පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි
කෙලෙස් නැසීම හා එලෙස පෙනී සිටීම
බුදුපියාණන් වැඩ හුන් කාලයේ දී සෝවාන් වුණු අය පවා විවාහ ජීවිතයට ඇතුළත් වුණා, දරුවන් ලැබුවා, ලෝකය පැවැත්වුවා. අද සමාජයේ සෝවාන් වෙන්නට සූදානම් වෙනකොට ම අර සියලු ලෞකික සබඳතා බැහැර කළ යුතු යි කියලා හිතනවා. ඇත්තට ම ඒ දේවල් බැහැර කරන්නේ ඒවායේ නිසරු බව දැනගෙන ද? එහෙම නැතිනම් තමන් දේවල් අත්හරින කෙනෙක් බව ලෝකෙට පෙන්වන්න ද? එහෙමත් නැතිනම් අනවබෝධය නිසා කාරණය පටලවාගෙන ද?
ඇත්තට ම නිසරු බව තේරුම් අරගෙන අත්හරිනවා නම් එය විශිෂ්ටයි. එහෙම කරන්න බැරි නම් තමන් සියල්ල අත්හරින කෙනකු වගේ ලෝකය ඉදිරියේ පෙනී සිටින්න ඕන නෑ, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මනස පුහුණු කිරීමයි අවශ්‍ය වෙන්නෙ. නමුත් අද බොහෝ දෙනාට අවශ්‍ය වෙන්නේ කෙලෙස් දුරු කිරීමට වඩා තමන් එහෙම කරන කෙනකු බව අන් අයට අඟවන්න. ඇතුළත කෙලෙස් දුරු කළාට ලෝකෙට පෙනෙන්නේ නැහැ. අර බාහිර ලෝකයේ දේවල් කප්පාදු කළහම තමයි ලෝකෙට පෙනෙන්නේ බොහෝ දේවල් අත්හරින කෙනකු හැටියට. ඉතින් බොහෝ දෙනා තමන්ටත් නොදැනුවත් ව ම මේ වංචක ධර්මයට හසු වෙනවා.
තමන් බොහෝ දේ අත්හරින කෙනකු හැටියට ලෝකෙට පෙන්වන ක්‍රමය අනෙකක්, නිවන් දකින ක්‍රමය අනෙකක්. බුදුරජාණන් වහන්සේ මේ දෙක පැහැදිලි ව දෙකක් බව දේශනා කරනවා. අපට ලෝකයා ඉදිරියේ තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න ඕන නම් ඒක වෙන ම වැඩ පිළිවෙළක්. තමන් අවංක ව ම තමන්ගෙ හිත දිහා බලමින් දුර්ගුණ දුරු කරනවා නම්, ගුණදහම් වඩනවා නම් ඒක වෙන ම කාරණයක්. ඒක ලෝකෙට පෙනෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නෑ. රහතන් වහන්සේ කවුද
පෘථග්ජනයා කවුද කියලා අන් අයට හඳුනා ගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ගැන රහතන් වහන්සේලා කරදර වෙන්නෙ නැහැ. අහන කෙනාට ප්‍රයෝජනයක් වෙනවා නම් හෝ වෙනත් අත්‍යවශ්‍ය අවස්ථාවක දි හෝ තමන්ගෙ අර්හත්වය රහතන් වහන්සේ විසින් ම අන් අයට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අද කාලේ රඟපාන රහතුන් වගේ, මම රහත් වෙලා මම බුදු වෙලා මම සෝවාන් වෙලා කියමින් අන් අය ඉදිරියේ රඟපාන්නට කෙලෙස් නැසූ උතුමන් වහන්සේලා උත්සාහ කරන්නෙ නැහැ. කුමක් නිසා ද? නිවන් දැකීම තමන්ගේ පෞද්ගලික කාර්යයක්. ඒක ලෝකයා දැන ගන්නව ද නැති ද කියන කාරණය මත නෙවෙයි තමන්ගේ විමුක්තිය තීරණය වෙන්නේ.
තමන් ඉන්නෙ කොතැන ද?
ලෝකයාට නිසි මඟ පෙන්වන්නට ඕන නම්, ලෝකයාට යහපතක් වෙනවා නම් එතැන දී අවශ්‍ය පමණට කාරණා පැහැදිලි කර දෙන්නට ඉදිරිපත් වෙන්න ඕන. නමුත් මම මෙහෙම කෙනෙක් ය කියලා ලෝකෙට කියා ගන්න ඕන නම් එතැන තියෙන්නේ සක්කාය දිට්ඨිය සහ මමායනය. රහත් වීම කෙසේ වෙතත් සෝවාන් වෙනවා කියන්නේ මොකක් ද කියලා හරියට තේරුම් ගත්තොත් ඒ වගේ ප්‍රකාශනයක් කරන්න ඉඩක් නැහැ. අවංක ව ම අත්හැරීම ප්‍රගුණ කරමින් නිවන් දකින්නට වෑයම් කරන අය ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම ඉන්නවා. ඒ අතර බොහෝ දෙනකු අර තල් අත්ත උඩට බෙලි ගෙඩිය වැටිලා හාවා දුවනකොට තමනුත් ඒ පස්සෙන් දිව්වා වගේ අන් අය දුවන දුවන විදිහට දුවගෙන යනවා. තව පිරිසක් දැන දැන ම ලෝකයා රවටමින් ධනය බලය හෝ පිරිවර රැස් කරගන්න රඟපෑමක් කරනවා. ඒ අතර තවත් පිරිසක් සැබැවින් ම අත්හළ යුත්තේ මොනවා ද පැවැත්විය යුත්තේ මොනවා ද කියලා නිවැරදි වැටහීමක් නැතිකම නිසා පටලැවී සිටිනවා. කවදත් ලෝකයේ ටිකෙන් ටික දහම සැඟවී යනකොට එබඳු තත්ත්වයන් උද්ගත වෙනවා. ඒ නිසා අප කළ යුත්තේ අනුන්ට චෝදනා කිරීම හෝ නිග්‍රහ කිරීම නෙවෙයි, මම ඉන් කවර කොටසට ද වැටෙන්නේ කියලා සොයා ගැනීමයි. මමත් රඟදක්වන කෙනෙක් ද? එහෙම නැතිනම් පටලවා ගත් කෙනෙක් ද? එහෙමත් නැතිනම් සැබෑවට ම නිවන් මඟ අනුගමනය කරන කෙනෙක් ද? සැබෑවට ම නිවන් මඟ අනුගමනය කරන කෙනකු නම්, ලෝකය ලෝකය හැටියට පැවතුණාවේ. තියන දේවල් තියෙන හැටියට තිබුණාවේ. ඒවා පිළිබඳව අවිද්‍යාවෙන් මුළාවෙන් ඇති වෙන තෘෂ්ණා උපාදානය දුරු කිරීමට වෑයම් කිරීමයි කළ යුත්තේ. එයයි සැබෑ අත්හැරීම.
නමුත් නිවන් දැකීමේ සැබෑ ඕනෑකමින් ම ක්‍රියා කරන කෙනකු වුණත් වඤ්චක ධර්මවලට හසුවෙන්න පුළුවන්. එනිසා අපි මෙහි දී හඳුනාගත යුතුයි අත්හැරීම හෙවත් නිවැරදි නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව කුමක් ද, නිවැරදි නෛෂ්ක්‍රම්‍යය වගේ පෙනී සිටිමින් අපේ සිත රවටන අන්‍ය මනෝභාවයන් මොනව ද කියලා. එබඳු කරුණු කිහිපයකුයි අපි මෙහි දී විමසා බලන්නෙ.
■ නැතිකම හෝ බැරිකම වසාගන්නට දරන උත්සාහය අත්හැරීමක් (නෛෂ්ක්‍රම්‍යයක්) වගේ තමන්ට හැඟෙන්න පුළුවන්
■ බිය නිසා දේවල් අතහැර දැමීම සැබෑ නෛෂ්ක්‍රම්‍යයක් වගේ දැනෙන්න පුළුවන්.
■ ද්වේශය හෝ නුරුස්නා බව නිසා දේවල් අතහැර දැමීම සැබෑ අත්හැරීමක් වගේ පෙනෙන්න පුළුවන්.
■ එක ම දේ නැවත නැවත දිගු කලක් භුක්ති විඳීම නිසා ඉන්ද්‍රියන්ට යම් වෙහෙසක් දැනෙනවා, එතැන දි දේවල් බැහැර කිරීම සැබෑ අත්හැරීමක් වගේ හැඟෙන්න පුළුවන්.
■ ලෝක සම්මතයට අනුව ගිහිගෙයින් පන්සලට, පන්සලෙන් ආරණ්‍යයට ආදිවශයෙන් නික්ම යෑම සැබෑ නෛෂ්ක්‍රම්‍යයක් වගේ පෙනෙන්න පුළුවන්.
දානය සහ නෛෂ්ක්‍රම්‍යය
ඒ වගේම වර්තමානයේ දානයයි අත්හැරීමයි දෙකත් තරමක් පටලවාගෙන තියන බව පෙනෙනවා. වර්තමානයේ බොහෝ දෙනා දන් දීම අත්හැරීමක් හැටියට හඳුනා ගන්නට වෑයම් කරනවා. නමුත් දානය කියන්නෙ එක් පාරමිතාවක්, නෛෂ්ක්‍රම්‍යය වෙනත් පාරමිතාවක්. මේ දෙක දෙකක්. දන්දීම වෙනත් පරමාර්ථයකින් කෙරෙන්නේ. නෛෂ්ක්‍රම්‍යය තවත් පරමාර්ථයකින් කෙරෙන්නේ.
නෛෂ්ක්‍රම්‍යය කියන්නෙ අපි මුලින් සඳහන් කළ ආකාරයට නිසරු බව හඳුනාගෙන අත්හැරීමයි. දානය කියන්නේ තමන් සතු දේ අන් අයගේ යහපත පිණිස කැප කිරීමයි. අත්හරින්නට ඕන නම් අන් අය මත පටවන්න ඕන නැහැ, ඒක කුණු ගොඩට වීසි කරන්න පුළුවන්. අන් අයට යමක් දිය යුත්තේ තමන්ට ඒක අත්හැර ගන්න ඕන නිසා වත් තමන්ට ඒකෙන් ගැලවෙන්න ඕන නිසාවත් නෙවෙයි, ඒ අයගේ යහපත පිණිසයි. මේ දෙක අපි පටලවා නො ගත යුතුයි.
උදාහරණයක් හැටියට මගෙ වටාපත මට එපා නම් ඒක ඉවත දමන්න පුළුවන්. ‘අනේ මට මේකෙන් ගැලවෙන්න ඕන ඒ නිසා ඔබ වහන්සේ තියාගන්න’ කියලා තව ස්වාමීන් වහන්සේ නමකට දෙනවා නම් ඒක මොන විදිහෙ දානයක් ද? මම උන්වහන්සේට මගෙ වටාපත දෙනවා නම් දියයුත්තේ මට ඒකෙන් ගැලවෙන්න නෙවෙයි උන්වහන්සේගේ ප්‍රයෝජනය සලකාගෙනයි. වටාපත මටත් දැඩි සේ අවශ්‍ය වෙන්න පුළුවන්. මටත් මෙපමණයි තියෙන්නේ. නමුත් අනිත් හාමුදුරුවන්ට වටාපතක් නැහැ. උණුසුම නිසා උන්වහන්සේ බොහොම පීඩාවෙන් ඉන්නවා. මගෙ වටාපත උන්වහන්සේට දුන්නොත් උන්වහන්සේට ටිකක් පවන් සලාගෙන පහසුවක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා මගේ අපහසුව මම විඳගෙන හෝ උන්වහන්සේගේ යහපත සලකාගෙන එය දෙන්න පුළුවන් නම් අන්න ඒකටයි දානය, පරිත්‍යාගය කියලා කියන්නේ.
ඒ නිසා තමන්ට අවශ්‍ය නැතිනම් ඉවත දමන්න. අනුන්ට දියයුත්තේ තමන්ට එපා නිසා නො වෙයි, ඔවුන්ගේ යහපත පිණිසයි.
අපි හිතමු තමන් ඇඳපු ඇඳුමක් තියනවා කියලා. දැන් තමන්ට අඳින්න බෑ හිරයි. නමුත් මේක ටික දවසයි තමන් ඇඳලා තියෙන්නේ. මේක තව කාටහරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඇඳුම් අල්මාරිය සුද්ද කරගන්න කියන පදනමේ නම් ඒක තව කෙනකුට දෙන්නේ, එතන තියෙන්නේ සැබෑ දානයක් නෙවෙයි. ඒක තමන්ට අඳින්න බැරි වුණත් තව කෙනකුට ප්‍රයෝජන ගතහැකි නිසා, සුදුසු කෙනකු සොයා බලලා දෙන්න. ඒක උසස් දානයක්.
නමුත් එතැන දි මට එපා නිසා, මට ගැලවෙන්න ඕන නිසා, මට අතහැරගන්න ඕන නිසා දෙනවා නෙවෙයි. තවකෙනකුට ප්‍රයෝජනවත් නිසා, තවකෙනකුට යහපතක් වෙන නිසා දෙනවා. එතැනයි පරිත්‍යාගශීලී හැඟීම තියෙන්නේ. ඒක උසස් මනුෂ්‍ය ධර්මයක්.
නෛෂ්ක්‍රම්‍යය කියන්නේ නිසරු බව දැකලා අත්හැරීම. දානය කියන්නේ අනුන්ගේ යහපත උදෙසා තමන් සතු දේ පරිත්‍යාග කිරීම. පූජාව කියන්නෙ ගුණයත් ප්‍රයෝජනයත් දෙකම සලකාගෙන යමක් පරිත්‍යාග කිරීම. දැනට ජීවමාන ව නැති බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා උදෙසා යම් පූජාවක් කරන්නෙ උන්වහන්සේලාගෙ ගුණ සිහි කරන්නයි. ඒක උන්වහන්සෙලාගෙ ගුණයට කරන උපහාර පූජාවක්. මේවා බාහිරින් එක වගේ පෙනුණට මනෝභාවයන්ගේ වෙනස හඳුනාගෙන ක්‍රියා කළ යුතුයි. එවිටයි ඒ ඒ ක්‍රියාවෙන් ඒ ඒ ගුණය මතුවෙන්නෙ.
ඒ වගේම දානය කියන්නෙ කෑම දෙනවා කියන එක පමණක් නෙවෙයි. ආහාර හෝ ඇඳුම් හෝ මිලමුදල් හෝ ඕන ම දෙයක් දිය හැකියි. සැබැවින් ම දෙන්නෙ මොනව ද කියන එක තීරණය කළ යුත්තේ ලබන තැනැත්තාගේ අවශ්‍යතාව අනුවයි. කෑම ඕන වෙලාවට බෙහෙත් දීලා වැඩකුත් නෑ, බෙහෙත් ඕන වෙලාවට කෑම දීලා වැඩකුත් නෑ. දානයෙ දිත් යම් අතහැරීමක් සිදු වෙනවා. නමුත් එහි මූලික පරමාර්ථය වෙන්නේ අන් අයගේ යහපත සලකාගෙන ක්‍රියා කිරීමයි. ඒ නිවැරදි පරමාර්ථය හඳුනා ගන්න පුළුවන් නම් තමයි දානය නිසා නියම සද්භාවය, මනුෂ්‍ය ධර්ම අප තුළ අවදි වෙන්නෙ. එහෙම නො වුණොත් කොතෙක් දන් දුන්නත්, අනුන් ගැන හිතලා වැඩකරන්න පුරුදු වෙන්නෙ නෑ. ඒක බොහොම සියුම් කාරණයක්.