සියදිවි නසා ගැනීම

cmadurawala
9 Min Read

ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්

සියදිවි නසා ගැනීම අතින් ද ලංකාව ඉතා ඉහළ තත්ත්වයක එනම්, පළමුවැනි හා දෙවැනි තත්ත්වයන්හි පසුවන බව සංඛ්‍යාලේඛන අනුව පෙනේ. මේ වනවිට කාන්තා සියදිවි නසා ගැනීම අතින් දෙවැනි තැනත් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. වත්මන් ශ්‍රී ලංකා සමාජය කෙතරම් පීඩනයකට හසු වී පවතී ද යන්න ගැන මීට වඩා වෙනත් සාධකයක් අවශ්‍ය නැත. ඉහත සඳහන් කෙරුණු නොයෙකුත් සමාජ ව්‍යසන ඍජුව හෝ වක්‍රව මේ තත්ත්වයට බලපාන බව දක්නට ඇත.

සියදිවි නසා ගැනීම් පිළිබඳව පර්යේෂණයක යෙදුණු සමාජ විද්‍යාඥයෝ මෙවන් තත්ත්වයක් ඇතිවීමට උපස්තම්භක වූ හේතු රැසක් දක්වති. මානසික හා කායික පීඩනය, දොම්නස, ආර්ථික පීඩනය, දෙමව්පියන්ගේ අඬදබර, පියාගේ බීමත්කම, දෙමව්පියන් (විශේෂයෙන් ම මව) රැකියාව සඳහා පිටරට යෑම, දෙමව්පිය සෙනෙහස අහිමිවීම, ප්‍රේම සම්බන්ධතා කඩවීම, පැරණි ගැමි පරිසරයෙන් නව ජනපදවලට සංක්‍රමණය වීම ආදී නානාවිධ හේතු සියදිවි නසා ගැනීම්වලට බලපාන බව ඔවුහු පෙන්වා දෙති. මේ අතර මාධ්‍ය මගින් කෙරෙන අනිසි බලපෑම ද තවත් හේතුවකි. කෘමිනාශක බෙහෙත් වර්ග ඉතා සුලබව පැවතීම සියදිවි නසා ගැනීම පහසු කිරීමට හේතු වී ඇත.

කිනම් හේතුවක් නිසා සියදිවි නසා ගත්ත ද එය සමාජයට බෙහෙවින් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. සියදිවි නසා ගන්නා සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් තරුණ තරුණියන් වීම මේ තත්ත්වය තවත් උග්‍ර කරයි. එක් අතකින් කැරලි ගැසීම් නිසා තරුණ – තරුණියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙය අනාගතයට අහිතකර ලෙස බලපාන බව නිසැකය. මෙවන් තත්ත්වයකදී තරුණ තරුණියන් දිවිනසා ගැනීම මෙම තත්ත්වය තවත් සංකීර්ණ එකක් බවට පත් කරයි. තරුණ – තරුණියන් අහිමි වීම රටේ ශ්‍රම බළකාය විනාශ වී යෑමකි. මෙය දේශීය කෘෂිකාර්මික ව්‍යාපාරයට මෙන්ම විදේශීය බහුජාතිකයන් විසින් ඇරඹෙන නොයෙකුත් කර්මාන්ත ආයතනයන්ට ද ශ්‍රම බළකාය අංශයන් බලපානු ඇත. මේ තත්ත්වය රටේ ආර්ථික ප්‍රවර්ධනයට අතිශයින් අහිතකරයි.

එපමණක් නොව සිය දිවි නසා ගැනීමට තැත් කරන්නවුන් බේරා ගැනීමට, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට විශාල මුදලක්, ශ්‍රමයක් වැය කිරීමට ද රජයට සිදුවේ. තරුණ දූ – පුතුන් අහිමි වීමෙන් අසරණ භාවයට පත්වන පවුල්වල නඩත්තුව සඳහා ද රජයට උරදීමට සිදු වේ. කුමන අංශයකින් බැලුවත් සියදිවි නසා ගැනීම සමාජයට අහිතකර බව ඉතා පැහැදිලිය.

මෙය අවශ්‍යයෙන්ම වළක්වාලිය යුතු තත්ත්වයකි. සියදිවි නසා ගැනීමට තැත්කිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. නමුත් නීතියෙන් දඬුවම් කිරීමෙන් මේ ප්‍රශ්නය බේරාගත හැකිද? ආධ්‍යාත්මික, ආර්ථික, සමාජයීය ආදී නොයෙකුත් අංශයන්ගෙන් මේ ප්‍රශ්නය වඩා ගැඹුරින් සලකා බැලීම ඉතා අවශ්‍යය. දෙමාපියන් දරුවන් තේරුම්ගත යුතුය. ඔවුන්ගේ ප්‍රශ්න ගැන වඩා විවෘතව, සානුකම්පිතව සලකා බැලිය යුතුය. ගුරුවරුන් දරුවන් තුළ ආත්ම විශ්වාසය දියුණු කළ යුතු අතර ආවේගයන්ට වහල් නොවී පුළුල්ව ප්‍රශ්න දෙස බලන ආකාරය ඔවුන් තුළ ප්‍රගුණ කළ යුතුය. පැවිදි පක්ෂය තරුණ – තරුණියන්ට ජීවිතය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාදීමටත් ප්‍රශ්න ඉදිරියේ නොසැලී නොබියව මුහුණ දීමට අවශ්‍ය පෞරුෂයක් වර්ධනය කරවීමටත් පියවරගත යුතුය. ජනමාධ්‍යයන් හරවත් ආකල්ප වර්ධනය කිරීමටත් උසස් සාරධර්ම තරුණ – තරුණයන්ගේ සිත් තුළ රෝපණය කිරීමටත් උත්සුක විය යුතුය. මේ අතර රජය තරුණ – තරුණියන්ගේ පීඩනයට හේතු වී ඇති අසාධාරණය, අසමානාත්මතාව, විසම ධනවිභජනය ආදිය තුනී කර නැති කොට ආර්ථික අංශයෙන් තරුණ – තරුණියන් උදෙසා දිය හැකි සියලු සහන සැලසිය යුතුය.

මේ සියලු ව්‍යසනයන් සමාජයෙන් තුරන් කරලීම, ඒවා මර්දනය කිරීම, රජයට හා වෙනත් රජයේ නොවන ස්වේච්ඡා ආයතනවලට පවරා සිටිය යුතු නැත. මේ විවිධාකාර සමාජ උවදුරු මර්දනය කිරීමේ අතිශය වැදගත් කාර්යභාරයට සෑම පුද්ගලයකුම ශක්ති පමණින් ක්‍රියාකාරීව දායක විය යුතුය. තමන්ව දැනුවත් කරගැනීමෙන්, සෙස්සන් දැනුවත් කරලීමෙන් මේ සම්බන්ධයෙන් රජයේ හා වෙනත් සංවධාන මගින් කෙරෙන විවිධාකාර කටයුතුවලට අතහිත දීමෙන් සැවොම මේ සමාජ ශෝධන ව්‍යාපාරයන්ට උපකාරි විය යුතුය. එක් එක් තැනැත්තා ඒ ඒ තැනැත්තාගේ වගකීම හරියාකාරව ඉටු කළහොත් ඉහත කී ව්‍යසන බොහෝදුරට සමනය කරගත හැකිය. මේ හැරෙන්නට මෙම තත්ත්වය පිළිබඳව මැසිවිලි නඟමින්, පැමිණිලි කරමින් එකිනෙකාට දොස් පවරමින් කතාවෙන් පමණක් උනන්දුව දක්වමින් සිටියොත් අප සැවොම මේ ව්‍යසනයන්ට කිසියම් ආකාරයකින් ගොදුරු වීම ඒකාන්තය.

සියදිවි නසා ගැනීම බුදුදහමින් අනුමත නොකෙරේ. බුදුන් වහන්සේගේ ධර්මයේ හරය නම් දුක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමත්, එම අවබෝධය මත පිහිටා දුකින් මිදීමට මඟපෙන්වීමත්ය. දුකින් මිදීමට මඟපෙන්වන දහමක් දුක නිසා සියදිවි නසා ගැනීමට අනුබල දෙන්නේ නැත. දුකට යට වී පරාජය පිළිගෙන සියදිවි නසා ගැනීම දුක ජය ගැනීමක් නොව, දුක කල් දැමීමකි. පුනරුත්පත්තිය ගැන උගන්වන බුදුදහම මරණය සලකන්නේ ජීවිත දෙකක් වෙන් කරන අවස්ථාවක් ලෙස පමණි. එහෙයින් මරණින් සිදුවන්නේ දුක තාවකාලිකව ඇනහිටීමක් පමණි. කිසියම් ආකාරයකින් නැවත උප්පත්තතියක් ලැබූ විට නැවත දුකට මුහුණපාන්නට සිදුවන නොයෙකුත් ප්‍රශ්න ය. ඒ ප්‍රශ්න අවබෝධ කොටගෙන ඒ අවබෝධය අනුසාරයෙන් විසඳුම් ලබනවා විනා, සියදිවි නසා ගැනීමෙන් ප්‍රශ්න විසඳාගත නොහැකිය යන්න බෞද්ධ මතය වේ.

සහන මරණය

සුව නොකළ හැකි රෝගවලින් පෙළෙමින් සිහිසන් නොමැති දර කොටයක්, එළවළුවක්, ගස්ලබු ගෙඩියක් වාගේ ඔහේ පවතින අයකුට සහනය ලබාදීම පිණිස ඔහුට මියයන්නට සැලැස්විය යුතු ද යන්න වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සදාචාර ධර්ම ක්ෂේත්‍රයේ ද විවාදයට තුඩු දී ඇති ප්‍රශ්නයකි. ප්‍රායෝගිකව සලකා බලන කල සෑම අතකින් මැරී ඇතැයි සැලකිය හැකි අයකු බෙහෙත් මගින්, නවීන වෛද්‍ය උපක්‍රම මගින් ජීවත් කරවාගෙන යෑම එම රෝගියාට කරන බලවත් අසාධාරණයක් යැයි එක් පාර්ශ්වයක් කියයි. එපමණක් නොව, මෙය රෝගියාගේ නෑදෑ හිතමිතුරන්ට ද ඉමහත් දුක් ගෙන දෙන්නක් බවට තර්ක කරන ඔවුහු, එබඳු රෝගියකු ඉක්මනින් මරණයට පත්වේ නම් එය එම රෝගියාටත් ඔහුට ඉතා කිට්ටුවෙන් සම්බන්ධ අයටත් මහත් සහනයක් ගෙන දෙනු ඇතැයි ද තර්ක කරති.

මෙයට විරුද්ධව තර්ක කරන අය කියා සිටින්නේ කිසියම් ආකාරයකින් රෝගියාගේ පණ රැඳී ඇත්නම් සියලු දෙනාම උත්සාහ ගත යුත්තේ ඔහු බේරා ගැනීමට බවය. කිසියම් අද්භූත ක්‍රමයකින් ආශ්චර්යවත් සිදුවීමකින් ඔහු සුව අතට හැරුණොත් තත්ත්වය කුමක්වේදැයි මේ අය ප්‍රශ්න කරති. මොළය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වීම, නැතහොත් මොළය මියයෑම කෙනකු මරණයට පත්වීම හා සමාන බව සාමාන්‍යයෙන් පිළිගැනෙන වෛද්‍ය මතය ය. එහෙත් මෙවන් තත්ත්වයක සිට වුවත් කිසියම් ආශ්චර්යයකින් පුද්ගලයකු ක්‍රමයෙන් සුවපත් විය හැකි යැයි ඔවුහු කියා සිටිති. මෙලෙස මියගිය අය ලෙස සලකනු ලබනු සමහරුන් සුවපත් වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. තවත් අතකින් තර්ක කරන ඔවුන් කියා සිටින්නේ මෙලෙස සහන මරණය පිළිගනු ලැබුණොත් එය වැරදි අන්දමට පාවිච්චි කිරීමට ද බොහෝ ඉඩ ඇති බවය. වෛද්‍යවරුන් පමණක් නොව මහලු, රෝගී දෙමව්පියන් මහත් බරක් කරදරයක් කොට සලකන දරුවන් පවා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට පෙලඹෙනු ඇතැයි ඔවුහු තර්ක කරති. එබඳු දුක්ඛිත, අසරණ නිෂ්ඵල තත්ත්වයකට පත්ව ඇති අයකුට සහන මරණයක් සැලසිය යුතු යැයි කියන අය එසේ කියන්නේ හුදෙක් රෝගියාට ඇති අනුකම්පාවෙන්මද? මෙය මතභේදයට තුඩු දෙන්නකි. මේ පරානුකම්පාවට වඩා ආත්මානුකම්පාවෙන් මෙහෙයවනු ලැබීමෙන් ඇතිවන හැඟීමෙන් විය නොහැකිද? අප කවුරුත් බොහෝදුරට ආත්මාර්ථකාමී වන නිසා මෙම තර්කයේ ද කිසියම් සාධාරණත්වයක් ඇති බව පෙනී යයි.

මෙලෙස බලන කල ‘සහන මරණය’ පිළිබඳ පක්ෂව හා විපක්ෂව නොයෙකුත් තර්ක – විතර්ක ඉදිරිපත් කළ හැකි බව ඉතා පැහැදිලිව පෙනේ. මේ සියලුම තර්ක විතර්කයන්හි එක්තරා සාධාරණත්වයක් ද ඇති බව දක්නට ඇත. එහෙත් බෞද්ධ ඉගැන්වීම අනුව බලන කල පෙනීයන්නේ ‘සහන මරණයක්’ සැලසීමට ඉඩක් නැති බවය. එයට මූලික හේතුව නම් මෙය ‘පාණාතිපාත’ ගණයට ඇතුළත් වීමය. සහන මරණයක් ලබාදීම ප්‍රාණයක් නැති කිරීමකි. මරණය සුබදායක යැයි වර්ණනා කොට සියදිවි නසා ගැනීමට අනුබල දීම, සියදිවි නසා ගැනීමට පෙලඹවීම, ඒ සඳහා ආයුධ ආදිය සැපයීම පවා මනුෂ්‍ය ඝාතනයක් සේ විනය පිටකයේ හැඳින්වේ. මේ පෙලඹවීම කරනු ලබන්නේ සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන අයකු එම දුක්ඛිත තත්ත්වයෙන් බේරා ගැනීමේ චේතනාවෙන් වුවත් එයත් සැලකෙන්නෙ ‘පාණාතිපාත’ කර්මයක් ලෙසය.

දැනුවත්වම ප්‍රාණඝාතයක් කිරීම යහපත් ක්‍රියාවක් වශයෙන් හැඳින්වීම බුදුදහමට එකඟ නැත. අනුකම්පාව, දයාව, කරුණාව ආදී චේතනා සමග ප්‍රාණඝාත චේතනාව සිතෙහි එකට ඉපදිය හැකිද? ප්‍රාණඝාතය කිසියම් ආකාරයකින් හෝ ස්වාර්ථය ද සමග මුසු වූවකි. සුවකළ නොහැකි තත්ත්වයේ තම කිට්ටු ඥාතියකු මියයෑම වඩා හොඳ යැයි කියන, සිතන අවස්ථාවක තම සිතැඟි සියුම් ලෙස පරීක්ෂා කිරීමෙන් එබඳු සිතුවිලිවල මුල ස්වාර්ථය සමග මුසු වී ඇති බව මනාව පැහැදිලි වනු ඇත. ඒ හැර සියලුම ක්‍රියාවන්හි හොඳ – නරක මැනිය යුත්තේ මුඛ්‍ය චේතනාවෙන්ම පමණක් නොවේ. ක්‍රියාවේ ප්‍රතිඵලය ද එම ක්‍රියාවේ හොඳ – නරක මැනීමට සාධකයක් කරගත යුතුය. යහපත් චේතනාවකින් කරන කිසියම් ක්‍රියාවක් හානිකර, අහිතකර ප්‍රතිඵල ගෙන දෙන හැඟීයන්නේ නම් එයින් වැළැකී සිටීම අනිවාර්යය. බෞද්ධ ඉගැන්වීම එයයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *