ආධ්‍යාත්මික අප්‍රමාදය

rashi
By rashi
13 Min Read

නුපුහුණු සිත, ඉන්ද්‍රිය ගෝචර අරමුණක් පාසා නොයෙක් මනෝභාවවල පැටලෙන්නේ ය; නිමග්න වන්නේ ය. ඒ ආකර්ෂණීය භාවාවේශවල මූලික පැතිකඩ තුනකි. රසෝත්පාදක ඇලීම එක් පැතිකඩකි. මතවාදි දැක්ම තවත් පැතිකඩකි. ස්වයං තක්සේරුගත මැනීම අනෙක් පැතිකඩ ය. එසේ මූලික පැතිකඩ තුනක් ඇති භාවාවේශ සියල්ල පොදුවේ හඳුන්වන්නේ ‘ප්‍රපංච’ නමිනි. නොයෙක් ධර්මතාවලට නොයෙක් වැදගත්කම් ලබාදෙමින් චින්තන ධාරාවෙහි අතුපතර ලියලා වැඩීම ප්‍රපංචකරණය ය. ආරෝපිත වැදගත්කම්වලට අනුව, හුදු ධර්මතා මාත්‍ර එකිනෙකින් හාත්පසින් වෙන් කොට දක්වන බැවින් එය විභේදනීය චින්තනය නම් වන්නේ ය. එසේ ප්‍රපංචවලට නතු වූ සිතෙහි අවධානය, බාහිර විවිධත්වයත් සිතුවිලි ලෝකයත් ඉක්ම නො යන්නේ ය. ප්‍රපංච යනු හුදු කාල්පනික නිද්‍රාවකි. ආධ්‍යාත්මික සිහියේ අවදි වීම් ප්‍රමාද කරවනු ලබන්නේ එය විසිනි. එබැවින් ප්‍රපංචවල නිමග්න වූ කල, සිත ඇතුළු සියලු‍ ධර්මතා විනිවිද දැකීමට සමත් විවේකාවකාශයෙහි පහළ වීම නිරන්තරයෙන් ප්‍රමාද වන්නේ ය.

ප්‍රපංචකරණය අතීත මතකවලට සාපේක්ෂ ය. එක්තරා ධර්මතාවකට කිසියම් වැදගත්කමක් ලැබෙන්නේ, අනෙක් ධර්මතා සමඟ ගැළැපීමේ දී ය. ඒ ක්‍රියාවලිය ප්‍රපංචකරණය ය. එහි දී, ආසන්නත ම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම හා අතීත ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් එකිනෙක ගළපන්නේ ය. අතීත අත්දැකීම යනු හුදු මතක මාත්‍රයකි. ප්‍රපංචකරණයේ දී භාවිත වන අතීත මතක ප්‍රපංචයට ම ලඝු වන්නේ ය. මතක එකිනෙක ඈඳෙමින් ක්‍රමයෙන් ප්‍රපංච ඖදාරික වන්නේ ය. ප්‍රපංචයක් ඖදාරික වන තරමට, මතකයට එකී ප්‍රපංචය ඉක්මවිය නො හැක්කේ ය. යම් අතීත අත්දැකීමක් සිහි කිරීමට නම්, බොහෝ ජීවනාත්දැකීම් විසින් ව්‍යාකුල කරන ලද ප්‍රපංච හරහා යා යුතු ය. එහෙත් දිගු කලක් තහවුරු වූ ඝනබහල ප්‍රපංච විනිවිද යෑම අසීරු ය. යමකුට සිය අතීතය අමතක වන්නේ එබැවිනි. ළදරු මනසක් වැඩිහිටි වන්නේ බොහෝ මතක රැස් කරමිනි; දිගු කලක මතක ඇසුරෙන් වඩාත් ඖදාරික ප්‍රපංච ගොඩනඟමිනි. ප්‍රපංචකරණයේ නැඹුරුව අතීත භවයෙන් දායාද වූවකි. ඒ නැඹුරුවට අනුව ප්‍රපංච ගොඩනඟන්නේ වර්තමාන භවයේ ලබන අත්දැකීම ඇසුරෙනි. වර්තමාන භවයේ දී ගොඩනැඟූ සමස්ත ප්‍රපංච ජාලය ම එක් ප්‍රපංච පද්ධතියකි. අතීත භවයේ ප්‍රපංච පද්ධතිය අනෙකකි. ප්‍රපංච පද්ධතියක් විනිවිද තවත් ප්‍රපංච පද්ධතියකට පිවිසීම, සාමාන්‍ය මනසින් කළ නො හැක්කකි. කාටත් සිය අතීත භව අමතක වන්නේ එබැවිනි.

සිය අතීත භව ගමන සිහි කිරීමේ හැකියාව ‘පුබ්බේනිවාසානුස්සතිය’ ය. ඊට තියුණු සමාධිමත් මනසක් තිබිය යුතු ය. සමාධිමත් මනස ස්වයං ආධ්‍යාත්මික ප්‍රබෝධයක් අත්විඳින්නේ ය. එවිට ප්‍රපංචකරණය මත යැපීමට අවශ්‍ය නැත. එබැවින් සමාධිමත් මනස බාහිර ලෝකය හා සබැඳි ප්‍රපංච කෙරෙහි නො නැමෙන්නේ ය. සමාධිමත් මනස ශක්තිමත් වූ විට වඩාත් ස්වාධීන වන්නේ ය. මනසෙහි ගොඩනැඟු‍ණු ප්‍රපංච වියවුල ඉක්මවා, ඊට දායක වූ අතීත මතක විනිවිද යෑමේ හැකියාව ලබන්නේ ය. මතකය ප්‍රපංචවලින් මිදුණු තරමට, පහසුවෙන් අතීතය සිහි කළ හැකි ය. ඒ අනුව, සිහිය උපදවාගැනීම යනු ප්‍රපංචවලින් මිදීම ය. සමාධිමත් මනසින් කරන්නේ තාවකාලික ව ප්‍රපංචකරණය නො තකා හැරීමකි. ලැබූ සමාධිය ගිලිහී යෑමත් සමඟ ම සිත නැවත ප්‍රපංචවලට නතු වන්නේ ය. එදිනෙදා කටයුතුවල දී පවත්වාගෙන යා හැකි, ප්‍රපංචකරණයෙන් සිත මුදවන ආධ්‍යාත්මික ගුණය නිවැරැදි ව හඳුනාගත යුත්තේ එබැවිනි. එය හඳුන්වන්නේ ‘සතිය’ නමිනි. සතිය විසින් සිත ප්‍රපංචකරණ නිද්‍රාවෙන් අවදි කරවනු ලබන්නේ ය. ප්‍රපංචකරණ නිද්‍රාව නිසා සිත සංසාරය තුළ ප්‍රමාද වන්නේ ය. සතිමත් තැනැත්තා ක්‍රමයෙන් ඒ නිද්‍රාවෙන් අවදි වන්නේ ය; අප්‍රමාදි ව ආධ්‍යාත්මික ගුණ වඩන්නේ ය; සංසාර විමුක්තිය ලබන්නේ ය. එබැවින් සතිය යනු සියලු‍ ආධ්‍යාත්මික ගුණ සාධනයට මූලික වන ධර්මතාවකි. අතීත මතක නිරවුල් ව සිහි කළ හැක්කේ සිතෙහි ඇති සතිමත්භාවය නිසා ය. ආදානග්‍රාහි ව ප්‍රපංචවල ලැගුම්ගන්නා සිත, ඒවා කෙරෙන් මුදවා ලීමේ ශක්තිය සතිය සතු ය. එවිට මනසෙහි අවධානය නොයෙක් මතක කරා පහසුවෙන් හුවමාරු කළ හැකි ය. අවදි මනසක් සහිත සතිමත් තැනැත්තා එසේ ඉතා පහසුවෙන් අතීතය සිහි කරන්නේ ය. එහෙත් සතිය යනු අතීතය හා බැඳුණු ගුණයක් නො වන්නේ ය. ආධ්‍යාත්මික පුහුණුවෙහි ආරම්භක අදියරේ දී, අතීතය ඇසුරෙන් සතිමත්භාවය ග්‍රහණය කරගැනීම අසීරු ය. එය හඳුනාගත යුත්තේ එළැඹි මොහොත ඇසුරෙනි. පළමු ව, එළැඹි මොහොතට මනසින් අවදි විය යුතු ය. අනතුරු ව අවශ්‍ය නම් ඒ මානසික අවදිය, සමාධිමත් මනස හරහා අතීතය වෙත ප්‍රක්ෂේපණය කළ හැකි ය. අතීතය යනු මතක සමූහයකි. අනාගතය යනු අපේක්ෂා සමූහයකි. ඒවායේ ඇත්තේ ඕනෑ ම අයකු ව්‍යාකුල කරවනසුලු‍ විවිධත්වයකි. ඒ හමුවේ ඒකාග්‍ර වීමට නුපුහුණු මනස අසමත් ය. ඊට, සිතුවිලිවලින් හිස් කළ සමාධිමත් මනසක් තිබීම අත්‍යවශ්‍ය ය. ධර්ම පුහුණුවෙහි ආරම්භයේ දී, අතීතය හෝ අනාගතය හෝ පිළිබඳ ව අවදි වීම ප්‍රායෝගික නො වන්නේ එබැවිනි. අවදි වීම සඳහා භාවිත වන ආධ්‍යාත්මික අවකාශය වන්නේ එළැඹි මොහොත ය. එළැඹි මොහොතේ දී ලබන අත්දැකීම, විවිධත්වයෙන් තොර හුදු අත්දැකීම් මාත්‍රයකි. ඒ ඒකීයභාවය මනස නො කලඹවනසුලු‍ ය; ආධ්‍යාත්මික ප්‍රතිපදාව පහසු කරවනසුලු‍ ය. එළැඹි මොහොත යනු සංසාරයෙහි නියැදියකි. එය ඉක්මවූ කල සංසාර විමුක්තිය ලැබෙන්නේ ය. අතීතයත් අනාගතයත් නො තකා, එළැඹි මොහොතට පමණක් අවදි වීම ප්‍රමාණවත් වන්නේ එබැවිනි.

