කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ

cmadurawala
10 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වැනි දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)

“සුවපහසු කිසිත් නොතකා තනි ජීවිතයකින් නොකළ හැකි තරමේ ලෝක ශාසනික සේවා භාරයකට උර දී ක්‍රියා කළ මහාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති ස්ථවිරයන් මේ රටට වස්තුවකි.”

  • කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි

“කොටහේනේ ප්‍රඥාකීර්ති ස්ථවිරයන්ගේ ජීවිතය, චරිතය කැටි කර මූර්තිමත් කර තනි වචනයක් බවට පෙරළුවොත් ඒ වචනය එක්කො පරාර්ථසේවය යනුයි. නැත්නම් පරාර්ථකාමය යනුයි.”

  • යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි

විද්‍යාලංකාර පිරුවනෙහි උපපරිවේණාධිපති සහ වැඩබලන පරිවේණාධිපති ධුරයන් ද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ භාෂා පීඨාධිපති, සිංහල හා පාලි මහාචාර්ය, ත්‍රිපිටකාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ විසිවන සියවසේ සුවිශේෂී හිමිනමකි.

කොළඹ කොටහේනේ වාසල වීදියේ විසූ අතුකෝරළලාගේ දොන් ලෝරන්ස් මැතිතුමා අගනුවර විසූ උගතෙකි. “මෙතේ බුදුගුණ ලකර” නම් පද්‍ය 507 කින් සමන්විත කාව්‍ය සංග්‍රහයක් එතුමා රචනා කොට තිබේ. එමී පෙරේරා මැතිණිය එතුමන්ගේ පතිනිය යි. ගැහැනු දරුවන් තිදෙනකු ද, පිරිමි දරුවන් තිදෙනකු ද මෙම දෙපළට දාව උපත ලද නමුත් වැඩිමහල් පුතුන් දෙදෙනා අකල් මරණවලට ගොදුරු වූහ. වර්ෂ 1907 ජුනි 09 වැනි දා උපන් බාල පුතු ලියෝපෝල් ප්‍රැන්සිස් නම් විය. පවුලේ වැඩිමහල් දියණිය ද සිල්මාතාවක් වශයෙන් පැවිදි වී තිබුණි. ඉතිරි වූ බාල පුතු සසුන්ගත කිරීමට දෙගුරුන්ට සිතක් පහළ වී තිබුණි.

ලෝරන්ස් පියතුමා විදුලකර පිරුවන්පති ලුණුපොකුණේ නාහිමියන්ගේ සැදැහැති දායකයෙක් විය. තමා ලියූ පොත් පත් ලිපි ලේඛනවල සෝදුපත් බලවා ගැනීමට ප්‍රැන්සිස් පුතු අත ශ්‍රී ධර්මානන්ද නාහිමියන් වෙත යැවීමට හේ පුරුදුව සිටියේය. මෙය ප්‍රැන්සිස් දරුවාගේ සිත සසුන්ගත වීම කෙරෙහි ඇල්මක් ඇතිවීමට හේතුවක් විය.

පුරාකෘත පුණ්‍ය මහිමයත්, සැදැහැති දෙගුරුන්ගෙන් ලද ආභාසයත් නිසා පැවිද්දට යොමු වූ ලියෝපෝල් ප්‍රැන්සිස් කුමරු වර්ෂ 1924 නොවැම්බර් මස 30 වැනි දා විදුලකර පිරුවනේ දී ලුණුපොකුණේ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මාදෝවිට ඤාණානන්ද හිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් පැවිදිබිමට පත්විය. මේ පින්කමට විදුදය පිරුවන්පති කහවේ රතනසාර නාහිමි ඇතුළු මහා සංඝරත්නයත් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා ඇතුළු ප්‍රභූනුත් සහභාගි වුහ. පැවිදි බව ලද පොඩි හාමුදුරුවෝ කොටහේනේ සද්ධාතිස්ස නම් ලදහ.

විද්‍යාලංකාර පිරුවනේ කීර්තිමත් ආචාර්යපාදයන් වහන්සේලා වෙතින් වර්ග පටිපාටියෙන් අධ්‍යාපනය හදාළ සද්ධාතිස්ස සාමණේර හිමිපාණන් වහන්සේ නිසි වයස් සපිරීමෙන් පසු මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ. ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරද්දී පළ කළ ප්‍රඥාභාවය නිසාම ඉදිරියෙහි දී ප්‍රඥාවෙන් කීර්තිමත් භාවයට පත් වෙතැයි ඉඳුරාම අවබෝධ කොට ගත් නිසා උපසම්පදාවෙහි දී “ප්‍රඥාකීර්ති” යන නම තැබූහ. උපසම්පදාව ලද අවධියේ ම, එනම් 1929 දී ප්‍රඥාකීර්ති හිමියන්ගේ සංස්කාරකත්වයෙන් ප්‍රභාෂෝදය නම් සඟරාවක් එළිදක්වන ලද අතර එය දිවයිනේ ම ප්‍රශංසාවට ලක් වූ ඉහළ මට්ටමේ සඟරාවක් විය.

ප්‍රඥාකීර්ති හිමිපාණන් වහන්සේ අනලස්ව ඉගෙනීමෙහි යෙදුණහ. නිකං සිටින වෙලාවක් උන්වහන්සේට තිබුණේ නැතැයි කියති. ගමනේ යෙදෙන රථයේ දී පවා ලිවීමෙහි හෝ කියැවීමෙහි යෙදෙති. උපසම්පදාවෙන් පසු සිවු වසරක්, එනම් 1930 සිට 1934 දක්වා කාලයේ ඉන්දියාවේ බරණැස කාශි විද්‍යාපීඨයේත් තවත් විද්‍යාස්ථාන කිහිපයකත් ඉගෙනුම ලබා හින්දි, වංග භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනීමක් ලැබූහ. ඉන්දියාවේ අධ්‍යාපනය ලබද්දී මවුතුමිය අභාවයට පත් වූයෙන් ප්‍රඥාකීර්ති හිමියන් සිය රටට වැඩමවා විද්‍යාලංකාර පිරුවනෙහි ආචාර්ය පදවියකට පත් විය. ඉන්දියාවේ වැඩ සිටින සමයේ එරට නිදහස් සටනේ කැපී පෙනෙන චරිතයන් සමග ඇසුරට පත්වීමේ ප්‍රතිඵල වශයෙන් ජාතිවාත්සල්‍යය පිළිබඳ හැඟීම් ඔද වැඩී ගොස් ලංකාවේ නිදහස වෙනුවෙන් ද කැප වූ බව පෙනෙයි.

තමන්වහන්සේට ම අනන්‍ය වූ දේශනා ශෛලියකින් ජනතාව අවදි වන අන්දමින් දේශනාවන්හි යෙදීමේ හැකියාවක් ශ්‍රී ප්‍රඥාකීර්ති හිමියන් තුළ තිබුණි. උගුර ලේ රහ වනතුරු දේශනවල නිරත වූ ප්‍රඥාකීර්ති හිමියන් උගුරට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් වැඩිදුරටත් දේශනාවන්හි නිරත වූ බව සඳහන් වෙයි.

භික්ෂු දේශපාලනය පිළිබඳ විද්‍යාලංකාර ප්‍රකාශනය ඇති වූ අවස්ථාවෙහි ප්‍රඥාකීර්ති හිමියන් ද එහි ඉදිරිපෙළ කැපී පෙනෙන චරිතයක් විය. එවක පැවැති පුවත්පත් මගින් විද්‍යාලංකාර පිරුවනේ ක්‍රියාපටිපාටිය නිර්දය ලෙස විවේචනය කරමින් සාවද්‍ය තොරතුරු සමාජගත කළ බැවින් නිවැරදි තොරතුරු ලබාදෙනු වස් පිරුවනින් ආරම්භ කළ “කාලය” පුවත්පතෙහි කර්තෘත්වය හොබවන ලද්දේ ප්‍රඥාකීර්ති නාහිමිපාණන් වහන්සේ ය. මේ කාලයේ පැවැති එක්තරා දේශපාලන රැස්වීමක ප්‍රඥාකීර්ති හිමියෝ මූලාසනයේ වැඩ සිටියහ. දේශපාලන විරුද්ධකරුවන් රැස්වීම කඩාකප්පල් කරන අටියෙන් වේදිකාව දෙසට අලියකු එවූ කල සැවොම සීසීකඩ දුවද්දී ප්‍රඥාකීර්ති හිමියෝ අකම්පිතව මූලාසනයේ ම වැඩ සිටියහ.

ශ්‍රී රාහුල සාංකෘත්‍යායන පඬිතුමාගේ හින්දි ග්‍රන්ථයක අනුවාදයක් වූ “ලංකාව” ග්‍රන්ථය, සාහිත්‍යය හා සමාජය, ආගම හා සමාජය, ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍ර චරිතය, සාහිත්‍ය කථා පොත් පෙළ, ගද්‍ය සරණිය, පාලි සංගහො, න්‍යාය හෝඩිය හෙවත් න්‍යාය ප්‍රවේශය, යශෝධරා අපදානය, මහා ප්‍රජාපතී ගෝතමී චරිතය, විදුලකර ලිපි සරණිය වැනි පොත් ප්‍රඥාකීර්ති හිමියන් අතින් සංගෘහිත වී තිබේ. වර්ෂ 1940 දී ප්‍රඥාකීර්ති හිමියන් රචනා කළ “සාහිත්‍යය හා සමාජය” කෘතිය මෙරට ප්‍රථම සාහිත්‍ය විචාරාත්මක කෘතිය වශයෙන් සැලකෙයි. උදය නමැති අන්වර්ථ නාමයෙන් පුවත්පත් සඟරා සඳහා කවි රචනා කළේ ප්‍රඥාකීර්ති හිමිපාණන් වහන්සේ ය. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත්කළ සාහිත්‍යය ශාස්ත්‍රීය කලාපයේ සංස්කාරකත්වය දීර්ඝ කාලයක් ප්‍රඥාකීර්ති හිමිපාණන් වහන්සේ හොබවන ලදහ.

විදුලකර සරසවිය පිහිටුවීමේ සාකච්ඡා විජයානන්ද දහනායක අධ්‍යාපන ඇමතිතුමා සමග පිළිවෙළින් කිරිවත්තුඩුවේ නාහිමි, යක්කඩුවේ නාහිමි, කොටහේනේ හිමි හා බඹරැන්දේ සිරි සීවලී හිමි.

1950 දශකයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත්කළ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ හා බුද්ධ ශාසන කොමිෂන් සභාවේ ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් එහි කටයුතු සඳහා දෙවරක් ම රට පුරා සංචාරය කළහ. එහි වාර්තාව සකස් කිරීමට පුරෝගාමි වී, එසේම එළිදක්වන දා සභාවෙහි එකම කථිකයා වූයේ ද ප්‍රඥාකීර්ති හිමිපාණන් වහන්සේ ය.

මෙම කොමිෂන් සභාවලදී ප්‍රඥාකීර්ති හිමියන්ගේ පිරිසුදු, අවංක, පැහැදිලි අදහස් සැමගේ ප්‍රශංසාවට හේතු විය. බොහෝ අවස්ථාවල කරුණාවෙන් කරුණු පැහැදිලි කොට ධර්ම විනයට පටහැනි කරුණු යටපත් කරවූ අන්දම මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් විස්තර කොට තිබේ.

සිංහල සාහිත්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකත්වය සහ ආයුර්වේද පර්යේෂක සභාවේ ද සාමාජිකත්වය උන්වහන්සේ හෙබවූහ. බෞද්ධ විශ්වකෝෂයේ, සිංහල විශ්වකෝෂයේ සම්මාන කර්තෘ පදවිය ප්‍රඥාකීර්ති හිමිපාණන් වහන්සේ හොබවන ලදහ. ශ්‍රී ධර්මානන්ද යුගයේ විද්‍යාලංකාර පිරුවනින් උපාධි පිරිනැමීම ආරම්භ වූ කාලයේ උපාධි පරීක්ෂා අධ්‍යක්ෂ පදවියත්, විද්‍යාලංකාර සභාවේ පාඨශාලා සාමාන්‍යාධිකාරී පදවියත් හොබවමින් විශාල මෙහෙවරක නිරත වූහ. විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගීතියේ පාඨාන්තර සන්සන්දනයේ සුවිශේෂ මෙහෙවරක් ප්‍රඥාකීර්ති හිමියන් වෙතින් සිදු විය.

විද්‍යාලංකාර පිරිවෙනට විශ්වවිද්‍යාල තත්ත්වය ලබාගැනීමට වෙහෙසුණු සුධීමතුන් අතර ශ්‍රී ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ ද ඉදිරියෙන් ම වෙති. අභිනව විශ්වවිද්‍යාලයේ භාෂා පීඨාධිපති පදවියත්, සිංහල මහාචාර්ය පදවිය හා පාලි මහාචාර්ය පදවිය යන තනතුරු ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ හොබවන ලදහ. රත්මලානේ පරමධම්මචේතිය පිරුවන ආශ්‍රිතව පිහිටුවන ලද පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ පෙරදිග දර්ශනය පිළිබඳ කථිකාචාර්ය පදවියෙන් ද පුද ලදහ. ශ්‍රී ප්‍රඥාකීර්ති මාහිමියන්ගේ තවත් මෙහෙවරක් වූයේ 1952 වර්ෂයේ දී ප්‍රතිසංවිධානය කරන ලද විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය පදවිය හෙබවීම යි.

කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ පිළිවෙත් සරු මහ තෙර නමක් වූහ. දිනපතා උදේ සවස මල් පහන් පුදා බුදුන් වැඳ පරිවේණාධිපතීන් වහන්සේට ද නමස්කාර කිරීම සිරිතක් විය. වැස්සක් පැවතුණි නම් සිවුරුපොට හිසට දමාගෙන මළු මංපෙත් අමැද වතාවත් සිදු කළහ. නුවර ආසන්නයට ගියේ නම් දළදා වහන්සේ වැඳීමට අමතක නොකළහ. වසරකට කිහිප වරක් මහනුවර සහ අනුරාධපුරයේ වන්දනාවේ නිරත වූහ. ගිලන් වූ අවසාන කාලයේ උපස්ථායකවරයා සමග සැරයටියේ වාරුවෙන් විහාරයේ වතාවත් නොකඩ කොට සිදු කළහ.

ප්‍රඥාකීර්ති හාමුදුරුවෝ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ගෞරවයකින් ක්‍රියා කළහ. බුදුන්, බුදුන් වහන්සේ වැනි යෙදුම් නොව බුදුරජාණන් වහන්සේ ලෙසින් ම ශාස්තෘන් වහන්සේ හැඳින්වීමේ වැදගත්කම සිසුන්ට පහදා දුන්හ. එසේම සිසු හිමිවරුන් තම නමට අගින් “හිමි” යනුවෙන් ලිවීම ප්‍රඥාකීර්ති හිමියන් අනුමත කළේ නැත. විද්‍යාලංකාර ගුරුකුලයේ ප්‍රාමාණිකයෝ “හිමි” වැනි ව්‍යවහාරවලින් තොරව තම නම භාවිතා කළහ. යම් හෙයකින් සිසුන් “හිමි” ලෙසින් ලියා තිබුණහොත් ඉඩම් හිමියෙක් දැයි ප්‍රශ්න කර නම පමණක් ලිවීමට උපදෙස් දුනි.

විද්‍යාලංකාර පිරුවනෙහි කෘත්‍යාධිකාරී පදවිය හෙබවූ යක්කඩුවේ හිමියන් උපපරිවේණාධිපති සහ පරිවේණාධිපති ධුරයන්ට පත්කරවීමට පුරෝගාමී වූයේ ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ ය. 1953 දී හැඩිපන්නල ප්‍රඥාලෝක හිමියන් අපවත් වීමෙන් පසු යක්කඩුවේ හිමියන් වෙහෙස වූයේ ප්‍රඥාකීර්ති හිමියන් වෙත උපපරිවේණාධිපති පදවිය පිරිනැමීමට ය. විදුලකර පරිවේණාධිපති පදවිය හිමිවීමේ ජ්‍යොතිෂ්‍ය සම්ප්‍රදාය ගැළපුණේ ද ප්‍රඥාකීර්ති හිමියන්ට ය. එහෙත් තමන් වහන්සේ එම තනතුර ප්‍රතික්ෂේප කොට ඊට යක්කඩුවේ හාමුදුරුවන් ම පත් කළේ,

“දැන් ඉන්න අපේ වැඩිහිටියා හාමුදුරුවොයි. හාමුදුරුවො මේ තනතුර භාර නොගන්නවා නම් මම මේ ගුරුකමත් අතහැර දමා අනුරාධපුරයට ගිහින් පිණ්ඩපාත කර කර වන්දනාමාන කර කර ඉන්නවා” යනුවෙන් පවසමිනි.

ඉන් පසු යක්කඩුවේ හිමියන්ගේ බලවත් උනන්දුව මත මාදෝවිට ඤාණානන්ද හිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ දෙවන උපපරිවේණාධිපති පදවිය 1954 අප්‍රේල් 7 වැනි දින ප්‍රඥාකීර්ති හිමියන් වෙත පිරිනමන ලදී. යක්කඩුවේ නාහිමියන්, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවිය දැරූ 1966- 1967 වකවානුවේ පරිවේණාධිපති ධුරයේ වැඩ බැලීම සිදු කළේ ප්‍රඥාකීර්ති හිමියන් විසිනි.

ප්‍රඥාකීර්ති මාහිමියන් තුළ ක්ෂණික කේන්ති ගැනීමේ ලක්ෂණයක් පැවතුණු නමුත් ඉතා ඉක්මනින් කේන්තිය යටපත් වී සංවේදී ස්වභාවයකට පත් වන ගුණයක් පැවතුණි. අනුන්ගේ දුකේ දී වෙඬරු පිඬක් මෙන් උණුවන හදක් උන්වහන්සේට පැවතුණි. ස්වකීය ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම පිහිට පතාගෙන එන අසරණ මිනිසුන් පිළිබඳව ද දයාවෙන් මානුෂීය ගුණාංගයන්ගෙන් කටයුතු කළ හිමිනමක වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. ගුරුවරයකු වශයෙන් ප්‍රඥාකීර්ති හිමියන්ගේ ශික්ෂණ ක්‍රමය, ශික්ෂා මාර්ගය රළු වුවත් එය ශිෂ්‍යයාට අර්ථ සම්පන්න විය.

පාණ්ඩිත්‍යයෙන් අගතැන්පත්ව සුපේශල ශික්ෂාකාමී නිරහංකාර දිවිපෙවෙතක් ගතකළ ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ කිනම් ලාභයෙන් පිරිපුන් වුව ද ආරෝග්‍ය ලාභයෙන් පිරිපුන් නොවූහ. විවිධ රෝගාබාධ රාශියකින් පෙළෙමින් බොහෝ ශල්‍යකර්ම ආදියට ද මුහුණ දුන්හ. අවසාන වසර කිහිපය ශරීරය අප්‍රාණික වීමේ රෝගයකින් ද පීඩිත වූහ. කෙතරම් රෝගාබාධවලින් පීඩිතව වැඩ සිටිය ද ඒ සියල්ල උපේක්ෂාවෙන් ම ඉවසූහ. ගිලන්ව වැඩ සිටි අවධියේ පවා සනාතන ධර්මතාව පිළිබඳ විපස්සනාවෙන් ම පසුවූහ.

“මේ සංසාරයෙහි හැටි තමා, මේ ස්වභාවයෙන් මිදෙන්නට අපට බැහැ. මා සංසාර ස්වභාවය හිත හිතා සතුටින් සිටිනවා”

යනුවෙන් ම වදාළහ. වර්ෂ 1971 දී මහාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *