පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි
මානසික ආලෝකය
පුද්ගලයකු මහේශාක්‍ය භාවයට පත් කරන, කර්ම වේගය අභිබවා යන්නට තරම් සමත්කමක් ඔහු තුළ ඇති කරවන කාරණා හතරක් ගැන ලෝණඵල සූත්‍රයේ සඳහන් වෙනවා. කාය භාවනාව, ශීල භාවනාව, චිත්ත භාවනාව හා පඤ්ඤා භාවනාව තමයි ඒ කාරණා හතර. ඒ අතරින් කාය භාවනාව, ශීල භාවනාව හා චිත්ත භාවනාව යන කාරණා තුන ගැන අපි මීට කලින් විස්තර කළා.
හතර වන කාරණය තමයි පඤ්ඤා භාවනාව. පඤ්ඤා කියන්නේ ප්‍රඥාවයි. ඒ කියන්නේ හොඳ නරක, කළ යුත්ත නො කළ යුත්ත, කුසල් අකුසල්, හේතුව ඵලය නිවැරදිව දකින්නට පුළුවන් මානසික ආලෝකයට කියනවා ප්‍රඥාවයි කියලා. ඇසින් යමක් පැහැදිලි ව දැක ගන්න බාහිර ආලෝකය උපකාර වෙන්නා සේ ම මනසින් යමක් නිවැරදිව හඳුනා ගන්න ප්‍රඥාව නැමැති මානසික ආලෝකය උපකාර වෙනවා. එය සිතේ පහළ වෙන එක්තරා චෛතසික ධර්මයක්.
ප්‍රඥාවෙන් කරුණු තුනක් පැහැදිලි ව වටහා ගන්නවා.
- සංස්කාර ධර්මයන් ගේ පොදු ලක්‍ෂණ
- සංස්කාර ධර්මයන් ගේ පෞද්ගලික ලක්‍ෂණ
- සංස්කාර ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය යන කරුණු තුන.
සංස්කාර ධර්මවල පොදු ලක්‍ෂණ කියන්නේ අනිත්‍ය ලක්‍ෂණය, දුක්ඛ ලක්‍ෂණය හා අනාත්ම ලක්‍ෂණයයි. මේවා හැම සංස්කාර ධර්මයකට ම පොදුයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ශ්‍රද්ධා, ප්‍රඥා, රාග, ද්වේෂ ආදි සියලු සංස්කාර ධර්මයන්ට ම මෙම ලක්‍ෂණ තුන පොදුයි. ඒ ඒ සංස්කාර ධර්මවල මේ ලක්‍ෂණ තුන ක්‍රියාත්මක වන ආකාරය හරියට ම දැකගන්නෙ ප්‍රඥාව තිබුණොත් පමණයි. ප්‍රඥාව තියන තියන ප්‍රමාණයට ඒවා ප්‍රත්‍යක්‍ෂ වෙනවා.
සංස්කාර ධර්මවල පෞද්ගලික ලක්‍ෂණ කියන්නේ ඒ ඒ ධර්මය වෙන්කොට හඳුනා ගන්නට උදව් වෙන විශේෂ ලක්‍ෂණ. පඨවි ධාතුව වගේ නො වෙයි ආපෝ ධාතුව. ඒ වගේ නො වෙයි තේජෝ ධාතුව. ඒ වගේ නො වෙයි වායෝ ධාතුව. ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදිය ඊට වෙනස්. රාග, ද්වේශ ආදිය ඊට වෙනස්. මේ විදිහට ඒ ඒ ධර්ම අනෙක් එවායින් වෙන් කරගත හැකි ලක්‍ෂණ ප්‍රකට වෙන්නේ ප්‍රඥාව නැමැති ආලෝකය මනසේ පහළ වෙන තරමටයි. ඇතැම් ධර්මවල සමානයි වගේ පෙනෙන ලක්‍ෂණ තිබිය හැකියි. ඒවා හරියට වෙන් කරගන්න නොහැකි වුණොත් රැවටෙන්න පුළුවන්. රාගයේ ශ්‍රද්ධාව වගේ ලක්‍ෂණ පෙනෙන්න පුළුවන්. ද්වේෂයේ නෛෂ්ක්‍රම්‍යය වගේ ලක්‍ෂණ පෙනෙන්න පුළුවන්. වෙනස හඳුනාගන්න බැරි වුණොත් ශ්‍රද්ධාව කියලා හිතාගෙන රාගය වඩනවා. නෛෂ්ක්‍රම්‍යය කියාල හිතාගෙන ද්වේෂය වඩනවා. එසේ වඤ්චක ධර්මවලට හසු නො වී ඒ ඒ ධර්මයන් වෙන් කොට හඳුනාගන්න උපකාර වෙන්නෙ ප්‍රඥාවයි.
සංස්කාර ධර්මවල හේතුඵල සම්බන්ධතාවය දකිනවයි කිව්වේ නාම ධර්මයන් හා නාම ධර්මයන් අතරත්, රූප ධර්මයන් හා රූප ධර්මයන් අතරත්, නාම ධර්මයන් හා රූප ධර්මයන් අතරත් ඇති හේතුඵල සම්බන්ධතාවය වටහා ගැනීමයි. භෞතික විද්‍යාව තුළින් රූප ධර්මයන් හා රූප ධර්මයන් අතර පවතින සම්බන්ධතාවය එක්තරා ප්‍රමාණයකින් හඳුනාගෙන ලෝකය තුළ මේ තරම් වෙනස්කම් කරනවා නම්, නාම ධර්මයන් හා නාම ධර්මයන් අතරත්, නාම ධර්මයන් හා රූප ධර්මයන් අතරත් පවතින සම්බන්ධතාවය ප්‍රඥාවෙන් හඳුනා ගත්තොත් ලෝකය තුළ මොන තරම් අසිරිමත් දේ කළ හැකි ද? සෘද්ධිමතුන්, මහරහතුන් සහ බුදුවරු, දෙව් බඹුන් පවා විස්මයට පත් කළ අසිරිමත් දේ කළේ මේ හේතුඵල සම්බන්ධතාවය ප්‍රඥාවෙන් අවබෝධ කළ නිසයි. නමුත් භෞතික විද්‍යාඥයන් කරන දේවලින් වගේ හානියක් බුදුවරුන් හෝ රහතුන් කරන අසිරිමත් දෙයින් සිදු නො වන්නේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා හා ප්‍රඥා භාවනාවන් ගෙන් යුක්ත ව එය සිදු කරන නිසයි.
යමෙක් ප්‍රඥා භාවනාව තුළින් මේ සංස්කාර ධර්මයන් අතර පවතින හේතුඵල සම්බන්ධතාවය ප්‍රත්‍යක්‍ෂව දැකගන්නා තරමට සුදුසු දේ, අවශ්‍ය දේ
ගොඩනැඟීමටත්, නුසුදුසු දේ, අනවශ්‍ය දේ අහෝසි කිරීමටත් සමත් වෙනවා. ඒ තැනැත්තා ලෞකික ජීවිතය තුළ අපේක්‍ෂා කරන ඕනෑ ම අභිමතාර්ථයක් සාධනය කර ගන්න සමත් වෙනවා පමණක් නො වෙයි ලොව්තුරු මඟෙහි සම්මා සම්බුද්ධත්වය කෙළවර කොට ඇති ඕනෑ ම අභිමතාර්ථයක් සාක්‍ෂාත් කර ගැනීමටත් සමත් වෙනවා. හේතු ගොඩනගමින් යමක් නිර්මාණය කිරීමට හෝ නඩත්තු කිරීමටත්, හේතු අහෝසි කිරීමෙන් පැවැත්ම අහෝසි කිරීමටත් ඒ නැතැත්තා දක්‍ෂ වෙනවා.
ඒ ප්‍රඥාව යම් කිසි කෙනෙකුට දියුණු කරන්නට පුළුවන් නම් මේ කුසලාකුසල කර්මයන් හඳුනාගෙන ඒවා විපාක දෙන්නේ කොයි ආකාරයෙන් ද කියලා තේරුම් අරගෙන සංසාර බන්ධනය ලෙහා දමන්නට පුළුවන්. අංගුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිසුන් මරලා වුණත් ඒ කර්ම ශක්තිය තමන් වෙත එන්නට නො දී ලෙහා දැම්මේ ප්‍රඥා භාවනාව තුළින් මේ හේතුඵල න්‍යාය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කළ නිසයි. දිට්ඨධම්ම වේදනීය වශයෙන් පුංචි විපාකයක් ඇති කළා. නමුත් ඊළඟ භවයේ කිසිවක් විපාක දෙන්නට අවකාශ නො ලැබුණේ කුමක් නිසා ද? කර්මය උපාදාන වෙන ආකාරය හඳුනාගෙන ප්‍රඥාවෙන් ලෙහා දැමීම නිසා සියලු කර්ම අභිබවා යන්නට පුළුවන් වුණා. ඒරකපත්ත කථාවේ එන හාමුදුරුවො කොළේ කඩලත් අපා ගත වෙන්නට සිද්ධ වුණේ චිත්ත භාවනාව පඤ්ඤා භාවනාව ප්‍රගුණ නො කරපු නිසා. අංගුලිමාල හාමුදුරුවො චිත්ත භාවනාව පඤ්ඤා භාවනාව පුහුණු කළ නිසා සියලු කර්ම අභිබවා සසර දුකින් ම එතෙර වෙන්නට උන්වහන්සේ සමත් වුණා.
ඒ නිසා තථාගතයන් වහන්සේ ලෝණඵල සූත්‍රයේ දී දේශනා කරනවා කර්මය කර්මය කියලා එය කරපින්නාගෙන හීන දීන වෙලා පවතින්නට අවශ්‍ය නෑ. මිටි තැනින් වතුර බහිනවා කියලා අඳෝනා නඟන්නට දෙයක් නෑ. තමන්ට අවශ්‍ය නම් නැඟී සිටින්නට පුළුවන්. අල්පේශාක්‍ය නො වී මහේශාක්‍ය වෙන්නට පුළුවන්. සියලු කර්ම අභිබවා යන්නට පුළුවන්. එසේ මහේශාක්‍ය වෙන්නට නම් කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ සතර ආකාර භාවනාව ප්‍රගුණ කළ යුතු වෙනවා.
මේ සතර ආකාර භාවනාවන් ප්‍රගුණ කරන්න එකතැනක වාඩි වෙලා සිටීම ම අවශ්‍ය යි කියලා හිතාගෙන උදාසීන නො වී තමන් ඉන්නා පරිසරය තුළ, තම තමන් යෙදී සිටින කටයුතු තුළින් ම මේ භාවනාවන් ප්‍රගුණ කරන්න උත්සාහ කළ යුතුයි. රජුට රාජ්‍ය පාලනය තුළ, ව්‍යාපාරිකයාට වාණිජ කර්මය තුළ, ගොවියාට කෘෂිකර්මය තුළ, ගුරුවරයාට ගුරු වෘත්තිය තුළ, වෛද්‍යවරයාට වෛද්‍ය වෘත්තිය තුළ, ශිෂ්‍යයාට අධ්‍යාපනය තුළ, පැවිද්දාට ශ්‍රමණ ධර්මය තුළ මේ භාවනා ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ කවර කාර්යයක් කළත්, කය, සිත, සංයමය සහ ප්‍රඥාව නිසි තැන නිසි ලෙස හසුරුවා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ කරුණු හතර නිසි ලෙස හසුරුවා ගන්න සමත් නො වුණොත් ඒ කවර කටයුත්තක් වුණත් අසාර්ථක වෙනවා. යමෙක් තම තමන් ජීවත්වන පරිසරය තුළ ම, තම තමන් යෙදී සිටින ක්‍රියාදාමය තුළම මේ කරුණු හතර පුහුණු කරනවා නම් ඉන් ඇති වන මහේශාක්‍ය බව නිසා තම ක්‍ෂෙත්‍රය තුළ ඉහළ ම තත්ත්වයට පැමිණීමට ඔහුට හෝ ඇයට හැකි වෙනවා. කවර ක්‍ෂෙත්‍රයක් තුළ හෝ ඔවුන් පුහුණු කරන්නේ කාය භාවනාව, සීල භාවනාව, චිත්තභාවනාව හා ප්‍රඥා භාවනාව නිසා සියලු කෙලෙස් බන්ධන ලෙහා දමා, සියලු කුසලාකුසල කර්ම අභිබවා නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්‍ෂ කරන්න එය ම පහසු මඟ වෙනවා.
බුදුරජාණන් වහන්සේ ගොවියාට ගොවිකර්මය තුළින්, රජුට රාජ්‍ය පාලනය තුළින්, රන්කරුට රන්කම් තුළින්, තවත් විවිධ ශිල්පීන්ට ඒ ඒ ශිල්පය තුළින් ම දහම මතු කොට පෙන්වා දෙන විට ඔවුන් එම ධර්මය ප්‍රත්‍යක්‍ෂ කළේ, ඕනෑ ම ක්‍ෂෙත්‍රයක් තුළින් ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමේ හැකියාව තියන නිසයි. එසේ නිවන් අවබෝධ කළාට පස්සේ ඔවුන් කවර මගකින් ධර්මාවබෝධය කළාද යන්න වැදගත් නැහැ. මහේශාක්‍ය බව තුළින් සියලු කෙළෙස් ධර්ම හා සියලු කුසලාකුසල කර්ම අභිබවා සිටින සියලු දෙවි මිනිසුන්ගෙන් පිදුම් ලබනවා.
(සමාප්තයි)