සතිමත්භාවය හඳුනාගැනීමත් වැඩීමත් න්‍යායානුකුල ය. එය තර්ක න්‍යායක් නො ව, ප්‍රායෝගික න්‍යායකි. ප්‍රායෝගික ව සතිය පිහිටුවිය හැකි ක්ෂේත්‍ර හතරකි. ඒ ‘සතර සතිපට්ඨාන’ නමිනි. සතිපට්ඨාන නමැති උපාය, පරමාර්ථයට නඟා චින්තාමය වශයෙන් විග්‍රහ කිරීමට නො යා යුතු ය; සම්මුති තලයේ සිටිය දී ම පුහුණු කළ යුතු ය. ඕනෑ ම අයකු ස්වභාවික ව දිවි ගෙවන්නේ සම්මුති ව්‍යවහාර සමූහයකට යටත් වෙමිනි. ඕනෑ ම ආධ්‍යාත්මික පුහුණුවක් ඇරඹෙන්නේ ද එකී සම්මුති ව්‍යවහාරයට ගරු කරමිනි. එහෙත් චින්තාමය වශයෙන් හෝ එහි පරමාර්ථයක් ඇති දැයි සොයන ආධුනිකයෝ, කල්පිතයක නිමග්න වෙමින් සිය ප්‍රායෝගික පුහුණුවට බාධා කරති; පුහුණුවට නිදහසේ වැඩෙන්නට ඉඩ නො දෙති. සතර සතිපටඨාන දැක්වෙන බුද්ධ දේශනා එසේ නුපුහුණු මනසින් විච්ඡේදනය කොට වරනැඟීමේ දී, පුහුණුව කෙළවර මුණගැසෙන සැබෑ පරමාර්ථය මඟහැරී යන්නේ ය. පුහුණුවේ දී යන්තමින් දකින එක් පරමාර්ථමය නිරීක්ෂණයකින් හෙවත් ආංශික දැනුමකින් මත් වන ඇතැම් ආධුනිකයෝ, එය සමස්ත බුද්ධ වචනය ම මනින කෝදුවක් ලෙස භාවිත කරති. මන්ද, ආධුනිකයන් නිතර ම චින්තනයට නැඹුරු වෙමින් පුහුණුව මඟහරින බැවිනි. ඖදාරික ප්‍රපංච සන්සිඳීමේ දී ලද කිසියම් අත්දැකීමක් සාක්ෂ්‍ය කොට තබන ඔවුහු, අනතුරු ව ධර්මය ඇසුරෙන් වඩාත් සූක්ෂ්ම ප්‍රපංච ජාලයක් සකසති. එය අවදි මනසත් ප්‍රපංච නිද්‍රාවත් අතර ආධ්‍යාත්මික අඩ නින්දක් වැනි ය. පූර්ණ අවදියෙන් ගෙවන අප්‍රමාදී ජීවිතයකට එළැඹීමට නම්, ඍජු ව සතිපට්ඨාන පුහුණුව තුළට බැසගත යුතු ය.

සතර සතිපට්ඨාන අතරින් පළමුවැන්න ‘කායානුපස්සනාව’ ය. අපුද්ගල වූ හුදු කාය මාත්‍රයක් ලෙස කය දෙස බැලීම කායානුපස්සනාවේ දී අපේක්ෂිත ය. ස්වභාවික ව සිදු වන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට අවධානය යොමු කිරීම, ඊට අයත් ප්‍රධාන පුහුණු ක්‍රමයකි. එහි දී කෘත්‍රිම ව ආයාසයෙන් හුස්මගැනීමක් නො කළ යුතු ය. මන්ද, එය කයෙහි ඇති හැටිය හඳුනාගැනීමට කරන පුහුණුවක් බැවිනි. සිය කයෙහි හුස්ම රැල්ල නිරීක්ෂණය කිරීම මනා ව හුරු වූ පසු, අන් සිරුරු ද හුස්ම නමැති යාන්ත්‍රණයෙන් පවත්නා බව දැකිය යුතු ය. එසේ ඇතුළත හා බාහිර වශයෙන් සලකා බැලීම, සියලු‍ සතිපට්ඨාන පුහුණු ක්‍රමවල දක්නට ලැබෙන්නකි. එහි දී, තමාගෙන් බාහිර තත්ත්ව පිළිබඳ ප්‍රත්‍යක්ෂ අත්දැකීම් නැතැ යි වික්ෂිප්ත නො විය යුතු ය; හුදෙක් අනුමානයෙන් ග්‍රහණය කළ යුතු ය. සතිපට්ඨාන යනු සම්මුති ව්‍යවහාර තුළ ජීවත් වෙමින් භාවිත කළ හැකි අභ්‍යාස මාලාවකි. ඉන් අභියෝගයට ලක් කරන්නේ සම්මුති ව්‍යවහාර නො ව, සම්මුති ව්‍යවහාර සමඟ ඇති බැඳීම් සමූහය පමණි. ප්‍රපංච යනු එකී බැඳීම් ය. සාමාන්‍ය මනස තුළ සම්මුති ව්‍යවහාර ගොඩනැඟෙන්නේ ප්‍රපංච නිද්‍රාවෙහි ගිලෙමිනි. අවදි මනස විසින් ප්‍රපංච නිද්‍රාව දුරු කරනු ලබන්නේ ය. එවිට සම්මුති ව්‍යවහාරවලට ඇත්තේ ප්‍රපංචකරණයෙන් තොර ලිහිල් පැවැත්මකි. හුස්ම නමැති යාන්ත්‍රණයට අවදි වීමෙන් එය ඉටු වන්නේ ය. ඇතුළත හා බාහිර ලෙස සැලකූ සියලු‍ සිරුරු හුස්ම නිසා පවතින යන්ත්‍ර මෙන් වැටහෙන්නේ ය. හුස්මගැනීම යනු ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉපදීමත් විනාශ වීමත් ය. සතිමත් වන ක්ෂේත්‍රයට අයත් ධර්මතාවල ඉපදීමත් විනාශ වීමත් සලකා බැලීම, සියලු‍ සතිපට්ඨාන පුහුණු ක්‍රමවලට අදාළ ය.

සතිපට්ඨාන පුහුණුව විසින්, කිසිවක ලැගුම් නො ගැනීමත් කිසිවක් අල්ලා නො ගැනීමත් හුරු කරවනු ලබන්නේ ය. ඉන් සිත අනාරම්මණයට නැමෙන්නේ ය. හුස්ම රැල්ල වැනි තෝරාගත් භාවනා අරමුණක්, හුදෙක් සතිමත් වීමට උපකාර කරන්නේ ය. ඉන් ලද හැක්කේ එකී අරමුණට සීමා වූ ආංශික දැනුමකි. සිත ඒ අරමුණින් බැහැර වූ විට යළි ප්‍රපංච නිද්‍රාවට වැටෙන්නේ ය. නිශ්චිත එක් අරමුණකට පමණක් සිතෙහි අවධානය දැක්වීම ප්‍රමාණවත් නො වන්නේ එබැවිනි. සතිමත් වීම යනු හුදෙක් අවධානය යෙදීම පමණක් නො වන්නේ ය. ආංශික නො වන පරිපූර්ණ දැනුවත්භාවය ද සතිමත් මනසෙහි අංගයකි. ඒ පරිපූර්ණ දැනුවත්භාවය හඳුන්වන්නේ ‘සම්පජඤ්ඤය’ නමිනි. ආංශික දැනුවත්භාවය එළැඹි අරමුණෙහි එල්බගන්නේ ය; අත් නො හැර දැඩි ව ග්‍රහණය කරන්නේ ය. එහෙත් සම්පජඤ්ඤය කිසිවක එල්බ නො ගන්නේ ය. තෝරාගත් භාවනා අරමුණකට අවදි වීමෙන් සතිමත්භාවය හඳුනාගන්නා එය, අනතුරු ව නොයෙක් අරමුණු මතින් මානසික අවදිය හුවමාරු කරන්නේ ය. සමස්ත සතිපට්ඨාන පුහුණුවට ම සම්පජඤ්ඤය ඇතුළත් ය. විවිධ අරමුණු හමුවේ සතිමත්භාවය අඛණ්ඩ ව පවත්වාගෙන යන්නේ එමඟිනි. අවදි මනසින් ඉරියවු මාරු කරන අවස්ථාව සම්පජඤ්ඤයට නිදසුනකි. එහි දී පළමු ව සිටීම, හිඳීම, නිදාගැනීම යන නිශ්චල ඉරියවුවක දී කය පිහිටන ආකාරයට සිතින් අවදි විය යුතු ය. ඉරියවු මාරු කරන විටෙක අත්දකින සමස්ත ක්‍රියාවලියට, දෙවනු ව අවදි විය හැකි ය. වටපිට බැලීම, අත් පා සෙලවීම, ඇඳුම් ඇඳීම, ආහාරගැනීම, වැසිකිළි කිස කිරීම ආදියෙහි යෙදෙන සියුම් කායික චලන පවා අවදි මනසින් සිදු කළ යුතු ය. එක් අරමුණකට අවධානය යෙදීමෙන් සිත ඒකාග්‍ර වන්නේ ය. කායික චලනයක දී සිතට ගෝචර වන අරමුණ මොහොතක් පාසා වෙනස් වන්නේ ය. එහි දී ගෝචර වන සියලු‍ අරමුණුවලට සම ව අවධානය යෙදීමට නම්, අනාරම්මණය පිළිබඳ වූ ප්‍රඥාව පුබුදු කළ යුතු ය. සම්පජඤ්ඤයෙහි එකී ප්‍රඥාව ඇතුළත් ය. සතිපට්ඨාන පුහුණුවෙන් අවදි වූ මනස, ඒකාග්‍රතාවත් ප්‍රඥාවත් මුසු වූවකි.

ඒකත්වයෙන් ගෙන පුද්ගල සම්මුතිය පැනවූ කල කය ඉතා ප්‍රසන්න ය. එය ම, ශරීර කොටස්වලට විච්ඡේදනය කරන්නේ නම් දැඩි පිළිකුලක් දනවන්නේ ය; පුද්ගල සම්මුතිය සමඟ තිබූ බැඳීම අතුරුදන් වන්නේ ය. එසේ, සිතින් කොටස්වලට බෙදා කයෙහි පිළිකුල මෙනෙහි කිරීම එක් කායානුපස්සනාවකි. තදට දැනෙනසුලු‍, වැගිරෙනසුලු‍, දැවෙනසුලු‍, සෙලවෙනසුලු‍ තත්ත්වවලින් කය සැකසී ඇති බව මෙනෙහි කිරීම තවත් කායානුපස්සනාවකි. සජීවි කය සමඟ මළ සිරුරක විවිධ අවස්ථා සැසඳීම ද කායානුපස්සනා අතරට අයත් ය.

සතර සතිපට්ඨාන අතරින් දෙවැන්න වන්නේ ‘වේදනානුපස්සනාව’ ය. විඳීම් යනු හුදු විඳීම් මාත්‍ර යැයි දැකීම ඉන් අපේක්ෂිත ය. සැප – දුක් – මැදහත් යන විඳීම් නිසා, විටෙක ලෞකිකත්වයට සිතින් ආකර්ෂණය වන්නේ ය; විටෙක ලෞකිකත්වයෙන් නික්ම සිත විවේකි වන්නේ ය. ඒ මනෝමය ක්‍රියාවලියෙහි සියලු‍ ජවනිකා අතරින් විඳීම් මාත්‍රයට අවධානය එල්ල කළ විට, විවිධත්වයෙන් යුතු විඳීම්වල ඇති ඒකත්වය හඳුනාගත හැකි ය. අනතුරු ව එකී ඒකත්වයට මනසින් අවදි විය යුතු ය. එහි දී, සැප – දුක් – මැදහත් යන මූලික විඳීම් ස්වරූපයත් ඉන් සංසාරයට හෝ සංසාර විමුක්තියට හෝ යොමු කරන බවත් දැකීම ප්‍රමාණවත් ය. විවිධ අත්දැකීම ඇසුරෙන් ලද විඳීම්වල විවිධත්වය ගැන විමසන්නා, පෙරළා ප්‍රපංච නිද්‍රාවෙහි නිමග්න වන්නේ ය.

සතිමත් වීමට මුවහ වී ඇතැමෙක් සිතින් සිත හඹා යති; එල්ලයකින් තොර ව සිතුවිලි දෙස බලා හිඳිති. සිත එවිට මඳක් සියුම් වන්නේ ය. තර්කනයෙහි ද සෞන්දර්යයෙහි ද නිපුණ වනු විනා, ඉන් කිසිදු ආධ්‍යාත්මික ගුණයක් නූපදින්නේ ය. එහෙත් සමහරු එය ‘චිත්තානුපස්සනාව’ ලෙස වරදවා ගනිති. චිත්තානුපස්සනාව යනු සතර සතිපට්ඨාන අතරින් තෙවැන්න ය. එහි දී අවදි විය යුත්තේ සිතේ මූලික සැකැස්ම තුළට ය. රාග, ද්වේෂ, මෝහ සහිත ද? රහිත ද? මැළිකමින් ද? විසිරුණුබවින් ද? ආදි වශයෙන් සිතෙහි දළ හැඩය නිරීක්ෂණය කිරීම චිත්තානුපස්සනාව ය. සතර සතිපට්ඨානවල සිවුවැන්න වන්නේ ‘ධම්මානුපස්සනාව’ ය. ආවරණීය කිලු‍ටු වීම්, ආධ්‍යාත්මික ප්‍රබෝධයට නැමීම් ආදි ධර්ම හුදෙක් ධර්ම මාත්‍ර ස්වභාවයෙන් දැකීම ඉන් අපේක්ෂිත ය.

බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට හඳුන්වාදුන් ගෝචර භූමි වන්නේ සතර සතිපට්ඨාන ය. එය පියාණන්ගෙන් දරුවන් ලබන දායාදය වැනි ය. සතර සතිපට්ඨාන නො ඉක්මවමින් හසුරුවන ශ්‍රාවක මනස, කිලු‍ටු බලවේග වශයෙහි නො පවත්නේ ය; ආරක්ෂිත වන්නේ ය. සතිපට්ඨාන පුහුණුව පරම අප්‍රමාදි ජීවන ක්‍රමයකි. සියලු‍ අධ්‍යාත්ම ගුණ, ආධ්‍යාත්මික අප්‍රමාදයෙහි ඇතුළත් වන්නේ ය. හස්තියකුගේ පා සටහන තුළ, ඕනෑ ම සතකුගේ පා සටහන තබන්නට හැකි වන්නාක් මෙනි.

– ආසභ –

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *