ශාස්ත්‍රවෙල්ලියේ උපසේන මාහිමිපාණන් වහන්සේ

cmadurawala
5 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

දහ නව වැනි සියවසේ අවසාන දශකයේ හාපිටිගම් කෝරළයේ වඩුවත්තේ කුඩා ආවාසයක වැඩ සිටි දුටුවන්ගේ නෙත් පැහැදෙන ශ්‍රමණ සාරුප්‍යයෙන් යුතු භාවනානුයෝගී වයෝවෘද්ධ ගුණවෘද්ධ මහ තෙර නමක් වූ හ. උදෑසන පිණ්ඩපාතයේ වඩින හිමියන්ගේ පාත්‍රයට දන් පිළිගැන්වීමට බෝතලේ වලව්වේ ප්‍රභූ පිරිස දැක්වූයේ බලවත් උනන්දුවකි. හිමිපාණන් වලව්වට පිඬුසිඟා වැඩි එක් දිනයක වලව්වේ යම් නො සන්සුන්කාරී ස්වභාවයක් පැවතුණු අතර වලව්වේ ළමාතැනී හිමිපාණන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා ය.

“හාමුදුරුවනේ, මේ ස්ටීවන් බොහෝ ම දඟයි. අද අශ්වයන් පිට නැගී මේ වත්ත පුරා ම දුවලා අන්තිමට වහපු ගේට්ටුවෙන් අශ්වයා පන්නන්නත් ගියා, මම බයේ හිටියේ කරදරයක් කරගනී කියලා.”

අල්ප කතා ඇති මහ තෙරණුවෝ අතෙහි වූ සැරයැටිය ඔසවා පහර දෙන්නට මෙන් තැත් කොට

“බොල කොල්ලෝ, රටේ කොල්ලන් හැදෙන විදියට හැදියන්.”

යැ යි වදාරා සැරයැටිය පහත් කොට අනුමෙවෙනි බණ දෙසා වැඩිය හ. ඊට පසු දඩබ්බරකම් අඩු වී වැඩිහිටියන් ගෙන් පැසසුම් ලබන අන්දමේ තරුණයෙකු වූ හේ අන් කවරෙකුත් නො ව නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවර මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමා ය.

සේනානායක මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කොට කලාවැවේ වැව් බැම්ම සකසා වාන් බැඳ විවෘත කරන දිනයේ ශාස්ත්‍රවෙල්ලිය ගම දෙසට අත දිගු කොට,

“නව ජනපද ව්‍යාපාරය මේ පළාතින් මුලින් පටන් ගත්තේ මෙන්න මේ කාරණය නිසයි. මා කැළෑ සතෙක් වගේ වසන කාලයේ දී අන්න අර පෙනෙන ගමේ උපන් රහතන් වහන්සේ කෙනෙක් වැනි උපසේන කියන හාමුදුරුවෝ අපේ ගම් පළාතට, වඩුවත්තට වැඩම කරලා අපට හොඳින් ගුරු හරුකම් ලබා දුන්නා. උන්වහන්සේ ආදර්ශවත් සිල්වත් හාමුදුරු නමක්. උන්වහන්සේගේ ආශ්‍රයෙන් අපි හැදුණා. එයට ණය ගෙවීමක් වශයෙන් උතුරුමැද පළාතෙන් නව ජනපද ව්‍යාපාරය මා පළමුවෙන් පටන් ගත්තා.” යැ යි පැවසූ හ.

මෙලෙසින් ජාතියේ පියා වශයෙන් විරුදාවලි ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමාගේ සම්භාවනාවට පත් මහා යතිවරයන් වහන්සේ ජීවිතාන්තය දක්වා ම ගෘහපති චීවරයක් නො පොරවා පංසුකූල සිවුරු ම පෙරවූ, ජීවිතාන්තය දක්වා ම පිණ්ඩපාතයෙන් ම යැපුණු, ධුතංගධාරීව භාවනානුයෝගී ව වැඩ සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ධුරන්ධර වඩුවත්තේ ජයසුමනාරාමාධිපති ශාස්ත්‍රවෙල්ලියේ උපසේන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

නුවර වැව, කලා වැව හා පදවිය වැව යන වැව් තුනෙන් සීමා වූ පෙදෙස යන අරුතැති නුවර කලාවියේ කලාගම් පළාතේ මාමිණියා කෝරළයේ ශාස්ත්‍රවෙල්ලිය ගම්මානයේ විසූ රත්නමලල බණ්ඩාර ඉලංගසිංහ ඒකනායක මුදලිතුමන්ගේ පුත් රුවනක වශයෙන් අප්පුහාමි නමින් 1846 වර්ෂයේ මෙම කුල කුමරුවන් උපත ලබා තිබේ.

වංසකතාගත තොරතුරු අනුව එතරම් ප්‍රසිද්ධියක් නොමැති වුව ද සියම් නිකායේ ද වනවාසී භික්ෂු සමාගමක් පැවති අතර තත් සඟ පිරිසෙහි වැඩ සිටි විදර්ශනාචාර්ය, ධුතංගධාරී වැලිගමුවේ බුද්ධදාස අත්ථදස්ස්‍යභිධාන මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය වූ උලාංකුලමේ සරණංකර හිමියන් කොස්සෝකන්ද අරණ්‍ය සේනාසනයට 1859 දී පමණ වැඩමවා තිබේ. මේ අරණ්‍යය දුටුගැමුණු මහරජතුමා කළ ස්වර්ණකටකාරාමය බව

පිළිගැනීමයි. ශාස්ත්‍රවෙල්ලියට නුදුරු තෙලඹියාගමට වැඩි උලාංකුලමේ හිමියන්ගේ දම් දෙසුමක් අසා පැහැදුණු ඉලංගසිංහ මුදලිතුමා ස්වකීය විසින් පුත් රුවන එම හිමියන් වෙත භාර කරන ලදි. උලාංකුලමේ හිමියන් විසින් ගම්පොල වනවාස විහාරයේ දී ස්වකීය ආචාර්යවරයෙකු වූ වැලිගමුවේ මාහිමියන් ලවා එම දරුවා උපසේන නමින් පැවිදි කරවී ය.

මේ කාලයේ දී රාමඤ්ඤ රටට ගොස් උපසම්පදාව ලබා පැමිණි පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියන් කෙරෙහි පැහැදී උලාංකුලමේ සරණංකර හා ශාස්ත්‍රවෙල්ලියේ උපසේන හිමිවරු පුවක්දණ්ඩාවේ හිමියන් වෙත යන අතරතුර මීට නුදුරු කාලයේ ම අඹගහවත්තේ ඉන්දාසභවරඤාණසාමි මාහිමිපාණන් වහන්සේ රාමඤ්ඤ දේශයට ගොස් උපසම්පදාව ලබා සියරට පැමිණි බව දැන උලාංකුලමේ හිමියන්ගේ තවත් සිසුවකු වූ පුලියංකුලමේ සුමංගල හිමියන් සමග පයාගල ධර්මගුප්ත පිරුවනට ගොස් අඹගහවත්තේ හිමියන්ගේ ආචාර්යයත්වයෙන් පැවිදි බිමට පත් ව 1866 ජූනි මස 17 වැනි දින වරාපිටියේ සුමිත්ත මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් රාමඤ්ඤ නිකායික මහා සංඝයා වහන්සේලා වෙතින් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලබා සසුන් මඟ ස්ථිර වූ හ.

ගොටුඅතු රැගෙන වැඩමවන රාමඤ්ඤ නිකායික හිමිවරුන්

ශාස්ත්‍රවෙල්ලියේ උපසේන හිමියන් විශේෂ වන්නේ ගොටුඅතු භාවිතය හුරු කිරීමට පුරෝගාමී වූ නිසාවෙනි. ලක්දිව එක් එක් නිකායික භික්ෂූන් වහන්සේලා අයත් නිකාය හඳුනා ගැනීමට එම නිකායවල අනන්‍ය ලක්ෂණ උපකාරී වෙයි. ස්‍යාම නිකායික හිමිවරුන් ඇහිබැම බෑම සම්ප්‍රදායයි. එලෙසින් රාමඤ්ඤ නිකායික හිමිවරුන් කුඩය වෙනුවට ගොටු අතු භාවිතය රාමඤ්ඤ නිකායේ අනන්‍යතාවයකි. ශාස්ත්‍රවෙල්ලියේ හිමියන් ගොටු අතු පරිහරණය කරනු දුටු අඹගහවත්තේ මහ නාහිමියෝ කුඩය ගිහියන් විසින් ද භාවිත කරන බැවින් ශ්‍රමණ ආකල්ප පවත්වා ගෙන යෑමට ගොටු අත්ත යෝග්‍ය යැ යි නිර්දේශ කොට රාමඤ්ඤ නිකායේ භාවිතයට නියම කරවූ හ.

රාමඤ්ඤ නිකායේ තේරසවග්ගික කාරකසංඝසභාවට පත් වූ උපසේන මාහිමිපාණන් වහන්සේ ඉන්පසු මහෝපාධ්‍යාය ධුරයෙන් අර්චිත වූ හ. රාමඤ්ඤ නිකායික මහා නාහිමිවරුන් දෙනමක් අපවත් වූ අවස්ථාවන්හි දී මහානායක පදවියට නිර්දේශ වුව ද විවේකී භාවනානුයෝගී දිවිය ප්‍රිය කළ උපසේන හිමියෝ එම උත්තරීතර පදවිය නිහතමානී ව ප්‍රතික්ෂේප කළ හ.

ධුතංගධාරීව භාවනානුයෝගී ව අල්පේච්ඡ පරමාදර්ශී දිවි පෙවෙතක් ගත කළ ශාස්ත්‍රවෙල්ලියේ උපසේන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1928 ජූනි මස 25 වැනි සඳු දින මධ්‍යාහ්නයේ දී අපවත් වී වදාළ සේක.

(විශේෂ ස්තුතිය – රවීන් කෝදාගොඩ මහතාට)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *