සාර්ථක ජීවිතයකට භාවනා

cmadurawala
10 Min Read

බෞද්ධ ජීවිතය ඔපවත් කරන ත්‍රිවිධ කුසල ක්‍රියා අතර උසස් ම කුසලය ලෙස අගය කරනු ලබන භාවනාව ආර්ය මාර්ගයෙහි අවසන් අංග තුන සමග සම්බන්ධ වෙයි. එමගින් අකීකරු සිත තමන්ට අවනත කරගෙන සංස්කාර ධර්මයන්ගේ යථාතත්වාවබෝධය සඳහා මගපාදා දෙන අතර මිනිස් සිත් අරක් ගත් අපිරිසිදු පාපී කෙළෙස් සුන්කර ලන්නට ද හැකි වෙයි.

සාර්ථක ගිහි ජීවිතයක් සඳහා භාවනාවෙන් ප්‍රයෝජනයක් වේද? සමාධි මුද්‍රාවෙන් වැඩ සිටින බුදුරුව දෙස බැලීමෙන් මෙන්ම භාවනා මධ්‍යස්ථානවල බද්ධ පර්යංකයෙන් වාඩි වී භාවනාවේ නිරතව සිටියදීත් යෝගාවචරයන් දැකීමෙන් සමහරුන් එවැනි ප්‍රශ්නයක් මතු කරන්නට හොඳට ම ඉඩ තිබේ. භාවනාව නම් හැමවිට ම එසේ බද්ධපර්යංකයෙන් වාඩි වී සාමාන්‍ය දෛනික කටයුතුවලින් බැහැරව කරන දෙයක් ලෙස සිතිය යුතු නැත. එය ආරම්භයක් පමණි. මනාව භාවනාව ප්‍රගුණ කළ පසු එය සෑම ඉරියවුවකදී ම දවසේ හැම පැයක ම ජීවිතය පුරා විසිරුණු කෞශල්‍යයක් බවට පත් වෙයි. බුදුරදුන් උගන්වා ඇත්තේ භාවනාවෙන් පුහුණු කරනු ලබන සම්ප්‍රජානකාරිත්වය සිටගෙන සිටියදී, වාඩි වී සිටියදී, ඇවිද්දී, අවදියෙන් සිටියදී මෙන් ම නින්දේදී ද සමස්ත චින්තනය ම ප්‍රභාවත් කරන දෙයක් බවට පත්වන බවයි. රියැදුරකු වන්නට පුහුණු වන තැනැත්තා ආරම්භක

භාවානානුයෝගීන් මෙන් ඉතා ප්‍රවේසමෙන් සෑම ඉරියවුවක් ම පවත්වන ආකාරය බලන්න. පසු කලෙක රියැදුරු කම ඔහුගේ සමස්ත ආත්මය ම ග්‍රහණය කර සිටින්නේ අසිරිමත් අයුරින් නොවේ ද? දෑසින් ඉදිරි මග බලමින් දර්පණතල කිහිපයක ඇසුරින් පසුපස ද බලමින්, දෙසවණින් තම වාහනයේ මෙන් ම අන් වාහනවල ශබ්ද වලට ද සවන් දෙමින්, නාසයෙන් වයර් පිළිස්සීම් වැනි යමක් දනේ දැයි අවදිකමින් සිටිමින්, දැතින් සුක්කානම මෙහෙයමින් සහ ගියර් මාරු කරමින්, දෙපයින් බ්‍රේක් ඇක්සලේටර් සහ ක්ලච් පාගමින් තම වාහනය ගෙන යන හෙතෙම අප සමග ඕනෑම විෂයයක් සම්බන්ධ කතා බහට ද එකතු වෙයි. මේ කුසලතා සියල්ල ඔහු අන්තර්කරණය කරගෙන වාහනය පදවාගෙන යන ආකාරය භාවනාව මනාව ප්‍රගුණ කළ අය තම ජීවිත යාත්‍රාව සාර්ථකව මෙහෙයවන ආකාරයට සමාන කර සිතන්න. මුලදී පහසුවෙන් සීරුවෙන් භාවනා කර ලබන කෞශල්‍යය පසුව සමස්ත චර්යාව ම ආවරණය කරමින් සාර්ථක ජීවිතයකට අලෝකයක් වනු ඇත.

අමෙරිකාවේ මැසචුසෙට් විශ්වවිiාලයෙහි සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත් භාවනා පාඨමාලාවක් ආරම්භ කළ මහාචාර්ය ජොන් කබත්සිං පවසන පරිදි භාවනාව මගින් අප තුළ නිලීනව පවත්වා පූර්ණ මනුෂ්‍යත්වය මතුකර ගත හැකිය. සතිපට්ඨානය හුදෙක් මොහොතක සතුටක් නොව සමස්ත ජීවිතය පුරා විසරණය වන පූර්ණ ඒකාග්‍රතාවක් ලබා දෙයි. අප සිතන මතන ආකාරය, වින්දන, ආදරය,

රැකියාව මෙන් ම ක්‍රීඩාවට ද නව ජීවයක් ලබා ගැනීමට භාවනාව, හෝපකාරී වන බව හෙතෙම පවසයි. මැසචුසෙට්ස් සෞඛ්‍ය ආයතනයෙහි මානසික ආතතිය දුරුකර ගන්නට පැමිණෙන්නවුන් සුවපත් කරන්නේ ද සතිපට්ඨාන භාවනාව මගිනි. සතිපට්ඨාන භාවනාව සිත තුළ හිර වූ සිතිවිලිවලට ස්වයං නිදහසක් ලබා දී තමාට තමන් ගැන ඍජු අවබෝධයක් ලබාදෙන මානසික අභ්‍යාසයකි.

පෙන්සිල්වේනියා විශ්වවිiාලයේ වෛiපීඨයේ ආචාර්ය ඇන්ඩ්‍රෑ නිව්බර්ග් යෝග භාවනා පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කළේය. එහි ප්‍රතිඵල අනුව දිනකට මිනිත්තු 12ක් යෝග භාවනා කිරීමෙන් රුධිර ධාවනය යහපත් තත්වයට පත් වූ බව මෙන් ම ප්‍රජානන ක්‍රියාවලිය වර්ධනය වූ බව ද වාර්තා කරන ලදී.

භාවනා කිරීම හේතුවෙන් මොළය සහ හදවත අතර සමතුලිත බවක් ඇති වන බව ද භාවනාවෙන් සංවර්ධිත මනස පරිසරය වෙත පවා සාධනීය බලපෑමක් ඇති බව ද සොයා ගෙන තිබේ. සාම කුමරුන්ගේ මෛත්‍රී සහගත දයාන්විත සිතුවිලි හේතුවෙන් වන සතුන් පවා අහිංසක වී සෙනෙහසින් වෙලී ජීවත් වූ බව අපි සාම ජාතකයෙන් කියවා ඇත්තෙමු. 1993 ජුනි සහ ජූලි මාසවලදී එවන් අත්හදා බැලීමක් වොෂිංටන් ඩී සී නගරයෙහිදී කළ බව වාර්තා වෙයි. රටවල් 81කට අයත් 4000ක් දෙනා රැස් කළ එම අත්හදා බැලීම හඳුන්වන ලද්දේ දරුණු අපරාධ අවම කිරීමේ සහ රාජ්‍ය පාලන සාඵල්‍ය වර්දනය සඳහා වූ ජාතික නිදර්ශක ව්‍යාපෘතිය නමිනි. ප්‍රමුඛ පෙළේ විශ්වවිiාල වල සමාජ විද්‍යාඥයෝ, අපරාධ විද්‍යාඥයෝ ප්‍රජා නායකයෝ මෙන් ම කොලොම්බියා දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ පොලිස් දෙපාර්තමේන්තු නියෝජිතයෝ මෙම පර්යේෂණය අනුමත කර එහි ප්‍රගතියද අධීක්ෂණය කළහ. උපන්‍යාසය ලෙස යොදා ගනු ලැබුවේ භාවනාව මගින් ජනතාව අතර මෙත් සිත වඩවා ආතතිය අඩු කිරීම මගින් අමෙරිකානු අගනුවර සාහසික අපරාධ (මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, පහර දීම්, මංකොල්ලකෑම් වැනි) සෑහෙන දුරකට අඩු කළ හැකිය යන්නයි. විද්‍යාත්මක ක්‍රමය අනුව පාලිත පරීක්ෂණයක තිබිය යුතු ක්‍රියාවලිය නිසි ලෙස අනුගමනය කරන ලදී. භාවනා කරන්නවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කිරීම මගින් පරායත්ත විචල්‍යය කෙරෙහි ඇතිවන බලපෑම නිරීක්ෂණය කරන ලදී. විමර්ශන සමය තුළ අපරාධ සියයට 24.5කින් අඩු වූ අතර ව්‍යාපෘතිය නැවැත්වූ පසුව ද ටික දිනක් යන තුරු ද මෙහි බලපෑම පැවතුණු බව වාර්තා වී ඇත. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ ප්‍රකට භෞතික විද්‍යාඥයකු වූ ආචාර්ය ජෝන් හැගලින් “භාවනා යෝගීන්ගේ මානසික තුල්‍යතාව සහ සංවරය සමාජය වෙත උතුරා ගිය බවක් පෙනෙන අතර එය අපරාධ අඩු වීමට බලපෑ ආකාරය මැන ගත හැකි විය.” යි පැවසීය.

ළමයින් භාවනා පුහුණුවට යොමු කිරීමේ ප්‍රවණතාවක් ද බොහෝ රටවල දක්නා ලැබේ. සිංගප්පූරුවේ කොං මෙං සාන් ෆෝ කාක් සී විහාරස්ථානය පාසල් සිසුන්ට භාවනා ඉගැන්වීමේ ජනප්‍රීය වැඩසටහනක් මෙහෙයවන අතර කැනඩාව ඕස්ටේ්‍රලියාව වැනි රටවල ද මේ ප්‍රවණතාව දිනපතා වර්ධනය වෙයි. භාවනාව ළමයින්ට තම මනස ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට උදවු වන අතර ඔවුන්ගේ සංවරය මෙන්ම සිහි නුවණ ද වර්ධනය කරයි. අන්‍යොන්‍ය මිත්‍රත්වයෙන් වැඩෙන්නට මෙන්ම සහයෝගයෙන් ක්‍රියා කරන්නට ද ඔවුහු පෙළඹෙති. “ළමයින්ට හොඳම භාවනාව මෛත්‍රී භාවනාවයි. මුලු ලොවටම මෙත් වඩන්නට ඔවුනට හුරු කරමු. තම මානසික බලය තේරුම් ගන්නා විට ළමයි ශක්තිමත් වෙති.” යි Growing Happy Kids ආයතනයේ ආරම්භක මෝරින් හීලී පවසයි.

සාමාන්‍ය බෞද්ධ ජනතාව භාවනා කරන්නේ ප්‍රසන්න ගිහි ජීවිතයක් ගත කිරීමට එමගින් මහත් අනුබලයක් ලැබෙන නිසා පමණක් නොව භාවනාව ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සලසන පුණ්‍ය කර්මයක් බව දන්නා හෙයිනි. දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය කර්මයන් අතරෙහි ලා එය සඳහන් කරනු ලැබුවද භාවනාව අන්‍ය පුණ්‍ය කර්මයනට වඩා විශේෂ වන්නේ හුදෙක් දාන හා ශිල මගින් කළ නොහැකි කාර්යයක් වූ සියලු කෙලෙස් ප්‍රහාණය කොට නිර්වාණය අධිගමය කිරීම භාවනා මගින් ඉටු කර ගත හැකි වීම නිසාය. මේ සඳහා මූලික සූදානම වශයෙන් කායික හා වාචසික සංවරය වූ ශීලය පදනම් කරගත යුතුය.

ශීලයෙහි පිහිටා භාවනාව මගින් සිත හා ප්‍රඥාව භාවනය කිරීම විමුක්තියෙහි මග බව බුදුන්වහන්සේ විසින් වදාරා තිබේ. භාවනා ක්‍රම දෙකක් වෙයි. එකක් සමථ භාවනාවයි. අනෙක විදර්ශනා භාවනාවයි. මේ භාවනා ක්‍රම දෙක එකිනෙකට වෙනස්ය. එහෙත් ඒවා අන්‍යොන්‍ය වශයෙන් ආධාරකව පවත්නා බව පැවසිය යුතුව තිබේ. සමථයෙන් චිත්තේකාග්‍රතාව වර්ධනය කරන අතර විදර්ශනාවෙන් විශ්ලේශනාත්මක ප්‍රඥාව වර්ධනය කරයි. සමථ භාවනාවට චිත්ත භාවනාව යයිද විදර්ශනා භාවනාවට ප්‍රඥා භාවනාව යයි ද නම් කරන්නේ ඒවයේ අර්ථක්‍රියාකාරීත්වය සැලකීමෙනි. මේ දෙක්හි ම අපූරු සංකලනයක් ලෙස හැඳින්විය හැකි සතිපට්ඨාන භාවනාව විමුක්තිය ලැබීම සඳහා ඒකායන මාර්ගය බව බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබේ. එය සිත කෙළෙසුන්ගෙන් මුදා පිරිසිදු කොට දුක් දොම්නස්, කායික හා මානසික වේදනා දුරුකොට මාර්ග ඵල සහ විමුක්ති සුවය ලබාදෙන බව පැහැදිලි කොට මෙම භාවනාව මනාව ප්‍රගුණ කරන්නවුනට නිවන් සුවය හෝ අනාගාමි ඵලය ස්ථීර වශයෙන් ම ලබාගත හැකි බව දේශනා කළහ. අසහන දුරු කර නිරෝගී ප්‍රසන්න මනසක් ඇති කර ගැනීමේ මාර්ගය ලෙස මැසචුසෙට්ස් විශ්වවිiාලයෙහි ප්‍රගුණ කරවන්නේ මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමයයි.

භාවනා වනාහි බුදුසමයෙහි ඒකාධිකාරයක් නොව මනුෂ්‍ය වර්ගයාගේ ජන්ම උරුමයක් බව සැලකිය යුතුය. බොහෝ ආගම්වල කිසියම් ආකාරයක භාවනාවක් දක්නා ලැබේ. සමහර මනෝවිiාඥයන් පවසන පරිදි කුඩා දරුවෝ ද නිසගයෙන් ම භාවනා කරති. තවත් සමහර ලේඛකයෝ බළලුන්, වඳුරන්, කටුස්සන්, බල්ලන් වැනි සතුන් දෙස බලා ඔවුන් ද කිසියම් නිහඬ ආත්මීය ආස්වාදයක් ලබන සෙයක් පෙනේ යයි පවසති. භාවනාව ඉතා ස්වාභාවික මානසික වර්ධන ක්‍රමයක් වන අතර එය හරියට කෙනෙකු තම නිවසට පැමිණීම වැනි බව භාවනා ගුරුවරයකු වූ ලෝරන්ස් ලෙෂාන් පවසයි.

අනාදිමත් කාලයක සිට මිනිස්සු විවිධ ආකාරයේ භාවනා වැඩූහ. පුරාවිiාඥයන්ගේ අදහස නම් වසර 4600 කටත් පෙර පටන් මිනිසුන් භාවනා කර ඇති බවයි. භාවනා පිළිබඳ මුල්ම වාර්තාගත අභිලේඛනය හමුවන්නේ වසර 600 කට පෙර ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙනි. 1920දී ශ්‍රීමත් ජෝන් මාර්ෂල් විසින් මහෙන්ජොදාරෝ නගරයේ නටබුන් අතරින් භාවානානුයෝගියකුගේ කැටයම් කළ රුවක් සහිත මුද්‍රාවක් සොයා ගන්නා ලදී. එය ක්‍රි.පූර්ව 2600ට අයත් යැයි නිගමනය කරන ලදී. ඒ සමගම වාගේ පද්මාසනයෙන් හෝ කුර්මාසනයෙන් හිඳගත් භාවනානුයෝගීව සිටින්නකුගේ රූපයක් ද සාම්භවී මුද්‍රාවෙන් දෙනෙත් අඩවන් කර ගත් දේව රූපයක් ද ලැබී ඇත. තව ද අඩවන් දෙනෙත් සහ ශාන්ත පෙනුමක් ඇති භාවානානුයෝගියකුගේ උඩුකය රුවකින් ද සනාථ වූයේ එම ශිෂ්ටාචාරය තුළ භාවනා ප්‍රගුණ කිරීම පැවති බවයි. මෙම ශිෂ්ටාචාරය වනසා ඒ පිළිබඳ තොරතුරු තම යුද දෙවියාට ප්‍රශස්ති වශයෙන් වාර්තා කළ ඍග් වේද ගීතිකාවන්හි මෙම භාවානානුයෝගන් නිශ්ශබ්දතාව අගය කළ අහසින් යෑමේ හැකියාව පවා වර්ධනය කර ගෙන සිටි අය වශයෙන් විස්තර කර තිබේ. කෙසේ වුවද ඊට බොහෝ කලකට පෙර පවා භාවනා පිළිබඳ දැනුමක් මිනිසුනට වූ බව සාමාන්‍යයෙන් අනුමාන කරනු ලැබේ.

බුදුන්වහන්සේද බෝධිසත්ව අවධියෙහි අබෞද්ධ ආචාර්යවරුන් වෙතින් භාවනා ක්‍රම පුහුණු කළ බව බුද්ධ චරිතයෙන් හෙළිවේ. ආලර කාලාම හා උද්දකාරාමපුත්‍ර ආචාර්යවරුන් බෝධිසත්වයන්ට ඉගැන්වූයේ සමථ භාවනා ක්‍රමයයි.විදර්ශනා භාවනා ක්‍රමය බුදුන්වහන්සේගේ ම සොයා ගැනීමකි. විදර්ශනා භාවනාවෙන් තොරව නිර්වාණාධිගමය කළ නොහේ. එහෙයින් භාවනා ක්‍රම අතර ප්‍රමුඛත්වය ලබන්නේ විදර්ශනාවයි. සමථ භාවනාව නොවඩා හුදු විදර්ශනා භාවනාවෙන් පමණක් අර්හත්වය ලද රහතන් වහන්සේලා පිළිබඳ පුවත් බෞද්ධ සාහිත්‍යයෙහි ඇත. ශුෂ්ක විදර්ශක නමින් හඳුන්වනු ලැබෙන උන්වහන්සේලාට ලෞකික ඍද්ධි නොමැති බැවින් ප්‍රාතිහාර්ය පෑමේ ශක්තියක් නැත.

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *