ශ්‍රී ලංකාවේ බුද්ධ ස්තූප

rashi
By rashi
14 Min Read

නිශාන්ත ගුණසේකර

බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් නිදන් කොට ගොඩනැඟුණු විශිෂ්ටතම වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් වශයෙන් ස්තූපය හැඳින්විය හැකිය.

ධාතු ගර්භය යන අරුතින් දාගැබ යනුවෙන් ව්‍යවහාර වුවද සෑය, ථූපය, වෙහෙර, චෛත්‍යය යන නම්වලින් ද මෙය හඳුන්වනු ලබයි. භික්‍ෂුන්වහන්සේ වාසය කරන ස්ථානයට වෙහෙර, විහාරය යන නම් භාවිත වුවද අද වෙහෙර යනුවෙන් නියම වශයෙන් ව්‍යවහාරයේ පවතින්නේ ධාතුන්වහන්සේ නිදන් කළ දාගැබයි. එබැවින් සියලු බෞද්ධ විහාරාරාමවල අනිවාර්ය අංගයක් ලෙස මෙය සැලකිය හැකිය. බුදුන්වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කරමින් වැඳුම් පිදුම් සඳහා කළ මෙම නිර්මාණය මුල් යුගයේදී කුඩා පරිමාණයෙන් ආරම්භ කොට ක්‍රි. ව. තුන්වැනි සියවස වන විට ජේතවනාරාමය වැනි ලොව විශාලතම දාගැබ දක්වා වර්ධනය වීම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි.

පැරැණි වංශ කතාවල සහ සිංහල සාහිත්‍යයේ සඳහන් විස්තර අනුව ඌව පළාතේ මහියංගණ දාගැබ සහ නැඟෙනහිර පළාතේ තිරියායේ පිහිටි ගිරිහඬු සෑය යන දාගැබ් ගොඩනඟා ඇත්තේ බුදුරදුන් ජීවමානව සිටි කාලයේදීම ය. නමුත් ශාරීරික චෛත්‍ය හෙවත් දාගැබ් බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඇති වූවක් බව සඳහන් කළ යුතුය. දිනක් ආනන්ද හිමියෝ බුදුන්වහන්සේගෙන්, ‘ස්වාමීනි චෛත්‍යය කොතෙක්දැයි’ විචාළහ. එවිට බුදුන්වහන්සේ චෛත්‍ය තුනකැයි වදාළහ. ඒ චෛත්‍ය තුන මොනවාදැයි ආනන්ද හිමියෝ විමසූ කල්හි ශාරීරික, පාරිභෝගික, උද්දේසික යැයි වදාළහ. යළිත් ආනන්ද හිමියෝ “ස්වාමීනි, ඔබවහන්සේ ධර්මාන කල්හි චෛත්‍යයක් කරන්නට පිළිවන්දැයි ඇසූහ. එයට පිළිතුරු දෙන බුදුරජාණන්වහන්සේ, ආනන්ද ‘ශාරීරික චෛත්‍යය’ කරන්නට නොහැකිය. බුදුන්ගේ ශාරීරික ධාතු නිදන් කොට කළ යුතු ඒ චෛත්‍යය බුදුන් පිරිනිවි කල්හිම කළ යුතු යැයි වදාළහ. ශාරීරික ධාතු තැන්පත් කළ ස්තූපවලට අමතරව පාරිභෝගික වස්තු තැන්පත් කිරීමෙන් ද ස්තූප ගොඩනඟා තිබේ. බුදුරදුන්ගේ සිවුර, පටිය, පාත්‍රය වැනි පාරිභෝගික වස්තු ද ධර්ම කොටස් ලියන ලද පුවරු, රන්පත් ඉරු, තඹ තහඩු ද ස්තූපවල නිදන් කොට තිබී හමු වී ඇත.

ශ්‍රී ලංකාවේ බුදු දහම පිහිටුවා වැඩි කලක් යන්නට මත්තෙන් ස්තූප නිර්මාණයේ ශීඝ්‍ර දියුණුවක් දක්නට ලැබුණි. මේවන විට බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්ම ගොස් තිබුණි. ‘වැවයි – දාගැබයි’ යන සංකල්පය පෙරටු කරගත් බෞද්ධ ආර්ථික ක්‍රමයක් ලක්දිව ඇති වූ හෙයින් ස්තූප ගොඩනැඟීම වර්ධනය විය. ස්තූප බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයත්, බෞද්ධ කලාවත්, බෞද්ධ දර්ශනයත් විදහාපාන ප්‍රබල සංකේතයක් හැටියට අගය කළ හැකිය.

ස්තූපයන්හි හැඩය නැතහොත් බඳෙහි ආකාරය අනුව නම් කරනු ලබන ස්තූප වර්ග හතක් ඇත. ඒවා නම්,

  1. ඝණ්ටාකාර – ඝණ්ටාවක හැඩය
  2. ඝටාකාර – කළයක හැඩය
  3. බුබ්බුළාකාර – දිය බුබුළක හැඩය
  4. ධාන්‍යාකාර – වී ගොඩක හැඩය
  5. පද්මාකාර – නෙළුමක හැඩය
  6. ආම්ලාකාකාර – නෙල්ලි ගෙඩියක හැඩය
  7. පලන්ද්වාකාර – සුදුලූනු ගෙඩියක හැඩය

මීට අමතරව චතුරස්‍රාකාර, වෘත්තාකාර සහ මන්දිරාකාර ලෙස ගොඩනැඟූ ස්තූප සුළු වශයෙන් දක්නට ලැබේ.

ස්තූපයක් ගොඩනැඟීමේදී සැලකිල්ලට ගන්නා සමානුපාතික අංග පහත පරිදි වේ.

පාදම

ස්තූපයක බර දැරීමට හැකිවන ප්‍රමාණයට ශක්තිමත් සහ ගැඹුරු පාදමක් සකස් කරනු ලැබේ. ස්තූපයක පාදම හෙවත් අඩිතාලම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ මෙසේ ය. සුදුසු ස්ථානයක් තෝරා, සත් රියනක් යටට කැණ, විශාල ගල් කුට්ටි ඇතුන් ලවා ගෙන්වා පාගවා, ඒ මතුපිටට තට්ටුවෙන් තට්ටුව ගල්, පස්, මැලියම්, තඹ තහඩු සහ යකඩ අතුරා සකස් කරන ලද යනුවෙනි.

පේසා වළලු

පුරාණ ස්තූපයන් හි බඳට පහළින් ගඩොලින් සාදා හුනුගල් පුවරුවලින් ආවරණය කර පේසා වළලු පිහිටා ඇත. බොහෝ විට මෙම පේසා වළලුවල මුලින් සහ අගින් බොරදමින් යුක්ත ය. සමහර අවස්ථාවලදී මෙම බොරදම් නෙළුම් පෙති රූකමින් අලංකාර කර ඇත.

අණ්ඩය

ස්තූපයක අණ්ඩය හෙවත් බඳෙහි බාහිර මුහුණත ගඩොලින් සාදා පසුව මධ්‍යය පුරවනු ලබයි. අණ්ඩය සෑදීම ආරම්භ කරනු ලබන්නේ ඉහළම පේසා මට්ටමේ සිට ය. ධාතු ගර්භය පිහිටා ඇත්තේ ද මෙම මට්ටමේ ය. අණ්ඩයේ බිත්ති ධාතු ගර්භයේ මට්ටම තෙක් සාදා ධාතු ගර්භයේ මතුපිට තෙක් සමතලා කරනු ලැබේ. ධාතු නිදන් කිරීමෙන් පසුව ධාතු ගර්භය ගල් පුවරුවලින් වසා දාගැබ සම්පූර්ණ කරනු ලබයි.

හතරැස් කොටුව

ස්තූපයක අණ්ඩය හෙවත් ගර්භය මුදුනේ දක්නට ඇත්තේ හතරැස් කොටුවයි. මුද්ධවේදී, හර්මිතා, චතුරස්සවය යන නම්වලින් ද මෙය හඳුන්වයි.

දේවතා කොටුව

ස්තූපයක හතරැස් කොටුවට ඉහළින් කොත් කැරැල්ලේ මුල ඇති සිලින්ඩරාකාර කොටස දේවතා කොටුව ලෙස හැඳින්වේ. දිව්‍යලෝක සංකේතවත් කිරීම සඳහා දේවතා කොටුව වටා සතරවරම් දෙවිවරුන්ගේ රූප නෙළා ඇත.

