කපිල පීරිස්
මිනිසා /සත්වයා යනු පංචනියාම ධර්ම තුළ ක්‍රියාත්මක සංසාරයේ නාම රූප පුංජයන්නය. පංචස්කන්ධ ක්‍රියාවලිය යනු ද මෙයයි. නාම රූප කොටස් දෙක එකිනෙක සහසම්බන්ධ වන්නේ ඉන්ද්‍රියවලදීය. ඉන්ද්‍රියයන් යනු විශේෂිත රූප වර්ගයකි. ඒවා සාමාන්‍ය බාහිර රූප ලෙස ගැනෙන ඉන්ද්‍රියවල සංවේදන ඇති කරන රූපවලට වඩා වෙනස්ය. මේ ඉන්ද්‍රිය රූප/ ප්‍රසාද රූපවල බාහිර රූප ඇසුරු කරගත් රූප, ශබ්ද ගන්ධ, රස ස්පර්ශ ධම්ම යන ඒවා ගැටුණ විට ප්‍රසාද රූප (ඉන්ද්‍රිය) ඇදුරු කරගත් නාම ධර්මයන් (මූලිකවම ඵස්ස, වේදනා, චේතනා සඤ්ඤා , මනසිකාර) මගින් ඒවා සොම්නස, දොම්නස සමග බැදුණු දිට්ඨි සංඛාරවලට සාපේක්‍ෂව ගෝචර කරගනී. (අධිවචන සම්ඵස්සය) මේ ගෝචර කර ගැනීමත් සමඟ අදාළ බාහිර රූපය අදාළ ඉන්ද්‍රියේ ගැටුණා වේ. (පටිඝසම්ඵස්සය) විඤ්ඤාණය, සිත (චිත්තය), මනස ආදී වශයෙන් විවිධ සන්දර්භ තුළ දැක්වෙන්නේ මේ නාමධර්මයන්ගේ ක්‍රියාකාරිත්වයයි.
ප්‍රසාද රූප මගින් දැක්වෙන පවුර මගින් මිනිස් ක්‍රියාකාරිත්වය අභ්‍යන්තර, බාහිර ලෙස වෙන්කළ හැක. ප්‍රසාද රූප රැගත් මාංශ සිරුර පමණක් නොව එය ඇසුරු කරගත් ගේදොර, ඉඩකඩම්, යාන වාහන අදාළ මිනිසුන් /සතුන් සියල්ල බාහිර රූප වේ. ප්‍රසාද රූප ඇසුරු කරගත් නාමධර්ම කොටස අභ්‍යන්තරය වේ. නාමධර්ම ඇසුරු කරගත් සක්කාය දිට්ඨිය පෙරටු කරගත් විවිධ දිට්ඨි එනම් සක්කාය දිට්ඨිය පිනවීමට සකසාගත් (මේ සැකසීම් සිදුවන්නේ ලෝභ, දෝෂ, මෝහ මුල් කරගත් විවිධ කෙලෙස් මගින්ය) මගින් මේ බාහිරය විවිධාකාරයට වර්ගීකරණය කරගනී. මෙහිදී සමස්ත බාහිරයම එක ලෙස සැලකෙන්නේ නැත. සමාජ, සංස්කෘතික, ජෛවීය සන්දර්භ තුළ පමණක් අරුත්ගන්වාගත යුතු සමාජයේ විවිධ පුද්ගලයන්ව හා විවිධ වස්තූන් (එනම් ප්‍රසාද ඉන්ද්‍රිය වලින් හා නාම ධර්මවලින් බාහිරව පවතින) සක්කාය දිට්ඨිය (මම) විසින් විවිධ වටිනාකම් ලබාදී, ඒවා “මම” ගේ සතුට සොම්නස වෙනුවෙන් තිබෙන ඒවා ලෙස සලකා සමස්ත බාහිරයෙන් වෙන්කර ගනී. දැන් ඒවා මගේ වන අතර ඒවා මට ඕනෑ ආකාරයට තිබිය යුතුය (මගේ ආත්මය) මගේ චිත්තාභ්‍යන්තර දිට්ඨී/සංස්කාර සැකසී ඇත්තේ එපරිදිය. මේ අනුව පංච නියාම තුළ ක්‍රියාත්මක සමස්තයෙන් කොටසක් “මම” මගේ සොම්නස සතුට වෙනුවෙන් යම් යම් මා කැමති ආකාරයට (මගේ දිට්ඨිවලට අනුව) පැවතිය යුතු ලෙස සලකා වෙන් කර ගෙන ඇත. (පුහුදුන් ක්‍රියාවලිය) මේ අනුව දැන් මගේ අභ්‍යන්තරය ඇත්තටම ධර්මයේ දැක්වෙන අජ්ඣත්තය, මේ සියලු වපසරිය පුරා පැතිර යයි. බොහෝ විට තම සිරුරෙන් ඇරඹෙන මෙය තම දෙමාපියන් දරුවන් මිතුරන් තවත් විවිධාකාරයට සබැඳෙන පුද්ගලයින්, විවිධ වස්තු විවිධ තත්ව ආදිය පුරා පැතිරී යයි. දැන් තමා සිතන්නේ මේ වපසරියට අයත් දෑ සමස්තයෙන් වෙන්වූ සුවිශේෂී කොටස් ලෙසය. එයා දැන් තම සතුට /සොම්නස මේවා වෙත පවරා ඇත. තමා සකසාගත් දිට්ඨි/ සංකාර වලට අනුව මේවා පවතින විට සොම්නසද ඊට වෙනස් වන විට දොම්නසද උපදී. තවද මේ චිත්තාභ්‍යන්තර දිට්ඨි /සංස්කාර ද අනිත්‍ය (ඇති නැතිවන නිසා). මේ සකසා ගත් අජ්ඣත්වය – බාහිර වශයෙන් (බාහිර රූප ලෙස) ඇති නැති වන විට පමණක් නොව ඒවා ඇසුරින් සකසා ගත් චිත්තාභ්‍යන්තර දිට්ඨි සංකාර ඇති නැති වන විටද මේ නොපෑහීම තුළ හට ගන්නේ දෝමනස්සයයි එයයි දුක!
එසේ නම් මේ දුක යන්න හට ගන්නේ අපේ චිත්තාභ්‍යන්තරයේ සක්කාය දිට්ඨියේ පිනවීම උදෙසා සමස්තයෙන් කොටසක් වෙන්කර ගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය විවිධ දිට්ඨි / සංකාරවලට අනුව සිදුවීම බලාපොරොත්තු වීම නිසාය. මෙලෙස සමස්තයෙන් කොටසක් වෙන්කරගෙන එය (මගේ සක්කාය දිට්ඨියේ) සතුට සොම්නස වෙනුවෙන් තබාගත නොහැක. ඒ වෙන්කරගත් කොටසේ මගේ යැයි ගත හැකි මගේ ආධිපත්‍ය පැතිරවිය හැකි කිසිවක් නැත. ඒවාද ක්‍රියාත්මක වන්නේ පොදු පංචනියාම ධර්ම අනුවමය. එලෙසම අනිත්‍ය (ඇත්තටම විපරිනාමය) ඒවාටද එක ලෙස පොදුය. මෙසේ මගේ සතුට /සොම්නස වෙනුවෙන් අජ්ඣත්තය ලෙස වෙන්කර ගත් කොටස අරුත් ගන්වන චිත්තාභ්‍යන්තර දිට්ඨි සංස්කාර යන්හි ඇත්තේ අනිත්‍යයයි. (අනිච්ඡාවත සංඛාරා) මේ චිත්තාභ්‍යන්තර සංස්කාරවල අනිත්‍යය අපට දුක දෙන්නේ. දුක ඇත්තේ බාහිර විපරිණාමයේ නොවේ.
මේ අනුව අපට දුක ගෙන දෙන්නේ මේ අජ්ඣත්ත බහිද්ධ භේදයයි. එනම් තම සතුට සොම්නස වෙනුවෙන් සමස්තයෙන් කොටසක් වෙන්කර ගැනීමය. මෙහිදී තම සතුට/සොම්නස වෙනුවෙන්ය යන කාරණය ඉතා වැදගත්ය. මන්ද මෙම වෙන් කර ගැනීමේ ගැටලුව ඇත්තේ එය සතුට සොම්නස පිණිස කර ගන්නා දෙයක් වීම නිසාම පමණය. සමාජ සංස්කෘතික/ ජෛවීය ආදී සන්දර්භ තුළ මේ වෙන් කරගැනීම අත්‍යවශ්‍යය. මට මගේ බිරිඳට දාව උපන් දරුවා සහ වෙනත් දරුවෙකු අතර පැහැදිලි වෙනසක් ඇත. මේ දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මාගේ වගකීම් යුතුකම් ඉතා වෙනස්ය. මා බිහිකළ මවට සහ වෙනත් ගැහැණියකට මාගේ යුතුකම් වගකීම් ඉතා වෙනස්ය. මාගේ ගුරුවරුන්ට, සේවකයන්ට ආදි සියල්ලන් සම්බන්ධයෙන් ද එපරිදිමය. භාග්‍යවතුන් වහන්සේ මේ යුතුකම් ගැන දේශනා කර ඇත. එහෙත් මේ වගකීම් යුතුකම් ඉක්මවා මේ කාර්යයන් තුළ අදාළ පුද්ගලයන්ව (හෝ වස්තුවලට) සබඳාගෙන මා තුළ සතුටක් – සොම්නසක් ඒ සඳහා රාගයන් හට ගනී නම් එයයි දුකේ උපත! මා මේ සමාජ සංස්කෘතික /ජෛව සම්මත යුතුකම් වගකීම් සියල්ල කළ යුත්තේ ඉන් රාගික සොම්නසක් සතුටක් බලාපොරොත්තුවෙන් නොව සතර බ්‍රහ්මවිහරණ (අප්පමාන චෛතසික, සතුට සොම්නස වෙනුවෙන් වූ අජ්ඣන්ත, බහිද්ධ භේදය ඇති කරවන සැසඳීමක් මැනීමක් නොමැති චෛතසික) තුළ චිත්තාභ්‍යන්තර ප්‍රීතියෙනි. එනම් දුක හටගන්නා චිත්තාභ්‍යන්තර දිට්ඨි සංස්කාරයන්හි අනිත්‍යය සහ හරසුන් පරඬැල් සොබාවය පිළිබඳ අවබෝධයක් සහිත සතුටකිනි. දුක ඇති කරන සාවද්‍ය මුලාවකින් මිදීමේ සතුටකිනි. උපාදාන නොවී මේ ලෝකයේ ක්‍රියාත්මක වීම යනු ද මෙයයි. උපාදාන වීමෙන් අතහැරුණු ලෝකය යනු සම්මුති ලෝකයයි. එයයි සම්මුති සත්‍යය. එය සිතේ මවා ගත් හිස් ලෝකයක්, නැති ලෝකයක් නොවේ! අප මේ විපරිනාමිය ලෝකය ඇසුරු කරගෙන චිත්තාභ්‍යන්තරයේ සතුට සොම්නස උදෙසා අනිත්‍යවු දිට්ඨි- සංස්කාර ගොඩනගාගමු. එනම් මේ සම්මුති ලෝකයෙන් පරමාර්ථය බලාපොරොත්තු වෙමු. අර්ථය යනු ඇත්තටම නිවීමය. සැනසීමය ඕලාරික ලෙස ගතහොත් සතුටය. අප අර්ථවත් දෙයක් ලෙස දක්වන්නේ අවසානයේ යම් යහපතක් සතුටක්, සොම්නසක් ඇති කරවන දෙයක්ය. එලෙස ගත් විට පරමාර්ථය යනු අවසාන සැපතය. එනම් දුකින් මිදීමය එනම් නිවණය. මේ පරමාර්ථය සම්මුතියේ නැත.
අභිධර්මයේ අඩංගු පර්මාර්ථ ධර්ම මගින් දැක්වෙන්නේ විපරිණාමීය ලෝකය තුළ සොම්නස- සතුට වෙනුවෙන් චිත්තාභ්‍යන්තර දිට්ඨි-සංස්කාර ගොඩනැගීම සහ බිදීම වෙනුවෙන් වූ ධර්ම විග්‍රහයකි . එය පරමාර්ථය කරා සත්වයා මෙහෙයවයි. බාහිර රූප කොපමණ කුඩා කොටස් වලට කඩා දැක්වූවත් එමගින් දුකින් මිදෙන්නෙ නැත! (එසේ වූයේ නම් විද්‍යාඥයින් දැන් නිවන් දැක තිබිය යුතුය!) දුකින් මීදීමට නම් එනම් පරමාර්ථය අවබෝධය සඳහා චිත්තාභ්‍යන්තර සතුට-සොම්නස පිණිස වන දිට්ඨී සංස්කාරවල අනිත්‍ය සහ හරසුන් බව ප්‍රකට කර ගත යුතුය. මෙහිදී ප්‍රඥාව නමැති අන්වීක්ෂය යොමු විය යුත්තේ චිත්තාභ්‍යන්තරයටය.
විද්‍යාඥයා රූපය පරීක්ෂා කරමින් විවිධ විශ්ලේෂණ කරන විට එමගින් ඇතිවන සොම්නස-දොම්නස් වේදනා ගැන විමසිලිමත් නොවේ. එහෙත් ඔහු නොදැනීම මේ වේදනා ඔස්සේ ක්‍රියාත්මක වේ. එනම් වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන ලෙස තම සොම්නස සතුට වෙනුවෙන් තවත් සංස්කාර ගොඩනගයි. එහෙත් භග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ සංස්කාර ගොඩනැගීමෙන් මීදීමට නම් ( එනම් දුකින් මිදීමට නම්) රූපය වේදනාව සමඟම අල්ලාගත යුතු බවය. රූප සඤ්ඤාව ඇතිවීම වේදනාවෙන් පරිබාහිරව සිදු නොවිය යුතුය. මේ වේදනාව ප්‍රකට කර ගැනීමත් සමඟ වන හඳුනා ගැනීම (සඤ්ඤා) ඒ ඔස්සේම වන සංකාර ගොඩනැගීම ඒ නිසාම වන කර්ම කෙත විඤ්ඥාණය හට ගැනීම නමැති පඤ්චස්කන්ද ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂ කර ගත යුතුය. එහි අනිත්‍ය දැනගත යුතුය. එවිට අප නොදැනීම සතුට සොම්නස සොයමින් අන්ධකාරයේ හඹාගිය ගමන පිළිබඳව දැන ගත හැකිය. එමගින් දුක ඇති වන අයුරු එවිට ප්‍රකට වේ. එය අත්හල හැක්කේ එවිටය.
රූපයේ අනිච්ච සඤ්ඤා වැඩිම යනු රූපය එමගින් ඇති කරවන වේදනා සහ ඊට අදාළ චිත්තාභ්‍යන්තර දිට්ඨි – සංස්කාරවල ඇති-නැතිවීම (අනිත්‍ය) හා හිස් පරඬැල් සොබාවය අනුව ප්‍රකට කර ගැනීමය. එසේ නොමැති වුවහොත් හුදු බාහිර රූපවලට අනිත්‍ය සඤ්ඤා ලෙස වැඩිම මේ වන කොන්ටම් ආදී අංශූ භෞතික විද්‍යාඥයින් අතින් හොඳින් සිදු වේ. ඔවුන් බාහිර වස්තුවල වෙනස්වීම් ගැන හොඳින් දනී. එහෙත් ඔවුන් මේ වෙනස්වීම පිළිබඳ දැනුම පිළිබඳ ඇති සතුට – සොම්නසේ අනිත්‍ය නොදනී! මේ නිත්‍ය ඔවුන්ගේ චිතාභ්‍යන්තරයේ ඇති මෙවැනි දැනුම් මගින් සතුටු වීම පිළිබඳව ඇති දිට්ඨි සංස්කාරවල ඇති නැති වීම සමඟ බැඳී ඇති බව ඔවුන් නොදනී. එනම් මේ සොම්නස වහා වෙනස්වී දොම්නසක් බවට පෙරළෙන බව ඔවුන් නොදනී!.
අභිධර්මයේ අඩංගු රූප විග්‍රහය එහිම සඳහන් චිත්ත-චෛතසික විග්‍රහය සහ විශේෂයෙන් ම “අනිච්චාවත සංඛාරා” “යදනිච්චං තං දුක්ඛං” වැනි දේශනා සමඟ පැහැදිලිවම නොගලපා කළහොත් එය නූතන භෞතික විද්‍යාඥයින්ගේ රූප විග්‍රහයට නොදෙවෙනි වනු ඇත. සංඛාර යනු චිත්තාභ්‍යන්තර සොම්නස-සතුට වෙනුවෙන් වන දිට්ඨි සංඛාර ලෙස ගත් කල ,”අනිච්ඡා වත සංඛාරා” සහ “යදනිච්චං තං දුක්ඛං” යන දේශනා දෙක තරම් සමස්ත දුක, එය ඇතිවන අයුරු පසිඳුලන සංක්ෂිප්ත දේශනාවක් තවත් නැති තරම්ය!
චිත්තාභ්‍යන්තර අනිත්‍යය යනු සුවිශේෂී තත්ත්වයකි. භාග්‍යවතුන් වහන්සේගේ මහාර්ඝ දැන දැක ගැනීම ද එයයි. බාහිරින් අපට හමුවන වෙනස්වීම් සමඟ මෙය කිසිසේත් සැසඳිය හැකි නොවේ. මේ චිත්තාභ්‍යන්තර අනිත්‍ය ප්‍රත්‍යක්ෂ වීමත් සමග දුක උපදවන ගැටීම්වලට හේතුවන සියලු දිට්ඨි -සංස්කාර (බාහිර ලෝකය නොව) සුනු විසුණු වේ. මේ අනිත්‍ය සඳහා භාග්‍යවතුන් වහන්සේ පවා උපමාවක් වත් නොසැපයූ සේක. එය කිසිදු නියාම ධර්මයකට යටත් නැත.
ලෝකය යනු හුදු සිතේ මැවුණු දෙයක් නොවේ. ලෝකය නැද්ද යැයි විමසූ විට භාග්‍යවතුවහන්සේ එය එසේ යැයි නොවදාළේ ඒ නිසාය. එසේම ලෝකය ඇද්ද යයි විමසූ විට එයද එසේ යැයි නොවදාළේ සතුටු වීමට ලෝකයක් නැති නිසාය. ඒ අනුව අපි ලෝකයෙන් සතුටට ඇති රාගයෙන් මිදිය යුතුය. නොසතුටට ඇති ද්වේශයෙන් මිදිය යුතුය මේ බැව් අවබෝධය තමා මෝහයෙන් මිදීම! මෙයයි සදාකාලික නිවීම සැනසීම.

Leave a comment