මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභික
ශ්‍රී දළදා මාළිගාවේ තේවාව භාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නාහිමි
සටහන :ආර්. ඒ. නයනානන්ද
ලක්දිව බෞද්ධ පෙරහැර සංස්කෘතිය උත්කර්ෂවත් ලෙස සංවිධානය වූයේ කිත්සිරිමෙවන් රජ දවස (ක්‍රි. ව. 301-328) වාම ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමග ය.
දළදා පෙරහැර සඳහා කිත්සිරිමෙවන් රජතුමා නවලක්‍ෂයක් ධනය වියදම් කළ බවත්, මතු ඇති වන රජ දරුවන් විසින් ද දළදා වහන්සේට කළ යුතු පුද සත්කාර නො කඩ ව කරන ලෙස නියෝග කළ බවත් මහාවංශයේ සඳහන් වේ. එතැන් පටන් ලක්දිව රජවරු දළදා වහන්සේ රාජකීය වස්තුවක් ලෙස සලකා පුද සත්කාර කළ හ. රජ මාළිගාව අසල ම දළදා මාළිගාව ද කරවා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. ලංකා රාජ්‍යය පිළිබඳ උරුමය දළදා වහන්සේ සතු ව පැවතීම මීට හේතුව වශයෙන් සලකනු ලැබේ.
සතුරු ආක්‍රමණ හා දේශපාලන අවුල් වියවුල් හේතුවෙන් කලින් කල ලක්දිව රාජධානි වෙනස් වූ අතර දළදා වහන්සේ ද වෙනස් වූ නව රාජධානිවල තැන්පත් කර පුද පූජා පැවැත්විණි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, යාපව්ව, කෝට්ටේ, මහනුවර රාජධානිවල දක්නට ලැබෙන දළදා මාළිගා ගොඩනැඟිලි මේ සඳහා නිදසුන් වේ. දළදා වහන්සේ තමන් සතු වීම එදා රජුගේ ප්‍රධාන බලයක් වශයෙන් සැලකිණි. ලක්දිව රජ දරුවන් දළදා වහන්සේට දක්වන ලද පුද සත්කාර උපහාර අන් කිසි ම වස්තුවකට දක්වා නැති බව ද කිව හැකි ය.
මහනුවර (අවසාන රාජධානිය) රාජ්‍යයට පත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමා (ක්‍රි. ව. 1592-1604) දළදා වහන්සේ මහනුවරට වැඩමවාගෙන දර්ශනීය දළදා මාළිගාවක් කරවා එහි තැන්පත් කරවී ය. එදා සිට අද තෙක් ම දළදා වහන්සේ ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පුද පූජා උපහාර ලබමින් නිරුපද්‍රිත ව මහනුවර දළදා මාළිගාවේ වැඩ වෙසෙති.
දළදා වහන්සේ ගෙන් උරුම වූ චිරාගත සාම්ප්‍රදායික බුද්ධ පූජාමය පුද සිරිත් හා රාජ්‍ය වත් පිළිවෙත් සංකලනය වී ජන ඇදහිලි හා විශ්වාස, සාමාජික හැඩගැස්ම, නිර්මාණ කුසලතාවය, සෞන්දර්ය ආදි සියල්ල එක්තැන් කොට දක්වන දළදා පෙරහැර මංගල්‍යය තුළින් හෙළ සංස්කෘතික අභිමානය මතු කෙරේ.
අතීතයේ සිට ම දළදා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම, ඒ ඒ දිනවල පෙරහැර ගමනාරම්භ කිරීම ආදි වූ සියලු කටයුතු ආරම්භ වූයේ සුබ නකත්, සුබ මුහුර්ත අනුව ය. එතුළින් ජන විශ්වාස අතර වන ජ්‍යොතිෂය ද පෙරහැර මංගල්‍යය සංවිධානයට එක් කරගෙන ඇති බව පෙනේ. හෙළ සංස්කෘතියේ හැඩගැස්මට මෙම ජන විශ්වාස ද බෙහෝසෙයින් බලපා තිබේ.
කිත්සිරිමෙවන් රජ දවස සිට වර්තමානය තෙක් ජාතික, ආගමික, සංස්කෘතික අඛණ්ඩ ජීවමාන ඉතිහාසයක් අපට උරුම කර දුන් දළදා වහන්සේ විෂයෙහි වාර්ෂික ව පවත්වන පෙරහැර මංගල්‍යය නරඹන එහි අසිරිය විඳින ජනතා සිත්සතන් ශ්‍රද්ධාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් හා ප්‍රඥාවෙන් මුසු බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරී යයි.
ආතත, විතත, විතතාත, ඝන, සුසිර යන පංචතූර්ය නාදය ප්‍රධාන කොට ගත් හේවිසි කණ්ඩායම් වාදන නාද රිද්මය කලාකරුවන්ගේ පමණක් නො ව අලි ඇතුන්ගේ ගමන බිමන පවා කිසියම් රිද්මයකට අනුව පවත්වාගෙන යෑමට මඟ සලසයි. නගරයේ වීදි පුරා ඇසෙන හේවිසි නාදය අසන දකින කාගේ වුව ද සිත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පුබුදුවාලීමට සමත් වෙයි.
නර්තනය, ගායනය, වාදනය යන අංගවලට පමණක් නො ව කලා ශිල්පීන්ගේ අලි ඇතුන්ගේ ඇඳුම් ආයිත්ම් අලංකාර කිරීමට දායක වන චිත්‍ර කැටයම් ආදි වූ කලාවන්ගේ ද පෝෂණයට හා චිර පැවැත්මට දළදා පෙරහැර මංගල්‍යය හේතු කාරක වේ. එසේම නරඹන්නන්ගේ රසවින්දනයට පමණක් නො ව අසන දකින සැමගේ සිත් තුළ උදාරත්වයක් අභිමානයක් ඇති කිරීමට ද, සාම්ප්‍රදායික සිරිත් විරිත්, කලා ශිල්ප පිළිබඳ අධ්‍යයනයට පෙලඹවීමක් හා නැමියාවක් ද ඇති කිරීමට ද එය හේතු වේ.
සධාතුක කරඬුව පිට මත තබා ගෙන පාවඩ උඩින් ගමන් කරන මංගල හස්ති රාජයා දළදා පෙරහැරේ විශිෂ්ටතම අවස්ථාව නිරූපණය කරයි. මංගල හස්ති රාජයාගේ පිට මත රන්සිවිගෙයි වැඩමවන පෙරහැර කරඬුවෙහි ක්‍රි.ව. 1828 දක්වා දළදා වහන්සේ වැඩමවීම සිදු කර ඇති නමුත් ඉන්පසු වැඩමවනු ලබන්නේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති පෙරහැර කරඬුවයි.
වර්තමානයේ ඇසළ පෙරහැර මංගල්‍යය සංවිධානය වනුයේ සියම් මහානිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරාධිපති අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදය මත ගිහි භාරකාර දියවඩන නිළමේතුමාගේ උපදෙසින් ශ්‍රී දළදා මාළිගාවේ නකත් මොහොට්ටාල විසින් සකසනු ලබන සුබ නකත් පත්‍රයකට අනුව ය. පළමුව සුබ නකතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කරනු ලැබේ. එදින සිට අභ්‍යන්තර පෙරහැර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහැර පහක් ද, රන්දෝලි පෙරහැර පහක් ද, දියකැපුම් පෙරහැරක් ද, දහවල් පෙරහැරක් ද, වළියක් නැටුම ද පැවැත්වීමෙන් පෙරහැර මංගල්‍යය අවසන් වේ.
වර්තමාන ඇසළ පෙරහැරේ සියලු සංස්කෘතිකාංග පෙළ ගැස්ම තුළින් අතීතයේ සිට එහි පැවැති ආගමික චාරිත්‍ර හා රාජකීය පිළිවෙත් පිළිබිඹු කෙරේ. පෙරහැරේ මුලින් ම ගමන් කරන්නේ කසකරුවන් ය. මෙම සිරිත මුලින් පැවතියේ වීථි සංචාරයෙහි යෙදෙන රජුන් කෙරෙහි ය. අනතුරු ව ගිනිබෝලකරුවන්, බෞද්ධ කොඩි රැගත් අය, දිසා කොඩි රැගත් අය, කඩු ගෙනයන්නන්, පෙරමුණේ රාළ, හේවිසිකරුවන්, ගජනායක නිළමේ, හොරණෑ වාදකයන්, චාමර නැටුම, ලීකෙළිකරුවන්, පන්තේරු නැටුම, තාලම්හවඩිදඟය, නෛයන්ඩි කණ්ඩායම, අත් රබන් කණ්ඩායම, වේවැල් නැටුම, උඩැක්කි නැටුම, තම්මැට්ටම් වාදකයන්, පතුරු නැටුම, වෙස්නැට්ටුවන්, කාරියකරවන කෝරාළ, නාගසිංහම් වයන්නන්, උඩුවියන් සහිතව පාඩව මතින් පෙරහැර කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයා, දෑලේ ඇතුන්, කවිකාර මඩුව, මල්පහන් ගෙනයන්නන්, දියවඩන නිළමේතුමා පිරිවරා ගත් විදානේවරුන් ආදි රාජකාරිකරුවන් හා කලාකරුවන් සහ අලි ඇතුන්, කොඩි – චාමර ගත්තවුන්, පන්දම්කරුවන්, කඩු ගත්තවුන් මෙම පෙරහැරේ ගමන් කිරීම සුවිශේෂී සංස්කෘතික ලක්‍ෂණයකි. මාළිගාවේ පෙරහැර පෙරටු කොටගෙන නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලයවල පෙරහැර අනුපිළිවෙළින් ගමන් කිරීම සිදු වේ.
දහවල් පෙරහැර අවසන් වූ පසු දියවඩන නිළමේතුමා හා සිව් මහා දේවාලයවල බස්නායක නිළමේවරුන් තම නිල ඇඳුමෙන් ම සැරසී පෙරහැර සාර්ථකව පැවැත්වූ බව රාජ්‍ය නායකයාට දැනුම් දීම සිදු කරනු ලැබේ. මෙය සාම්ප්‍රදායික රාජ්‍ය චාරිත්‍රයකි. වර්තමානයේ මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමු වී මෙම චාරිත්‍රය ඉටු කරනු ලබයි. මෙහි දී පෙරහැරේ දක්‍ෂතා දැක්වූ කලා ශිල්පීන්ට සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ.
දළදා වහන්සේ උදෙසා වාර්ෂික ව පැවැත්වෙන මෙම පෙරහැර මංගල්‍යය හුදු විනෝදාස්වාදය පිණිස පවත්වන්නක් නො වේ. මෙය හෙළ කලාවේ උදාරත්වය කියාපාන අතර ම උඩරට නැටුම් ගැයුම් වැයුම් කලා ශිල්පීන්ගේ අදීන කලා කුසලතාවය ලොවට විදහා පෙන්වන කලා මංගල්‍යයක් ද වේ. රාජධානියෙන් රාජධානියට පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම විශිෂ්ට සංස්කෘතික දායාදයන් අනාගතය උදෙසා සුරක්‍ෂිත කොට අභිවර්ධනය කරගැනීම උදෙසා දළදා පෙරහැර මංගල්‍යයෙන් ලැබෙන දායකත්වය අතිමහත් ය.