙසින් අංගුත්තර නිකායෙ පංචක නිපාතයට සංග්‍රහ වී තිබෙනවා. එහි දී උන්වහන්සේ අල්පේශාක්‍ය නරපණුවෙකුට තබා විධායක ජනාධිපති කෙනෙකුට තබා වෙන මොන ජගතෙකුට වත් ලබාගත නොහෙන කරුණු පහක් ගැන පැහැදිලි ව කියා දෙනවා.

පඤ්චිමානි භික්ඛවේ අලබ්භනීයානි ඨානානි සමණේන වා, බ්‍රාහ්මණේන වා, දේවේන වා, මාරේන වා, බ්‍රහ්මුනා වා, කේනචි වා ලෝකස්මිං යනුවෙන්.

මහසයුරු දෙබෑ කොටගෙන ඇවිද යෑමේ හැකියාව, අහසින් යෑමේ හැකියාව, නො පෙනී යෑමේ හැකියාව හා ඉරහඳ අතගෑමේ හැකියාව ඇති සෘද්ධිමතුන්ට වත්, ධ්‍යාන අභිඥාලාභීන්ට වත්, අවීචියේ පටන් භවාග්‍රය දක්වා අධිපති මාරයාට වත් මේ කියන ධර්මතා පහ ඉක්මවා ජයගත නොහැකි බවයි ඉන් විස්තර වන්නෙ. (ඒ ටික කියවාගන්ට මඟහැරුණු අය වෙන්ටැති තමන්ගෙ මනාපෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමින් කඩදාසියක් කෙටුම්පත් කොටගෙන, දැන් මට කොරන්ඩ බැරි ගෑනියක් මිනිහෙක් කොරන්ඩත්, මිනිහෙක් ගෑනියෙක් කොරන්ඩත් විතරයි කියා පුරාජේරු දොඩා අන්තිමේ බරපතළ රෝග වියාදියකට අවනත වෙලා හිට මරු වසඟයට ගියේ)

ඉන් පළමුවැන්න නම්, ‘ජරා ධම්මං මා ජීරතී…’ එනම් කිසිවෙකුටත් ජරාවට පත් නො වී සිටීමේ මුක්තිය ලබාගත නොහැකි ය යන නියත ධර්මතාවයි. ධර්මතාවයක ස්වභාවය වන්නේ උතුරට එක විදියක්, දකුණට එක විදියක් නො ව මුළු මිහිතලයට ම පොදු දායාදයක් ලෙසින් බලපෑමයි.

ජරාව ජරාවක් ලෙසින් හඳුනාගත් අයත්, හඳුනා නො ගත් අයත් එක සේ ජරාවට පත් වෙනවා. බුදුන් සරණ ගිය අයත් අන් සරණෙක පිහිටි අයත් ජරාවට යටත්. වියපත් වීම පොදු ධර්මතාවක්. යම් සත්ත්වයෙක් මවු ගැබේ හටගත් ඇසිල්ලේ සිට ම ජරාවටයි පත්වන්නේ. ඒකට අපි වහරන්නෙ ‘වැඩෙනවා’ යන සාවද්‍ය ව්‍යවහාරයයි. දහමෙ සඳහන් පරිදි ‘මාරයා විසින් ලුහුබඳනා කල්හි ජරාව විසින් වට කර දෙනවා.’

තරුණ වියේ දී නම් තිරුවානා ගල් ගිල්ලත් ආමාශය සතුටින් භාර ගන්නවා. මහලු වියේ දි වැටුණොත් නැඟිටුම් බොරු. ජරා ජීරණතා (අපිරිසිදු වෙයි, දිරා යයි), ඛණ්ඩිච්චං (වහා කැඩෙන බිඳෙනසුලුයි), පාලිච්චං (පැසෙන ස්වභාවය, එනම් හිසකෙස්, රෝම, ඇහිබැමි ආදියේ සුදු වීම), වලිත්තචතා (වායෝ ධාතුව විසින් සිරුර විකෘති කිරීම, තරුණ වියේ දී පෙරාදු කළාක් මෙන් පවතින චර්මය මසින් වෙන් ව ලිහිල් වී එල්ලා වැටෙන්නට සිදුවීම) ආයුනෝ සංහානි (ආයුෂය කෙටි වීම) යන දායාද කාටත් උරුමයි.

මේ සියල්ල අපට නැවත ලබාගත නොහැකි දේවල්. ජරාවට, වයසට පත්වීම යන වචනය වත් කණ වැටෙනවාට අපි අකමැති වුවත් (අලබ්භනීය) සච්ච විභංග සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ උපදෙස් දෙන්නේ ජරාව දිහා බලා දුක් වීම නිෂ්ඵල කටයුත්තක් නමුත් ඒ දිහා ධර්මානුකූල ප්‍රවේශයකින් බලා සෝක නමැති විස පෙවූ උල ගලවා නිදහස් වෙයල්ලා යනුවෙනුයි. බුද්ධ පරිනිර්වාණ අවස්ථාව මූර්තිමත් කරන අපේ කලා ශිල්පියා ශ්‍රද්ධාව පෙරදැරි ව බුදු සිරුර බෙහෙවින් තරුණ පෙනුමකට නෙළුවත්, උන්වහන්සේ තම අසූ වියේ දී අනඳ හිමිට පවසන්නේ, ‘ආනන්ද, දැන් මගේ බුදු සිරුරත් දිරා අබලන් ව ගිය ගැලක්’ ය යනුවෙන්.

දෙවෙනියට එන නීරෝගභාවයත් අපට කිසි දා ළඟා කැරගත නොහෙන ධර්මතාවක්. ‘රෝග නිඩ්ඪං පභංගුරං’ මේ සිරුර හතර වටේට ඉන්න හැම කාණ්ඩයක ම පක්ෂීන්ට කූඩු තනා, බෙන සාදා පරපුර ව්‍යාප්ත කර ගන්ට සුදුසු වෘක්ෂයක් වගෙයි. කිසිවෙකුටත් කිසි දා ‘මම නීරෝගියි’ කියා උදම් අනන්න බැහැ. ඒ තබා ලොව්තුරා බුදුන්ටත් නිදින්ගත කොන්දේ ආබාධයක් හිසරදයක් හා උදරාබාධයක් පීඩා කළ බව ප්‍රකට කරුණක්.

ව්‍යාධි ධම්මං වා ව්‍යාධීති’ බුදුන් වයෝවෘද්ධ නකුල පිතාට උපදෙස් දුන් පරිදි, ගත ලෙඩ වීම සොබාවිකයි. ඒත් හිත ලෙඩ කරගන්න උවමනා නෑ. දැඩි සේ ගිලන් ව වැටුණු ගිරිමානන්ද භික්ෂුව සුවපත් වූයේ බුදු හිමියන් ආනන්ද හාමුදුරුවන් අත යැවූ දහම් ඔසුව ප්‍රකාර ව දස අශුභය වැඩීමෙන්.

තුන්වෙනුව අපට ලබාගත නොහෙන ඊළඟ කාරණාව අමරණීයත්වයයි. මරණය යන අකුරු හතරටත් බය අපි ඉන් සංත්‍රාසයට පත් වෙනවා. ශෝකය නමැති විෂ පෙවූ හීය ඇනගෙන මරණය වැළඳගන්නවා. බුද්ධාවවාදය වන්නේ නිතොර මරණ සතිය වැඩීම දෙලොවට ම යහපතක් වන බවයි. පළමුවෙන් මරණය යනු කුමක් දැ යි අවබෝධ කැරගත් විට එය නියත ධර්මතාවක් බව පසක් කැරගත හැකියි. මෙයින් අදහස් කරන්නේ ‘මේ කොයි දේ කළත් මොකට ද මැරෙනවා නේ’ ලෙසින් සිතා උපන්නාට මේ ලොව වැනෙන අකර්මණ්‍ය පුද්ගලයකු බිහි කිරීම නො වේ.

අපේ ආයුෂය කෙටි වීම වැළැක්වීම හෝ කල් දමා ගැනීම හෝ දික් කර ගැනීමත් අපට කිසි දා සාක්ෂාත් කැරගත නොහෙන කාරණා. මේ සඳහා ඇති ඵලදායී පිළියම නම් ශෝක කිරීම නවතා එළැඹුණු මොහොත යෝනිසෝමනසිකාරයෙන් යුතු ව සතුටින් ගත කිරීමයි.

යං කිඤ්චි සමුදය ධම්මං – සබ්බං තං නිරෝධ ධම්මන්ති. හේතූන් අනුව හටගත් සියලු දේ හේතූන් නිරෝධයෙන් විනාශ වී යන්නේ ය යන බුදු වදන ප්‍රකාර ව එය ධර්මතාවකැ යි කිසි දා දැකගත් අයට ශෝක හුල නමැති විෂ පෙවූ හීය උදුරා දැමිය හැකියි. එවන් වූ ආර්ය ශ්‍රාවක තෙම මැයි ජීවිතය පිරිනිවීමට පත් කැර ගන්නේ.

(පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤසාර හිමියන්ගේ ධර්මානුශාසනාවක් ඇසුරිනි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *