ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි
සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි
The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි
(දෙවැනි කොටස)
සිත නමැති බිංගේ පිරිසිදු කිරීම
අභාවිත සිතක් ඇති භාවනානුයෝගී නො වන කෙනකුට තමාගේ සිතේ තත්ත්වය හා ක්‍රියාකාරකම් පිළිබඳ සමීප දර්ශනයක් අහම්බෙන් හෝ දකින්නට ලැබුණොත් දකින දර්ශනයේ අප්‍රසන්න භාවය තමාට ම වැටහෙනු නියත ය. ප්‍රයෝජනය සලකා කරන කියන ලද දේවල් කිහිපය හැර තමා නිතර ප්‍රපංච සංඥාවල පැටලී විලම්බීත ව හිතමින්, කියමින්, කරමින්, අනාගෙන, පටලවාගෙන සිටින ආකාරය දකින විට නුරුස්නා ගතියක් ඇති වී, හුඹහක වටපිටාවක් දුටු සේ කළකිරෙනු ඇති. තමාගේ ගෙමැද්දේ, ලැගුම් පොළේ මෙවැනි අවුලක් ජංජාලයක් ඇති වීම කිසි ම අයකු නො ඉවසනු ඇත. එහෙත් සිතේ මෙම අවුල සාමාන්‍ය දෙයක් ලෙස පිළිගැනීමට අපි පුරුදු වී නො සිටිමු ද? මේ අවුල-වියවුල පිළිබඳව මඳක් විමසා බලමු.
පළමුව අපට විඥාන ශ්‍රෝතයේ තෙරපෙන නොයෙකුත් ඉන්ද්‍රියබද්ධ අරමුණු රාශිය පෙනෙනු ඇත. එයිනුදු වැඩි හරියක් මතු වන්නේ අපැහැදිලි ව ය. ඒවා බොහෝ විට වැරදි නිරීක්ෂණ හා නිගමන මත ගොඩනඟන ලද ප්‍රපංචයෝ ය. මෙම දුර්වල මානසික පදනම එදිනෙදා ජීවිතයේ විනිශ්චයවල සාධක බවට පත් වන්නේ ය. මෙම ඉන්ද්‍රියබද්ධ සෑම අරමුණකට ම අවධානය යොමු කරලීම නො කළ හැක්කක් සේ ම, එසේ විය යුතු නැති බව ද සැබෑවකි. අප යන මඟ ඇති ගලක් අපේ ඇසට ගැටෙන්නේ එය බාධාවක් වේ නම් හෝ එහි වෙන යම් සුවිශේෂත්වයක් ඇත්නම් පමණි. එහෙත් උපමාවක් ලෙස මෙවැනි අරමුණු පුරුද්දට නො සලකා හැරීම ඇබ්බැහියකට ගියොත් ගලක පය පැකිළී වැටීමට හෝ වටිනා කියන මැණිකක් නුමුත් නො දැක ගමන් කිරීමට ඉඩ තිබේ.
එමෙන්ම අපගේ ජීවිතවලට වැදගත් වන ප්‍රත්‍යක්ෂ, සංකල්ප, විඳීම් හා චේතනා ඇත. මේවා වැදගත් නමුත් තවම දැඩි අවුල් සහගත තත්ත්වයක ඇති බව ද දැකගත හැකි වනු ඇත. බොහෝ විට මේවා සැඬ පහරක් සේ සිත පෙළාගෙන ගමන් කරනු ඇත. සෑම සිතක ම පාහේ අසම්පූර්ණ සිතිවිලි, තද කරගත් හැඟීම් සහ සුන් වූ කඩ වූ බලාපොරොත්තු මෙන්ම ඒවායේ පණ අදින අවයව රාශියක් ද වේ. මේවා අසරණ ව අකාලයේ මිය යන්නේ ඒවායේ ම සහජ දුබලතාව නිසා ය. නැතිනම් අපගේ අවධානයට ලක් නො වීම නිසා ය. ඒ වෙනුවට අනෙකුත් බලවත් හැඟීම් මේවා තලා ඔබාගෙන නැඟී සිටින නිසා ය. අප අපගේ ම සිත දෙස පරීක්ෂාකාරී ව බැලුවොත් මොන තරම් චපල ද, සදාචාරාත්මක වග වීමකින් තොර ද, ආරවුල් සහගත ද, සිතිවිලි එකිනෙකට බලාත්කාරකම් කරන්නේ ද, අනෙකාගේ අදහස්වලට ගරු නො කරන්නේ ද, පක්ෂග්‍රාහී ද යන්න වැටහෙනු ඇත. එසේ ම බොහෝ සිතිවිලි පටන්ගත් තැනින් ඔබ්බට නො ගොස් ම, ක්‍රියාත්මක වීමෙන් තොර ව ම ලත් තැන ලොප් වන්නේ වක්කඩක හටගෙන බිඳී යන දිය බුබුළු සේ ය. මක්නිසා ද යත්, එම සිතිවිලි සහ චේතනාවලට ප්‍රායෝගික, සදාචාරාත්මක හෝ බුද්ධිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමේ ධෛර්යය නොමැති නිසා ය. අපගේ මේ මනෝ තත්ත්වයන් සමීප ව පරීක්ෂා කොට බැලුව හොත් පෙනී යන්නේ, අප ඒවා වැඩි කොටසක් අවිශ්වාස සහගත ව පිළිගන්නා අයුරු ය. ඒවා බොහොමයක් පුරුදු සහ ඇබ්බැහිවල අතුරු ඵල වේ. නැතිනම් අගතිගාමී හා පිළිකුල් සහගත පුරුදු මතින් හටගත් දේවල් ය. ඒවාට පදනමක් වශයෙන් ඇත්තේ එක්කෝ අපගේ මනාප අමනාපයි. නැත්නම් අසම්පූර්ණ, ආංශික නිරීක්ෂණයි. අලසකම් හා ආත්මාර්ථකාමිත්වය ද මෙයට සාධක විය හැකි ය.
බොහෝ කලක් නො සලකා හරින ලද මෙම මානසික හරස්කඩ දැකීම පවා කෙනකුට හිතකාරී තිගැස්මක් කම්පාවක් ඇති කරනු ඇත. එකක් නම් පැහැදිලි ය. එනම්, මනසේ පිට ලෙල්ලේ ඇති මේ වියවුල ලිහන්න නම් මෙම තත්ත්වයන් මීට වඩා ගැඹුරින් හැදෑරිය යුතු බවයි. එවැනි ගැඹුරු ප්‍රතිපදාවකින් මිස උඩු සිතේ ගොඩ පෙරකදෝරුකම්වලින් මේ සඳහා උපමාන කිසි විටකත් බලාපොරොත්තු විය නොහැකි බව ද වැටහෙනු ඇත. එවන් පර්යේෂණයක් දුව පැන ඇවිදින ගමන් කළ නොහැකි බවත්, ඒ සඳහා ම සැදී පැහැදී යෙදිය යුතු බවත් තමන්ට ම වැටහෙනු ඇත. එදිනෙදා ජීවිතයේ විටින් විට සිදු වන මානසික ක්‍රියාවල ප්‍රශස්ත ප්‍රතිඵල එක දෙකකින් විනිශ්චය කරගත නොහැකි බව ද එම පෙරළි මොනවා වුවත් තිරසාර වෙනසක් සඳහා වැදගත් වන්නේ ආත්මාවබෝධය හා ආත්ම සංයමය බව ද වැටහෙනු ඇත.
දෛනික ව සිදු වන අප්‍රමාණ කායික වාචසික අතපසු වීම් හෙවත් ප්‍රමාදයන් දිගු කාලයක් තුළ (අතීත භව ගණනාවක් තුළ) පැසීමෙන් සිතක් ව්‍යාකුල වෙයි. මෙම ප්‍රමාදයන් සිත ව්‍යාකුල කිරීමට මෙන්ම එම ව්‍යාකුලත්වය දිගට පවත්වාගන යෑමට ද ආසන්න කාරණය වේ. ප්‍රමාදය දූවිලි කුණු රාශියක් උපදවයි. කුස්සියක දවසක අවසන එකතු වන කසළ ප්‍රමාණය ටිකක් වුවත්, කලක් එකතු වූ පසු කොහොම හිටී ද?
සිතේ මෙවන් මෝහ පටල බැඳී පැසවා විවිධ විෂ වායු පිට කිරීම නොදැනුවත් ව ම නපුර ගෙන දෙන අතර, එය යළි යළිත් පහර දෙමින් අප බැගෑ බවට පත් කරවයි. ඉච්ඡා භංගත්වය, ගිලගෙන සිටින නොරිස්සුම් ගති, දෙගිඩියා සහ නො නිමි ආශා සිතේ වංචනික බව සමග එක් වී ප්‍රධාන කෙලෙස්වලට සරු උපස්තරයක් සලසා දෙයි. මේ අඳුරු සහගත තෙත පරිසරය ගුප්ත ස්වභාවයකින් මෝහය හෙවත් තුන්වන අකුසලයට සරු උපස්තරයක් ද වේ.
රාග, ද්වේශ, මෝහ යන ක්ලේශ ධර්ම සිතෙහි අඳුරු පාතාලයෙහි ලැගගෙන ආරක්ෂාව ලබන තුරු එම ක්ලේශ මැඬ පැවැත්වීමට ගන්නා උත්සාහය සාර්ථක නො වේ. ඉතා සංකීර්ණ සිතිවිලි හා ආවේග ගෙත්තම් කොට වියන ලද සිත නමැති රෙද්දෙහි අතරින් පතර උසස්, නිර්මල අදහස් නමැති රන් නූල් ගෙත්තම් තිබුණත්, ඒවායින් යට කී ක්ලේශ මැඬ පැවැත්වීමට ගන්නා උත්සාහය නිෂ්ඵල වන්නේ ය. මෙවන් අවිධිමත් පටලැවිල්ලක දී ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? මෙය බරපතළ තත්ත්වයක් වුව ද මිනිසා ස්වභාවයෙන් ම එය අමතක කොට දමා සිත මතුපිට ඇති ප්‍රතිවිරුද්ධ බලවේග මත බලාපොරොත්තු තබාගෙන ඉදිරිය බලයි. කෙසේ නමුත් මෙයට ස්ථිර විසඳුම වන්නේ සතියෙන් යුක්ත ව සමස්තයට මුහුණ දීමයි. හුදු සති මාත්‍රය මෙම අප්‍රකට අඳුරු අදහස්වලට යොමු කරමින් අවස්ථානුකූල ව ඒවා පරීක්ෂාවට ලක් කිරීම තරම් අපහසු දෙයක් තවත් නොමැත. ඊට වඩා කළ යුත්තක් ද නැත. චිත්ත නියාමයට අනුව සිතිවිලි දෙකක් එක විට සිතේ ඇති විය නොහැකි ය. සතිය එළඹ සිටී නම්, අඳුරු සිතිවිල්ලකට ඒ හා සමගාමී ව පහළ වීමට ඉඩක් නැත. අඛණ්ඩ ව සතිය පවත්වන්නේ නම් විකල්ප සිතිවිලි කෑලි, ආසාවල්, ආකල්ප, ආවේග යන මේවා ඉබේම ලීන-නිලීන වී යනු ඇත. කෙනකුට එවන් සංකර දේවල් අමතක කොට දමා, ඒ වෙනුවට තමාගේ කර්මස්ථානයට වැඩියෙන් සිත යෙදිය හැකි ය. එසේත් නැතිනම් අසම්පූර්ණ සිතිවිලිවලට හඬක් නඟන්නට ඉඩ දුන හොත් ඒවායේ හරයක් නැති බවත් ඒවායේ ඇති සහජ දුර්වලකමත් හෙළිදරව් වනු ඇත. ඒවායේ මේ නිෂ්ඵල බව දකින විට ඒවා පිටුදැකීම දුෂ්කර නො වනු ඇත. මෙලෙස මෙම හුදු සති මාත්‍රය ඍජු වූත් ප්‍රබල වූත් කාර්ය සාධනයක් කරන්නේ වී නමුත් එය දිගට පවත්වාගෙන යෑම හිතන තරම් පහසු නැත.
සංකීර්ණ යමක් නිරීක්ෂණය කරන විට අදාළ ආසන්න කාරණා සියල්ල හඳුනා ගැනීමත් ඒවා පට බේරාගැනීම හෙවත් ලිහා ගැනීමත් සිදුවිය යුතු ය. මෙම මූලධර්මය එදිනෙදා ජීවිතයේ දී මතු වන සංකීර්ණ ගැටලු කෙරෙහි යොමු කළ හොත් සිතේ නිතැතින් ම සංවරයක් හටගනී. හැසිරීම් රටාව විධිමත් වීම ස්වයංක්‍රීයව සිදු වේ. එවිට හරියට සන්සුන් ව බලා සිටිනා ඇසක් ඉදිරියේ ලජ්ජාවට පත් වුණාක් මෙන්, සිතිවිලි ධාරාවේ ගමන් මගෙහි ඇති අපිළිවෙළ බව හා නො දැමුණු ගතිය අඩු වේ. කලබලකාරී තත්ත්වයක් ඇති වූ විටක දී රූපවාහිනී කැමරාවක් එල්ල කළා වැනි ය. සිත දඩබ්බර ගති පානු වෙනුවට සන්සුන් ව ගලන ගංගාවක් සේ වනු ඇත. මේ ජීවිතයේ දී මෙන්ම පෙර සංසාරයේ දීත් කෙනකු තුළ වැඩුණු මෝහ පටල පුංචි නැත. මේ පටල හොඳ-නොහොඳ, නානා විධ බමුණු මත, ඇබ්බැහි, ගති ලකුණු, ආගමික දුර්මත ආදියෙන් ගහණ වන අතර, කිසි විටෙකත් ඒවායේ අදාළ බව පිළිබඳ ප්‍රශ්න කිරීමක් අපි නො දනිමු. මේ මෝහ පටල ඝන තට්ටු මෙළෙක් කොට භාවනාවට සුදුසු කළල් බිමක් පිළියෙළ කරන්නේ මේ සති මාත්‍රයයි. ඝන ව වෙළී ඇති මේ මෝහ පටල ජාලය ලිහා එක් එක් නූල් පටක් වශයෙන් ගෙන බැලීමට මේ සති මාත්‍රය හෙවත් හුදු අවධානය උපකාරී වේ. තවදුරටත් මෙවන් නතු භාවයන්ට හේතු වන කාමාශාවල න්‍යාය පත්‍ර දෙසට සිත යොමු වී පහත් චේතනා දෙස විමසිලිමත් ලෙස බැලීම සති මාත්‍රයෙන් සිදු වේ. කරපින්නාගෙන සිටින හණ මිටි දෙස අනුකම්පා විරහිත ව බැලීමටත් නරක පුරුදු දෙස මධ්‍යස්ථ ව බලා ඒවායින් මිදීමටත් හැකියාව ලැබේ. කෙටියෙන් කියනවා නම්, අවිවාදයෙන් මෙතෙක් පිළිගනු ලැබූ, සිතේ අඩියේ තිබෙන ඝන බහල තට්ටු මෙළෙක් කොට ඒවායේ ඇති හුළං ඉරි දිගේ පලා දමනු ඇත. අනතුරු ව කූඤ්ඤයක් තබා පලන්නාක් සේ, කටුවක් තබා මිටියකින් පහර දෙන්නාක් සේ, භාවනාවෙන් මේ තට්ටු දෙපළු කර දමනු ඇත. වරක් එසේ විසුරුවා හළ පසු නැවත නැවතත් කෙලෙස් තට්ටු බැඳීම පහසු නැත. සිතෙහි ආකෘතිය පිළිබඳ ව ඇති සැටියෙන් දැනගත් විට එහි මූලික වෙනසක් ඇත කිරීමට ඉඩ ප්‍රස්තා වැඩි ය. එලෙස සිත අරක්ගෙන සිටින පුරුදු රාශිය, අන්ධකාර අහුමුලු, සිතෙහි සාමාන්‍ය ප්‍රවාහය හෙවත් චිත්ත ප්‍රවෘත්තිය මෙන්ම භෞතික ලෝකයට සම්බන්ධ නිත්‍ය භාවය ගෙන දෙන උපමාන ද ප්‍රශ්නයට ලක් වීමෙන් විශ්වාසනීයත්වය බොඳ වී යයි. මෙලෙස මෙතෙක් අවිවාදයෙන් පිළිගත් දෑ නිත්‍ය වශයෙන් පිළිගැනීමට පෙලඹෙන ජනයා මෙවන් බොඳ වී යෑමක් ඉදිරියේ භාවනාවට හෝ සතිමත් බවට පැකිළෙත්. එවන් දෙයකින් ප්‍රයෝජනයක් අත් වේ දැ යි සැක කරත්. එහෙත් සති මාත්‍රය හෙවත් හුදු අවධානය, මෙවැනි දෙගිඩියාවකින් පෙළෙන්නන් සහ ප්‍රතිපදාවට බැස ගැනීමට පැකිළෙන්නන් උනන්දු කරවයි.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු ව ඇත්තේ, තම ලැගුම් පොළ හෙවත් බිංගේ පවිත්‍ර කිරීමේ හා විධිමත් කිරීමේ මෙම කාර්යය හෙවත් සත්ත්වයාගේ විශුද්ධිය (සත්තානං විසුද්ධියා) යන බුද්ධ වචනය ඉටු වීමට නම් මේ සති මාත්‍රය අත්‍යවශ්‍ය බව ය. මෙයින් අදහස් වන්නේ, කෙටියෙන් කියතොත්, සිත පිරිසිදු කිරීමයි. එය සිදු වන්නේ තමාගේ චිත්ත ප්‍රවෘත්තිය පිළිවෙළ කිරීම හෙවත් විධිමත් කිරීම සිදු වන ආකාරය අනුව ය යන්න අපි දුටුවෙමු. සතිපට්ඨාන අටුවාවෙහි එය මෙසේ දැක්වේ. “චිත්ත ක්ලේශයෝ සිත අපවිත්‍ර කරත්. චිත්ත පාරිශුද්ධිය සත්ත්වයා පිරිසිදු කරයි. සිතේ මේ පිරිසිදු බව ඇති කර ලන්නේ සතිපට්ඨානයයි.”