දූ දරුවෝ

cmadurawala
4 Min Read

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි

තම පියා ඝාතනය කළ එක් මානවකයෙක් තමා විසින් කරන ලද පාප කර්මයෙන් මිදෙන්නට සුදුසු මාර්ගය පැවිදි වීම යැයි සලකා උපාලි මහ රහතන් වහන්සේට දන්වන ලදී. උපාලි මහ රහතන් වහන්සේ වෙත පැමිණ පැවිදි විය. තමා පිතෘ ඝාතකයකු බව එම මානවකයා විසින් ම උපාලි මහ රහතන් වහන්සේට දන්වන ලදී. උපාලි මහ රහතන් වහන්සේ අනෙක් භික්ෂුන්ටත්, භික්ෂුන් වහන්සේ ඒ බව බුදුරජාණන් වහන්සේටත් දැන්වූහ. ඒ වනවිටත් පැවිදි වී සිටි ඔහු උපසම්පදාවෙන් නෙරපාලිය යුතු බවටත් බුදුරජාණන් වහන්සේ පැනවීමක් කළහ. ඒ බව මහාවග්ග පාලියේ පිතුඝාතකවත්ථු නමින් එන කොටසේ සඳහන් වී ඇත. එයින් පැහැදිලි වනුයේ පිතෘ ඝාතකයකු වැදගත් සමාජ තත්ත්වයකට, පූජ්‍යත්වයට අනුන්ගේ ගෞරව සත්කාර ලැබීමකට සුදුසු නොවන බවයි.

අජාසත් රජතුමා තමා ලෝකයට බිහිකොට ඇති දැඩි කළ තමාගේ පියාට නොයෙක් වධ හිරිහැර කළේය. එම වධ හිරිහැර කොතරම් දරුණු වී ද යත් අජාසත් රජුගේ පියා වූ බිම්බිසාර රජතුමා එම වධ හිරිහැර නිසාම මරණයට පත්විය. අජාසත් පිතෘ ඝාතකයකු හෙවත් පියා මැරූවකු බවට පත්විය. මෙම සිදුවීම ඉතා ප්‍රසිද්ධය. රාජ්‍ය බලය නිසා අජාසත් සමාජයේ ඉහළ තලයක වැජඹුණ ද සිතින් මහත් වූ පශ්චාත්තාපයක්, පසුතැවීමක්ම ලැබීය. අකාරණව, අහේතුකව හෙතෙම බියට පත්විය. මේ බව දීඝනිකාය සාමඤ්ඤඵල සූත්‍රයේත් එම අට්ඨකතාවේත් සඳහන් වෙයි. හෙතෙම සිතින් තැවි තැවී ගත කරන ජීවිතයෙන් මිදෙන්නට, සැනසිල්ලක් ලබන්නට නොයෙක් මං සෙවීය. තමා මගධ දේශයටම අධිපති වුවද තම චිත්ත සන්තානය තුළින් නැඟ ආ වේදනාව සමනය කරගන්නට ඒ කිසිවක් නොසෑහිණ. දරුවකු විසින් තම පියා ඝාතනය කිරීම හෝ ඝාතනය වීමට සැලැස්වීම මගින් සිදුකරනු ලබන වරද ඉතා බරපතළ වූවක් බව ඉහත දක්වන ලද සිදුවීම් දෙකින්ම පැහැදිලි වෙයි. ගරුක කර්ම හෙවත් බරපතළ කර්ම ගණයට අයත් වන මව්පියන් ඝාතනය කිරීමේ වරද ‘ආනන්තරීය කර්මයක්’ හෙවත් වෙනත් කුසල කර්මයක ඵලයක් විපාක දීමට ඉඩක්, අතරක් නොතබාම විපාක දෙන තරමටම ප්‍රබල කර්මයක් වෙයි. කර්මය ගැන අවබෝධයක් නැති, ‘කම්මස්සකතා’ ඥානයෙන් තොර වූවකුට ආනන්තරීය කර්මයක විපාකය ගැන සිතක් පහළ නොවෙයි. රාගය, ද්වේෂය හෝ මෝහය නිසාම ඇති වූ චණ්ඩත්වයෙන් මනස ආවරණය කරනු ලැබූ කල්හි යහපත – අයහපත නොවැටහෙයි. එහෙත් දරුවකු නිසා පියකුගේ සිතක ඇති වන මෘදු

හැඟීම, චණ්ඩත්වය බැහැර කරන්න තරමටම වෙනසක් ඇති කරන බව නම් පැහැදිලිය. අජාසත් රජුට දාව දරුවකු බිහි වූ පුවත ඇසීමෙන් තම පියාගේ වටිනාකම අවබෝධ කරගන්නට තරම් අජාසත්ගේ මනස වෙනස් වෙයි. චණ්ඩත්වයෙන් බැහැර වෙයි. එතෙක් සිර කරනු ලැබ නොයෙක් වධ දෙනු ලැබූ තම පියා නිදහස් කරන ලෙසට අජාසත් විසින් අණ කෙරේ. ඒ වනවිටත් තමා ප්‍රමාද වී ඇති බව පියාගේ මරණය සිදුවී ඇති බව දැනගැනීමෙන් අජාසත්ගේ සිත තුළ ඇතිවන පසුතැවීම සමග ඉතිරි මුළු ජීවිත කාලයම ගෙවන්නට අජාසත්ට සිදුවෙයි.

දරුවකු වශයෙන් තමා විසින් තම දෙමාපියන්ට සලකන ලද ආකාරයටම තමා ද තම දරුවන්ගෙන් සැලකුම් ලබන බවට හොඳම නිදර්ශනය අජාසත් රජු පිළිබඳ නිදර්ශනය වෙයි. අජාසත් රජු විසින් තම පියා ඝාතනය කළා සේම අජාසත්ගේ පුතා උදායි, අජාසත් ඝාතනය කළ බවත් උදායිගේ පුතා මහාමුණ්ඩ උදායි ඝාතනය කළ බවත් මහාමුණ්ඩගේ පුතා අනුරුද්ධ මහාමුණ්ඩ ඝාතනය කළ බවත් අනුරුද්ධගේ පුතා නාගදාස අනුරුද්ධ ඝාතනය කළ බවත් පිතෘ ඝාතක වංසයෙන් පලක් නැතැයි රටවැසියා එක්ව නාගදාස ඝාතනය කළ බවත් දීඝනිකාය අට්ඨකතාවේ සඳහන්ව ඇත.

එබැවින් තමා විසින් තමාගේ දෙමාපියන් වෙත කරන ලද වරද තමාගේ දරුවන් විසින් තමා වෙත ද කරනු ලැබිය හැකිවෙයි. තම දෙමාපියන් මහලු මඩමට යැවූවකු තමා වියපත් වූ කල්හි තම දරුවන් විසින් මහලු මඩමට යැවිය හැකි බව සැලකිය යුතු කරුණකි. එසේ සලකා හෝ තම දෙමාපියනට වරදක් නොවන සේ පිළිපැදීම වඩාත් උචිත වෙයි. දරුවකු තම දෙමාපියන්ට සැලකීම සඳහා සැලකිය යුතු එකම කරුණකි. එනම් දෙමාපියන් විසින් තමා මේ ලෝකයට බිහිකොට ඇති දැඩි කර ඇති බවයි. කුඩා කල අනතුරක් නොවන ලෙසට ආරක්ෂා කර ඇති බවත් අඟ පසඟ විකෘති නොවන පරිදි සකස් කොට කවා පොවා පෝෂණය කරන ලද බව තවදුරටත් සැලකිය හැකිය. තමා ලොකු මහත් කරන්නට, අධ්‍යාපනය ලබාදෙන්නට, ලෝකය හඳුන්වා දෙන්නට, විවිධ අත්දැකීම් ලබාදෙන්නට, තමාගේ අනාගතය සරු කරන්නට දෙමාපියන් විඳි ගැහැට අවශ්‍ය නම් තවදුරටත් සිහි කළ හැකි වෙයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *