ඇත යන්නෙන් සහ නැත යන්නෙන් මිදීම

cmadurawala
7 Min Read

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

පළමුවැනි කොටස

සමුදය නිරෝධ ධර්මතාව දන්නෙ නැතුවාම හිතෙන්නෙ හැම දෙයක් ම දිගින් දිගට පවතිනව වගේ. සාමාන්‍ය මනසට යමක නැති වීම ගැන හිතෙන්නෙ තිබිල විනාශ වීමක් හැටියට. භව විභව දෘෂ්ටි මැවෙන්නෙ ඒ ආකාරයට. සළායතනික වශයෙන් අත්දකින්නේ විඤ්ඤාණයේ මැවෙන නාමරූප ලෝකය බව බුදුරජාණන් වහන්සේ සිහිපත් කර දෙනකම් අපි දන්නෙ නෑ. එය තේරුම් ගන්න නම් යෝනිසෝමනසිකාරය භාවිත කරන්න ඕන. යෝනිසෝමනසිකාරය කියන්නෙ නුවණින් මෙනෙහි කිරීම කියලයි, සාමාන්‍යයෙන් තේරුම් කරන්නෙ. ඒකෙ වරදක් නැතත් එයින් අපිට එහි අදහස පැහැදිලි ව වැටහෙන්නෙ නෑ. අපි සළායතන ක්‍රියාකාරිත්වය ඔස්සේ හමු වන හැම ප්‍රත්‍යයක ම සමුදය පක්ෂයට අවධානය තබල තේරුම් ගැනීමටයි, යෝනිසෝමනසිකාරය කියල කියන්නෙ. තව විදියකට කියනව නම් අත්දැකීම් ලැබෙන කොට ප්‍රකට වන තත්ත්වයේ සමුදයට ප්‍රත්‍යය වන ධර්මය දකිනව නම් ඒ දකින්නේ යෝනිසෝමනසිකාරයෙන්. ඒ වගේ ම නැති ආස්‍රව ඇති නො වෙන විදියට, තියෙන ආස්‍රව ප්‍රහීණ වෙන විදියට මෙනෙහි කරනව නම් එවිට ක්‍රියාත්මක වෙන්නෙ යෝනිසෝමනසිකාරය.

මේ යෝනිසෝමනසිකාරය භාවිත කිරීම ගැන දැනගත යුතු හොඳ විස්තරයක් සබ්බාසව සූත්‍රයේ (ම:නි: 1, 18, 20, 22, 24 පිටු) දකින්න ලැබෙනව. බුදුරජාණන් වහන්සේ එය මෙහෙම පැහැදිලි කර දෙනව. “මහණෙනි, මම දන්න කෙනාට දකින කෙනාට ආස්‍රවයන් ක්ෂය වෙන බව කියනව. කුමක් දන්න කෙනාට ද, කුමක් දකින කෙනාට ද? යෝනිසෝමනසිකාරයත් අයෝනිසෝ – මනසිකාරයත් දන්න කෙනාට දකින කෙනාට. මනසිකාරය අයෝනිසෝ විදියට නම් කෙරෙන්නෙ නො උපන්න ආස්‍රව උපදිනව. උපන් ආස්‍රව වැඩෙනව. මනසිකාරය යෝනිසෝ විදියට නම් කෙරෙන්නෙ නො උපන්න ආස්‍රව උපදින්නෙ නෑ. උපන් ආස්‍රව ප්‍රහීණ වෙනව.”

සද්ධර්මය අහල නැති පුහුදුන් පුද්ගලයා (අසසුතවා පුථුජජනො) මෙනෙහි කරන්න ඕන මොකක්ද, මෙනෙහි නො කරන්න ඕන මොකක්ද, කියල දන්නෙ නෑ. එහෙම කෙනා මෙනෙහි නො කළයුතු දේ මෙනෙහි කරනව. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නෙ නෑ.

යම් මෙනෙහි කිරීමක් නිසා නො තිබිච්ච කාමාස්‍රව ඇති වෙනව නම්, තියෙන කාමාස්‍රව වැඩෙනව නම්, නො තිබිච්ච භාවාස්‍රව ඇති වෙනව නම්, තියෙන භවාස්‍රව වැඩෙනව නම්, නො තිබිච්ච අවිජ්ජාසව ඇති වෙනව නම්, තියෙන අවිජ්ජාස්‍රව වැඩෙනව නම් අපි දැනගන්න ඕන මෙනෙහි නො කළ යුතු දේ මෙනෙහි කරනව කියල. කාමාසව කියන්නෙ පස්කම් සුවය පිළිබඳ සිතිවිලි ගලා එන ගතිය. භවාසව කියන්නෙ තමන්ට පවතින්න තියෙන කැමැත්ත වගේම තමන්ගෙ කියල හිතාගත්ත දේවල් පවත්වගන්න තියෙන කැමැත්ත පිළිබඳ සිතිවිලි ගලා එන ගතිය. අවිජ්ජාසව කියන්නෙ ‘මම’, ‘මගේ’ කියන සිතිවිලි ගලා එන ගතිය.

ඒ ඒ සත්ත්වයන්ගෙ හිතට තම තමන්ගෙ අත්දැකීම් ලෝකයේ හැටි හැටියට මේ ආස්‍රව ගලා එනව. අපේ තනි හිතට මේවායේ වැරැද්දක් පේන්නෙ නෑ. සාමාන්‍යයෙන් අපට තේරෙන මේ මිනිස් සමාජය දිහා බැලුවොත් පේන්නෙ මේ කෙලෙස් සහිත ලෝකය තියාගන්න පවත්වගන්න මිනිසුන් ගන්න උත්සාහයමයි. අපට මේ සසර දුක නිම කරන්න ඕන කියල හිතෙනව නම් හිතෙන්නෙ ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාසවලට වැඩි දෙයක් මේ සසර ඇත්තෙ නෑ කියල තේරුණොත් විතරයි. සද්ධර්මය දැන ගැනීමෙන් මයි, මේව තේරෙන්න පටන් ගන්නෙ. බුදුරජාණන් වහන්සෙ මෙහෙම දේශනා කරල තියෙනව, බණ පොතේ මෙහෙම සඳහන් වෙලා තියෙනව කියල දැනගත්තට ම යෝනිසෝමනසිකාරය ආරම්භ වෙන්නෙ නෑ. වැඩි වශයෙන් තියෙන්නෙ නම් ඒ ස්වභාවය තමයි. කාමයට ඇති කැමැත්ත බලවත් නම් කාමය නිරුද්ධ කිරීමට, භව නිරෝධයට, සක්කාය නිරෝධයට දම් දෙසුවත් ඊට සිත වැදගන්නෙ නෑ.

කොහොම හරි මේ කරුණු කාරණා වැටහිලා කාමාසව, භවාසව, අවිජ්ජාසව ඇති නො වන විදියට, තියෙන ආස්‍රව ප්‍රහීණ වෙන විදියට මනසිකාරය සකස් වෙනව නම් තමයි, මෙනෙහි කළ යුතු ආකාරයට මෙනෙහි කරනව කියල කිව හැකි වෙන්නෙ.

පුහුදුන් හිතක ඉඳගෙන මම අතීතයෙ හිටිය ද, මම අතීතයෙහි නො හිටිය ද, අතීතයෙ හිටිය නම් කවරෙක් වෙලා ද හිටියේ, කෙසේ ද වෙලා හිටියෙ, කවරෙක් ව ඉඳල කවරෙක් වුණා ද කියල හිතනව නම් ඒක අයෝනිසෝමනසිකාරයක්. ඒ වගේ ම පුහුදුන් හිතක ඉඳගෙන මම අනාගතයේ වෙනව ද, මම අනාගතේ නො වෙනව ද, කවරෙක් වන්නේ ද, කෙසේ වන්නේ ද, කවරෙක් වී කවරෙක් වන්නේ ද කියල හිතනව නම් ඒක අයෝනිසෝමනසිකාරයක්. පුහුදුන් හිතක ඉඳගෙන දැන් මේ වෙලාවේ මම ඉන්නව ද, මම නැද්ද, කවරෙක් වෙම් ද, කෙසේ වෙම්ද, මේ සත්ත්වයා කොහෙන් ද ආවෙ, කොහාට ද යන්නෙ කියල හිතනව නම් ඒක අයෝනිසෝමනසිකාරයක්.

පුද්ගලත්වය ඇසුරු කරගෙන ඇති රූපය කියන්නෙ, සවිඤ්ඤාණක වෙච්ච මේ කයත්, බාහිර නිමිතිත් බව දැනගන්න. වේදනාව කියන්නෙ, ආයතන හය අනුව සැකසෙන වින්දන බවත් දැනගන්න. සඤ්ඤා කියන්නෙ ආයතන හය අනුව ලැබෙන රූප ශබ්දාදී නිමිති හඳුනා ගැනීම බවත් දැනගන්න. සංස්කාර කියන්නෙ සළායතනික ව ලබන නිමිති පිළිබඳව ඇති වන රූපසඤ්චේතනා සද්දසඤ්චේතනාදී චේතනා බව දැනගන්න. විඤ්ඤාණ කියල කියන්නෙ චක්ඛුවිඤ්ඤාණ සෝතවිඤ්ඤාණාදී වශයෙන් සමුදය වන විඤ්ඤාණය බව දැනගන්න. අපට අත්දැකීම් ලැබෙනව කියන්නෙ මේ ස්කන්ධ මේ මොහොතේ සමුදය වෙනව කියන එකයි. සමුදය වන ධර්ම නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත බව දැනගන්න ඕන. ඒත් සමුදයෙන් සමුදය තණ්හා ලාටුවෙන් අලෝගන්න නිසා නිරෝධය පෙනෙන්නෙ නෑ.

මේ සමුදය නිරුද්ධ ක්‍රියා ප්‍රවාහයක් බව නො දැන රූපය උපාදාන කරගෙන ‘මම වෙමි’ කියල මැවෙන බව දන්නෙ නැත්නම්, විඳීම් උපාදාන කරගෙන ‘වෙමි’ යන්න මැවෙන බව දන්නෙ නැත්නම්, හැඳිනීම් උපාදාන කරගෙන ‘වෙමි’ යන්න මැවෙන බව දන්නෙ නැත්නම්, චේතනා උපාදාන කරගෙන ‘වෙමි’ යන්න මැවෙන බව දන්නෙ නැත්නම්, දැනීම් උපාදාන කරගෙන ‘වෙමි’ යන්න මැවෙන බව දන්නෙ නැත්නම් පුද්ගලයට හිතෙන්නෙ දිගින් දිගට පවතින මම කෙනෙක් ඉන්නව කියලයි. ඒ හිතාගැනීම නිසා මේ මම සදාකාලිකව පවතින කෙනෙක් කියල රැවටෙන්න පුළුවන්. ‘මාගේ ආත්මය ඇත’ කියන දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. එතනදි වැටෙන්නෙ ශාශ්වත දෘෂ්ටියට. එහෙම නැත්නම් කලක් මම පැවතිල විනාශ වෙනව කියල රැවටෙන්න පුළුවන්. ‘මාගේ ආත්මය නැත’ කියන දෘෂ්ටිය ඇති වෙන්න පුළුවන්. එතන දි වැටෙන්නෙ උච්ඡේද දෘෂ්ටියට. සියලු ම වැරදි දෘෂ්ටි ඇති වෙන්නෙ මේ දෘෂ්ටි පදනම් කරගෙන බව දැනගන්න. එහෙම දෘෂ්ටිවලට වැටෙන කෙනා ජාති ජරාමරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාසයන් ගෙන් මිදෙන්නෙ නෑ. දුකින් මිදෙන්නෙ නෑ.

සද්ධර්මය අහල තියෙන ආර්යශ්‍රාවකයා මෙනෙහි කළයුතු දේ දන්නව. මෙනෙහි නො කළ යුතු දේත් දන්නව. එහෙම දැනගෙන මෙනෙහි කළයුත්ත මෙනෙහි කරනව. මෙනෙහි නො කළ යුත්ත මෙනෙහි කරන්නෙ නෑ. කාමාසව භවාසව අවිජ්ජාසව ඇති වන දේ මෙනෙහි කරන්නෙ නෑ. කාමාසව භවාසව අවිජ්ජාසව ඇති නො වන දේ මෙනෙහි කරනව. දුක මේ ය යි නුවණින් මෙනෙහි කරනව. දුකේ සමුදය මේ ය යි නුවණින් මෙනෙහි කරනව. දුකේ නිරෝධය මේ ය යි නුවණින් මෙනෙහි කරනව. දුක නිරුද්ධ වන ප්‍රතිපදාව මේ යයි නුවණින් මෙනෙහි කරනව. සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බතපරාමාස කියන සංයෝජන ප්‍රහාණය වෙන්න අවශ්‍ය දර්ශන සම්පත්තිය තමයි මේ. මේ සංයෝජන තුන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආස්‍රව ලෙස සබ්බාසව සූත්‍රයේ දක්වල තියෙනව.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *