ඓතිහාසික බඩගමුව රාජමහා විහාරය

cmadurawala
6 Min Read

සමන්ති වීරසේකර

කුරුණෑගල ඓතිහාසික බඩගමුව රාජමහා විහාරයේ වෙහෙර වහන්සේ, විහාර මන්දිරය, ධර්ම ශාලාව ඇතුළු නව විහාරාංග විවෘත කිරීමත් තත් විහාරාධිපති, ඓතිහාසික සෝමවති රජමහා විහාරාධිපති, පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ වැඩබැලූ අංශාධිපති, මල්වතු මහා විහාර පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි, ආචාර්ය පහමුණේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර සුමංගල නාහිමිපාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනයත් නිමිත්තෙන් අප්‍රේල් මස 25 වැනි දින විශේෂ පිංකම් මාලාවක් පැවැත්වේ.

ඓතිහාසික සත් කෝරළයේ වෑඋඩවිල්ලි හත් පත්තුවේ කුරුණෑගල දඹුල්ල මහා මාර්ගයේ හමු වන බඩගමුව රක්ෂිත වනය පසු වන සීමාවේ මෙම පෞරාණික ටැම්පිට විහාරස්ථානය පිහිටා තිබේ.

මහනුවර යුගයේ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ අනල්ප උත්සාහයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ලක්දිව නැති වී ගිය උපසම්පදාව නැවත ආරම්භ කිරීම පිණිස මෙරටට වැඩි ප්‍රවර උපාලි මහ තෙරුන් ප්‍රමුඛ ස්‍යාම ජාතික හිමිවරුන් විසින් වර්ෂ 1753 ඇසළ පුර පසළොස්වක පොහෝ දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදා කටයුතු ආරම්භ කරන ලදී. ඉන් පසු සංඝරාජ පදවි හා මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක පදවි පිහිටුවා ස්‍යාම ජාතික තෙරවරුන් සංඝරාජ හිමියන් ප්‍රමුඛ ලාංකික තෙරවරුන් සමග අනුරාධපුර වන්දනාවේ වැඩම කරන විට එවක සත් කෝරළයේ අධිපති වූ රණවනරාළ නිළමේතුමා විසින් බණ ශාලාපිටිය නම් වූ ඉඩමෙහි දානය පූජා කොට තිබේ. එම අවස්ථාවෙහි කපුටෙකු කෑගසන ශබ්දය ඇසීමෙන් මීට නුදුරෙහි පැණි වරකා ගසක් තිබිය යුතු බව සංඝරාජ හිමියන් පැවසීමෙන් පසු ඵල බර පැණිවරකා ගසක් හමු වී මහ සඟ රුවනට පැණිවරකා පූජා කොට ඇත.

අනුරාධපුර වන්දනාව නිමවා පැමිණෙන හිමිවරුන්ට වස් සමාදන් වීම පිණිස රණවනරාළ නිළමේතුමා විසින් මෙහි විහාරස්ථානයක් ගොඩ නංවා පූජා කරන ලදින් උපාලි තෙරුන් හා සංඝරාජ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙහි සීමාවක් සම්මත කොට තිබේ. එය ද්වීභූමික (දෙමහල්) පෝය සීමාව සහිත ටැම්පිට විහාර මන්දිරයක් වශයෙන් පැවතුණි. වස් අවසන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පැමිණ ඇත් දළ කරඬුවක් හා විජිනිපතක් පිරිනමා කඨින පූජෝත්සවය පවත්වන ලදින් එම පුරා වස්තු අද දක්වා සංරක්ෂණය වී පවතී.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් විසින් ස්වකීය සහ මල්වතු පාර්ශ්වයේ ප්‍රථම මහානායක ධුරය හෙබවූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වූ මහ ඊරිමින්නේ විපස්සි හිමියන් වෙත මෙම විහාරස්ථානය පවරා දී ඇත. මහ ඊරිමින්නේ විපස්සි හිමියන් සංඝරාජ හිමියන් සමීපයේ බණ දහම්, ශබ්ද ශාස්ත්‍ර, පුස්කොළ පොත් ලිවීම් ආදිය ඉගෙන, එමතු නො ව සියම් ජාතික බ්‍රහ්මජෝති හිමියන් ගෙන් කර්ම වාක්‍ය කීම ප්‍රගුණ කොට උපසම්පදාපේක්ෂක ලාංකික සාමණේර හිමිවරුන්ට කර්මාචාර්ය හිමි නමක වශයෙන් ද ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු සිදු කරමින් රාජපූජිත ව වැඩ සිටි හිමි නමකි. බඩගමුව විහාරයට පැමිණි මහ ඊරිමින්නේ හිමියන් දායකයන් යහපතෙහි යොදවා කහටපිටිය, නාගොල්ල, ඒදඬු විල ආදී අවට ස්ථානවල මලසුන් ගෙවල් ඉදි කොට කුඩා ඊරිමින්නේ හිමියන් ඇතුළු තම ශිෂ්‍යවරුන් තිබ්බටුවාවේ මහ නාහිමියන් ගෙන් සද සතර හදාරන අතරතුර එම ස්ථානවල කටයුතු සඳහා යෙදවූ හ. තමන් වහන්සේ හා සම මට්ටමේ සමත්කම් දැක්වූ වැවගෙදර ධම්මජෝති හිමියන් බඩගමුව විහාරයේ කටයුතුවලට යොදවා මල්වතු විහාරයට වැඩ සංඝරාජ හිමියන් වෙත කළ යුතු උපස්ථාන කරමින් විටින් විට බඩගමුවට ද වැඩම කළ බව සංඝරාජ සාධු චර්යාවේ දැක්වේ.

වැවගෙදර ධම්මජෝති හිමියන්ගේ ශිෂ්‍ය වූ කුඩා වැවගෙදර හිමියන් හට ශිෂ්‍ය වූ හීනාබෝවේ ඉන්දජෝති මාහිමියන් වෙත ගොඩතලේ සුමංගල හා පහමුණේ සුමන යනුවෙන් ශිෂ්‍යවරයන් වහන්සේලා දෙනමක් වූ හ. එම තෙනමගේ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ 1927 සිට 1945 අතර කාලයේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබවූ හ. වර්ෂ 1852 පෙබරවාරි 02 වැනි දින උපත ලබා 1863 ජනවාරි මාසයේ බඩගමුව රජ මහා විහාරයේ දී පැවිදිව 1871 උපසම්පදාව ලබා මැදගම දේවමිත්ත මහනාහිමියන් ගෙන් හා ගොඩතලේ සුමංගල හිමියන් ගෙන් ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කොට ගඩලාදෙණිය රජ මහා විහාරයට වැඩම කොට 1877 දී මල්වතු විහාරයට වැඩම කළ පහමුණේ සුමංගල නාහිමිපාණන් වහන්සේ හිප්පොල සෝහිත මහ නාහිමිපාණන් වහන්සේ වෙතින් කර්මාචාර්ය සහ කාරක සභික ධුරයන් ද, තිබ්බටුවාවේ සුමංගල මහ නාහිමියන් වෙතින් වයඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද ලැබූ හ. වර්ෂ 1922 දී අනුනායක පදවියට ද 1927 වර්ෂයේ දී මහානායක පදවියට ද පත් වූ පහමුණේ සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ වැඩ සිටි මහානාහිමිවරුන් අතර කැපී පෙනෙන මහා නාහිමිපාණන් වහන්සේ නමක් වූ හ. පහමුණේ මහ නාහිමියන්ගේ සහෝදර දේවගිරියේ සුමංගල හා තැලව සුනන්ද හිමිවරුන් මෙම වගකීම් උසුලා තිබෙන අතර ඉන්පසු පහමුණේ සුමංගල මහ නාහිමියන් විසින් ස්වකීය ශිෂ්‍යවර සිරිමල්වත්තේ පියරතන නාහිමියන් වෙත බඩගමුව රාජමහා විහාරස්ථානයේ කටයුතු පවරා දී තිබුණි.

සිරිමල්වත්තේ පියරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් 1945 වර්ෂයේ වනගත ව පැවැති සෝමවති මහ සෑ රදුන් වහන්සේ සොයාගැනීම මෙම විහාර ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියකි. ඉනික්බිති සෝමවති රජමහා විහාරය, බඩගමුව රජ මහා විහාරය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍යය හොබවන ලද්දේ රාජකීය පණ්ඩිත පහමුණේ ගුණානන්ද අනුනාහිමිපාණන් වහන්සේ විසිනි. මල්වතු පාර්ශ්වයේ කාරක සභික, උපලේකම්, ප්‍රධාන ලේකම් හා අනුනායක පදවි දරමින් වියත් දේශක හිමි නමක වශයෙන් තත්ත්කාලීන සමාජයේ මහත් කීර්තියක් සහිත ව වැඩ සිටි පහමුණේ ගුණානන්ද අනුනාහිමිපාණන් වහන්සේ බඩගමුව රජ මහා විහාරයේ සංඝාවාසය දෙමහල්ව ඉදි කරවූ හ. එසේ ම බඩගමුව විහාර සන්තක දේපළ නිරවුල් කරවීම ද මේ යුගයේ සිදු වුණි.

වර්ෂ 1999 දී පහමුණේ ගුණානන්ද අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු වර්තමාන විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ විහාර ස්ථානයේ නූතන නවෝදය උදා කිරීමට ක්‍රියා කළ හ. ඒ අනුව සෝමවති මහ සෑ රදුන්ගේ අනුරුවක් වශයෙන් මලසුන් ගෙවල් දෙකක් සහිත ව අඩි හතළිහකට වඩා උසැති අභිනව සෑ රදුන් වහන්සේ ඉදි කොට, අභිනව විහාර මන්දිරය හා ධර්ම මන්දිරය ඉදි කරවා නාහිමිපාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනයට සමගාමී ව සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාවට මල්වතු, අස්ගිරි උභය මහා විහාරයේ ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ශතාධික මහාසංඝ රත්නය වැඩම වීමට නියමිත ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *