රමණීය සිතුල්පව්ව

rashi
By rashi
6 Min Read

පාලි අට්ඨකථා සාහිත්‍යයේ “චිත්තල පබ්බත විහාර” යනුවෙන් ද, මහාවංසයේ “චිත්තල පබ්බත” යන නමින් ද, සෙල්ලිපිවල “චිතල පවත” යන ව්‍යවහාරයෙන් ද හඳුන්වන්නේ වර්තමානයේ සිතුල්පව්ව නමින් ප්‍රකට ඓතිහාසික පුදබිමයි. රෝහණ රාජ්‍ය සමයේ තපෝභූමිය හෙවත් අරණ්‍යවාසි භික්‍ෂු පරපුරේ කේන්‍ද්‍රස්ථානය වශයෙන් සලකා ඇත්තේ මෙම චිත්තල පබ්බත විහාරයයි.

රෝහණ දේශය පාලනය කළ ප්‍රතාපවත් නරේන්‍ද්‍රයකු වූ කාවන්තිස්ස රජතුමා සියලුම විහාරාරංගයන්ගෙන් සම්පූර්ණ කොට මතු ඇතිවන රජ, යුවරජ, මාපා, ඈපා ආදීන් විසින් ද මෙම තපෝභූමිය ආරක්‍ෂා කළ යුතුයයි ව්‍යවස්ථා පනවා සහදේව රහතුන් වහන්සේට දොළොස් දහසක් රහතුන් වහන්සේ ඉදිරිපිට සඟසතු කොට පූජා කළ බව මහාවංසයේ 22, 24 වන පරිච්ඡේදවලින් පැහැදිලි වෙයි. දුටුගැමුණු, සද්ධාතිස්ස යන කුමාරවරුන් දෙදෙනා ඉගෙනගත්තේ සිතුල්පව්වේ විසූ කසුබු හා උපාලිය යන හිමිවරුන් දෙදෙනා ගෙනි.

දුටුගැමුණු, වළගම්බා, මහසිළු මහතිස්, භාතිකාභය, මහදැලියා මානා, ආමණ්ඩ ගාමිණී යන රජවරු සිතුල්පව්වේ පිළිසකර කටයුතු කරවූහ. වසභ රජ සිතුල්පව්ව මහ වෙහෙර වටා පරිවාර ස්තූප 10 ක් කරවිය. 1 වන ගජබා රජු මහගම විනිශ්චය ශාලාවෙන් ලැබුණු දඩ කහවණු දෙකක් සිතුල්පව්වේ දිනපතා බෙහෙත් වියදමට දෙන ලදී. කණිට්ඨතිස්ස, ගෝඨාභය, පළමුවන දප්පුල, පළමුවන විජයබාහු, දෙවැනි පරාක්‍රමබාහු යන රජවරු ද සිතුල්පව් මහ වෙහෙර පිළිසකර කරවූහ.

බුදුසසුන ලක්දිව පිහිටා වසර සියයක් පමණ ඉකුත් වනවිට ම චිත්තලපබ්බතය සංඝයාගෙන් ආකීර්ණ ව පැවැති ආකාරය, සද්ධාතිස්ස මහ රජු සමයේ සිතුල්පව්වෙහි රහතන් වහන්සේලා තෙළෙස්දහසක් වාසය කළ බවට සීහළවත්ථුප්පකරණයේ දක්නට ලැබෙන සඳහන අනුව වටහා ගත හැකි ය. සිතුල්පව්ව එකල ප්‍රාර්ථනීය වූ, ලෝවැස්සන් විසින් සම්භාවනා කළ යුතු වූ විහාරස්ථානයක් වූ බවත්, රහතුන් යැයි සම්භාවනාවට පාත්‍රව එහි වැඩ විසූ තෙරුන් වහන්සේලාට වන්දනා කිරීමට කැමති වූ මිනිසුන් නිතර එහි හාත්පස හැසිරුණු බවත් “පත්ථනීයෙ පන ලොකසම්මතෙ… චිත්තලපබ්බතසදිසෙ විහාරෙ විහරන්තං අයං අරහාති සම්භාවෙත්වා වන්දිතුකාමා මනුස්සා සමන්තා ඔසරන්ති” යන විසුද්ධිමග්ග පාඨයට අනුව සිතාගත හැකි ය. සිතුල්පව් විහාරය තුළ ම වැඩසිට අරහත්වයට පත් වූවන්ගේ ද, වෙන තැන්වල මුල් මගඵලවලට පත් ව එහි පැමිණ අරහත්වයට පත්වූවන්ගේ ද ගණනක් නොමැති බව ද එහි ම සඳහන් වේ.

එක් අවස්ථාවක බැමිණිටියාසාය කාලයේ භික්‍ෂූන් වහන්සේ දොළොස් දහසක් වැඩ සිටි බව අට්ඨකථා සාහිත්‍යයේ දැක්වේ. කොටපබ්බත, තිස්සමහාරාමය ආදී කොතැනක පැවිදි වුවත් සිතුල්පව්වට පැමිණ එහිදී වතාවත් කිරීමට, බවුන් වැඩීමට භික්‍ෂූන් වහන්සේ අමතක නොකළ බව අටුවා කථාවක සඳහන් වී තිබේ. මෙහි විදර්ශනා භාවනාව පුහුණු කළ ධර්ම විනයධර භික්‍ෂූන්ගේ කීර්තිය ලක්දිව පමණක් නොව භාරතයේ ද පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස විසාක වෙළෙඳ පුත්‍රයා ලක්දිවට අවුත් මහණව සිතුල්පව්වේ වෙසෙමින් භාවනා කොට රහත් ඵලය ලබාගත් බව කියැවෙයි.

ලක්දිව එවක පැවැති මහා විහාර අතුරින් එකක් වූ මෙම සිතුල්පව්ව ඇසුරෙහි සිදු වූ ඇතැම් සිදුවීම් මතකයේ තබාගත යුතු වැදගත් සිද්ධි ලෙස ජනයා සැලකූ බැවින්, ජනකතා වශයෙන් ජනයාගේ මතකයෙන් නොගිලිහී පරම්පරාගත ව පැවැත අවුත් කලක් ගතවන විට ග්‍රන්ථාරූඪ කොට ආරක්ෂා කරගෙන තිබේ. සුමංගලවිලාසිනී, පපඤ්චසූදනී, සාරත්ථප්පකාසිනී, මනෝරථපූරණී ආදි පාලි අට්ඨකථාවලට අන්තර්ගත කිරීමට පවා සිතුල්පව්වේ සිදු වූ ඇතැම් සිද්ධි අනුස්මරණීය වී තිබේ. සීහළවත්ථුප්පකරණ, සහස්සවත්ථුප්පකරණ, රසවාහිනී, සෝතබ්බමාලිනී ආදි පාලි බණ කතා පොත්වල ද, සඟසරණ, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය ආදි සිංහල බණ කතා පොත්වල ද ඒ සිදුවීම් දැකගත හැකි ය. ඇතැම් සිදුවීමක් පොත් කිහිපයක ම දක්වා ඇත්තේ ඒවායේ ඇති වැදගත්කම නිසා ය.

මෙබඳු මහානීය පුදබිමක් වූ සිතුල්පව්ව මහා විහාරය වනගත වීමෙන් පසු යළිත් වරක් පුනර්ජීවනය සලසා දෙන ලද්දේ ගාල්ල යටගල රාජමහා විහාරාධිපතිව වැඩ විසූ කවිකුලතිලක කලෙහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ විසිනි. ඉංග්‍රීසි ආණ්ඩුවේ අවසරය ලබා ගනිමින් සිතුල්පව්ව විහාරස්ථානයේ නවෝදය ආරම්භ කිරීමෙන් පසු මෙහි වැඩ සිටිමින් දිවිහිමියෙන් කැපවී ක්‍රියා කළ ඉලුක්පිටියේ ජිනරතන මාහිමිපාණන් වහන්සේ, අස්මදාචාර්යෝත්තම වත්තේහේනේ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේ, මැටරඹ ශ්‍රී හේමරතන නාහිමිපාණන් වහන්සේ, තල්පේ අරියජෝති නාහිමිපාණන් වහන්සේ යන විහාරාධිපතීන් වහන්සේලා සේ ම හේනේගම සෝරත නාහිමිපාණන් වහන්සේ සහ උණවටුණේ රතනජෝති මාහිමිපාණන් වහන්සේ ඇතුළු සඟ පරම්පරාවේ වැඩසිටි ගරුතර මහා සංඝ රත්නයේත් සිතුල්පව්ව මඟුල් මහා විහාර ප්‍රතිසංස්කරණ දායක සභාවේ යුග මෙහෙවරත් විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සැදැහැති දායක පිරිස වෙතින් විහාරස්ථානයේ අභිවෘද්ධිය පිණිස සිදු වී ඇති මෙහෙවරත් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කොට සිටිමි.

සමීපාතීතයෙහි වැඩ සිට අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ ස්වකීය දිවිගමනෙහි අවසාන අවධියෙහි මා වෙත සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ භාරකාරත්වය පැවරීමෙන් අනතුරුව මාගේ අවධානය යොමු වූයේ ඒ වනවිට අප නාහිමිපාණන් වහන්සේ ආරම්භ කොට තිබූ අභිනව වාහල්කඩෙහි කටයුතු හැකි ඉක්මනින් නිමවීම මා හමුවෙහි පැවැති ප්‍රමුඛතම කාර්යභාරය විය. සිතුල්පව්ව පුදබිමේ ස්වභාව සෞන්දර්යයට හානියක් සිදු නොවන අන්දමින් වාහල්කඩ මහා විහාර කර්මාන්තයක් වශයෙන් නිමවීමට ලැබීම අප ලද භාග්‍යයකි.

අනුබුදු මහා මහේන්ද්‍ර ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ලංකාවට වැඩමවීම අනුස්මරණය කෙරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සිතුල්පව්වෙහි පැවැත්වෙන වාර්ෂික මහා පූජෝත්සව මාලාවට සමගාමීව මෙම වාහල්කඩ විවෘත කරවීමට ලැබීම අපේ සොම්නසට හේතුවකි.

මෙවර පොසොන් පූජෝත්සවය පෝ දා පටන් තෙදිනක් පුරා සිදු කිරිමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත. ආලෝක පූජාව උපාලි සමූහ ව්‍යාපාරයේ ධම්මික ආටිගල මැතිඳුන්ගේ මෙහෙයවීම මත සිදුකෙරේ. වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇත. සිල් සමාදන් වන පින්වතුන් ට අවශ්‍ය පහසුකම් මෙන්ම පොසොන් පෝ දින දවස පුරා ධර්‍මදේශනා, බුද්ධ පූජා, භාවනා මහා පිංකම පැවැත්වේ. ආලෝක පූජාව විවෘත කිරිම සවස 5.00 ට සිදු කෙරේ.

තෙරුවන් සරණින් පොසොන් පින්කම් මාලාව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යි ආශිංසනය කොට සිටිමි.

ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ එකොළොස් මහා විහාරාධිපති, කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය, දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති, සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර

ලේල්වල සමිත නායක ස්ථවිර ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *