‘සීලය – විදර්ශනාව

rashi
By rashi
6 Min Read

සතියේ බල මහිමය The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි

(අටවැනි කොටස)

ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි

සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි

මෙය සිත ඔසවා තැබීමක් වන අතර, එදිනෙදා ජීවිතයෙදී අත්දකින මට්ටමට වඩා දියුණුවක් දක්වයි. මේ සිතේ සතිය සහ සමාධිය අතර පරතරය වැඩි වුවහොත් භාවනාව පවත්වාගෙන යෑමට ඇති හැකියාවට බාධා වන නිසා බලාපොරොත්තු සුන්වීම් වැඩිවනු ඇත.

පස්සද්ධිය හෙවත් හිතේ ඇතුළත සන්සුන් බව සමාධියට ආසන්න කාරණයයි. ඒ බව සමාධි සම්බොජ්ඣංගයට කලින් පස්සද්ධි සම්බොජ්ඣංගය දැක්වීම හරහා දේශනාවෙහි හුවා දක්වා ඇත.

ඇ) විදර්ශනාව

තථාගත දේශනාවෙහි මෙසේ දැක්වේ. “සමාහිතො භික්‍ඛවෙ යථාභූතං ජානාති පස්සති” එහෙයින් සමාධිය දියුණු කරවන ක්‍රම සියල්ලම ප්‍රඥාව වැඩීම සඳහා උපස්ථම්භක ප්‍රත්‍ය වන්නේය. එහෙත් “සති මාත්‍රය පුරුදු කිරීමේදී නිශ්චලව සිටීමෙන්” ප්‍රඥාවට එමගින් කෙළින්ම විශේෂ ආධාර ද ලැබේ.

විද්‍යාත්මක හෝ අධ්‍යයන පර්යේෂණවලදී හැරුණු විට මිනිසා වැඩි වශයෙන් උනන්දුව දක්වන්නේ, තමාට මුණගැසෙන අරමුණු පිළිබඳ සත්‍ය අවබෝධයක් ලබාගැනීමට වඩා, එම අරමුණුවලින් ප්‍රයෝජන ගැනීමටය. නැත්නම් ඒවා සහ තමා අතර සම්බන්ධය තීරණය කිරීමටය. මේ නිසා ඔහු පිටස්තර හෝ අභ්‍යන්තර ප්‍රත්‍යක්‍ෂ මගින් මුලින්ම නිකුත් කරන සඤ්ඤාවට අනුව කඩිමුඩියේ ග්‍රහණය කරගැනීමෙන් සෑහීමකට පත්වේ. ගැඹුරු ලෙස තැන්පත් වූ පුරුදු අනුසාරයෙන් ඒ ප්‍රථම සඤ්ඤාව හොඳ/නරක, ලස්සන/ අවලස්සන, හිතකර/අහිතකර, හරි/වැරදි ආදි නිශ්චයන් සඳහා ප්‍රතික්‍රියා ඇති කරවයි. හුරුපුරුදු අරමුණකින් නිකුත් වන ප්‍රථම සඤ්ඤාව හෝ සඤ්ඤා පිළිගැනීමට අවශ්‍ය කාලය හැර ඊට වඩා ඒ අරමුණ කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙන්නේ නැත. මෙසේ නිරන්තරයෙන්ම දකින යම්කිසි අරමුණක එක ලක්‍ෂණයක් නැත්නම් තෝරාගත් සීමිත ලක්‍ෂණ කිහිපයක් පමණි අප දකින්නේ, හෙවත් වැරදි ලෙස වටහාගන්නේ. අපේ අවධානයට යොමු වන්නේ අරමුණ පිළිබඳ ආංශික දැනුමකි. සංස්කාර අරමුණුවල ඊටම ආවේණික හටගැනීමක් විපරිණාමයක් හා නිරුද්ධ වීමක් ඇත. එහෙත් අප එය එසේ මුල, මැද, අග වශයෙන් දකිනවා වෙනුවට කෙරෙන්නේ මූණත පමණක් දැකීමයි. නිරීක්‍ෂකයා තමා දකින්නේ ආංශික දැක්මක් යැයි නොදනී. තමා දකින දේට වඩා ගැඹුරක් ප්‍රත්‍යක්‍ෂයේ ඇති මුත් ඔහු එය නොදනී. ඒ ප්‍රත්‍යක්‍ෂට අයත් ඊටම ආවේණික කාලසීමාවක් හෙවත් ක්‍ෂණයක් ඇති බව ඔහු දන්නේ නැත.

මෙබඳු නොගැඹුරු හෙවත් මතුපිට නිරීක්‍ෂණවලින් සමන්විත පුද්ගලික තීරණ හා ප්‍රත්‍යක්‍ෂවලට කෙනකු පෙලඹෙන්නේ ඔහුගේම රුචි අරුචිකම්වලින් හා මතිමතාන්තරවලින් සීමා වූ පටු දර්ශනයකිනි. සෙවණැලි හොල්මන් වැනි වූ මේ මවාගත් ලෝකයේ සංයුතිය “ප්‍රත්‍යක්‍ෂයට” වඩා සංකල්පවලින් ගහනය. මෙසේ අප ගතකරන එදිනෙදා මනෝලෝකය ආත්ම දෘෂ්ටියෙන් බැලීමේදී තවත් බොහෝ මිථ්‍යා මතවලට සරු බිමක් වන්නේය. එය මුල් දුවන ස්වභාවයෙන් යුක්තය. එවන් දෘෂ්ටි ඇටුවන් බැසගත් මනසක සංඥා වශයෙන් විපල්ලාස හතරක් ඇති බව බුදුරජාණන් වහන්සේ විසින් අනිත්‍යයේ, නිත්‍ය සංඥා, දුකෙහි සුඛ සංඥා, අසුභයෙහි සුභ සංඥා සහ අනාත්මයෙහි ආත්ම සංඥා ලෙස මෙසේ දක්වා ඇත. එවැනි මනසකට අනාත්ම වැනි බුද්ධිගෝචර දෘෂ්ටියක් ලෙහෙසියෙන් හඳුන්වාදිය හැකි නොහේ.

මෙවන් අතාත්ත්වික හා වංචනික භාවයන් හරහා බැරෑරුම් තත්ත්වයන්ට කෙනකු පෙලඹෙන්නේ අරමුණ සම්බන්ධ මූලික සංජානනමය අවස්ථාවේදීමය. ඉන්ද්‍රියබද්ධ ඤාණය හරහා ලබන මූලික සංඥා එළැඹෙන විටම පුහුදුන් මනස කලබල වී සහජාසයට අනුව ඉක්මන් ප්‍රතික්‍රියාවලට පෙලඹේ. එහෙත් පුරුදු කරන ලද සතිය පෙරටු කරගෙන නැවතිල්ලේ – ඉවසිල්ලේ කටයුතු කරන කෙනකුට මෙවන් විටෙක මනස ක්‍රියාත්මක වන යාන්ත්‍රණය තමාටම දැකගැනීමේ අවස්ථාව එළඹෙනු ඇත. මමත්වයට යටවී පුරුදු ඇබ්බැහි රැල්ලට අසුවනවා වෙනුවට නැවතිල්ලේ සතියෙන් කටයුතු සම්පාදනය රන්නට පෙලඹුණොත් ඇත්ත ඇති සැටියෙන් විවෘත වන කල්හි තමාගේම සහජ ගති ස්වභාව මෙන්ම ඒවා ඇතුළත හා පිටත වශයෙන් දඟ වැටෙන ආකාරය ද විවෘත වනු ඇත. මෙලෙස ඇතුළත හා පිටත ගැට වැටෙන හැටි නිරීක්‍ෂණය කළ හැකි වන විට, වංචනිකව ක්‍රියා කරන ආත්මාර්ථ න්‍යාය පත්‍ර සතියේ විනිවිදභාවය ඉදිරියේ නිෂ්ප්‍රභ වන අයුරු දැකීම ගැඹුරු දර්ශනයකි. අනුපූර්ව වශයෙන් සිදුවන ක්‍රියාදාමය මෙන්ම ඒ ඒ අංශුවල හෙවත් අණු කොටස්වල ඇති ක්‍ෂණභංගුරත්වය මෙවිට පිළිබිඹු වනු ඇත. එවිට විපල්ලාස සහ බැඳි දේවල්වල අත්‍යන්තයෙන් පවතින වෙනස්වනසුලු බව සිතට කාවදින විට අධිෂ්ඨාන ශක්තිය හෙවත් චිත්ත ශක්තිය වර්ධනය වේ.

වහා සිදුවන හටගැනීම හා එහි නැතිවී යෑම දිගට දකින විට මමායනය මුල් කරගත් කෙනෙක්/දෙයක් වශයෙන් වූ ඒකීයත්වය බොඳ වී යනු ඇත. අවිචාරවත්ව “තමා” කේන්ද්‍ර කරගත් දර්ශනය, සමස්තය දැකීම මුවහ කරයි. බොහෝ දේ එකම මල්ලට දමාගැනීමෙන් සිදුවන මේ පටලැවිල්ල මම, මාගේ යන හැඟීම නිසා වන දෙයකි. හුදුු සතිය පුහුණු කිරීමෙන් මෙම ඒකීයත්වය අපෞද්ගලික වූත් කාරකයකු නොමැති වූත් ධර්මතාවක් බව ද, අන් දේවල් මත රඳා පවත්නක් බව ද, බහුහේතුක සංසිද්ධි බව ද හෙළිදරව් වනු ඇත. මේ අතර අපගේ පටු සංකල්පනා අර්ධ සත්‍ය මත පදනම් වූ දේවල් බවත්, තමාගේ රුචි අරුචිකම් මත ඒවා පදනම් වී ඇති අයුරුත්, සමස්තය මත පිහිටා ඒ සිහින දර්ශන තුළ ඒවා කුරුමිට්ටන් වන අයුරුත් සංසන්දනාත්මකව වැටහෙනු ඇත. ආපාතගත වන අරමුණෙහි ඇතිවීම – නැතිවීම අනුව පුද්ගලයාගේ උපත හා විපතත් විපස්සනාවට අනුව වැටහෙනු ඇත. මේ අනුව අනිත්‍යය හා වෙනස්වනසුලු ස්වභාවය වඩාත් තාත්ත්විකව වැටහෙනු ඇත. ඇතිවීම නැතිවීම මෙලෙස දිගහැරෙන විට, ඒකකයක් වෙනුවට කලාපයක්, සමූහයක් වශයෙන් කරුණු වැටහෙන විට, ආත්ම සඤ්ඤාව දුරු වනු ඇත. ආත්මීය කල්පනා හා විවිධත්වය පිළිබඳ සිහින බැහැර වනු ඇත. මමය, මාගේය යන කල්පනා වැරදි ලෙස මුල් බසින්නේ මේ සිහින සැබෑ යැයි සැලකීමෙනි. සති මාත්‍රය ශක්තිමත් වන විට මේ “මම” කේන්ද්‍ර කරගත් කල්පනා ආගන්තුක ප්‍රපංච නිසා හටගත් නියාය හෙළිදරව් වනු ඇත. මෙලෙස දිගින් දිගට පැවැත්මෙහි ස්වභාවය බැලීමේදී එහි ඇතිවීම නැතිවීම තමාගේ පාලනයෙන් තොරව සිදුවන බව හා ආණ්ඩු මට්ටු කිරීමට නොහැකි බව අත්දකින විට, එහි පීඩාකාරී බව නොදැක සිටිනු නොහැකිය. දුක සනාතන සත්‍යයක් ලෙස වැටහෙනු ඇත. සතියත් සමග හුරු කරගන්නා මේ නැවතිල්ලේ වැඩ කිරීම හරහා සිත තැන්පත් වීම සම්පූර්ණ වන විට, ඕනෑම අරමුණක පොදු ලක්‍ෂණ හෙවත් අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය සහ අනාත්ම ස්වභාවය ප්‍රතිවේධ කරනු ඇත.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *