පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
අපි මේ දහම් පත්‍රිකා වලදි නැවත නැවතත් කථා කරපු කරුණක් තමයි, බාහිර ලෝකෙ මොනවා තිබුණත් අපි අත්දකින්නේ සළායතනයන්ගේ මැවෙන ස්වභාවයයි කියන බව. ආයතන හයේ විඤ්ඤාණයෙන් පිළිබිඹු වෙන නාමරූප ලෝකය බව. අප අත්දකින සළායතනික රූප නිමිති කියන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහාභූතරූප ඇසුරෙන් හඳුනාගන්න උපාදාය රූපවලටයි. ඒවා මනසිකාරයෙන් තමයි (මනසිකාරසම්භවා සබ්බෙධම්මා) අරමුණු කරන්නෙ. චක්ඛුසම්ඵස්ස, සෝතසම්ඵස්සා දී සළායතනික ඵස්සෙයෙන් තමයි සමුදය වෙන්නෙ. (ඵස්සසමුදයා සබ්බෙධම්මා) විඳගැනීම්, හඳුනාගැනීම්, චේතනා මැවීම් ක්‍රියාත්මක වෙන්නෙ මේ රූපනිමිති පිළිබඳවයි.
මේ වින්‍දන, සඤ්ඤා, චෙතනා, ඵස්ස, මනසිකාර ක්‍රියාත්මක නො වී රූප නිමිති වෙන්නෙත් නෑ. මේ රූපනිමිති නැතිව නාමධර්ම සමුදය වීමක් වෙන්නෙත් නෑ. මේ නාම රූප දෙක එකිනෙකට ප්‍රත්‍යය වෙනව. මේ නාමරූප සමුදය වෙන්නෙ විඤ්ඤාණයේ සමුදයත් සමගයි. විඤ්ඤාණය සමුදය වෙන්නෙ නාමරූපත් සමගයි. විඤ්ඤාණය නාමරූප මවනව. නාමරූප විඤ්ඤාණය මවනව. මේවා එකිනෙකට යැපෙන සුලු ප්‍රත්‍ය ධර්ම. සමුදය වෙලා පවතින සළායතනික ලෝකයක් නෑ. සළායතනික වශයෙන් සමුදය වෙන ධර්ම ඔක්කොම නිරුද්ධ වෙනව. “යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධ ධම්මං” කියන බණ පදයෙන් කියැවෙන්නෙ ඒකයි. මේ තමයි සෝතාපත්ති ඵලය උදාවන විට උපදින දහම් ඇස.
සක්කාය කියන්නෙ විඤ්ඤාණ නාමරූප වශයෙන් ලබන අත්දැකීම් රාශිය සමුදය නිරෝධ වශයෙන් නො දැක ඝණ සංඥාවෙන් ඇති දේ හැටියට ගැනීමයි. ‘කාය’ කිව්වෙ මේ විඤ්ඤාණ නාමරූප රාශියට. ඒවා ඒකකයක් හැටියට ඇති දේ වශයෙන් ගැනීම සක්කායසමුදයයි. පුද්ගලයා අත්දැකීම් ලෝකය වශයෙන් සකසා ගන්න සාමාන්‍ය සංජානන මට්ටම ඒකයි. (සඤ්ජානාති) නුවණින් දැකීමක් එතැනදි නෑ. එතන තියෙන්නෙ විපරීත සඤ්ඤාවක්. වරදවා හඳුනා ගැනීමක්. පුහුදුන් පුද්ගලයා මේ සක්කායසමුදයට මූලික කරගන්නා සක්කායපරියාපන්න මූලකාරණා විසිහතරක් ගැන මූලපරියාය සූත්‍රයේ- (ම: නි: 1, 01 පිට සිට) සඳහන් වෙනව.
- පඨවි – තද ගතිය. බුරුල් ගතිය
- ආපෝ – තෙත ගතිය. බැඳෙනසුලු ගතිය.
- තේජෝ – උණුසුම් ගතිය, සිසිල් ගතිය.
- වායෝ – චංචල ගතිය, පිම්බෙන, සැලෙන ගතිය.
- භූත – මනුෂ්‍ය අත්දැකීම් තලය හා නරක, තිරිසන්, ප්‍රේත, අසුර අත්දැකීම් තල.
- දේව – දේවකායික අත්දැකීම් තල. එනම්: චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරති, පරනිම්මිතවසවත්ති.
- පජාපති – මාර.
- බ්‍රහ්ම – ප්‍රථමධ්‍යාන තලය.
- ආභස්සර – ද්විතීයධ්‍යාන තලය.
- සුභකිණ්හ – තෘතීයධ්‍යාන තලය.
- වේහප්ඵල – චතුර්ථධ්‍යාන තලය.
- අභිභු – අසංඥ තලය.
- ආකාසානඤ්චායතනය.
- විඤ්ඤාණඤ්චායතනය.
- ආකිඤ්චඤ්ඤායතනය.
- නෙවසඤ්ඤානාසඤ්ඤායතනය.
- දිට්ඨ – රූපායතනය. (දුටු)
- සුත – ශබ්දායතනය. (ඇසූ)
- මුත – ගන්‍ධායතනය (ඝායිත) රසායතනය, (සායිත) ඵොට්ඨබ්බායතනය (ඵුසිත)
- විඤ්ඤාත – ධම්මායතනය (මනසින් දත්)
- ඒකත්ත – වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්‍ධ සතර ඒකත්‍වයෙන් හඳුනා ගැනීම.
- නානත්ත – රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්‍ධ පහ වෙන වෙන ම හඳුනා ගැනීම.
- සබ්බ – සියලු සක්කායධර්ම සියල්ල හැටියට හඳුනා ගැනීම.
- නිබ්බාන – නිර්වාණය. පුහුදුන් පුද්ගලයා නිවන ද දෙයක් කරගෙන සක්කායයට කරුණක් කරගනියි.
මේ සඳහන් කළේ පුද්ගලයා අත්දැකීම් වශයෙන් මවා ගන්න අවස්ථා විසිහතරක්. මේ කරුණු පුහුදුන් මනසට වැටහෙන විදියට පුහුදුන් පුද්ගලයා හඳුනගන්නව. (සඤ්ජානාති) එහෙම හඳුනාගෙන මම, මගේ කියල හිතාගන්නව. (මඤ්ඤති) ඒ කරුණුවල ආත්මය එනම්: තමා පිහිටියයි කියල හිතාගන්නව. ඒවායින් බැහැරව මම වෙමි කියල හිතාගන්නව. ඒවා කැමති වෙනව. (අභිනන්‍දති) මොකක් නිසා ද? ඔහුගේ හාත්පසින් නො දත් කම නිසා. (අපරිඤ්ඤාතං)පිරිසිඳ නො දත්, කම නිසා. තව විදියකින් කිව්වොත් ඒවා හේතු ප්‍රත්‍ය සම්බන්‍ධතාවක් කියල නොදන්න කම නිසා.
මේ කථා කළේ පුහුදුන් පුද්ගලයාගේ සඤ්ජානන ලෝක සකස් වෙන හැටියි. පුහුදුන් පුද්ගලයෙක් හැටියට රූපාවචර අරූපාවචර සමාපත්ති ලබන්නත් පිළිවන්. සමාපත්ති තිබුණට ම කෙනෙක් පුහුදුන් බවින් මිදෙන්නෙ නෑ. ඒ සමාපත්ති මම කරගන්නව. මගේ කරගන්නව. එහෙම කෙනෙක් නිවන ගැන හිතුවත් නිවනත් මම කරගන්නව. මගේ කරගන්නව. එහෙම වෙනකොට නිවන් අවබෝධ වීම වෙනුවට හදාගන්නෙ චේතනාමය අභිසංස්කරණයක්. නිවන කියන්නෙ සියලු චේතනාමය අභිසංස්කරණයන් නිමවීමයි, කියල මතක තියාගන්න. (සබ්බ සංඛාර සමථො)
දැන් අපි කථා කරන්නේ නිවන් මගට බැස්ස පුද්ගලයා, ඒ කියන්නෙ සේඛ පුද්ගලයා මේ මූලකාරණා විසිහතර ගැන කොහොම ද දකින්නෙ කියන එක ගැනයි. නිවන ප්‍රාර්ථනා කරන සේඛ පුද්ගලයත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් කියන මූල කාරණා විසිහතර අත්දකිනව. ඒත් ඒවා සාමාන්‍ය සංජානන මට්ටමෙන් ගන්නෙ නෑ. වෙසෙසින් දැනගන්නව. වෙසෙස් නුවණින් දැනගන්නව. හේතු ප්‍රත්‍ය වශයෙන් සමුදය වන ධර්ම හැටියට දැනගන්නව. පුහුදුන් පුද්ගලයා ගැන කියන කොට සංජානාති කියල කියපු තැන සේඛ පුද්ගලයා ගැන කියනකොට යොදන්නේ ඒ වෙසෙස් නුවණ අදහස් කරන අභිජානාති කියන ක්‍රියාපදයයි. එහෙම වෙසෙස් නුවණින් දැනගෙන ඒ මූලකාරණා මම කියල, මගේ කියල නො සිතා ගැනීම පිණිස හික්මෙනව.
(මාමඤ්ඤි) මතු මතුත් ලැබේවායි කියල කැමති නො වීම පිණිස, ප්‍රාර්ථනා නොකිරීම පිණිස හික්මෙනව. (මාභිනන්‍දි) මොකක් හින්‍ද ද? ඒ මූලකාරණා අර්හත් මාර්ගයෙන් හාත්පසින් ම, නො අඩුව ම, දැනගත යුතු හින්‍ද. (පරිඤ්ඤෙය්‍යං) සේඛ පුද්ගලයාගේ අවබෝධය තාම සම්පූර්ණ වෙලා නැති හින්‍ද.