ධාතු ගර්භය

ස්තූපයක බඳ තුළ චතුරාස්‍රාකාරව ගඩොලින් බිත්ති බැඳ ධාතු ගර්භය සකස් කරනු ලබයි. ශාරීරික ධාතුන්වහන්සේලා සහ වෙනත් පූජා වස්තු නිධන් කරනු ලබන්නේ මෙම අලංකාර විමනෙහි ය.

කොත්කැරැල්ල මුදුනෙහි කොත ද එහි මුදුනෙහි චුඩාමාණික්‍යයක් හෙවත් පළිඟුවක් ද සවිකරනු ලබයි. එය සිළුමිණ නමින් ද හඳුන්වයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බුද්ධ ස්තූප කීපයක් මෙතැන් සිට වැඳපුදා ගනිමු.

රුවන්මැලි සෑය

අනුරාධපුරයේ මහා විහාර සංකීර්ණයට අයත් මහමෙව්නා උයනේ පිහිටි මෙම ස්තූපය ක්‍රි.පූ. 2 වැනි ශත වර්ෂයේදී දුටුගැමුණු රජතුමා (ක්‍රි. පූ. 161 – 137) විසින් කරවන ලද්දකි. මෙහි ද්‍රෝණයක සර්වඥ ධාතු නිදන් කර ඇති හෙයින් මහා ස්තූප ලෙස හැඳින්වේ. ද්‍රෝණයක් යනු, නැළි 16ක් වන අතර වැඩිම ධාතුන්වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කළ ස්තූපය ද වේ. මෙම ස්තූපයේ උස (සලපතළ මළුවේ සිට මුදුනට) අඩි 338කි. විශ්කම්භය අඩි 300කි. රන් ආලේප කරන ලද කොතේ සහ චූඩාමාණික්‍යයේ උස අඩි 25කි.

ථූපාරාමය

ශ්‍රී ලංකාවේ ඓතිහාසික පළමු ස්තූපය ලෙස හැඳින්වෙන ථූපාරාමය පිහිටා ඇත්තේ රුවන්මැලි සෑයට උතුරු දෙසින් බසවක්කුලමට ආසන්නව ය. බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ක්‍රි. පූ. 250-210 අතර කාලයේදී දේවානම්පියතිස්ස රජු විසින් ථූපාරාමය කරවීය. මෙම ස්තූපයේ උස අඩි 63ක් වන අතර විශ්කම්භය අඩි 59කි. පිහිටි පොළොවේ සිට අඩි 11 අඟල් 2ක් උසට තනන ලද වෘත්තාකාර පීඨිකාවක් මැද ස්තූපය ඉදිකර ඇත.

මිරිසවැටිය

තිසා වැවත්, බසවක්කුලම වැවත් අතර ශ්‍රී මහා බෝධියට බටහිරින් මෙම ස්තූපය ඉදිකර ඇත. ක්‍රි. පූ. 161-137 දක්වා රජ කළ දුටුගැමුණු රජුගේ ප්‍රථම චෛත්‍යය නිර්මාණය මිරිසවැටියයි. මහා සංඝයාට නොදී මිරිස් සම්බෝලයක් අනුභව කිරීමෙන් සිදුවූ වරදට දඬුවමක් ලෙස දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපය කරවීය. මෙහි නිදන්කර ඇත්තේද රජුගේ සධාතුක ජයකොන්තය බව සඳහන් වේ. මෙම ස්තූපයේ උස අඩි 192කි. විශ්කම්භය අඩි 141කි. පැත්තක දිග අඩි 275ක් වූ හතරැස් මළුවක මෙම ස්තූපය පිහිටා ඇත.

ජේතවනාරාමය

අනුරාධපුර දුම්රිය ස්ථානයත් හාල්පන් ඇළත්, මල්වතු ඔයත් ඇතුල්නුවරත් මැද ජේතවන ස්තූපය පිහිටා ඇත. මහායාන බුදු දහම වැලඳගත් ප්‍රථම සිංහල රජු වන මහාසේන රජතුමා ක්‍රි. ව. 276-303 විසින් අනුරාධපුර ජෝතිවනයෙහි මහා විහාර සීමාව තුළ ජේතවනාරාමය කරවීය. මෙහි බුදුන්වහන්සේගේ ඉණ බඳින පටියේ කොටසක් තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරේ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන මෙම දැවැන්ත ස්තූපය ලොව ඇති විශාලතම ස්තූපය මෙන්ම පැරැණි ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණය ද වශයෙන් හඳුන්වයි. මෙම ස්තූපයේ උස අඩි 400ක් වන අතර විශ්කම්භය අඩි 367කි. පාදමයේ පරිමාණය අඩි 1147කි. දාගැබ් මළුව අක්කර 7ක් වසා පවතී. මළුවේ එක් පැත්තක දිග අඩි 576කි.

අභයගිරිය

ජේතවනයට උතුරින් වටවන්දනා පාර අසල මෙම ස්තූපය පිහිටා ඇත. ක්‍රි. පූ. 1 වන ශත වර්ෂයේ දී වළගම්බා රජු විසින් නිර්මාණය කර ඇති මෙය විශාලත්වය අතින් ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා ස්තූපය වේ. අභයගිරි ස්තූපයේ ධර්ම ධාතු නිදන් කර ඇති බවට ජනප්‍රවාදයක් පවතී. ධර්ම ධාතු යන්නෙන් අදහස් කරන්නේ ධාරණී, මන්ත්‍ර සහ සූත්‍ර හෝ ඒවායේ කොටස් ය. මෙම ස්තූපයේ උස අඩි 235කි. පාදමයේ විශ්කම්භය අඩි 310කි. ලපතළ මළුව වර්ග අඩි 587කි.

ලංකාරාමය

සිලාසොබ්භකණ්ඩක චේතිය නමින් හඳුන්වන මෙම ස්තූපය නිර්මාණය කර ඇත්තේ වට්ටගාමිණී අභය රජුය. අභයගිරිවාසි භික්‍ෂුණින් හට වෙන්වන්නට ඇතැයි සැලකෙන මෙම ස්තූපය වටදාගෙයකින් සමන්විත වී ඇත. පිහිටි පොළොවට වඩා අඩි 10යි අඟල් 2ක් උසින් ඇති මෙම දාගැබේ විශ්කම්භය අඩි 45කි.

රන්කොත් වෙහෙර

රනින් කළ කොතක් සහිත ස්තූපයක් නිසා රන්කොත් වෙහෙර නමින් හඳුන්වනු ලබන මෙම ස්තූපය පෙර කල, රත්නාවලී ථූපය නම් විය. පොළොන්නරුවේ පිහිටි උසම දාගැබ වන මෙම ස්තූපයේ උස අඩි 200කි. විශ්කම්භය අඩි 186කි. මෙය පැරකුම්බා රජුගේ මෙහෙසියකගේ නමින් (රත්නාවලී) කරවන ලද්දක් යැයි විශ්වාස කෙරේ.

පොළොන්නරුව කිරිවෙහෙර

මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ස්තූපය පොළොන්නරුවේ ලංකාතිලක පිළිමගෙය අසලම උතුරින් පිහිටා ඇත. මුළුමනින්ම පාහේ බදාම සහිතව සුනු පිරියමින් නිර්මාණය කර ඇති හෙයින් කිරිවෙහෙර යනුවෙන් ව්‍යවහාර වේ. මෙම ස්තූපයේ උස අඩි 95කි.

මිහින්තලා මහා සෑය

මිහින්තලා පූජා භූමියෙහි අම්බස්තල මළුවට ඉහළින් පිහිටි මළුවේ මෙම මහා ස්තූපය ඉදිකර ඇත. ක්‍රි. ව. 9-21 අතර කාලයේ රජ කළ මහා දාඨික මහා නාග රජතුමා විසින් මෙම මහා සෑය ගොඩනඟා ඇත. බුදුන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් ලෙස සැලකෙන ඌර්ණ රෝම ධාතුන්වහන්සේ නිදන් කොට ඉදිකළ මෙම මහා සෑයේ උස අඩි 45ක් පමණ වේ. දාගැබේ පාදයේ විශ්කම්භය අඩි 136කි.

කණ්ටක චෛත්‍යය

මිහින්තලා පූජා භූමියේ මුලින්ම හමුවන චෛත්‍යය කණ්ටක චේතියයි. මෙම ස්තූපය කරවන ලද්දේ කවුරුන් විසින්දැයි පුරාවිiාත්මක සාධක තවම සොයාගෙන නැතත්, ශ්‍රී ලංකාවේ මුල්ම බෞද්ධ යුගයේ ඉදිවූ චෛත්‍යයන්ගෙන් එකක් බව නිගමනය කළ හැක. කණ්ටක චේතියේ වැදගත්ම ලක්‍ෂණය වන්නේ සතර දිසාවට මුහුණලා සාදා ඇති වාහල්කඩ හතරයි. මෙතරම් කැටයම් සහිත වාහල්කඩවල් ශ්‍රී ලංකාවේ වෙනත් ස්තූපයකින් හමුවී නොමැති අතර දේව රූප, සත්ත්ව රූප සහ වාමන රූප අලංකාර ලෙස කැටයම් කර ඇත. පේසා වළලු තුනකින් සමන්විත මෙම දාගැබේ උස අඩි 40කි. විශ්කම්භය අඩි 425ක් පමණ වේ.

කැලණි චෛත්‍යය

බුදුන්වහන්සේ කැලණියට වැඩම කළේ මණිඅක්ඛිත රජතුමාගේ ආරාධනයෙනි. එහිදී මණිඅක්ඛිිත රජතුමා ඇතුළු නාග ගෝත්‍රිකයන්ට දහම් දෙසූ මැණික් පුටුව නිදන්කොට මෙම ස්තූපය ඉදිකර ඇත. මෙම මැණික් පුටුව නැතහොත් මිණිපලඟ බුදුන්වහන්සේට පූජා කරන ලද්දේ චූලෝදර සහ මහෝදර යන නා රජවරුන් දෙදෙනා විසිනි. ධාන්‍යාකාර හැඩයෙන් ඉදිකර ඇති මෙම සෑය වරින්වර අලුත්වැඩියා කරනු ලැබූ සිංහල රජවරුන් අතර උත්තිය රජතුමා, යටාලතිස්ස රජතුමා, නවවැනි පරාක්‍රමබාහු රජතුමා ප්‍රධාන තැනක් ගනී. මෙම ස්තූපයේ උස අඩි 90කි.

කතරගම කිරි වෙහෙර

කිරි වෙහෙර නමින් ප්‍රසිද්ධ වන ‘මඟුල් මහ සෑය ශ්‍රී ලංකාවේ සොළොස් මහා ස්ථානයන්ගෙන් එකක් ලෙස බෞද්ධයන්ගේ පරම පූජනීයත්වයට පාත්‍ර වී ඇත. කතරගම කිරි වෙහෙර කවරදා කවරකු විසින් ප්‍රථමයෙන් ඉදිකරනු ලැබූයේදැයි නිශ්චිතවම සඳහන් කිරීම දුෂ්කර වුවද ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි ක්‍රි. පූ. 3 වැනි ශත වර්ෂයේ රජ කළ මහානාග රජු විසින් කරවූ බව දැක්වේ. වසර දෙදහසකට ආසන්න පෞරාණික බවක් උසුලන කිරිවෙහෙර වරින්වර ප්‍රතිසංස්කරණයන්ට ලක්වී ඇත. වර්තමානයේ මෙම ස්තූපයේ උස අඩි 95කි.

සිතුල්පව්ව

හම්බන්තොට සිට සැතපුම් 18ක පමණ ඊසාන දෙසට වන්නට යෝධ කණ්ඩිය වැව අසලින් ගොස් රුහුණු ජාතික වනෝද්‍යානයේ කොටසක මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි. පූ. 2 වැනි සියවසේදී කාවන්තිස්ස රජතුමා විසින් මෙම ස්තූපය කරවන ලදැයි සඳහන් වේ.

මහියංගණය

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ මහියංගණය සොළොස් මහා ස්ථානවලින් එකකි. ඌව පළාතේ බදුල්ල නගරයට සැතපුම් 37ක් පමණ දුරින් මහියංගණය පිහිටා ඇත. බුදුන්වහන්සේගේ කේශ ධාතු තැන්පත්කොට බුදුන්වහන්සේ දහම් දෙසූ තැන සත් රියන් ස්තූපයක් කරවීය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ආදාහන මළුවෙන් ග්‍රීව ධාතුව රැගෙන පැමිණි සාරගු රහත්හිමියන් එය තැන්පත් කොට 12ස් රියන් උසට මෙම ස්තූපය කරවූ බවත් පසුව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු චූලාභය රජු (ක්‍රි. පූ. 387 – 267) විසින් එය 30 රියන් උසට කරවූ බවත් දුටුගැමුණු රජතුමා (ක්‍රි. පූ. 161 – 137) විසින් මෙම ස්තූපය 80 රියන් උසට කරවූ බවත් සඳහන් වේ.

නාගදීපය

බුදුන්වහන්සේ නාගදීපයට වැඩියේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ ය. ශ්‍රී ලංකාවට වැඩම කළ දෙවැනි වාරය වූ එහි අරමුණ වූයේ චූලෝදර සහ මහෝදර නා රජවරුන්ගේ කලහයක් සංසිඳවීමට ය. එහිදී බුදුන්වහන්සේ දහම් දෙසූ තැන චෛත්‍යයක් කරවන ලද්දේ නාග ගෝත්‍රිකයන් විසිනි. ඉන් පසුව දේවානම්පියතිස්ස රජතුමා (බු. ව. 267 – 277) විසින් ද වෝහාරතිස්ස රජතුමා (බු. ව. 759 – 779) විසින් ද දෙවැනි අග්ගබෝධි සහ මහා විජයබාහු රජතුමා (බු. ව. 1141 – 1151 දක්වා) විසින් ද නාගදීපය ගොඩනඟා ඇත. මෙම පුණ්‍යභූමිය පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේ ය.

ගිරිගඬු සෑය

මෙම ස්තූපය ද ශ්‍රී ලංකාවේ පැරැණිම දාගැබ්වලින් එකකි. ප්‍රථමයෙන් බුදුන් සරණ ගිය තපස්සු භල්ලුක වෙළෙඳ සහෝදරවරුන් බුදුන්වහන්සේගෙන් ලබාගත් කේශ ධාතු මිටක් නිදන්කොට ගිරිගඬු සෑය කරවා පුදපූජා පැවැත්වී ය. මෙම ස්ථානය පිහිටියේ නැඟෙනහිර වෙරළේ ත්‍රිකුණාමලයේ සිට බටහිරට සැතපුම් 30කට පමණ දුරින් පිහිටි මනරම් කඳුගැටයක ය.

දීඝවාපී චෛත්‍යය

අම්පාර නගරයේ සිට සැතපුම් 12ක් ද මඩකළපුවේ සිට සැතපුම් 4ක් ද ඔබ්බෙන් දීඝවාපී චෛත්‍යය පිහිටා ඇත. බුදුරජාණන්වහන්සේ තෙවැනිවර ලක්දිවට වැඩි අවස්ථාවේදී රහත් භික්ෂුන් සමග සමාධි සුවයෙන් ගත කළ ස්ථානයේ මෙම චෛත්‍යය ඉදිකර ඇත. කාවන්තිස්ස රජුගේ දෙටු පුත් ගැමුණු කුමරු රට එක්සේසත් කිරීමට යුද වදිද්දී දිගාමඬුල්ල පාලනය කළ සද්ධාතිස්ස රජතුමා විසින් දීඝවාපී චෛත්‍යය කරවූ බව සඳහන් වේ. බුදුන්වහන්සේගේ නිය ධාතුව ඇතුළු ධාතුන්වහන්සේලා රැසක් නිදන්කර ඇති නිසා මෙම ස්තූපය ‘නඛා වෙහෙර’ නමින් ද හඳුන්වනු ලබයි.

සෝමාවතී චෛත්‍යය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල මායිමේ සැතපුම් 30ක් පමණ දුරකින් සෝමාවතී චෛත්‍යය පිහිටා ඇත. බුදුන්වහන්සේගේ දක්ෂිණ දළදාව තැන්පත් කර ඇති මෙම ස්තූපය ක්‍රි. පූ. 2 වැනි සියවසේදී අභය රජතුමා විසින් සිය බිසව වූ සෝමාවතී දේවියගේ ඉල්ලීම පරිදි ඉදිකළ බව සඳහන් වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *