ආචාර්ය ලබුදුවේ සිරි සුජාත හිමි
මානසික රෝගීභාවය උද්ගත කෙරෙන නිෂේධනාත්මක සාධක පහක් ඇති බව බුදුසමයේ විග්‍රහ වේ. එනම් පංචනීවරණයි.
- කාමච්ඡන්ද – පස්කම් සුවයේ ඇති බලවත් කැමැත්ත.
- ව්‍යාපාද – නව ආකාර ද්වේෂය.
- ථීනමිද්ධ – සිතේ හා කයේ ඇතිවන මැළි බව.
- උද්ධච්ච කුක්කුච්ච – නොසන්සුන් ගතිය හා පසුතැවිල්ල.
- විචිකිච්ඡා – පටිච්ච සමුප්පාදය පිළිබඳ සැකය.
මිනිසා හා ලෝකය පිළිබඳ සැබෑ තත්ත්වය ආවරණය කරන, මුවා කරන, වසා තබන ස්වභාවය නිසා ඒවා නීවරණ ලෙස දැක්වේ. මානසික සංවර්ධනය සඳහා මේ සියල්ල බාධක ලෙස පවතී. “මානවකය, උපමඤ්ඤ ගෝත්‍රජ වූ, සුභගවනේශ්වර වූ පොක්ඛරසාති බ්‍රාහ්මණ මේ පංචනීවරණයන් විසින් වළඳනා ලද්දේය. අවුරණ ලද්දේය. වටහා ගන්නා ලද්දේය. හාත්පස බඳනා ලද්දේය. හේ මිනිස් දහමින් මතුයෙහි ආචාර්ය භාවකරණයට පොහොසත් ඥාන දර්ශන විශේෂය දන්නේය හෝ දක්නේය හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේය හෝ යන තෙකරුණ නොවන්නේම යැ”යි සුභ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ සේක. කායික අපිරිසිදුභාවය, දුර්වලභාවය, කායික රෝග සඳහා හේතුවන්නා සේම මානසික රෝගීභාවය සඳහා හේතුවන මෙම නීවරණ සිත අපිරිසිදු කරන, සිත දුර්වල කරන අංග ලෙස නිතර දැක්වේ.
නීල පීතාදී කිසියම් වර්ණයකින් මිශ්‍ර වූ ජල තලයක යමකුගේ ඡායාව මනාව නොදැකිය හැකි වන්නා සේ කාමච්ඡන්දය හෙවත් කම්සුව වින්දනය නිසාත් තම සිතේ දුබලතා දැක ඉන් මිදීමට හෝ අන් අයකු එවන් තත්ත්වයකින් මුදා ගැනීමට හෝ අවකාශ නොලැබේ. ව්‍යාපාදය උතුරන පැසෙන දිය බඳුනක් සේ දැක්වේ. එතුළින්ද යමකුට තම ඡායාව දැකිය නොහේ. ද්වේෂය පාදක කොට ගන්නා අනුන් නැසේවායි ප්‍රාර්ථනය කරන ව්‍යාපාද චිත්තය පුද්ගලයා තමාම තැවීමට, දැවීමට ලක්කර ගන්නා සේම ඔහුට සමීපවන්නවුන් ද තැවීමට දැවීමට ලක්වන තත්ත්වයට පත් කෙරේ. ථීනමිද්ධය හෙවත් සිතේත්, කයේත් ඇතිවන මැළිබව, සෙවෙල් හා පාසි වර්ගවලින් ගැවසුණු ජලතලයක් සේයි. ඡායාව දැක්මට අයෝග්‍ය වන්නා සේ පුද්ගල සිත වශයෙන් ගත් කල ක්‍රියාවන්හි කර්මණ්‍යතාවක් නොදැක්වේ. හතරවෙනුව දැක්වෙන නොසන්සුන්ගතිය හා පසුතැවිල්ල සුළඟින් කැලතී රළ නඟන දියතලයක් සේයි. නොසන්සුන් සිතකින් තමන් හෝ අනුන් පිළිබඳ කිසිවක නිරවද්‍යතාවක් දත නොහේ. අවසාන අංගය වන විචිකිච්ඡාව හෙවත් සැකය කිසිදු ඉදිරි පියවරක් තැබීමට අවකාශ නොදීමකි. මඩ සහිත කැලඹුණු දියතලයක් අඳුරු තැනක වූ විට කිසිදු ඡායාවක් දැකිය නොහැකි සේයි.
පංචනීවරණයන් මෙලෝ වශයෙන් පමණක් නොව භව රෝගයටම, සංසාර ගමනටම හේතු ප්‍රත්‍ය වන බව අංගුත්තර නිකායේ දැක්වේ. “මහණෙනි, අසත්පුරුෂ සේවනය පරිපූර්ණ වීම නිසා අසද්ධර්මය ඇසීම පරිපූර්ණ වේ. අසද්ධර්මය ඇසීම පරිපූර්ණවීමෙන් ශ්‍රද්ධාව නොමැති බව පරිපූර්ණ වේ. මෙසේ අශ්‍රද්ධාව නිසා හරියාකාර නොවූ අවධානය ද ඒ නිසා මනා වූ සිහිය නොපිහිටීම ද සිදුවේ. සිහිය හා අවධානය බිඳුණු විට ඉන්ද්‍රියයන්ගේ අසංවරභාවය ඇතිවේ. ඒ නිසා කායික, වාචසික, මානසික වශයෙන් වන චර්යා සාවද්‍ය වේ. මේ තෙවදෑරුම් සාවද්‍ය චර්යා පරිපූර්ණභාවය නිසා පංචනීවරණයන් පරිපූර්ණ වේ. පංචනීවරණයන් පරිපූර්ණවූ විට අවිද්‍යාව පරිපූර්ණ වේ. ඉන් අදහස් වන්නේ එම අනුක්‍රමිකතාවය පිළිබඳ හේතුන් ඉවත් කර ගැනීමෙන්, එම ආවරණයන් ඉවත් කර ගැනීමෙන් ‘විද්‍යාව’ පහළ වන බවයි. “විජ්ජා උදපාදි”, එමගින් භව රෝගයේ නිමාව සිදුවේ. එපමණක් නොව මෙලොව වශයෙන් ඉන් ලද හැකි සුවය සාමඤ්ඤඵල සූත්‍රයේ විග්‍රහ වේ. ණය ගත්තකු ණයෙන් මිදීමෙන් ද දැඩි ලෙස රෝගී වූවකු නිරෝගී භාවය ලැබීමෙන් ද, බන්ධනාගාරගත වූවකු ඉන් මිදීමෙන් ද, වහලකු වහල් බවින් මිදීමෙන් ද, දීර්ඝ වූ කාන්තාර ගමනක් නිම කළ අයකු මෙන් ද නීවරණ දුරුවීමෙන් ප්‍රමුදිතභාවය, ප්‍රීතිය, කායික සන්සිඳීම, සුඛය යන අංශ පිළිවෙළින් ලැබ චිත්ත සමාධිය ලැබේ. සෞඛ්‍යයේ සැබෑ ආරෝග්‍යයේ මග එයයි.
සුභ වශයෙන් සැලකීමට හේතු යුක්ති රහිත තත්ත්වයන් කෙරෙහි සුභ නිමිති වශයෙන් නුසුදුසු ලෙස බොහෝ කොට සිතීම නූපන් පස්කම් සැප පිළිබඳ රුචිය හට ගැනීමටත් උපන් එම සිතුම් වර්ධනයටත් හේතු වන බව බුදු සමයේ දැක්වේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් පුද්ගලයන් පිළිබඳ හෝ ගේ දොර වතුපිටි වශයෙන් වස්තූන් පිළිබඳ වූ අයෝනිසෝමනසිකාරයෙන් හෙවත් හේතු සාධක වශයෙන් සලකා විමසා බැලීමකින් තොරව විවේක බුද්ධියෙන් තොරව ඇතිකර ගන්නා පළමු හැඟීම එවන් හැඟීම් පරම්පරාවක් ඇතිවීමට පාදක වේ. ගින්න යම් වස්තුවක හට ගත්තේ නම් එම වස්තුවම දවා විනාශ කරන්නා සේ කාමච්ඡන්දය ද සිත, කය පවා දවා, ගිලනකු කරයි. වස්තු කාම ක්ලේශ කාමයන් ගිනි අඟුරු වළක් හා ගිනි කඳක් වැනි යැයි විග්‍රහ වනුයේ එබැවිනි. තමා ප්‍රබල තත්ත්වයක පසුවන විට බාහිර තත්ත්වය සමග ගැටීමෙන් ව්‍යාපාදය, ක්‍රෝධ ලක්ෂණයෙන් යුක්ත වන අතර තමා දුබල තත්ත්වයකදී පලා යන, ඈත්වන ව්‍යාපාදය, බිය ලක්‍ෂණය කොට ගනී. මේ දෙඅවධියෙන්ම තොර තත්ත්වවලදී ව්‍යාපාදය, පිළිකුල සේ මතුවේ. සිත, දුබල කරන, පණ නැති කරන, හකුළුවන, ථීනමිද්ධ ස්වභාවය අකුසල සිතකම හටගන්නකි. මෙය යම් කාර්යයකදී ආගන්තුකව හටගන්නා බාධක ධර්ම ලෙස නොසැලකීමෙන් ජීවිතයට අවශ්‍ය උද්‍යෝගවත්භාවය නොමැති වී නිදිබර සිතින් හා මැළි වූ කයින් යුතු වූවකු වේ.
විවිධ කරුණු කරා සිත යවමින් විවිධාකාර සිත් උපදවමින් එකඟතාව බිඳ දමමින් සිත නොසන්සුන් කිරීම, වික්ෂිප්ත කිරීම උද්ධච්ච ලක්‍ෂණයයි. තමන් විසින් කරන ලද අකුසලයන් දුෂ්ක්‍රියාවන් හා කළ හැකිව තිබියදී නොකරන ලද කුසලයන් පිළිබඳ පසුතැවීමට පත්වීම දුකට, ශෝකයට පත්වීම කුක්කුච්චයේ ලක්‍ෂණයයි. මෙම චිත්ත වික්ෂේපය හා පශ්චාත්තාපය නිවැරදි ලෙස හඳුනා නොගැනීම නිසා දැඩි වෙහෙසකර තත්ත්වයට හා කෝපයට පත්වීමට ඉක්මනින්ම මඟ සැලසේ. සැකය හා අවිශ්වාසය විචිකිච්ඡා නම් බුදුසමයේ විශේෂ වශයෙන් දැක්වෙන පරිදි සංසාරය, කර්ම ඵලය, අභිඥා, සෝවාන් ආදී මාර්ග හා ඵල අවස්ථාවන් පිළිබඳ සැකයයි. හේතුඵල ධර්ම අවබෝධ වන තුරු මේ සැකය නිම නොවේ. සැකය සෑම විටම අයෝග්‍ය ලක්‍ෂණයක් ලෙස බුදුසමයෙන් ප්‍රතික්‍ෂේප වන්නක් නොවේ. “කාලාමයෙනි, ඔබගේ සැකයත් – විමතියත් යුක්තිසහගතය. සැක කළ යුතු තැනම විමතිය ඇතිවිණැ”යි බුදුරදුන් විසින්ම ප්‍රකට කරනු ලැබූයේ ඒ හෙයිනි. එහෙත් සැකය උදෙසා ම සැක කිරීමක් ඉන් අනුමත නොවේ. යමක් පිළිබඳව සැකයක් ඇතිවූ විට එම සැකයම පාදක කොට ගෙන ඒ ගැන සිතන්නාට සැකය තහවුරු වන බවට කරුණු මතුවී පෙනේ. එයින් සැකය වර්ධනය වී දියුණු වී තහවුරු බවට යේ. සුළුවෙන් ඇරඹි මහත් බාධකයක් බවට පත්වේ.