ඩොං ලිං – මෛත්‍රියේ මාවත

rashi
By rashi
8 Min Read

ලාමා සෝමෝ

පරිවර්තනය – අනුරාධ මහසිංහ

කෙනෙක් තමන් තුළ මෛත්‍රී සිතුවිලි වර්ධනය කරන කොට, නිරායාසයෙන් ම ඒ කෙනා සියලු‍ සත්ත්වයන්ට සම්බන්ධ වෙනවා. සමහර විට අපට අමතක වෙලා තියනවා වෙන්න පු‍ළුවන්, නමුත් අපි හැමෝම එක ඒකකයක කොටස් නම්, මගේ ඇඟිල්ලකට අනිනකොට, මගේ සමස්තය ම වේදනාවට පත් වෙනවා. අපි අන්න ඒ විදියට අප තුළ ඉතා ශක්තිමත් විදියට මෛත්‍රිය වර්ධනය කරගෙන ලෝකය දිහා බලනකොට, අපිට මාර්ගයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ මාර්ගයේ දී වැරදි පියවර තියන්නෙ බොහොම අඩුවෙන්.

ඉස්සර රෑ කෑමෙන් පස්සෙ අපේ තාත්තා පුරුදු වෙලා හිටියා, මොකක් හෝ වාදයකට මාව ඇදගන්න. ඒවා බොහෝ විට විනෝදකාමී වාද. එයා හරි කැමතියි සහ දක්ෂයි, වාද කරන්න. තාත්තා හිතාගෙන හිටියෙ මම මහ පොළොවෙ ජීවිතය ගැන දැනීමක් නැති, විශාල උද්‍යෝගයකින් ආකාශයට ඇස් යොමාගෙන ඉන්න කෙනෙක් කියලා. තාත්තා ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක් වුණු මිල්ටන් ෆ්‍රීඩ්මන්ගෙ හොඳ රසිකයෙකුත් වුණා. ඉතින් දවසක් තාත්තා මෙන්න මෙහෙම තර්කයක් ගෙනාවා: “එතකොට ඔයා හිතනව ඇති ලෝකෙ හැමෝම එකිනෙකාට ප්‍රමාණවත් තරම් ආදරය කළා නම්, ලෝකෙ සේරම ප්‍රශ්න විසඳේ වි කියල?” මම ටිකක් නැවතිලා තාත්තගෙ ඇස් දෙක දිහා බලල කිවුව, “ඔවු!” කියලා. එයා ඉන් ඉස්සර කිසි දවසක වාදයක දි නිහඬ වෙනව මම දැකල නෑ. තාත්තට කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ, තාත්තා හිත හොඳ අවංක මනුස්සයෙක්.

මම තවම ජීවත් වෙන්නෙ මේ ජීවන දැක්ම එක්ක. පසු කාලීන ව මේ දැක්මේ පරාසය තවදුරටත් ප්‍රසාරණය කරගන්න මට පුලු‍වන් වුණා. කොහොම නමුත් අපි හැම කෙනෙක් ඇතුළෙ ම මේ හැඟීම තියනවා – අපි එකිනෙකාට ප්‍රමාණවත් තරම් ආදරය කළා නම් අපි අතර කිසි ප්‍රශ්නයක් නෑ කියන එක. මේක ඇත්ත බව අපි කාටත් ඉවෙන් වගේ තේරෙනවා.

නමුත් ඇයි ඒක ඇත්ත වෙන්නෙ, මොන විදියෙන් ද ඒක ඇත්ත වෙන්නෙ? මම මේකට මාවත් දෙකකින් ප්‍රවේශ වෙන්නම්. එකක් විද්‍යාවේ මාවත, අනික බුද්ධ ධර්මයේ මාවත. අපි මුලින් බෞද්ධ මාවතට හැරෙමු. හිතන්න ටිකකට, සියල්ලේ ප්‍රභවය ගැන… ඒක හරියට දැවැන්ත සාගරය වගේ. මේ රූප සියල්ල පහළ වෙන්න පෙර, ඒවායේ ප්‍රභවය ගැන හිතන්න. වෙනස් රූප සියල්ල එකට එකතු වුණු ස්ථානය මහා සාගරය කියා හිතන්න. ඒක සවිඥානිකයි; ඒකට තමන්ගේ සියලු‍ කොටස් දැනෙනවා. මොකද, ඒ මට්ටමේ දී එකකින් තවත් එකක් වෙන් වෙන්නේ නෑ. ඒකෙ ස්වභාවය තමයි එකිනෙකට වෙනස් ලස්සන ලස්සන දිය රැළි හදන එක. අපි කවුරුත් මේ දිය රැළි. ඒ වගේ ම අපි සියලු‍ දෙනා තමයි, සාගරය. කෙනෙක් කොහොම ද කියන්නෙ දිය රැළි කියන්නෙ සාගරය නෙවෙයි කියල? එයින් තමයි සාගරය හැදිල තියෙන්නෙ. නමුත් කොහේ හෝ තැනක පොඩි පටලැවිල්ලක් වෙලා තියනවා. අපි හිතනවා, “මම තමයි මේ දිය රැල්ල – මම ම තමයි මේ, මගේ හැටි තමයි මේ,” කියල. ඊළඟට, “අනික් අය – අනික් දේවල්,” කියල වෙන් කරනවා. ඊට පස්සෙ ඉතින් පේන්නෙ දිය රැළි ගොඩක් විතරයි. සාගරය ගැන දැන ගන්න විදියක් නෑ. ඒ තරමට වල්මත් වෙලා; මෝහයෙන් බර වෙලා.

මහත්මා ගාන්ධි, දලයි ලාමා හිමි, මාටින් ලූතර් කිං වගේ චරිත දිහා බලන්න. මේ අය තමන්ගෙ සිල්ලර අවශ්‍යතා හෝ තමන්ගෙ පුංචි කල්ලියක් ගැන නෙවෙයි හිතුවෙ. මේ අය සාගරය ගැන දැන හිටියා. ඒ අය කථා කරනකොට සාගරයේ ශක්තිය එළියට ආවා. ඒකයි මිනිස්සු ඒ අයට ඇහුම්කන් දුන්නෙ. හිමාල මුදුනේ පුංචි රටකින් ආපු සරණාගතයෙකුට ඇහුම්කන් දෙන්න මිනිස්සුන්ට මොකක් ද තිබුණු හේතුව? උන්වහන්සේ දලයි ලාමා, උන්වහන්සේ හැම කෙනෙක් ගැන ම සංවේදීයි. ඒ බව අපට දැනෙනවා. ඒ නිසයි අපි උන්වහන්සේට ඇහුම්කන් දෙන්නෙ.

දැන් අපි ටිකකට විද්‍යාවේ මාවතට හැරෙමු. ඔබ අහල ඇති නේ ද ඩේවිඩ් බෝම් ගැන? බෝම් උපපරමාණුක මට්ටම දක්වා පදාර්ථය බිඳලා නිරීක්ෂණය කළා. ඔහු කිවුවා, “මගේ පර්යේෂණයට භාජනය වන මට්ටමේ දී ඔබේ සම ඇතුළත සහ ඉන් පිටත වන වෙනස්කම නො පවතී,” කියලා. උපපරමාණුක මට්ටමේ දී සියල්ල එක ම මුහුදක්. අඩු තරමින් ඒවට අංශු කියල වත් කියන්න බෑ. ඒවා වෙලාවකට අංශු විදියට හැසිරෙනවා, තවත් වෙලාවකට තරංග විදියට හැසිරෙනවා. ඒවා අංශු ද නැත්නම් තරංග ද කියල සමහර විද්‍යාඥයො වාද කරනවා, ඒ අය මේවා ‘අංශුතරංග’ කියල හඳුන්වනවා. ඔහොමයි, බෝම් ලෝකය දැක්කෙ. ඔහු තවත් බොහොම ප්‍රඥාසම්පන්න දෙයක් කිවුවා: “ඔබේ දෘෂ්ටිය යථාවට වඩා ළං වන තරමට, ඔබ වඩා සතුටෙන් ජීවත් වනු ඇත!” මම ඒකට තවත් දෙයක් එකතු කරන්නම්: “ඔබ වටා සිටින්නන් ද වඩා සතුටෙන් ජීවත් වනු ඇත. ඔබ යථාවෙන් ඈතට ඇදෙන තරමට ඔබ ද ඔවුන් ද දුකට පත් වනු ඇත…”

ආර්ථික විද්‍යාව මම දකින්නෙ සම්පත් අරබයා මිනිස් චර්යාව අධ්‍යයන කිරීමක් හැටියට. ඔන්න මම අලු‍ත් නිර්වචනයකුත් හැදුව නේ ද! යථාවෙන් ඈත් වෙන තරමට අපි දුක් විඳිනවා, ඒ දුක අපි ගලවන්න බැරි විදියට ආර්ථික පද්ධතියට කවනවා. කෙනෙක් මගෙන් දීර්ඝ ප්‍රශ්නයක් ඇහුවා; කෙටියෙන් කිවුවොත් – “කොහොම ද ඇත්තට ම සැබෑ වෙනසක් කරන්නෙ?” කියන එක. මම හිතන්නෙ, පටන්ගන්න හොඳ ම තැන තමයි, අපේ ම හදවත. අපි හැමෝට ම ඒක කරන්න පුළුවන්. ඊට පස්සෙ අපිට අනෙක් අයටත් ඒක බෝ කරන්න පුළුවන්. දලයි ලාමා හිමියන් කියන්නෙ මේක අකුරට ම ක්‍රියාවේ යොදවපු කෙනෙක්. උන්වහන්සේ බොහෝ මිනිසුන්ට මේක බෝ කළා. ඔවුනොවුන් සමග මෛත්‍රියෙන් වැඩ කරන්න අපට පුළු‍වන් නම්, එය හැදුණු තනි තනි කොටස් වල එකතුවට වඩා වැඩි බලයක් සහිත සමූහයක් හැදෙනවා

අපි ව එකිනෙකාට හොඳින් සම්බන්ධ කරන්න පුළුවන්, අපේ වල්මත් ගතිය විනිවිද ගිහින් අපි අන්‍යයන් ගෙන් වෙනස් කියල හිතන වැරදි දෘෂ්ටියෙන් ඈත් කරන්න පුළු‍වන් බෞද්ධ භාවනාවක් තියනවා. ඒක තමයි මෛත්‍රියේ මාවත. ඔබ මේක හැම දවසක ම මිනිත්තු කීපයක් කළොත් සති කීපයකින් ම ප්‍රතිඵල ලැබෙන්න පටන් ගනී වි. මේ කාරණාවට විද්‍යාවෙනුත් මට සාක්ෂියක් තියනවා. මේ පුහුණුව එක්ක මොළයේ ක්‍රියාකාරිත්වය එවැනි කෙටි කාලයකින් සැලකිය යුතු පරිවර්තනයකට ලක් වෙනවා.

තිබ්බත සම්ප්‍රදායයේ මේ භාවනාවට කියන්නෙ, ‘ඩොං ලිං’ කියලා. ඒකෙ තේරුම, ‘දීම සහ ලැබීම’. ඒකට අවශ්‍ය හුස්ම සහ චිත්ත රූප. මොකද, මේවා තමයි ඉතා ප්‍රබල මාධ්‍ය. අපි ඒ වෙනුවට වචනයේ ආධාරය ගන්න ගියා නම්, මොළයේ වම් ලලාට ඛණ්ඩිකාව විතරයි පාවිච්චි වෙන්නෙ. නමුත් අපි හුස්ම වගේ වඩා මූලික දෙයක් පාවිච්චි කළාම ස්නායු පද්ධතියේ අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී කොටස් දෙක ම පාවිච්චි වෙනවා. වෙනත් විදියකින් කිවුවොත් සචේතනික සහ අචේතනික දෙයාකාරයට ම ක්‍රියාත්මක වෙන විදියටයි අපිට මේක කරන්න ඕනැ. හරියට ආශ්වාස ප්‍රශ්වාස වගේ. නින්දෙ දි කෙනෙක් ආශ්වාස ප්‍රශ්වාස කරනවා, ඒ ගැන දැනීමක් නැති වුණාට. අන්න ඒ වගේ.

‘ඩොං ලිං’ සාර්ථක කරගන්න නම් අපිට අනෙක් අය එක්ක අභ්‍යන්තර සංවාදයේ හැකියාවක් තියෙන්න ඕනැ. මිනිස්සු එක්ක අභ්‍යන්තර සංවාද නො කරන කවුරු හරි ඉන්නව ද? නෑ, අපි කවුරුත් ඒක තමයි මිනිස්සු හැටියට කරන්නෙ. එතකොට අපි පටන්ගන්න ඕනැ අපේ ම අභ්‍යන්තරයෙන්. බටහිර ලෝකය මේ කාරණාවෙ දි අදක්ෂයි. බටහිර දි කෙනෙක් හිතන්නෙ නෑ තමන් තමන්ගෙ ම කරුණාව ලබන්න සුදුසුයි කියලා. බොහෝ විට කරුණාව අනික් අය දිහාටම එල්ල වුණු එකක් හැටියට දකින්නෙ. ඔබ අසල්වැසියාට තමන්ට සේ ම ප්‍රේම කරනවා නම්, ඔබ තමන්ට තියන ප්‍රේමය බිංදුවයි නම්, කොහොම ද ඉතින් එතැන ප්‍රේමයක් ක්‍රියාත්මක වෙන්නෙ? ඒ නිසා අපි තමන් ගෙන් ම පටන් ගමු. ඊළඟට අපි හදවතින් උණුසුම් ව සම්බන්ධ වෙන්න පුළුවන්, පහසුවෙන් අපට මෛත්‍රී කරන්න පුළුවන් අය දක්වා අපේ කලාපය ප්‍රසාරණය කරගනිමු.

බුදු දහමටත් විද්‍යාවටත් පොදු කාරණාවක් තමයි, අපි යම් මොහොතක විඳින යම් දුකක් වේ ද, ඒ දුක ජීවිතයේ කිසියම් හෝ මොහොතක විඳි තවත් සත්ත්වයන් සමූහයන් ඉන්නා බව. ඒ සියලු‍ දෙනා දක්වා අපි මෛත්‍රී කලාපය ප්‍රසාරණය කරනවා. මේක යම් කාලයක් පුහුණු කළාට පස්සෙ, අපි අපේ කලාපය තවත් ප්‍රසාරණය කරන්නෙ, ජීවිතේ අපට හිරිහැරයක් වුණු කෙනෙක් ඉන්නව නම්, ඒ අයත් මේක ඇතුළට තල්ලු‍ කිරීමෙන්.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *