ජයන්ත කංකානම් පතිරණ
වස් සමාදම්වීමේ ආරම්භය සහ එහි ආනිසංස පිළිබඳ විවරණයක්
මේ වස්සාන සමයයි. එනම් වර්ෂා කාලයයි. උපසපන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන්ව බොහෝ ආගමික කෘත්‍යයන්හි නියැළෙමින් සිටින සමයයි.
කිසිවෙකුගේ ආරාධනයක් නොලැබුණ ද සෑම උපසපන් භික්ෂු නමකම වස් සමාදන් විය යුතු බව බුද්ධ නියමයයි. වස් වැසීමේ ආරම්භය සිදු වූයේ මෙසේයි. එකල භාරතයේ වැඩ විසූ භික්ෂුන් වහන්සේලා වස්සාන සෘට්තුවේදී ද ගම් දනව් සිසාරා චාරිකාවේ යෙදුනි. මෙය අන්‍ය ආගමිකයන්ගේ විවේචනයට හා ගර්හාවට ලක්විණ. පක්ෂීන් ඇතුළු ලොකු කුඩා සතුන් පවා වස්සානයේදී එක් තැනකට වී සිටීම සිරිතක් වුව ද පණ ඇති තෘණ හා විවිධ කුඩා සතුන් පාගමින් ඔවුනට හිංසා පීඩා වනසේ චාරිකාවේ යෙදීම බුදුන්ගේ අවිහිංසා ධර්මයට නිගා දෙන්නෙකැයි පැවසිනි.
මෙම විවේචනවලට කන් දුන් බුදුන්වහන්සේ වස්සාන සෘට්තුවේදී සෑම උපසපන් භික්ෂුවක්ම වස් සමාදම්ව කල් ගෙවිය යුතු බවට අනුදැන වදාළහ. එයට අනුගතව එදා සිට අද දක්වාම එම චාරිත්‍රය ඉටුකරනු ලබයි. මේ සඳහා පෙර වස් සහ පසු වස් විසීම යනුවෙන් දින දෙකක් නියම කර ඇත. ඇසළ පෝය දිනට පසුදින එනම් ඇසළ පෑලවියද පෙර වස් සමාදම් වන දිනයයි. නිකිණි පුර පෝය දිනට පසුව එළඹෙන නිකිණි අව පෑලවියදා පසුවස් විසිය යුතු දිනයයි. යම් භික්ෂුවකට පෙර වස් විසීම මග හැරුණහොත් පසු වස් සමාදම් විය යුතුය.
“අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං ද්වේ මේ භික්ඛවේ වස්සුපනායිකා පූරිමිකා පච්ජිමිකාව අසරජ්ජුගතාය ආසල්හියා පුරිමිකා උපගන්තබ්බා මාසගනාය ආසල්හියා පච්ජිමිකා උපගත්තබ්බා ඉමං ඛෝ භික්ඛවේ ද්වේ වස්සු පනායිකා ති” යන්න වස් වැසීම පිළිබඳ බුද්ධ දේශනාවයි. එමෙන්ම මෙම කාලයේදී තම ආත්ම විමුක්තිය පිණිස වෙර වැඩිය යුතු බව ද පෙන්වා දෙනු ලැබීය. ඒ අනුව බොහෝ සංඝයා නිවන් පසක් කර ගන්නා ලද්දේ වස්සාන කාලවලදී බැව් ත්‍රිපිටකාගත තොරතුරුවලින් හෙළි වේ. ගිහි පින්වතුන් ද මහත් ශ්‍රද්ධාවෙන් යුතුව වස් වැසි සංඝයාට සිව්පසයෙන් සංග්‍රහ කරමින් හා විවිධ පින්කම්හි යෙදෙමින් බොහෝ කුසල් රැස් කර ගනිති. විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි වස් සමාදම් වන භික්ෂුන් උදෙසා වැසි සළුවක් පූජා කිරීමට ද අවසර ලබා දී ඇත.
වස් කාලය අවසානයේ වස් පවාරණය සිදු කරයි. ඒ සමගම දායකයන්ට කඨින චීවර පූජාව සඳහා අවස්ථාව සැලසේ. මෙහිදී දායකයන් විසින් භික්ෂූන්ට පිදෙන කඨින චීවරය සංඝ සම්මුතියෙන් එක් නමකට භාර කරයි. මෙම වස්ත්‍රය කඨින චීවරය හෙවත් කඨින දුස්සය නම් වේ. යමෙකු කඨින චීවර පූජාවන් කරන්නේ නම් ඉන් ලබන කුසලය මහත්ඵලය, මහානිසංසය. අට මහ කුසලයන්ගෙන් ප්‍රමුඛතම කුසලය ද වන්නේ කඨින චීවර පූජාවයි. මෙම පූජාවේ අනුහස් කෙබඳු දැයි මතු සඳහන් ගාථාපාඨයන්ගෙන් පැහැදිලි වේ.
“ගිරි රාජ සමං රාසිං – සංඝෙ දෙති තිව්චරං
ඒකස්ස කඨින දානස්ස – කාලං නාග්ඝති සෝලසිං” යමෙක් මහමෙර උසට වටිනා පිරිකර පූජා කළ ද ඊටත් වඩා වැඩි ආනිසංසයක් කඨින චීවර පූජාවෙන් ලැබේ.
“මානුසිකාව සම්පත්තී – දේව ලෝකේච යා රතී යාච නිබ්බාන සම්පත්තී සබ්බ මෙතේන ලම්භති” දෙව් මිනිස් ලෝකවල සියලු යස ඉසුරු විඳ අවසාන උතුම් නිවන සඳහා කඨින චීවර පූජාව ඉවහල් වේ.
එමෙන්ම වස්සාවාසික සංඝයා හට උපස්ථාන කිරීමත්, කඨින චීවර පූජාවෙන් අසීමිත කුසලයන් කවරේ දැයි, බුදුන්වහන්සේ ප්‍රායෝගිකවම නාගිත මහ රහතන් වහන්සේගේ කතා පුවතින් පෙන්වා දී තිබේ. මෙයින් අනු එක් කල්ප ලක්ෂයකට පෙර වැඩ විසූ විපස්සී බුදුරදුන් ඇතුළු මහ සඟන වස් සමාදම් කරවා, සියලු උපස්ථාන කොට, අවසන කඨින චීවර පූජාවක් සිදු කිරීමේ පිනෙන් ඉන්පසු ලද සෑම ආත්මභාවයකදීම තමන් වහන්සේ ලද යස ඉසුරු කෙතෙක් දැයි යන්න, නාගිත මහ රහතන් වහන්සේ විසින් බුද්ධ ප්‍රමුඛ මහ සඟන ඉදිරියේ ප්‍රකාශ කරන ලද්දේ මෙසේය.
“කඨින දානං දක්වාන සංඝෙ ගුණ චරුත්තමේ
ඉතෝ තිංස මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං
අසීමිත ගුණයෙන් යුත් මහ සඟ ගණ උදෙසා කඨින දානයක් පිදීමේ පිනෙන් මහා කල්ප තිහක් සුගතියේම උපත ලදිමි.
“ආරපථේ ආරපථේ – චක්කවත්ති සිරිං ලභේ
අසීකිංච චකුක්ඛත්තුං
චක්කවත්තී අභෝසභං”
යොදන ලද ඉඳිකටු ඉඳිකටු පාරක් පාසා සක්විති රජ සම්පත් ලැබීමට වුව ද ඉඩ ලද මුත් සසර දිගුවන බැවින් අසූ හතර වාරයක්ම චක්‍රවර්තී රජ සම්පත් ලදිමි.
‘කෙයනව කුසල කම්මේන
පිංයාහං දේව මනුසේ
තස්සේව භද්ද කම්මස්ස
ඡක්තෝස්මි අමතං පදං”
දෙවියන්ට ද, මිනිසුන්ට ද ඉතා ප්‍රියජනක අයෙකු ලෙස උපත ලැබීමටත් අවසාන භවයේ උතුම් නිවන් සිරි ලැබීමටත් සිදුකරන ලද කඨින චීවර පූජාවම හේතු විය.
මේ අනුව බලන විට බොදුනුවෙකුට තම ජිවිතයේ සිදුකර ගත හැකි මහාණ්ය උත්කෘෂ්ට පුණ්‍ය කර්මයක් ලෙස කඨින චීවර පූජාව නම් කළ හැක.

