සටහන: – සංඛ මහසිංහ
බුදුරජාණන් වහන්සේ සංවේජනීය සූත්‍රයේ දී වදාළ පරිදි, සැදැහැවත් කුලපුත්‍රයකුගේ සියැසින් දකින්නට නිසි වූ ද, එසේ දැක පහන් සංවේගය උපදවාගන්නට නිසි වූ ද ස්ථාන සතරකි. කවරේ ද යත්,
මෙතැන දී තථාගතයාණෝ උපන් සේකැ යි
මෙතැන දී තථාගතයාණෝ අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කළ සේකැ යි
මෙතැන දී තථාගතයාණෝ අනුත්තර ධර්මචක්‍රය ප්‍රවර්තනය කළ සේකැ යි
මෙතැන දී තථාගතයාණෝ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවුණ සේකැ යි වශයෙනි. (සංවේජනීය සූත්‍රය - අඞ්ගුත්තර නිකාය, චතුක්ක නිපාතය)
බුද්ධ චරිතය ප්‍රවාදයක් නො වේ. අද අප පය ගසා ඉන්නා මිහිතලය මත ම එක් කලෙක ගෞතම බුදුන් වහන්සේ වැඩහුන් සේක. සංවේජනීය සූත්‍රයෙහි දක්වා ඇත්තේ, මිහි මත එයට සාක්ෂ්‍ය සපයන ප්‍රධාන ස්ථාන සතර පිළිබඳ ව ය.
බුද්ධ චරිතයට පාදක වූ පූජ්‍යස්ථානයක් දකින වන්දනාකරුවකුගේ සිතෙහි උපදින්නේ නිම්හිම් නැති ශ්‍රද්ධා වේගයකි. සංවේගය යනු ඒ බලවත් හැඟීමයි. පහන් සංවේගය තරම් දෙගිඩියාවෙන් තොර හැඟීමක් පහළ වන්නට නම්, ගම් - නගර - රාජ්‍ය පසු කරමින් ආ කලබලයෙන් සිත මුදවාගත යුතු ය; සිත සන්සුන් විය යුතු ය.
බුදුසිරිතෙහි වූ අපිස් පෞර්ෂය චිත්‍රණය වෙද්දී සිතේ සඞ්කරතා මඟහැරී සොබාදහමට සමීප වේ; සිත සන්සිඳේ. ඉපදීම - බුදු වීම - දම්සක් පැවැත්වීම - පිරිනිවීම යන බුද්ධ චරිතයේ තීරණාත්මක ජවනිකා සතරට ම පසුබිම සැපයූයේ මිනිස් අතකින් නිර්මාණය කළ සඞ්කර ගොඩනැඟිලි නො ව, සොබාදහම නිමැවූ ශාන්ත වන උයන් ය.
සතර සංවේග ස්ථාන දකින්නට වන්දනාවේ යන සැදැහැවතකු පිළිබඳ ව සංවේජනීය සූත්‍රයෙහි දැක්වේ. අතීතයේ දී ඒ වන්දනාව දෙපය වෙහෙසා කාය බලයෙන් යා යුතු වූ හෙයින් කාටත් අතිදුෂ්කර ගමනක් විය. ගමන් පහසුකම් සුලබ නූතනයේ දී නම් ලක්වැසි අපට එය බරපැන දරා සපුරාගත යුතු මිල අධික ඉලක්කයකි. කෙසේ හෝ වන්දනා ගමනක් යන්නට මඟ පාදාගත නො හැකි සැදැහැවතුනට පවා, පුණ්‍යභූමිවල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය දර්ශන බලමින් පහන් සංවේගය උපදවාගැනීමේ මාර්ගය අද වන විට විවර ව ඇත.
මේ වෙසක් පෝ දා අපි නෙතින් දඹදිව රූපරාමු දකිමින් සිතින් වන්දනා ගමනක් යමු.
1. ලුම්බිණිය
අදින් වසර 2648කට පෙර සිදුහත් කුමරු උපන් තැනයි. සොළොස් මහා ජනපද අතරින් කෝසල රාජ්‍යයට අයත් විය. අද වන විට බටහිර නේපාලයට අයත් වේ.
සිදුහත් කුමරුගේ මව වූ මහාමායා අගබිසව සිය අතවැසියන් පිරිවරා කපිලවස්තු පුරයේ සිට දෙව්දහ නුවරට යමින් සිටියා ය. අතරමඟ දී ඈ විඩා නිවාගන්නට ලුම්බිණි සල් වනයෙහි නැවතුණා ය. එහි දී සිදුහත් කුමරුගේ උපත සිදු විය. එසැණින් නොයෙක් අසිරිමත් සිදුවීම් පහළ වීමෙන් මනුෂ්‍ය දිව්‍යාදි සියලු ලෝකධාතූන් ම මොහොතකට උත්සවශ්‍රීයක් ගත් බව කියැවේ.
වෙසක් පුන් පෝ දා ලුම්බිණි වන මැද දී සුපින්වත් සිදුහත් කුමරුවාණෝ උපන් හ යි පහන් සංවේගයෙන් මෙනෙහි කරමු. පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් සුවිශේෂ මනුෂ්‍ය රත්නයක් ලෙස පහළ වූ ඒ සත්‍යගවේෂී බුද්ධාංකුරයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේ වා! සාධු! සාධු!! සාධු!!!
2. බුද්ධගයාව
අදින් වසර 2613කට පෙර සිදුහත් තවුසාණන් බුදු වූ තැනයි. සොළොස් මහා ජනපද අතරින් මගධ රාජ්‍යයට අයත් විය. අද වන විට ඊසානදිග ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත් වේ.
සිදුහත් තවුසාණෝ ගයාවේ ඇසතු බෝරුක පාමුල වජ්‍රාසනය මත අපරාජිත පර්යංකයෙන් වැඩහුන් හ. උන්වහන්සේට එරෙහි ව ආ වසවත් දෙව්පුතු ඇතුළු දස බිම්බරක් මාර සේනාව පරාජය විය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පිරූ බෝසතාණෝ සියලු කෙලෙස් නසා ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මේ සොඳුරු කල්පයෙහි සිවු වැනි වරටත් බුදුරුවන පහළ විය.
වෙසක් පුන් සඳ පෑයූ ගයාවේ දී අපගේ ශාස්තෲවරයාණන්ට අසමසම බුද්ධ ඥානයෝ පහළ වූ හ යි පහන් සංවේගයෙන් මෙනෙහි කරමු. ගුරූපදේශ නො ලබා ස්වයංභූඥානයෙන් සංසාරය තරණය කළ, මහාප්‍රඥාවෙන් සියල්ල දැනගත් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේ වා! සාධු! සාධු!! සාධු!!!
3. බරණැස
අදින් වසර 2612කුත් මාස 10කට පමණ පෙර බුදුරදුන් මුල් ම දම්දෙසුම පැවැත්වූ තැනයි. සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයට අයත් විය. අද වන විට උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් වේ.
බුදු වී සති හතක් විවේකී ව ගෙවූ උරුවේලාව අත්හළ බුදුපියාණන් වහන්සේ පියවි ගමනෙන් බරණැස ඉසිපතනයට වැඩම කළ හ. ඒ, ඉසිපතන මුව වනයෙහි විසූ පස්වග තාපසවරුනට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන අටියෙනි. දම්දෙසුම කෙළවර කොණ්ඩඤ්ඤ තවුසාණෝ මඟපල ලැබූ හ. දෙව් බඹුන්ගේ සාධුකාර මැද එදා ගෞතම බුදුසසුනෙහි දම්රුවන සහ සඟරුවන පහළ විය.
ඇසළ පුන් සඳ පෑයූ බරණැස දී පස්වග මහණහු බුදුසසුනෙහි මුල් ම දම්දෙසුම ඇසූ හ යි පහන් සංවේගයෙන් මෙනෙහි කරමු. තණ්හා රැහැනින් බැඳී අනවරාග්‍ර සංසාරයක් ගෙවා ආ අනන්ත සංඛ්‍යාත දෙව් මිනිස් ප්‍රජාවට නිර්වාණ ශාන්තිය දක්වා වදාළ තිලෝගුරු තථාගතයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේ වා! සාධු! සාධු!! සාධු!!!
4. කුසිනාරාව
අදින් වසර 2568කට පෙර බුදුරදුන්ගේ පිරිනිවන් පෑම සිදු වූ තැනයි. සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජ්‍යයට අයත් විය. අද වන විට උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් වේ.
ශ්‍රාවක සඟරුවන පිරිවරාගෙන බුදුපියාණන් වහන්සේ වැඩමවූ අවසන් පාද චාරිකාව කුසිනාරාවෙන් කෙළවර විය. දැඩි සේ ගිලන් වූ උන්වහන්සේ කුසිනාරාවේ උපවර්තන වන උයනෙහි සල් ගස් අතර පැනවූ බුද්ධාසනය මත සිංහ සෙය්‍යාවෙන් සැතපුණ සේක. හතළිස් පස් වසක් පුරා සිවුවනක් පිරිස සසුනෙහි පිහිටුවමින් මහාකරුණාවෙන් ඉටු කළ බුද්ධ කෘත්‍යය, “භික්ෂූනි, ඔබට ආමන්ත්‍රණය කරමි. සංස්කාරයෝ නැසී යන ධර්මතාවයෙන් යුක්ත වන්නා හ. අප්‍රමාදයෙන් කළ යුත්ත සම්පාදනය කරවු!” යන අන්තිම බුද්ධාවවාදයෙන් නිමා විය. සමවත් අතර මොහොතක් සැරිසැරූ බුදුරජාණන් වහන්සේ දැහැන් මුදා පිරිනිවුණ සේක. එසැණින් බොල් පොළොව කම්පා විය. ශෝකභරිත දෙව් මිනිස් ප්‍රජාව අතර, ශෝකය බැහැර ලූ මුනිවරු පමණක් අකම්පිත ව වැඩහුන් හ.
වෙසක් පුන් සඳ පෑයූ කුසිනාරාවේ දී අපගේ ශාස්තෘවරයාණෝ පිරිනිවුණ සේකැ යි පහන් සංවේගයෙන් මෙනෙහි කරමු. දෙසූ දහමත් පැනවූ විනයත් ශාස්තෲ තන්හි ලා සලකන්නැ යි වදාරමින්, මහාපරිනිර්වාණයෙන් පසු ව ද ශ්‍රාවකයනට පිළිසරණ සැපයූ ඒ මහාකාරුණිකයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේ වා! සාධු! සාධු!! සාධු!!!
(ඡායාරූප අන්තර්ජාලයෙනි)