නො තිර වූ කයෙහි සමුදය

rashi
By rashi
6 Min Read

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

පළමුවැනි කොටස

බුදුබණ හරිහැටි දැනගන්නකම් කවුරුත් හිතන්නෙ “කය තමයි මම” කියල. (තං ජීවං තං සරීරං) පුද්ගලයෙක් කියන්නෙ කයක් කියලයි හිතන්නෙ. ඒ කයෙන් සැපතකුත් ලැබෙන නිසා අපි මේ කයට කැමති වෙනව. ඇස, කන. නැහැය, දිව, කය කියන ඉඳුරන් ඇසුරු කරගෙන අපි රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්පර්ශ කියන අරමුණු ලබනව. මනසින් සංකල්ප මවනව. ප්‍රිය අරමුණු ම කැමති වෙනව. ඒ වුණාට ප්‍රිය අරමුණු ම ලැබෙන්නෙ නෑ. ප්‍රිය අරමුණු ලැබෙනකොට ඒවට ඇලෙනව. අප්‍රිය අරමුණු ලැබෙන කොට ඒවට ගැටෙනව. ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඒ දෙකෙන් ම තොර වුණත් ලැබෙන අරමුණු ඇත්තයි කියල හිතාගන්නව. ඒ අනුව ලෝභයට ද්වේෂයට මෝහයට නතු වෙනව.

තිරිසන් ගත සතුන්ටත් ඒ ඒ සතුන්ගෙ මට්ටමෙන් මේ ඉන්‍ද්‍රිය හය තියෙනව. ඒවායින් සැප දුක් ලබනව. කාමාවචර දෙවි වරුන්ටත් මේ ඉන්‍ද්‍රිය තියෙනව. අපට තිරිසන් සතුන්ව පෙනුණත් දෙවිවරුන් පෙනෙන්නෙ නෑ. අපේ ඉඳුරන් භෞතික වශයෙන් ගොරෝසු නිසා අපි අත් දකින්නේ ඊට ගැලපෙන අරමුණු පමණයි. රූපාවචර අත්දැකීම් තල කාමාවචර දේව තත්ත්වවලට වඩා සියුම්. අරූපාවචර තල ඊටත් වඩා සියුම්. මේ සියුම් තත්ත්ව ගොරෝසු තත්ත්ව සකස් වෙන්නෙ සත්‍වයාගේ කෙලෙස්වල ස්වභාවය අනුව.

විශ්වය කියන්නෙ ලෝකධාතු බොහෝ ගණනක්. සත්ත සුරියුග්ගමන සූත්‍රයේ සඳහන් වන්නේ ලෝකධාතුවක් විනාශ වන ආකාරය. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මේ ලෝකධාතුව දිගු කලක් ඇවෑමෙන් නැසෙනව. (සංවට්ටති) ඒ කියන්නෙ කාමභවයට අයත් පැවතුම් හා ප්‍රථමධ්‍යාන තලය විනාශ වෙනව කියන එකයි. එහෙම නැසෙන කොට බොහෝ සත්වයන් ආභස්සර සංවත්තනික වෙනව. ඒ කියන්නෙ දෙවන ධ්‍යාන තලයට අයත් පැවැත්මකට වැටෙනව. ඒ අය මනෝමයයි. ප්‍රීතිය තමයි ආහාරය. මනෝමයකය ආලෝකයෙන් යුක්තයි. ආකාසචාරීයි. සිත්කලු වස්ත්‍රාභරණ සහිතයි. මේ විදිහට දිගු කාලයක් ගතවෙනව. එහෙම කාලයක් ගතවෙලා නැවත මේ ලෝකය ක්‍රමයෙන් සකස් වෙනව. (විවට්ටති) මෙහෙම සකස්වෙන කාලෙට පින හෝ ආයුෂය හෝ ඉවර වුණු සත්වයො ආභස්සර කයින් ච්‍යුත වෙලා සකස්වෙමින් තියෙන පොළව ඇසුරට එනව. ඒත් ඉන්නෙ මනෝමය කයින් ආකාසචාරීව. මනෝමයකයේ ආලෝකයෙන්. ස්ත්‍රී පුරුෂ භේදයක් නෑ. තාම ඉර, හඳ, නැකත් තරු, දිවා, රාත්‍රී, ඍතු, සංවත්සර ප්‍රඥප්තීන් නෑ. සෙසු භෞතික ග්‍රහ වස්තූගේ ආලෝකය අත්දකින්නෙ නෑ. දේවකායිකයින් අතර ද චන්‍ද්‍ර සූර්ය ආලෝකය අත් නො දකින දේවකායිකයින් බොහෝ ඉන්නව කියල චූළසකුළුදායි සූත්‍රයේ සඳහන් වෙන බවත් මතක තියාගන්න. එහෙම වෙන්නෙ භෞතික අරමුණුවලට සංවේදී වන්නට තරම් ගොරෝසු වූ ඉන්‍ද්‍රියයන් නැති හින්ද. මේ ආකාරයෙනුත් දිගු කලක් ගතවෙනව. කලකදි දියමත කිරියොදයක් සේ පැතිරුණ රසපඨවිය සකස් වෙනව. එය මිහිරි සුවඳින් යුක්තයි. යම් ලෝලත්වයෙන් යුතු සත්‍වයෙක් ‘මේ මොකක් ද’ කියල රසපඨවිය ඇඟිල්ලෙන් ගෙන රස බැලුව. රස තෘෂ්ණාවට බැසගත්ත. දිගු කලක් යටපත් වෙලා තිබුණ පඤ්චකාමගුණික රාගය අවදි වෙන්නෙ ඊට ගැලපෙන පරිසරය සකස් වන පමණට බව දැනගන්න.

ලෝලත්‍වය කියන්නෙ කුතුහලයෙන් යමක් හාරා අවුස්සා බලන ගතියටයි. එක්කෙනෙක් ඒක රහයි කියල රසපඨවිය කන්න පටන්ගත්ත නිසා අනෙක් අයත් කාල බලනව.

දිට්ඨානුගතියට යනව කියන්නෙ ඒකයි. මේ විදියට තෘෂ්ණාව ඇතිවීම නිසා රසපඨවිය අතුරුදන් වෙලා බිම්හතු වර්ගයක් ඇති වෙනව. ඒවත් රසයි. තව තෘෂ්ණාව ගොරෝසු වෙනව. ස්වයම් ප්‍රභාව අඩු වෙනව. කය ගොරෝසු වෙනව. ඒවත් අතුරුදන් වෙනව. බදාලතා වැල් ඇති වෙනව. ඊට පස්සෙයි කුරුට්ට නැති උයන්නෙ නැතිව කන්න පුළුවන් ඇල් වී ඇති වෙන්නෙ. “අපට ඉස්සර තිබුණ. දැන් නෑ” කියන තැවුල් ඇතිවුණේ වඩාත් කලින් ආහාර රස වුණත් පසුව ඇතිවෙන ඒව රසයෙන් අඩු නිසා. මීට අවුරුදු පණහකට හැටකට එහා ගැන අද වුණත් අපි කියන්නෙ, ‘ඒ දවස්වල නම් තිබුණ දැන් අපිට එහෙම නෑ’ කියල නේද?

දැන් අපට තේරෙනව, සත්වයා භෞතික ආහාර ගන්න පටන් ගත්තෙ බඩගිනි වෙලා නොවෙයි. කුතුහලය නිසා රසතෘෂ්ණාවට වැටීමක් හැටියටයි. සසර පුරුදු වෙලා තිබුණ කෙලෙස් අවදි වීමක් හැටියටයි. මේ ආහාරය නිසා සමහර අයගේ කය පැහැපත්. සමහර අයගෙ කය දුර්වර්ණයි. මේ ස්වයංජාත ඇල් වී කන්න පටන්ගත්තයින් පස්සෙ ශරීර තවත් ගොරෝසු වෙනව. ස්ත්‍රී පුරුෂ භේදය ඇති වෙන්නෙ ඔය අවස්ථාවෙ. සසර දී මෛථුරාගය පිළිබඳව චේතනාමය වශයෙන් ඒ ඒ පුද්ගලය අභිසංස්කරණය කරගත්ත ස්වභාවය අනුව තමයි, ස්ත්‍රී පුරුෂ වෙන්නෙ. ස්ත්‍රීන් පුරුෂයින් එකිනෙකා දිහා බොහෝ වේලා බලාගෙන ඉන්න කොට රාගය ඇති වෙනව. මේක දිගින් දිගට වෙනකොට කයට රාගපරිදාහය ඇති වෙනව. මෙවුන්දම් සේවනය ආරම්භ වෙන්නෙ ඒ විදියට. මේකට ධර්මයේ සඳහන් වෙන්නෙ අසද්ධර්මය කියල. අසද්ධර්මය සඟවන්න තමයි, ගෙවල් ඇති වුණේ. ඇල් වීවල ස්වයංජාත ගුණය අඩු වෙනකොට ඇල් කෙත් බෙදා ගන්න වෙනව. වගා කරන්නවෙනව. අනුන්ගේ කොටස පැහැරගන්න හිතෙනව. පැහැරගත්ත කෙනා හසු වුණාම ‘මං ගත්තෙ නෑ’ කියන්න ගිහින් බොරුව ඇති වෙනව. කේලම ඇති වෙනව. පහර දෙනව. ඝාතනය ඇති වෙනව. ඉතින් මේ විදියට දස අකුසලය ම සමාජයේ ඇති වෙන්නෙ මනසේ ශක්තිය යටපත් වෙමින් කයට තියෙන තෘෂ්ණාව වැඩි වෙන කොට. පවුල, සමාජය, අධිකරණය, රජය කියන ආයතන ඇති වෙන්නේ කයට තියෙන වසඟ භාවය වැඩිවෙච්ච නිසා.

මේ සඳහන් කළේ අග්ගඤ්ඤ සූත්‍රයේ (දී: නි: 3, 144 පිට) එන විස්තරය කෙටියෙන්. මේ ක්‍රියාවලිය සකස් වෙන්නෙ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයට අනුව බව දැනගන්න. මේ විදියේ සංවෘතකල්ප විවෘතකල්ප බොහෝ ගණනක් තමයි, සත්‍වයකුගෙ සසර කියන්නෙ. මම, මගේ කියන හැඟීම ඉස්සරහට දාගෙන සිතින් කයින් වචනයෙන් රැස් කරන කර්මය පිහිට කරගෙන තමයි සසර සකස් වෙන්නෙ. (කම්ම පටිසරණා)

දවසක් මාලුඞ්ක්‍යපුත්ත හිමියෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිය, අප්‍රමාදීව කෙලෙස් තවන්න කෙටි අවවාදයක් දෙන්න කියල. ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ ඇසුව, “ඔබ චක්ඛුවිඤ්ඤාණයෙන් දැනගතයුතු රූප, සෝතවිඤ්ඤාණයෙන් දැනගතයුතු ශබ්ද, ඝාණවිඤ්ඤාණයෙන් දැනගතයුතු ගන්‍ධ, ජිව්හාවිඤ්ඤාණයෙන් දැනගතයුතු රස, කායවිඤ්ඤාණයෙන් දැනගතයුතු පහස, මනෝවිඤ්ඤාණයෙන් දැනගතයුතු සංකල්ප කලින් ලබල නැත්නම්, ඒ නිමිති ගැන දැන් කැමැත්තකුත් නැත්නම්, මතු ලබන්නට සිතකුත් නැත්නම් ඔබට රූප, ශබ්ද, ගන්‍ධ, රස, පහස, සංකල්ප ගැන රාගයක් ප්‍රේමයක් තියෙන්න පුළුවන් ද,’ කියල.

(මතු සම්බන්ධයි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *