ආචාර්ය මහේෂ් ක්‍රිශාන්ත
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද බෝධිසම්භාර ඇතිව සව්නේ ගෙවා දත් ඒ ඒ ආත්මභවයන් පිළිබඳ දේශනා කොට වදාළ කතා වස්තූන් ආශ්‍රයෙන් ප්‍රතිනිර්මිත පන්සියපනස් ජාතක පොතෙහි ‘වණ්ණුපථ’ නම් දෙවන ජාතක කතාව වෙත අවධානය යොමු කරමු.
පන්සියපනස් ජාතක කතා පොතේ අන්තර්ගත බොහෝ ජාතක කතාවලට තබා ඇති නාමාර්ථය ඒ කතාවල සමුදයාර්ථය හා අත්‍යන්තයෙන්ම බැඳෙයි. වණ්ණුපථ ජාතකයට අනුව ‘වණ්ණු’ යනු වැලිය. ‘පථ’ යනු මාර්ගයයි. එසේ නම් ‘වණ්ණුපථ’ ජාතකය යනු ‘වැලි මාර්ගයක සිදුවූ කතාව’ යන්නයි. මෙම ජාතක කතාව සමාරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි බුදුසසුනෙහි මහණව වීර්යය හරින ලද භික්ෂුන්වහන්සේ නමක් මූලික කරගෙනය.
තවද එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසන සේක් භාවනා කිරීමෙහි හරණ ලද වීර්යය ඇති භික්ෂු කෙනකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.
මේ ජාතක කතාව පඨනය කරන සඳ “උත්සාහවන්තයා ජය ගනී” යන ආප්තෝපදේශය නිරායාසයෙන්ම ස්මරණයට නැඟෙනු ඇත. “වණ්ණුපථ” ජාතකයේ වර්තමාන කතාව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වසන කල්හි එම නුවර වාසය කළ එක් කුලපුත්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා පැහැදී මහණව උපසම්පදාව ලැබ පස්වසක් ගෙවෙන්නට පෙර උභයමාතෘකාව වන පොත් කරයි. ජාතක කතාකරුවා ඒ අවස්ථාව වර්ණ සෞන්දර්ය චිත්‍රයකට නංවා ඇත්තේ මෙසේ ය.
“සර්වඥයන් සමීපයෙහිදී තමන් වහන්සේට අභිප්‍රාය වූ කර්මස්ථානයක් ගෙන උදකලාව වාසය කැමැතිව වළට වැද, වනයෙහි සැදැහැ ඇති උපාසකවරුන් විසින් කරවා පිළිගන්වන ලද පන්සලක වස් වැස, වස් තුන්මස මුළුල්ලෙහි මාර්ගඵල උපදවන්ට උත්සාහ කරන සේක්. විදර්ශනා ලෝකයක් වේවයි ප්‍රතිභාග නිමිත්තක් වේවයි උපදවාගත නොතී…
ඕනෑම කෙනකුගේ ජීවිතයක සාර්ථකත්වය, උත්සාහය හා වීර්යය මත රඳා පවතින බව මෙම ජාතක කතාව ශ්‍රාවක ජනයාට උගන්වයි. මෙහි එන භාවනා කිරීමෙහි වීර්යය අත්හරින ලද භික්ෂුවගේ සිතට නැඟෙනුයේ නිෂ්ඵල සිතුවිලිය. මට මේ ආත්මභාවයෙහි මාර්ගයක්වත් ඵලයෙක්වත් නැතැයි සිතමි. එසේ හෙයින් මේ වනාහි වැස කුමක් කෙරෙම්ද? සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් රූපාත්‍රප්‍රාප්ත වූ බුදුන්ගේ ශරීරය බල බලා මිහිරි වූ බණ අසමින් විසුයෙම් වීම් නම් යහපත් වන්නේයැයි සිතා නැවත ජේතවනාරාමයට වැඩිසේක.
මල් පිපි දසත සුවඳවත් කළ පරසතු රුකක් මෙන් තමන් ජනිත වූ ලෝකයම සැනසූ තථාගතයාණන් වහන්සේගේ ඇසුරෙහි හිඳ ස්වර්ග මෝක්ෂ සම්පත්ති ලබන්නට තිබූ අවස්ථාව අතැර උකටලි වූ භික්ෂුව නැවත ජේතවනාරාමයට වැඩම කරනුයේ බුදුන්ගේ ශරීරය බල බලා මිහිරි වූ බණ අසමින් සිටීමටය. එය බුදුදහමේ හරය පසෙකලා මතුපිට වින්දනය කිරීමකි. අදත් බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේගේ අත්‍යලංකාර පිළිම වන්දනය කරති. ඔවුහු දේශිත ධර්ම මාර්ගයෙහි නොයති. මේ භික්ෂුව ද එසේය. උන්වහන්සේ බුදුන්ගේ රූපකායට වසඟව සිටිති. ධර්මකාය නොහඳුනති. එකල බුදුහිමියෝ මෙසේ දේශනා කළ සේක.
“යො ඉමස්මිං ධම්ම විනයෙ
අප්පමත්තො විහෙස්සති
පතාය ජාති සංසාරං
දුක්ඛස්සන්තං කරිස්සතී”
ධර්මය නමැති විනයෙහි අප්‍රමාදව හැසිරෙන ඕනෑම පුද්ගලයකුට සසර කතරෙහි එන දුක් කරදර නසා නිරායාසයෙන්ම නිවන් මඟට ප්‍රවිෂ්ට වීමට පුළුවන. බුදුරජාණන් වහන්සේ සකල ලෝකවාසී සත්ත්වයාට දේශනා කළ ධර්ම මාර්ගයෙහි මියුරු ඵලය එයයි. ඒ පිළිබඳ යථාවබෝධය නොලද වණ්ණුපථ ජාතකයෙහි එන උකටලී වූ භික්ෂුව වීර්යය හැර ආවේය. මේ පිළිබඳව අවබෝධයක් ඇති ජේතවනාරාමයෙහි වැඩවිසූ සන්දෘෂ්ටසම්භක්ත භික්ෂුහු උන්වහන්සේට කරුණු අවබෝධ කරනුවස් ප්‍රශ්න කරති.
“ඇවැත්නි තෙපි ලොව්තුරා බුදුන්ගෙන් කමටහන් ගෙන මහණදම් කෙරෙමියි ගිවිස දැන්වූ කලී වලින් අවුත් ගණසංඝ නිකායෙහි ඇලී වාසය කරමි. කිමෙක් ද තොපගේ ප්‍රවෘජා්‍යාකෘත්‍යය මුදුන් පැමිණියේ ද? පුනරුත්පත්තියක් නැතිව අර්හත් ඵල ඥානය ප්‍රතිවේධ කළාදැ’යි කීහ. “ඇවැත්නි, මම මාර්ගයක්වත් නොලැබූම අභව්‍ය පුද්ගලයෙක් විය යුතු යැයි සිතා වීර්යය හැර ආමි යි කී කල සන්දෘෂ්ටසම්භක්ත භික්ෂුහු මෙසේ කීහ.
“ඇවැත්නි, දෘඪ වීර්යය ඇති සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි මහණව භාවනා කොට මාර්ගඵල ඉපදවීමෙහි වීර්යය ඇතිව තොප විසින් අකාරියෙක්ම කරන ලද අප හා කැටිව එම සර්වඥයන් වහන්සේ සමීපයට යම්හයි කියා ඒ භික්ෂුව කැඳවාගෙන බුදුන් සමීපයට ගිය සේක. සර්වඥයන් වහන්සේ භික්ෂූන් දැක “මහණෙනි, තෙපි මේ භික්ෂුව නොකැමැති පරිද්දෙන් කැඳවාගෙන කුමක් පිණිස අවුද මොහු විසින් කවර අපරාධයක් කරන ලද දැයි විචාරා වදාළ සේක. එකල්හි භික්ෂුන් වහන්සේ දන්වන සේක් “ස්වාමීනි මේ මහණ මෙබඳු නෛයාර්ණික ශාසනයෙහි මහණදම් කරන්නේ වීර්ය ඇර ආයේ යැයි දැක්වූ සේක.”
දියුණු යැයි සැලකෙන වර්තමාන සමාජයේ නායකයන් ලෙස නාමාර්ථ ලබන බොහෝ පාලකයෝ යම් පාලිතයකුගේ ප්‍රමාද දෝෂයක් දුටු කල කරනුයේ ඔහුට තදින් බැණ වැදීමය. ඔහුට පහර දීමය. බුදුන් වහන්සේගේ ක්‍රමය වූයේ එය නොවේ. උන්වහන්සේ ශාරීරික රෝගවලට මෙන්ම මානසික රෝගවලට ද ප්‍රතිකාර කළහ. පිරිසක් මැද ලැජ්ජාවට, සමච්චලයට පත්වීමට මෙලොව වසන කිසිවකු කැමැති නැත. තමාගේ දක්‍ෂතා පිළිබඳ ඇගැයීම තරම් මිනිසකු සතුටට පත් කළ හැකි වෙනත් ක්‍රමයක් නැති බව බුදුහු දැන සිටියහ. ඒ නිසා උන්වහන්සේ මහණ තා වීර්යය හළුයෙහිය”යි ප්‍රශ්න කළ සේක. “සැබෑව ස්වාමීනි”යි දැන්වූ කල්හි “කිමෙක්ද මහණ තෝ මෙබඳු ශාසනයෙහි මහණව අල්පේච්ඡ සේක. සන්තුෂ්ට සේක. කුලෙහි ගෙණෙහි නොඇලෙන සේක.
මඩන ලද වීර්යය ඇති සේකැයි මෙසේ තමා ප්‍රසිද්ධ නොකොට මේ මහණ හරණ ලද වීර්යය ඇත්තේ යැයි කුමක් පිණිස ප්‍රකාශ කරවුයෙහිද? මහණ තෝ පෙර වීර්යයවත් වූයේ නොවේද? තා එකතැනැත්ත වූ කල වීර්යය නිසා මරුකතර පන්සියයක් ගැල්වල ඒ මිනිසුන් හා ගොන් පැන් ලැබ ස්වාස්ථ්‍යයට පැමිණියේ නොවේද? දැන් තෝ කවර කාරණයකින් වීර්යය ඇරපුයෙහි වේදැ”යි වදාළ සේක.”
මේ මහත් විද්‍යාත්මක ගැටලු විසඳීමේ උපක්‍රමයකි. මේ ආත්මයෙහි වීර්යය හළ භික්ෂුව පෙර ආත්මයකදී උට්ඨාන වීර්යයෙන් හා දැඩි ආත්ම ශක්තියෙන් කටයුතු කළ අවස්ථාවක් සිහියට නංවයි. එනිසා බුදුරජාණන් වහන්සේ ක්‍රියාකරන්නේ යහපත් ගුරුවරයකු ලෙසිනි. ඉගෙනීම විෂයයෙහි ශිෂ්‍යයා පෙලඹවීම ගුරුවරයාගේ යුතුකමකි. වගකීමකි. නූතන අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ පවා මේ ක්‍රමය අනුමත කරති. වීර්යය හළ භික්ෂුවට බුදුන්වහන්සේ ප්‍රකාශ කරනුයේ “මහණ තෝ පෙර වීර්යයවත් වූයේ නොවේද? යන්නයි. ඒ අසන වීර්යය හළ භික්ෂුවගේ සිතෙහි පහව ගිය චිත්තධෛර්ය නැවත ඇති වෙයි. ඊට හේතුව තමන් වහන්සේ පිළිබඳ මෙවැනි ඇගැයීමක් කරනුයේ තුන්ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේම වීමය. වත්මන් සමාජයෙහි වුවද මිනිස්සු ආදරය, පිළිගැනීම හා දක්‍ෂතා ඇගැයීම යන අංශවලට ඉමහත් ආශාවක් දක්වති. මෙය පෘථග්ජන මනුෂ්‍ය වර්ගයාටම පොදු ධර්මතාවකි. ඒ බැව් සන්දෘෂ්ටසම්භක්ත භික්ෂුන් වහන්සේලා හරණ ලද වීර්යය ඇති භික්ෂුවගේ පෙර භවයෙන් වැඩී ගිය ධෛර්යවන්ත ජීවිත කතාව දේශනා කරන්නැයි බුදුරජාණන් වහ්නසේට ආරාධනා කිරීමෙන් පෙනෙයි.
“ස්වාමීනි, දැන් මේ භික්ෂුන් විසින් වීර්යය හළ බව අප සැමට ප්‍රකාශය. අතීතයෙහි මොහු තනි තැනැත්තවුන්ගේ වීර්යය නිසා මරුකතර ගොන් හා මිසුන් පැන් ලැබ ස්වාස්ථ්‍යයට පැමිණි බව භවයෙන් පටිච්ඡන්න හෙයින් අපට අප්‍රකාශය. නුඹවහන්සේගේ සර්වඥතා ඥානයටම ප්‍රකාශය. අපටත් ඒ කාරණය ප්‍රකාශකොට වදාළ මැනවැ යි ආරාධනා කළ සේක. ඕනෑම කෙනකුගේ ජීවිතයක සාර්ථකත්වය දෘඪ වීර්යය මත රඳා පවතින බව මෙම ජාතක කතාව ශ්‍රාවක ජනයාට උගන්වයි. එනිසා මෙහි වර්තමාන කතාව වුවද සමාජයට හොඳ පූර්වාදර්ශයකි. වණ්ණුපථ ජාතකය විචාර බුද්ධියෙන් යුතුව කියවන කල බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ දෙලොව යහපතට තුඩුදෙන කරුණු බොහොමයක් පසක් වනු ඇත.
“චත්තාරො මෙගහපති ධම්මා දිට්ඨධම්ම හිතාය
සන්වත්තන්ති, කතමෙ චත්තාරො? උට්ඨාන සම්ප්‍රදා,
ආරක්ඛ සම්ප්‍රදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතාති
චත්තාරො මෙ ගහපති ධම්මා සම්පරාය සුඛාය සුඛය
සංවත්තන්ති සද්ධා සම්ප්‍රදා, සීල සම්ප්‍රදා, වාත සම්ප්‍රදා, පඤ්ඤා සම්ප්‍රදා තී”
බුදුරජාණන් වහ්නසේ දෙලොව ප්‍රගතිය පිණිස වදාළ පළමුවැනි සැපය උට්ඨාන සම්ප්‍රදා නම් වේ. මිනිසා ළඟ වීර්යය තිබේ නම් ඔහු ජයග්‍රහණය කරනු ඇත.
වීර්යය යනු සම්පදාවකි. වීර්යය යනු සැපයකි. සියලුම සැප සම්පත් ජීවිතයට ළඟා කරවන ප්‍රබලම මන්ත්‍රණය වීර්යයි. බුදුරජාණන් වහන්සේ තරම් වීර්යවන්ත මනුෂ්‍යයකු මෙලොව ඉපදී නැත. උන්වහන්සේ බුදු පදවි ලබාගනු වස් දිනක්, දින දෙකක් පමණක් නොව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා වීර්යය වැඩූහ. එනිසා උන්වහන්සේගේ පයිරුපාසන ලද භික්ෂුවකගේ නැතිව ගියාවූ චිත්ත ධෛර්යය ඇති කිරීම වණ්ණුපථ ජාතකයට අනුව පුදුමයක්ද?
බුදුරජාණන් වහන්සේ වීර්යවන්ත පුද්ගලයන් අගය කළ සේක. “අප්පමාදෙන සම්පාදෙථ” අප්‍රමාදීව ක්‍රියා කිරීම ප්‍රතිඵල සහිතය. “අප්පමාදෙන මඝවාදේවානං සෙට්ඨතං ගතො” දෙවියන්ගේ ශ්‍රේෂ්ඨයා වූ ශක්‍ර දෙවියෝ වීර්යය හේතුකොටගෙන ජය ලැබූහ. අප්පමාදං පසංසන්ති පමාදො ගරතිතො සදා ‘අප්‍රමාදය සැමදා ප්‍රශංසාවට ලක් වේ. ප්‍රමාදය නින්දා කටයුතුය. එමෙන්ම වීර්යය සේම කම්මැළි නොවීම “උට්ඨායිකා අනලයා බුදුරජාණන් වහන්සේ අගය කරති. වණ්ණුපථ ජාතකයේ එන භික්ෂුව වීර්යය හරිනුයේ කම්මැළිකම හේතුකොටගෙනය. පෙර භවයේ වීර්යයෙන් උපයාගත් දෙය ආරක්ඛ සම්පදා ආරක්ෂා කර ගැනීමට වීර්යය හළ භික්ෂුන්වහන්සේට වුවමනාවක් තිබී නැත. ඒ නිසා මෙලොව වාසය කරන ඕනෑම පුද්ගලයකුට දියුණු වීමට කල්‍යාණ මිත්‍ර සේවනය අවැසිමය. බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්තතා යනුවෙන් කලණ මිත්‍ර සේවනය අගේ කළ සේක. එවැනි කලණ මිත්‍රයන්ගේ ඇසුර නිසා වීර්යය හළ භික්ෂුව හරි මඟට ප්‍රවිෂ්ට වූ සේක. ඒ සන්දෘෂ්ටසම්භක්ත භික්ෂුහු උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙතට කැඳවාගෙන ගියහ. එයට හරින ලද වීර්යය ඇති භික්ෂුවට නිර්වාණ ක්‍ෂේමභූමියට ප්‍රවේශ වීමට නිවැරැදි මඟපෙන්වීමක් වූයේය. එනිසා වණ්ණුපථ ජාතකයෙහි එන මේ වර්තමාන කතාව සේම අතීත කතාව ද වැදගත් බැවින් ඒ වෙත අවධානය යොමු කරමු.
යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍යය කරන කල්හි මහා බෝසතාණෝ සාත්තුනායක කුලයක උපදිති. උන්වහන්සේ එකල සංචාරක වෙළෙඳාමෙහි නියැළී සිටියහ. දිනක් වෙළෙඳාමෙහි යන අතර නියාමක පුද්ගලයාගේ සුළු ප්‍රමාද දෝෂයක් නිසා ගැල්වට වළල්ලෙහිම කැරකි කලින් සිට ස්ථානයටම පැමිණියේය. එහිදී විශාල දුෂ්කරතා රැසකට මුහුණ දීමට නියාමක පුරුෂයාට සිදු වූයේය. බීමට පවා පැන් නොමැතිව ජනතාව ද සත්තු ද අසරණ වූහ. එහිදී නියාමක පුරුෂයාගේ ප්‍රඥා මහිමයත්, වීර්යය හළ භික්ෂුවගේ උත්සාහයත් නිසා සියල්ලෝම සුවපත් වූහ. එසේ නම් වණ්ණුපථ ජාතක කතාකරුවා මේ කතාවෙන් කියන්නට උත්සාහ කරනුයේ වීර්යය හා උත්සාහය අත්නොහැර නොබියව, නිර්භීතව ආත්ම විශ්වාසයකින් ක්‍රියාකරන පුද්ගලයා වෙත සෞභාග්‍යය උදාවන බවය.
වණ්ණුපථ ජාතක කතාකරුවා ශ්‍රාවක ජනයාට ගැඹුරු පණිවුඩයක් ඉදිරිපත් කිරීම සඳහා මවන පරිසරය විචාරකයාගේ නිරීක්‍ෂණයට හසුවිය යුතුම ය. ඒ වාලුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය, මිටින් ගත් වැලි මිට නොසිටිනේය. හිරු නැඟි වේලේ පටන් කිහිරඟුරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඬගෙන යන්ට නොපිළිවන. “මින් ජාතක කතාකරුවා නිරුදක කාන්තාරයෙහි කර්කශ බව ධ්වනිත කරන අතරම ශ්‍රාවක මනසෙහි කාන්තාරය පිළිබඳ ප්‍රබල සංකල්ප රූපයක් මැවීමට උත්සාහ ගෙන ඇති බවද පෙනේ.
කාන්තාර වැල්ලෙ සියුම් බව ජාතක කතාකරුවා ගෙන හැර දක්වන්නේ “මිටින් ගත් වැලි මිට නොසිටිනේය” යනුවෙනි. දහවල් කාලයෙහි වැල්ලෙහි ඇති ගිනියම් බව දක්වා ඇත්තේ “හිරු නැඟවේලේ පටන් කිහිරුඟුරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඬගෙන යන්ට නොපිළිවන” යනුවෙනි. මෙහි අන්තර්ගත කකියන්නේය යන වදන ගිනි අඟුරක් පෑගුණ කල කකල ඉවතට අද්දවන වේදනාව ඉඟිකරන්නකි. මේ වූකලි පිටු තුන හතරකින් කළ යුතු විස්තරයක් සංක්‍ෂිප්ත චිත්‍රයකට නැංවීමක් තරම්ම වූ සියුම් කාර්යයකි. වණ්ණුපථ ජාතකයේ ඉගැඹුරු අර්ථය ශ්‍රාවක ජනයාට අවබෝධ වන්නේ මේ කාන්තාර වර්ණාවෙන් පසුව ය. සැබෑවටම සංසාරය කාන්තාරයක් වැනිය. එවැනි භවකතරක ගමන් කිරීම අතිශය දුෂ්කර කටයුත්තකි. සසර කතර තරණය කරනු වස් සතර සතිපට්ඨානයෙන් (මෙලොව සිහිනුවණින්) යුක්තව ගමන් කළ යුතු ය. එසේ නොවූ කල කතරමඟ අතරමං විය හැකිය. වණ්ණුපථ ජාතකයේ ගැල් නියාමකයාගේ ප්‍රමාදදෝෂය නිසා සිදුවන්නේ එවැනිම තාවකාලික අමරමං වීමකි. මෙතෙක් අතරමං වුවද නැවත නැවත එහි සැරිසරා දුක් විඳිති. කාන්තාරයෙහි මිරිඟුව දකින මිනිස්සු ජලය යැයි රැවටී ඒ පසුපස හඹා ගොස් විනාශ වෙති. මේ සසර කතර තරණය කරන සමහරු පසිඳුරන් පිනවීමට ගොස් විපතක වැටෙති. එහෙත් වණ්ණුපථ ජාතකයේ ගැල්කරුවන් විපතට පත්වන්නේ මේ නිසා නම් නොවේ. ගැල් නියාමකගේ අතින් සිදුවූ සුළු ප්‍රමාද දෝෂයකිනි. දිග්සඟලා පුටුවක හිඳ අහසේ නැකත් තරු බලමින් යන ඔහුට දෛනිකව නිදි සුව අහිමි නිසා සිරුරේ විඩාවටම ඔහුට දෙනෙත් පියවෙයි. ඒ වූකලී සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. ඕනෑම මනුෂ්‍යයකුට නිදිසුව අවැසිය. දෛනිකව නිදිවැරීම දුෂ්කර කටයුත්තකි. එසේ නිදි වැරීම නිසා ශරීරයට ඇතිවන විඩාවට නින්දයෑම මනුෂ්‍යන්ට පොදු වූවකි. එසේ නම් මේ ජාතක කතාවේ එන බෝසත් සාන්තුනායකයාගේ චරිතය ජාතක කතාකරුවා ගොඩනංවා ඇත්තේ මනුෂ්‍යත්වයට පොදු ධර්මතාවලට අනුගතවය. සැබෑවටම නායකයකුට තම කණ්ඩායම පිළිබඳ වගකීමක් ඇත. කණ්ඩායමට මාර්ගෝපදේශකත්වය සැපයීම හා කණ්ඩායමේ ආරක්‍ෂාව තහවුරු කිරීම නායකයා සතු වගකීමකි. යුතුකමකි. නායකයාගේ පසුබැසීම වූ කලී කණ්ඩායමේ පසුබැසීමට මෙන්ම පරාජයට ද හේතුවේ. එනිසා මෙහිදී ජාතක කතාකරුවා පොදු මනුෂ්‍යත්වයෙහි පතුල ස්පර්ශ කරමින් පවසනුයේ නායකයකු අතින් වුවද වැරදි සිදුවිය හැකි බවය. එසේ වැරදි සිදුවීම් මනුෂ්‍යත්වයෙහි පොදු ධර්මතාව ද වන බවය. එවන් අවස්ථාවකදී අනුගාමිකයන්ගේ විවේචනවලට මුහුණ දීමට ද නායකයාට සිදුවේ. මේ මනුෂ්‍යත්වයෙහි ස්වභාවයයි.
“මනුෂ්‍යයෝ කියන්නාහු මේ අපගේ කඳවුරු බැඳ උන්තෙනය. අපගේ දර පැනුත් නිවා ගියේය. දැන් නටුවමෝ දැ”යි කියා ගැල්මුදා ගැල්වට වළල්ලෙහි සිටුවා මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට ශෝකගෙන උන්නාහුය.”
වාලුකා කාන්තාරයෙහි අතරමං වූ අවස්ථාවේ සියලු ගැල්කරුවෝ ඉච්ඡාභංගත්වයට පත් වූහ. ඔවුහු වීර්යය හැර දමා උකටලීව සිටියහ. මෙවැනි අනපේක්‍ෂිත විපතකදී නායකයකු කෙසේ ක්‍රියාකළ යුතුද? බෝධිසත්වයාණන් වහන්සේ දැඩි වගකීමෙන් ද අප්‍රතිහත ධෛර්යයෙන් ද යුතුව ක්‍රියාකළහ. තම පිරිසගේ ඇනුම් බැනුම් ඉවසා වදාරණ උන්වහන්සේ කළ යුත්තේ කුමක් දැයි කල්පනා කරමින් සක්මන් කරන සඳ තෙත පඳුරක් දැක “මේ තණ පඳුරට දිය උරමින් නැංගේ වනැ”යි සිතා උද්ලැල්ක ගෙන්වා ගෙන ඒ ඊතණ පඳුර තිබූ තෙත කණින්ට පටන්ගෙන සැටරියනක් පමණ තැන කැණපූය…”
උට්ඨාන වීර්යයෙන් හා දැඩි ආත්ම ශක්තියෙන් යුක්ත ප්‍රඥාවන්ත නායකයා වාලුකා කතර මැද සැටරියනක ළිඳක් කැණ වූ කල පතුලෙහි ගල් තලාවක් මතුවේ. ඒ දකින සියලු ගැල්කරුවෝ පසුබා සිටිති. එහෙත් වීර්යය අත්නොහරින මහා බෝසතාණෝ පුරුෂයකු ලවා ගල මතුයෙහි යකුළු පහර කිහිපයක් ගසා ගල බිඳ වතුර ලබාගෙන පිරිස සුවපත් කරති. එකී අවස්ථාව ජාතක කතාකරුවා නිරූපණය කරනුයේ “බෝධිසත්වයෝ වනාහි ‘වම් ගලතලින් යටපැන් විය යුතුයැයි සිතා ළිඳට බැස ගලතල මත්තේ සිට නැමී තමා දියයන අඬ පරීක්‍ෂා කරන්නෝ ගල තල යටින් දිය යන අඬ අසා ළිඳින් ගොඩනැඟී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කිවූහ. දරුව තොප අවීර්යව ගියොත් අපි සියල්ලෝම නසුම්හ. එසේ හෙයින් තොපි අවීර්යය නොවී පසුනොබැස වීර්යය වඩා මේ යකුළ ගෙන ළිඳට බැස මේ ගලතල මත්තේ කුළු ගණනක් ඵළාපියව යි කිවුය. ඒ අසා අතවැසි පුරුෂ මහා බෝසතාණන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්යය තබා පියා සිටිකල්හි තෙමේ වීර්යය නොහැර ළිඳට බැස ගලතල මත්තේ යකුළු ගණනක් ඵළාපුයේය. එකල්හි ගලතල මධ්‍යයෙන් බිඳී යට වැටී අවිච්චින්නව පවත්නා වූ ජලප්‍රවාහය ඇස්වාගෙන සිටියේය. නාමතල් කඳක් සා දිය කඳෙක් උඩ පැනනැංගේය. එකල්හි සියලු මනුෂ්‍යයෝ පැන් බී ජලස්නානය කොට ඉතිරිව තුබූ, පලා, කැඳ, බත් ආදිය පිස අනුභව කොට ගොනුන් පැන් පොවා තණ ආදිය කවාගෙන ඉරබට වේලේ ළිඳ සමීපයෙහි ධජයක් බැඳ මරුකතර ගෙවා තමන් විසින් කැමැති වන ලද්දාවූ ස්ථානයටම ගියාහුය.
මේ උද්ධෘතය නිරීක්‍ෂණය කිරීමේදී පැහැදිලිව පෙනෙනුයේ සෙසු ජාතක කතාවල මෙන් වණ්ණුපථ ජාතකයේ කතානායකයා බෝසත් චරිතය නොවන බවය. ගැල් නායකයා උන්වහන්සේ වුවද ළිඳට බැස ගල්තලය බිඳ පිරිසට වතුර ලබා දෙනුයේ වර්තමාන කතාවේ අවීර්යය වූ භික්ෂුවයි. එබැවින් මේ අතීත කතාව අසන එම භික්ෂුව වීර්යය වඩා අර්හත් ඵලයට පත් වෙයි. එසේ වූයේ උන්වහන්සේ සතු යටපත් වූ දෘඪ වීර්යය පණගසා යළිත් මතු වූ හෙයිනි. එනිසා යහපත් උපදේශනයෙන් පුද්ගල චරිත සංවර්ධනය කළ හැකි බවට වණ්ණුපථ ජාතකයෙහි එන මේ චරිතයෝ නිදසුන් සපයති.
වණ්ණුපථ ජාතකයෙහි එන වැලි කතර සංකේතාත්මක නිරූපණයකි. ඉන් සංසාරය සංකේතිතය. මහාබෝසතාණන් වහන්සේගේ උපදෙස් මත පිහිටා අවීර්යය ගිය තැනැත්තා වීර්යය වඩා ගල්තල මත යකුළු පහර කීපයක් එළා කාන්තාරයෙහි ගමන් කරනා මිනිසුන්ට වතුර සපයාදීම වූකලී භවකතරේ සැරිසරණ සත්ත්වයින්ට අමතෘ දියරය සපයාදීමකි. ඒ අනුව සලකා බලන සඳ වණ්ණුපථ ජාතකය සසරත් නිවනත් සංකේත කරන අපූරු කතාවකි. සත්ත්වයා දුක් විඳිමින් ගමන් කරන මේ භවකතර වූ කලී නිමාරතයක් නැති කාන්තාරයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන වූ කලී නිමක් නැති දුෂ්කර එකකි. සසර සයුර තරණයේ දී දුක සැප දෙකටම මුහුණ දීමට සිදුවේ. එහෙත් කටුකය, දුෂ්කරය කියා අතරමඟ නැවතීමට ද නොහැකිය. හෙට මලක්වනු පිණිස කටු පොකුරු වුවද සිපගත යුතුම ය. ඒ මල් සසර ගමන සුවඳවත් කරනු ඇත. එසේ නම් වණ්ණුපථ ජාතකයේ කාන්තාරය සංකාරය සංකේත කරන්නකි. කාන්තාරයේදී ජලය සපයාදීම වූ කලී අමෘතය පානය කිරීමට මඟපෙන්වීමකි. මහා බෝධිසත්වයාණන් වහන්සේ මරුකතරට සාන්තුනායකයා වූවා සේම සසර සයුරින් සත්ත්වයා එතෙර කරන මහා නැවියාණෝ ද වූහ. ඒ නිසාම මේ ධර්මදේශනාව කෙළවර පසුබට වීර්යය ඇති භික්ෂුවන්වහන්සේ අරහත් ඵලයෙහි පිහිටි සේක. ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ අතීත කතාවත් වර්තමාන කතාවත් දෙක එක්කොට අනුසන්ධි ගළපා මේ වණ්ණුපථ ජාතකය නිමවා වදාළ සේක. එනිසා වණ්ණුපථ ජාතකය නායකත්වයක තිබිය යුතු ප්‍රායෝගික ගුණාංග වන වීර්යය, නොපසුබස්නා උත්සාහය, ධෛර්යසම්පන්න බව, නිරීක්‍ෂණ ශක්තිය, කළු ගලක් වුවද බිඳීමට ශක්තිය ඇති වන සේ අන්තේවාසිකයා පෙලඹවීමේ හැකියාව, අවස්ථානුකූලව ගැටලුවලට මුහුණ දීම හා ජයග්‍රහණය ලබා ගැනීමේදී අලසවීම පරාජයේ සංකේතයක් බව හැඟවෙන ආදර්ශවලින් අනූන කතාවකි.